හැටේ දශකයේ “නිසඳැස්” හා “පේරාදෙණියේ කවි” සඟරා බිහි වූ හැටි | සිළුමිණ

හැටේ දශකයේ “නිසඳැස්” හා “පේරාදෙණියේ කවි” සඟරා බිහි වූ හැටි

කේ. ජය­ති­ලක, සයි­මන් නව­ග­ත්තේ­ගම, කේ.එන්.ඕ. ධර්ම­දාස, මැන්දිස් රෝහ­ණ­ධී­රත් කවි ලියලා

“සම්ප්‍රදායෙන් මදක් හෝ බැහැර වූ දේ පිළිගැනීමට බොහෝ දෙනෙක් අකැමැති වීම පුදුමයක් නොවෙයි. සම්ප්‍රදායෙන් බැහැර වීම කොයි දෙයක වුවත් අවසානය හැටියට සිතීම බොහෝ දෙනාගේ පුරුද්දයි. එහෙත් සම්ප්‍රදාය කුමක්ද සම්ප්‍රදායෙන් බැහැර වූ දේ කුමක්දැයි ‍තේරුම් කර ගැනීම ඒ තරම් ම ලෙහෙසි දෙයක් ය කියලා කියන්න බැහැ. “නිසදැස් කවි” ලිවීමට පටන්ගත් දා සිටම ඊට විරුද්ධ වුණ අයගේ ඒ විරුද්ධත්වයට එක හේතුවක් තමයි “නිසදැස් කවිය” සිංහල කාව්‍ය සම්ප්‍රදායෙන් බැහැර වුණ, සිංහල පාඨකයාට හුරු නැති පිට රටින් ගෙනත් මෙහෙ රෝපණය කරපු දෙයක් කියන අදහස.

මේ අදහස එහෙම පිටින් ම හරි එකක් ය කියලා හිතන්න බැහැ. ඇත්ත තමයි - මීට ඉස්සර නිසඳැස් කවි කියන ජාතිය ලංකාවෙ තිබුණෙ නැහැ. ඒ වුණාට ලංකාවේ මිනිස්සු ගද්‍ය කාව්‍යය පද්‍ය කාව්‍යය කියන දෙකම කාව්‍ය හැටියට පිළිගත්තා. ඒ පිළිගැනීමෙන් අපට පේන්නෙ රචනයේ සන්දර්භය මොකක් වුණත් කාව්‍යමය ගතිය, නැති නම් කාව්‍ය රසය තියෙනවා නම් ඒ රචනය ‘කවි’ යන උසස් නමින් හඳුන්වන්න පුළුවනි යි කියන එක විශ්වාස කරලා තිබෙන බවයි.”

නිසදැස් කවි ගැන ප්‍රබෝධයක් තිබූ හැටේ දසකයේ මහාචාර්ය සිරි ගුනසිංහ විසින් 1961 “සාහිත්‍ය චින්තා” සඟරාවට ලියූ “ගදය, පද්‍යය හා නිසදැස” නම් ලිපිය ආරම්භ කර තිබුණේ ඒ අයුරිනි. ඒ වන විට ගුනසිංහයන් 1956 දී “මස් ලේ නැති ඇට” 1958 අබිනික්මන, 1962 දී රතුකැකුළ යන “නිසඳැස්” කෘති පළ කර තිබුණි. ඔහු නිසඳැස් ගැන ලියන ඉහත කී ලිපියෙන් කියා ඇත්තේ අපේ සම්ප්‍රදායේ හැටියට රසයට වැඩිය උසස් දෙයක් නැහැ, නිසඳැස් කවියේ පදනමත් රසයට වඩා වැදගත් දෙයක් නැති බව ය. නිසඳැස් කවි බිහි ව ඇත්තේ කිසියම් හේතුවක් නිසා බවත්, හේතුව හැටියට සමාජ පරිසරය බලපා ඇති බවත්, කොළඹ යුගයේ කවි ඉතා බොළඳ කවි ජාතියක් නිසා මිනිස්සු සමාජයෙන් ඈත් කොට අමුතු ම‍නෝ රාජ්‍යයකට ඇති කරන බවත් මහාචාර්යවරයා පවසා ඇත.

