අපේ රට හැඳින්වීමට යෙදුණු එක් නමක් "සිංහල දේසේ" යන්න යි. අපේ රටට "සිංහ දේශය" හෙවත් "සිංහල ද්වීපය" යන නම භාවිත කළ එක් විදේශික ලේඛකයෙක් චීන ජාතික ෆාශියන් හිමියෝ යි. "ෆාහියන්" යනුවෙන් අප භාවිත කළත් උන් වහන්සේගේ චීන නාමය "ෆාශියන්" යන්න යි.
ව්‍යවහාර වර්ෂයෙන් 337 හි දී චීනයෙහි උපත ලැබූ උන් වහන්සේට මවුපියන් දුන්නේ "කුං" යන නාමය යි.
වයස අවුරුදු තුනක් පමණ වන විට මේ දරුවා ගමේ විහාරස්ථානයට භාර දෙන ලද්දේ නිසි වයස ආ විට මහණ කරවන අරමුණෙනි. මහණ බිමට පැමිණි පසු උන් වහන්සේට ලැබුණු පැවිදි නාමය "ෆාශියන්" යන්න යි.
උන් වහන්සේගේ වැඩි අවධානය යොමු වුණේ භික්ෂු විනය කෙරෙහි ය. එහෙත් ඇතැම් විනය ග්‍රන්ථ චීනයෙහි සොයා ගැනීම දුෂ්කර විය. එබැවින් ඒ ග්‍රන්ථ සොයා බුදු සමයෙහි මුල් බිම වූ දඹදිවට ඒමට උන් වහන්සේ කල්පනා කළහ. එ් වන විට උන් වහන්සේගේ වයස අවුරුදු 62 කි.
උන් වහන්සේ ගමන් ගත්තේ "සේද මාර්ගය" (Silk Road) නමින් හැඳින්වුණු මාර්ගය ඔස්සේ ය.
සේද මාර්ගය යනු චීනයෙහි සිට මධ්‍යධරණී සමුද්‍රාසන්න යුරෝපීය රටවලට සේද ගෙන ගිය මාර්ගය යි.
නොයෙක් දුක් කම්කටොලු විඳිමින් දඹදිව මධ්‍ය දේශයට පැමිණි උන් වහන්සේ තමාට අවශ්‍ය ග්‍රන්ථ කිපයක් එහි දී සොයා ගත්හ. එහෙත් ඉන් ද සෑහිමකට පත් නොවී තවත් ග්‍රන්ථ සොයා ව්‍යවහාර වර්ෂ 410 දී "සිංහල දේශයට" සැපත් වූහ.
සිංහල දේශයට පැමිණි උන් වහන්සේ කෙළින් ම ගියේ අනුරාධපුරයහි පිහිටි මහා විහාරයට නොව අභයගිරි විහාරයට ය. අභයගිරි විහාරය මහායානයට බර විහාරස්ථානයක් වූ හෙයිනි.
උන් වහන්සේ අනුමාන කළ පරිදි තමා සොයා ආ විනය ග්‍රන්ථ අභයගිරි විහාරයෙහි පොත් ගුලෙහි විය.
දෑවුරුද්දක් ගත කොට ඒ ග්‍රන්ථ පිටපත් කොට ගත් උන් වහන්සේ මුහුදු මාර්ගයෙන් ආපසු චීනයට වැඩම කළහ. මේ කාලය තුළ දී උන් වහන්සේට මුහුණු දීමට සිදු වුණු සිද්ධි අලළා දේශාටන වාර්තාවක් ලියුහ. "බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තාව" නමැති මේ පසු කාලයක දී මුද්‍රණද්වාරයෙන් බිහි විණ.
ෆාශියන් හිමියන් සිංහල දේශය බලා ඒමට නැව් නැග්ගේ "තාම්‍රලිප්ති" නම් නැව් තොටිනි. දින හතරක මුහුදු ගමනින් පසු උන් වහන්සේ සිංහල දේශයට ආහ.
උන් වහන්සේගේ වාර්තාව අනුව අපේ රට එදා හඳුන්වා ඇත්තේ "සිංහ දේශය" හෙවත් "සිංහල දේශය" වශයෙනි.
මේ කරුණ පදනම් කොට ගනිමින් මා මගේ "බෞද්ධ ගීත හෝඩිය-1" නමැති ග්‍රන්ථයෙහි "ෆ" යන්න හඳුන්වා දීමට යොදා ගත්තේ පහත දැක්වෙන ගීතය යි:
"බුදු පුත් ෆාහියන් හිමියො චීන රටේ සිට
සේද මඟ දිගේ වැඩියා සිංහල දේසෙ ට
ගොසින් අබයගිරි වෙහෙරේ පොත් ගුල් කුටිය ට
පුස් කොළ පොත් පිටපත් කර වැඩියා වීනෙ ට"
අපේ රටට "සිංහල දේසේ" යන නම යෙදෙන තවත් නිදසුනක් සිංහල ජන ශ්‍රැතියෙහි එයි. එනම් ඔළිඳ හා සම්බන්ධ මේ සංවාදය යි:
එක් කෙනෙක් මෙසේ ප්‍රශ්නයක් අසයි:
"ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ"
ඊට මෙවැනි පිළිතුරක් ලැබේ:
"ඔළිඳ තිබෙන්නේ බංගලි දේසේ"
යළිත් ප්‍රශ්නයක් නැඟේ:
"ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ"
ඊට ලැබෙන පිළිතුර මෙවැන්නකි:
"ගෙනත් සදන්නේ සිංහල දේසේ"
මේ ජන ශ්‍රැතිය කවදා උපන්නක් දැයි කිව නොහේ.
එහෙත් මෙයින් හෙළි වන්නේ "බංගලි දේශය" හා "සිංහල දේශය" අතර ඈත අතීතයෙහි සිට පැවත එන සමීප සම්බන්ධතාව යි.
චීන ජාතිකයන් මේ රට "සිංහ දේශ" හෙවත් "සිංහල දේශ" යනුවෙන් හඳුන්වන්ට ඇත්තේ අපේ රට වැසියන් ඒ නම යෙදූ නිසා බව පැහැදිලි ය.
"සිංහලේ" යනුවෙන් හැදින්වුණු මේ රට "පිහිටි රට" "මායා රට" හා "රුහුණු රට" යනුවෙන් රටවල් තුනකට බෙදා තිබුණු හෙයින් "ත්‍රි සිංහලේ" යනුවෙන් හැඳින්විණ.ලංකාවේ බටහිර වෙරළාසන්න පළාත් පරංගීන්ට හා ලන්දේසීන්ට යටත් වුණු පසු සෙංකඩගල නුවර අගනුවර කොට ගනිමින් රජකම් කළ සිංහල රජවරුන් යටතෙහි පැවති පළාත් පමණක් "සිංහලයට" සීමා විණ. පසු ගිය කාලයෙහි පාත රට සිංහලයන් වෙළඳාම පිණිස ගියේ "සිංහලයට" බව මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ "ගම්පෙරළිය" කියවන විට සිහි පත් වේ.
"සිංහලයෙන්" පිටත වූ පෙදෙස "සෙයිලම" යනුවෙන් සිංහලයෝ හැඳින්වූහ. එය විදේශිකයන් "සෙයිලාන්" යනුවෙන් හැඳින්වූ පෙදෙස යි. අදත් උඩරට සිංහලයන් "සෙයිලම" යැයි කියන්නේ කඩ මණ්ඩියට ය. ඔවුහු විසිතුරු බඩු භාණ්ඩ මිලට ගැනීමට සෙයිලමට යති.