ඩබ්ලියු. ඒ. අබේසිංහයන් විසින් පරිවර්තනය කරන ලද ලියෝ තොල්ස්තෝයිගේ කෙටිම නවකතා ‘සර්ජියස් පියතුමා’ කියවමින් සිටිමි. ‘යුද්ධය හා සාමය’ වැනි දිගම දිග නවකතාව ලියූ තෝල්ස්තෝයි ක්‍රොයිස්ට සොනාටා ඉවාන් ඉලියිච්ගේ මරණය, පොලිකෘෂ්කා වැනි කෙටි නවකතා ද ලියුවේය. එතැනින් නොනැවතෙන මේ මහා ලේඛකයා දරුවන් වෙනුවෙන් ද වෙනම ළමා කතා ගොන්නක් ලියා තැබුවේය.
Father Sergious ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් පරිවර්තනය කරන්නේ ‘විරාග සංග්‍රාම’ කියා ය. මේ අපුරු නම පොතට කෙතරම් ගැළපෙන්නේ ද යන්න තේරුම් ගැනීමට ඔබ මේ කෘතිය කියැවිය යුතුමය. ලේඛනයේ ‘රන්සුනු’ සොයා යන අප මිනිස් සිත තරම් නිර්මාණකරණයට වස්තු බීජ වන දැයක් නැත්තේ ය යන්න සනාථ කරවන මේ වැනි කෘති කියැවිය යුත්තේ සංකීර්ණ භව විග්‍රහ කිරීමේ ලා වන කුසලතාව ලේඛකයකුට කෙතරම් වැදගත් ද යන්න අවබෝධ කර ගැනීමට ය.
ස්තෙෆාන් කසාත්ස්කි කුමාරයා මේ ලොව බහුතරයක් දෙනා මෙන්ම ඉහළ නැඟීමේ, සමාජ තත්ත්වය වර්ධනය කර ගැනීමේ නොතින් ආශාවෙන් යුක්ත වූවෙක් වෙයි. එය මනු ලොව සියයට අනු නවයයි දශම නවයකම ප්‍රාර්ථනයකි. ඊට පහසු ම ඉලක්ක සොයන සාමාන්‍ය මිනිස් ගතිකය සේම කසාත්ස්කි කුමාරයා ද ඉහළ පැළැන්තියේ තරුණියකට විවාහ යෝජනාවක් කළේ ය. ආලයෙන් අන්ධ වූ විට හාත්පස නොපෙනේ. මේ පොදු ධර්මතා සියල්ල තෝල්ස්තෝයි මේ කෙටි ම කෙටි නවකතාව ඇතුළට පාඨක අපට නොදැනෙන සේ රිංගවන්නේ ය.
කොරොත්කෝවා ආදිපාදවරිය වන කසාත්ස්තිගේ පෙම්වතිය බොහෝ උගත් විසින් පතන අන්දමේ රූපයක් හා සමාජ තත්ත්වයක් හෙබි අයකු වූවා ය. විවාහ මංගල්‍යයට දෙසතියක් තියා කසාත්ස්කී මේ ප්‍රේමයෙන් අන්ධ වූ කුමාරයා සිය පෙම්වතිය හමු වීමට යයි. ඒ හමුවීමේදී වූ කතාබහ ඩබ්ලියු. ඒ. අබේසිංහයන් පරිවර්තනය කරන්නේ මෙසේයි.
“ඇගේ අත ගත් හෙතෙම ඒ අත සිප ගත්තේය. ඔහුගේ දෑසට කඳුළු නැඟිති. ඒ කඳුළු, තමාගේ ආදරය පිදීම කෙරෙහි ඔහු තමාට දක්වන කෘතඥතාවේ කඳුළු බැව් ඇය වටහාගත්තීය. වදනිකුදු කතා නැතිව, හේ මදක් ඔබ නොව පිය නැඟීය. ඉනික්බිති ඇය වෙත පැමිණ එතැන ඉඳ ගත්තේය.
“මම ඔයාට කියන්න හිටියේ... නෑ කමක් නෑ... මුලින්ම මම ඔයා හොයාගෙන ආවේ, ආත්මාර්ථකාමී අරමුණකින් බවයි මට වැටහුණේ... මම ඔයාට තියෙන ණය ගැතිකම තේරුම් ගත්තේ අදයි.
“මට මාව හරියට වටහා ගන්න ලැබුණේ ඔයා නිසා. මම හෙව්වෙ සමාජ තත්ත්වයක්. නමුත් ඊට පස්සේ; ඔයාව හඳුනාගත්තට පස්සේ ඔයත් එක්ක ඒ අරමුණ සංසන්දනය කරලා බලන කොට ඒක මොනතරම් නොවැදගත් ද කියලා දැන් හිතෙනවා. ඔයා ඒ ගැන මාත් එක්ක අමනාප ද?
හිණිපෙත්තට ම නඟින ප්‍රේමය ඒ සැණින් ම දෙපා මුල ඇද වැටෙන්නේ නොසිතු විරූ ලෙස ය.