නිසඳැස් කවි ගද්‍ය පාඨ යැයි සමහරු කියන්නේ ගද්‍යයේ කාව්‍යමය ගති නැත කියා හිතන නිසා බව කියන මහාචාර්ය ගුනසිංහ “සාමාන්‍ය ශාස්ත්‍රීය ගද්‍යයේ කාව්‍යමය ගතියක් නැති බව හැබෑ තමයි”, එහෙත් එළිසමය හා වෘත්තය නිසා නිසඳැස් කවි ශාස්ත්‍රීය ගද්‍යයට සමාන කිරීම වැරදි බව” කියා ඇත. ඒ සඳහා ඔහු ජී.බී. සේනානායක විසින් ලියූ කවියක් නිදසුන් කොට ගනී.

“බුද්ධිය මිත්‍රයෙකැයි සිතූ මම

දිනක මග රැක සිට,

මගෙ දෙවියන්

මරා හෙළමි”

“ජී.බී. සේනානායකගේ මේ රචනය ශෛලිය අතින් ගද්‍යයට සමාන යි. ඒත් මෙහි එන අදහසත්, ඒ අදහස් ප්‍රකාශ කිරීමට යොදා ගත් වචනත්, එයින් ඇති වෙන හැඟීම් ආදියත් ශාස්ත්‍රීය රචනයක තවම කවදාවත් දකින්න හම්බවෙන්නේ නැහැ. ඕනෑ නම් මේක ගද්‍ය ආකෘතියෙන් ලියන්න පුළුවන් - “බුද්ධිය මිත්‍රයෙකැයි සිතූ මම දිනක් මග රැක සිට මගේ දෙවියන් මරා දැමීමි.” මේ ආකෘතිය වෙනස් කල පමණින් ම ඒ කියමනේ මූලික අදහස වෙනස් කළ පමණින් ම ඒ කියමනේ මූලික අදහස වෙනස් වුණේ නැහැ. එසේ නොවුණේ ආකෘතිය කුමක් වුණත් අගය තියෙන්නේ ඒ කියමනට උපයෝගි කර ගෙන තියෙන උපමා රූපක සංකේත ආදියේ නිසයි. හැබැයි ආකෘතිය වෙනස් කිරීම නිසා ඒ කවියට පාඩුවක් වුණේ නැතෙයි කියලත් කියන්න බැහැ.” ඔහු කියයි.

නිසඳැස් යනුවෙන් හඳුන්වනු ලබන නූතන කාව්‍ය ආකෘතිය සිරි ගුනසිංහයන් ගේ නම්නතාව ප්‍රකට වනුයේ 1948 තරම් අතීතයේ දී බව පවසන මහාචාර්ය රත්නසිරි අරංගල, 1948 දී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල සමිතිය විසින් ප්‍රකාශිත ‘අරුණ’ සංග්‍රහය සඳහා “ආ පසුව” මැයෙන් ඡන්දසින් තොර නිර්මාණයක් සම්පාදනය කළ බවත්, 1951 දී එම සමිතිය මඟින් ම ප්‍රකාශිතව “පියවර” සඟරාවට “ඊයේ සොදු” නමින් එ් ආකෘතියෙන් ම රචිත නිර්මාණයක් එක් කර තිබූ බව පවසා ඇත. “සිරි ගුනසිංහ උපහාර ලිපි” සංග්‍රහයට ලිපියක් ලියූ මහාචාර්ය අරංගල කියා ඇත්තේ 1956 තදාකෘතික ඡන්දෝ විරහිත නිර්මාණයක් වූ “මස් ලේ නැති ඇට” නමින් ග්‍රන්ථ කිරීම නූතන සිංහල කාව්‍යයේ සන්ධිස්ථානයක් සලකුණු කළ බවත් එ් කෘතිය සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කළ බවත් ය.

එහෙත් සඳැසකින් තොර කවි ලිවීමේ ආරම්භකයා ජී.බී. සේනානායක ය. ඒ අනුව නිසදැස් ලිවීම සාහිත්‍ය රසිකයාට හඳුන්වා දුන්නේ ජී.බී. ය. රොහාන් පියදාස විසින් ජී.බී. සමඟ “කල්පනා” සඟරාවට කළ සංවාදයක කියා ඇත්තේ තමා ලියූ මුල් ම නිසදැස් පද්‍ය පළ වූයේ 1946 ලියූ ‘පලිගැනීම” පොතින් නොව, කේ.එම්. සිරිසේන විසින් සංස්කරණය කළ “වෙළඳාම” සඟරාවට (1940 දසකයේ) ලියූ ‘දාසයා’ නිදහස් පද්‍යයෙන් කියාය.

හිටි හැටියේ මට “නිසඳැස්” ගැන ලිවීමට කල්පනා වූයේ “පුන්කලස” අතිරේකයට ශාස්ත්‍රීය ලිපි ලියන මගේ දීර්ඝ කාලීන මිතුරකු වූ මහාචාර්ය ජිනදාස දනන්සූරිය මා විසින් ලියන ලිපි කියවා මට ධෛර්ය හා ශක්තිය සපයමින් සතියකට වරක්වත් දුරකතනයෙන් කතා කරන අතර “නිසඳැස්” කාව්‍ය ගැනත්, කතා කිරීමට ලැබීම නිසා ය. පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් කිහිප දෙනෙක් හැටේ දශකයේ පළ කළ “නිසඳැස්” නම් සඟරාව මා කියවා තිබුණේ විද්‍යාලයේ පුස්තකාලයේ තිබීය. කොළ පැහැති පිට කවරයකින් යුතු එහි මුල් සඟරාව මා කියවූයේ නොතිත් ආසාවකිනි. “නිසැඳැස්” සඟරාව ගැන මහාචාර්ය දනන්සූරිය හා කළ දුරකතන සංවාදය කෙළවර වූයේ මේ කාරුණික වචන වලිනි.

“මා ගාව නිසඳැස් ගැන තියෙන සඟරා දෙකක් තැපෑලෙන් එවන්නම්” කී මහාචාර්යවරයා සතියකින් ඒවා තැපැල් කර එවීමට කාරුණික විය.

මෙහි පළ වී ඇති “නිසදැස” දෙවැනි කලාපය හා “පේරාදෙණි කවි” නම් සඟරාවේ පළ වූ කවිය. “නිසදැස්” සඟරාවේ සංස්කාරකවරයන් වූයේ පසුව කීර්තිමත් පරිපාලන නිලධාරියකු හා කලා විචාරකයකු හා අමාත්‍යවරයකු වූ ආචාර්ය සරත් අමුණුගම හා දැනට හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන මහාචාර්ය විමල් දිසානායක විසිනි. සංස්කාරකයන් මෙසේ තම සඟරාව ගැන අදහස් පළ කර තිබිණි.

“නිසඳැස් කවි ලිවීම ගැන උනන්දුවක් විශේෂයෙන් ම උගත් මහජනයා අතර ද පාඨශාලා හා වෙනත් විද්‍යාස්ථානවල ද පැතිර යන බව පෙනේ. එ් රචනා විශේෂයට වෙන්වුණු සඟරාවක් හෝ වෙනයම් ප්‍රකාශනයක් නැති නිසා ඒවා පාඨක ජනයා ඉදිරියට පැමිණෙන්නෙ කලාතුරකිනි. නිසඳැස් කාව්‍යය දියුණු ද නැද්ද, දියුණු කළ හැකිද, නොහැකි ද, එය නූතන සිංහල සාහිත්‍යයේ කුමන තත්ත්වයක් උසුලයි ද යනාදි ප්‍රශ්න නිරාකරණය කිරීමට නම්, දැන් අහුමුලුවල ලියැවෙන නිසඳැස් කවි බුද්ධිමත් පාඨක ජනයා විසින් කියවා සාකච්ඡාවලට භාජනය කළ යුතුය.

මේ නිසදැස් කවි සඟරාව ආරම්භ කරන ලද්දේ ඉහත කී කාර්යය සඳහා නිසදැස් කවි පාඨකයා ඉදිරියට ගෙන ඒමට ආධුනික ලේඛකයන්ට අවස්ථාවක් ලබා දීම සඳහා ය. එහෙයින් මේ පිටුවල එන රචනා අපි පාඨකයාට ඉදිරිපත් කරන්නේ අවශ්‍යයෙන් ම ආධුනික රචනා හැටියට විනා උසස් සාහිත්‍ය කෘති හැටියට නොවේ.‍