“දේවයන් වහන්සේට අපි කවුරුත් ආදරය කරනවා; ප්‍රේම කරනවා. ඒ කාලෙ වෙන කොට මං ඉස්කෝලෙන් පිට වෙලා. ඒක උමතු ප්‍රේමයක්. දැන් ඒ සේරම අවසානයි. නමුත් මං ඔයාට කියන්න ඕනෑනේ...
ඈ එසේ කී විට ඔහු සියල්ල වටහා ගනී. ජනී ජනයා තැනින් තැන කොඳුරමින් කී කතා සත්‍ය බව පසක් කර ගනී.
“මාව අල්ලන්ඩ එපා. මාව අල්ලන්ඩ එපා. අයියෝ, තී මට තුවාල කළ හැටි”
ආදරයේ දෙවොල් දෙවඟනට අබිසෙස් දුන් ඇය මොහොතින් ’තී’ විය. ජීවිතය එසේය. ඔහු සියල්ල හැර දා නික්ම යන්නේ ය.
ආශ්‍රමයකට නික්ම යන හෝ ආගමික පැවිද්ද ලැබ සර්ජියස් නමින් පැවිදිවරය ලබන්නේ ය. ඒ පැවිදිවරය ලැබුවද පැවිද්දේ සැබෑ සටනට ඔහු මුහුණ දෙන්නේ එතැන් පටන් ය. ගත පුරා නැඟෙන ලිංගික පෙලඹවීම් දමනයේ ලා ඔහු මහත් වෙහෙසක් දරයි. අවසානයේ ‘තම්බිනෝ’ නමැති වනවාසි ආශ්‍රමයට යන්නට සර්ජියස් සිත හදා ගනී. ආශ්‍රමයට ගිය ද ඔහුට ගැලවීමක් නැත. එදා ඔහුගේ පෙම්වතිය; මෙදා දික්කසාද ගැහැනියකව තාපසාරාමයට ඔහු සොයා එයි. කෙසේ හෝ එහිදී සර්ජියස් පියතුමා තම ලිංගික ආශාව පාලනය කර ගන්නේ කෙටේරියකින් දඹරැඟිල්ල කපා ගනිමිනි. සංසාරය කෙරෙහි හා තමා කෙරෙහි කළකිරෙන ඒ ගැහැනිය අවසන මෙහෙණියක බවට පත්වන්නේ ය; ඈ සංසාරය නවත්වන්නට උත්සාහ දරන්නීය.
දබරැඟිිල්ල ද නැතිකර ගෙන ආශාව පාලනය කළ සර්ජියස් පියතුමාට සමාජය නැවත වරක් තම සිත සමාධියෙන් පවත්වා ගන්නට ඉඩ දෙන්නේ නැත. ඔබ මා දන්නා පරිදි ම සංසාරය එසේ ම ය. අවසාන මාරියා නම් ගැහැනියගේ පහස අබියස සිය වෘතය පරාජය වුණු සර්ජියස් පියතුමා ශ්‍රමණ භූමිකාවෙන් ගිහි ජීවිතයට පා තබන්නේ ය. අවසානයේ අනන්‍යතාව ඔප්පු කර ගත නොහැකිව සයිබීරියාවට පිටුවහල් කරන සර්ජියස් ගොවිපළක ජීවත් වෙමින් ගමේ දරුවන්ට උගන්වමින් ද, ලෙඩුන්ට සාත්තු සප්පායම් කරමින් ද සන්තෘප්තියෙන් යුතුව ජීවත් වෙයි.
තෝල්ස්තෝයි ගැන මීට පෙර කිහිප වතාවක් ම රන්සුනු තීරයට ලියූ බැවින් ඔබ තොල්ස්තෝයි යනු කවරෙක්දැයි දැන නොගන්නට විදියක් නැත. එසේ නම් මඳක් සිතා බලන්න: සර්ජියස් පියතුමා නමින් වෙන නමක් යෙදුව ද මේ තෝල්ස්තෝයි ම නොවේද ?
නිර්මාණකරුවාට තමා මුළුමණින් ම අමතක කර නිර්මාණ කරන්නට නොහැකි යැයි අප පවසන්නේ ඒ නිසාය. ලේඛනයේ රන්සුනු සොයා යන ඔබ මේ සියල්ලම කියවා ගත යුතු ම ය. මිනිස් මනසේ වන සංකීර්ණ මනෝභාව කොතරම් සූක්ෂම ද යන්න වටහා ගැනීම; ඔබේ නිර්මාණ පුද්ගල මනස ස්නේහයෙන් පිරිමදින්නට හේතු වනු නිසැක වීම ඊට හේතුවයි. අබේසිංහයන් පොතට ‘සර්ජියස් පියතුමා’ යන නම නොයොදා ‘විරාග සංග්‍රාම’ කියා යොදන්න හේතුව දැන් ඔබට හොඳින් ම වැටහෙනු ඇතැයි මට විශ්වාස ය.