“නිසඳැස් - 2” සඟරාවට මඩවල රත්නායක, වැලිකඩ විජයානන්ද, සෝමපාල උඩකන්ද‍ෙග්, පියදාස නිශ්ශංක, රාම් අභයවර්ධන, ගාමිනී සෙනෙවිරත්න, ඩෝල්ටන් අල්විස්, සරත් අමුණුගම, එච්.ඇල්. සෙනෙවිරත්න, විමල් දිසානායක, සිරි ගුනසිංහ, චන්ද්‍රලාල් හෙට්ටිආරච්චි, නාමෙල් වීරමුනි, කේ. ජයතිලක, මැන්දිස් රෝහණධීරගේ කවි ද, ගාර්ෂියා හොරිගුචි, රියෝ සකාමෝතෝ, ෂින්කිචි තකහෂි ආදි විදේශික කවියන්ගේ පරිවර්තන සරත් අමුනුගම, විමල් දිසානායක, නාමෙල් වීරමුනි, එච්.එච්. බණ්ඩාර විසින් පරිවර්තනය කර තිබුණි.

මීට වසර 60කට පෙර නිසඳැස් කාව්‍යවල තත්ත්වය විමසීමට කවි දෙක තුනක් නිදසුන් කොට දක්වමු.

පසු කලෙක කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ඉංග්‍රීසි බසින් කවි ලියූ ගාමිණී සෙනෙවිරත්න (ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයකු සිටි 1965 දී අප පන්තියේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට පැමිණ විට සිසුන්ට තම තම නැණ පමණින් ඉංග්‍රීසියෙන් පුංචි පුංචි කවි ලිවීම උනන්දු කළ හැටි සිහියට නැගේ) ඔහු විසින් “නොයන ගමන” නමින් ලියූ නිසදැස කි මේ.

ආලය මැලවී ගිය විට
ආලය මල මොහොතේ මම
මගේ සුදු ඇස් දෙක
දිටිමි සොඳුරිය
ඔබ නැවත ම වෙත විත්
මා හිත රිදන්නට
හිස සනසන්ට හෝ
තැත් කළත් මා නැවත
කැඳවා
ඔබ ආලය පුදා
නැවත මා සතු කළත්
මම නො එමි සොඳුරිය
මේ ගමන කළුවරේ
ඔබ සමඟ
හැංගි හැංගී
රතු ඉරක් මෙන් දිලුණ
පාර දිය වී ගිහින්
මගේ ඇස් ලේ හිඳුණ
සද එළිය වෙවුලුවයි
අප ආලය දැවී
ඇඹරි දෙහි ලෙල්ලක් වගේ
නෙළුම් කොළයක් යට
කුමට එය සඟවමු ද?
ඔබ ඇසට පෙනෙන සේ
ආලයේ මුහුණුවර
දේව විප්ලවයකින්
සිනාසී පෙරළේ ද
එසේවත්?
කල්පනා හිතට මගෙ
ලේ උරාගෙන එයි ද?
පාර නොපෙනේ එහෙත්
ලොව පුරා සුදු ඉරකි -
යනු බැරිය සොඳුරිය
මේ ගමන

කලා විචාරකයකු, සමාජ විද්‍යාඥයකු වූ මහාචාර්ය එච්.එල්. සෙනෙවිරත්න ලියූ කවියකි මේ. “කුවේනි” එහි මාතෘකාව ය.

විජයට ඕනෑ ඇගෙ දැඩි සිරුරයි
ඈ ලොබවිය විජයගෙ රං පැහැයට
කාමයෙ පැටලී යන්න බැරුව ඈ
ජයට දැවටී ඉන්න හිටිය ඈ
ගසා දමා ඔහු විසිකළා ඈ
හප වී වැටුණා කාන්සි හිතිලා
නැතිව ගියා වනයේ දිය වී ඈ

පසු කලෙක කලා විචාරකයකු, නාට්‍ය රචකයකු හා නිෂ්පාදකයකු වූ අධිනීතිඥ නාමෙල් වීරමුණි විසින් ලියූ “දිය ඇල්ල” නම් කවියකි මේ.

කඳු අතරත කැලේ මැදින්
උතුර උතුරා යන්නේ දිය ඇල්ල
වැටෙන්නද
ගල් මුදුනකින්
කෑලි කෑලි වලට කැඩී
ඇයි වැටෙන්නේ
ගල් පොත්තක හැපෙන්න
තරුණ කතක් දැක ලස්සන
එල්ල කළ ආදරය වගේ
මහ වල නිසලයි
කළු පාටින් නිල් පාටයි
දිය පාර
හිමිහිට කැකෑරී
යනවා යටින්, ගෝසාවක් නැතිව කිසි ම

නවකතා හා කෙටිකතාකරුවෙකු ලෙස ප්‍රතිභාව පෙන්නූ මහා ලේඛකයකු වූ ආචාර්ය කේ. ජයතිලකයන් “නිසඳැස” සඟරාවට ලියූ “ගැලවීමක් නැත” කවියයි මේ.

රාත්‍රියේ
හෙණ හඬ මැද
විදුලි කොටා
මහා වැසි වසිද්දී
ගනාන්ධකාරයේ දල්වන
දුබල පොල් තෙල් පහන් එළියෙන්
සැලෙන හදවතින්
බිහි කළ දරු පැටවුන් රැළ
හදා වඩා ඇති කළ පසු
රීරි මාංස ඉල්ලාගෙන
දැන් දුව එති මා පස්සේ
පොළො‍ෙව් කඩි කූඹින් මැද
වනයේ වන සතුන් අතර
පැන‍ගොස් සැඟවෙමි බේරෙන්නට
පැස්බරකු මෙන්
පඳුරක් අස්සේ හිස ඔබාන සිටිනා විට
උන් දුවවුත්
මා එළියට ගනිති හනික
අහසේ ගන වලා අතර
දෙව්ලොව බඹලොව නාලොව
මේ හැම තැන සැඟවුණමුත්
මුන් ඇත නිති මා පස්සේ

පසු කලෙක පරිපාලන නිලධාරියක වූ සංගීත නිර්මාණ ශිල්පියකු ලෙස ප්‍රතිභාව ප්‍රකට කළ එච්.එච්. බණ්ඩාර විසින් ජපන් ජාතික ෂින්කිව් තකහෂිගේ කවියක් “සමනලයෙක්” නමින් පරිවර්තනය කර තිබුණි.

වැහි වලා
පිරුණු දවසකැයි නොබලා
සමනලයෙක් -
සුදු සමනලයෙක් -
ඉහළ
පහළ
පියඹා යනවා
කොතරම් පුදුමයක් ද මේ?
කොහේද ඈ
වෙව්ල වෙව්ල
අතතටු රඳවා ගත්තේ
දෙපත් කපන මේ වැස්සේ

“නිසඳැස්” සඟරාවේ සංස්කාරකවරු නිසඳැස් කවිවලට එරෙහිව තර්ක තුනක් ඉදිරිපත් කරන ලද බව පවසයි.

1. නිසඳැස් කවි විදේශීය කවි සම්ප්‍රදායයන් ගුරු කොට ගෙන ඇති වූ බවත් ඒ නිසා ම එය සිංහල කවි සමයට පටහැනි බව.

2. චරිතයකින් තොර කාව්‍යයක් නොමැති බව,

3. සමහර නිසදැස් කවිවල යෙදෙන උපමා රූපක සම්ප්‍රදායානුකූල නොවනනිසා එම පද්‍ය “අරුත් සුන් වදනරුත්” ගනයට වැටෙන බව ය.

1960 - 61 වර්ෂවල නිකුත් වූ “පේරාදෙණි කවි” Peradeniya Poetry නම් සඟරාව සංස්කරණය කර තිබුණේ ගාමිණි සෙනෙවිරත්න, නෙවිල් පියදිගම හා ඒ. ෂන්මුගදාසන් ය. සිංහල, ඉංග්‍රීසි සහ ද්‍රවිඩ බසින් “පේරාදෙණි කවි” සඟරාවට පද්‍යය සපයා තිබුණි. නාමෙල් වීරමුනි, සයිමන් නවගත්තේගම, නෙවිල් එදිරිසිංහ, ඇම්.ඇම්. ස්වර්ණලතා, මඩවල රත්නායක, උපාලි ද සිල්වා, කිංස්ලි මෙන්ඩිස්, ඇම්.බී. ලීලසේන, ටී.ජී, පියදාස, විමල විජයසූරිය, ඇන්. ඩබ්ලිව්. වික්‍රමසිංහ, ලයනල් විජේසිංහ, සුජාතා විජයනායක, ක්‍රිස්ටි ද සිල්වා, බර්ටි ධර්මප්‍රිය, ජිනේසි අපොන්සු, කේ.එන්.ඕ. ධර්මදාස, නෙවිල් පියදිගම, ගාමිණි සෙනෙවිරත්න, ටියෙස් අබේවික්‍රම, විමල් දිසානායක, සිරි ගුනසිංහ ද, ඉංග්‍රීසි බසින් ද Patric Fernando, Patrick Jayasuriya, G.K. Haththhotuwegama, Mahinda Jayasinghe, Sparling de Coste, Gamini Seneviratne, David M. Graig, David Jonklaas, Peter Scharanguivel, Priya David, Dennis Bartholomeusz, M.I. Kuruvilla පද්‍යය ලියා තිබූහ. මෙහි ද්‍රවිඩ බසින් ද කවි ලියා තිබුණි. මේ සඟරාවට සයිමන් නවගත්තේගම ලියූ “මතක් වෙන්න නෑනා දුන් දේ” නම් ජනකවි සන්දර්භ ගත් රචනය දිගු එකකි. ඉන් මුල් කවි රචනය මෙයි පළ කරන්නේ එය දුර්ලභ රචනයක් වීම නිසා ය.

කාගෙ හරක් දෝ නොදැනේ වෙලේ හඹා යන්නේ
මගෙ නෑනා ‍දෝ නොදැනේ හරක් හොයා යන්නේ
දන අැනලා තන ඇදලා මුට්ටිය පුර වන්නේ
අනේ නෑනෙ නැත නොකියා මට දීකිරි දෙන්නේ

 

හීය ඉවර උනු ක‍ාලෙට - වැපුරුම් අහකා දවසට
මතකයි මට ඒ කාලේ ගියා නෑනලා දිහාට
මිදුල කොනේ තැඹිලි පැලේ කොනක්ගින් අල්වා සිට
දසන් මැදපු විත්තිය පා ඇඳි සැටි පා චීත්ත පටි

 

මා ඉඳිද්දි ගෙපිල් කොනේ - බොල්පානා ඉදල අරන්
අඳවා තුන්පත් රටාව අතුපතු ගා මිදුල් රවුන්
අගේ වැඩෙන්නට වාගේ ඇගේ ඉනේ රැළි වාගේ
මිදුල පුරා ඉදල් ඉරේ ඇගේ ඉසේ රොද වාගේ

 

නෑනන්ඩිගෙ වැඩ රඟ පා ආපහු ගෙට දුවන් ගොසින්
දුම් මැස්සේ කොළ ‍ෙගාටුයේ - පැණින් පෙඟුණු බත් වළඳින්
මගේ නෑන නැත නොකියා - මට දී කිරි දුන්නා

“පේරාදෙණි කවි” සඟරාවේ සඳැස් හා නිසඳැස් ස්වරූපයෙන් ලියූ කවි මෙන් ම ජනකවි සන්දර්භය ගත් රචනා කිහිපයක් වෙයි. ජනකවි සන්දර්භය කෙරෙහි සිංහල කවියන්ගේ අවධානය යොමු කළ පොත් ලෙස ගුණදාස අමරසේකරගේ “අමල්බිසෝ”, නන්දසේන රත්නපාලගේ “මරණින් එහා” ත් මහගමසේකරගේ “ව්‍යංගා” සැලකිය හැකි බව ‘පේරාදෙණි කවි’ සංස්කාරක ගාමිණී සෙනෙවිරත්න පවසා (1960 දී සඟරාවේ) ඇත. අව්‍යාජත්වය, ව්‍යංග්‍යාර්ථයට මුල් තැන දී වචන සංවිධානය කිරීම, සරල බවට මුල් තැන දීම, කාව්‍යයෙන් බාහිර වූ නීති රීති නොතිබීම, රස මැවීමේ පරමාර්ථය යනාදිය ජන කවියෙන් ආභාසය ලබා ගත් උසස් කාව්‍ය රචනා කළ හැකි බව සංස්කාරකයන් දක්වා තිබිණි.

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

 

Comments