වැස්සට ආදරේ කරන බව
ඔබ පවසයි
නමුත් වැසි වසින කල්හි
කුඩයක් ඉහළා ගෙන
වැස්සට යටින් ගමන් කරන්නේ ය
ඔබ හිරුට ආදරේ කරන බව
ඔබ පවසයි
නමුත් හිරු පායා ඇති කල්හි
සෙවණ ඇති තැනක් සොයන්නේය...
ඔබ සුළඟට ආදරේ කරන බව
ඔබ පවසයි...
නමුත් සුළං හමන කල්හි
ජනෙල් පියන්පත් වසා දමන්නේය
ඉඳින් මට ආදරේ කරන බව
ඔබ පවසන කල්හි
මා තුළ ඇති වන්නේ
මහත්වූ බියකි
බොබ් මාලේගේ ජනප්‍රිය ම මේ නිර්මාණය විවිධ රස කැටි කොට ගත්තෙකි. අප මේ රස, නී රස දෑ ගැන සවිඥානික ය. පුරාණ විචාරකයෝ කාව්‍යයේ හා නාට්‍යයේ තිබෙන රස හයක් ගැන කතා කරති. ඒ හය නම් ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක ඒවා ය.
ජින් පෝල් සාත්‍රේ කියන්නේ මිනිසා බාහිර ලෝකය සම්බන්ධ වන ක්‍රමය මනෝභාවය යැයි කියා ය. මනෝභාවය යනු සිත වර්ණ ගැන්වීමකි. මේ මනෝභාව කලාවට හා සාහිත්‍යයට යෙදූ කල ‘රසය’ වෙයි. අද්‍යතන සිංහල සාහිත්‍යයේ තිබෙන්නේ මධ්‍යම පාන්තික සාහිත්‍යයකි. එහි රසයට වඩා ඇත්තේ අත්දැකීම් ඒ ආකාරයෙන් ම ලිවීමකි. ඔවුහු තම තමන්ට වුණු දෑ ගැන ලියති. තමා නොදන්නා ජීවිත ගැන ලියන්නට තරම් පරිකල්පනයක් ඔවුන් වගා කරගන්නේ නැත. ස්වකීය අත්දැකීම් පමණක් ලිවීමෙන් එය නිර්මාණයක් වන්නේ නැත. එය පරිකල්පනය හා මුසු කර රසයක් ජනිත කළ යුතු වෙයි. රසය යන්නෙන් අලංකාරවාදීන් අදහස් කරන්නේ කිසියම් ක්ෂණික වින්දනයක් හෝ තාවකාලික කම්පනයක් නොවේ. අප සාහිත්‍ය නිර්මාණයකින් විනෝදයට එහා ගිය ගැඹුරු වින්දනීය පරාසයක් බලාපොරොත්තු වන්නේ ඒ නිසා ය.
රස නිෂ්පාදනයේදී අප මුලින් කී පරිදි ම අත්දැකීමකට එහා ගිය පරිකල්පනයක් අවැසි ය. උදාහරණයක් ලෙස කුස ජාතිකය ගනිමු. කුස ජාතකය ආශ්‍රයෙන් පරාක්‍රමබාහු රජතුමත්, අලගියවන්න මුකවෙටි පඬිතුමාත් කාව්‍ය දෙකක් රචනා කළහ. අලගියවන්න මුකවෙටි පඬිතුමා පැරණි කුස ජාතකයෙහි දක්නට ලැබෙන මානුෂික සම්බන්ධතා පිළිබඳ විග්‍රහයක් නොකර ජාතක කතාව ඒ ආකාරයෙන් ම පද්‍යයට නැඟීය. එහෙත් පැරකුම්බා රජු පැරණි ජාතක කතාවෙහි එන විවිධ මානුෂීය සබඳතා වඩාත් සියුම් ව විග්‍රහ කර දක්වයි. මනමේ ද එපරිදි ය. සරච්චන්ද්‍රයෝ ප්‍රශ්න කරති; අපට සිතන්නට යමක් ඉතිරි කරති. එනයින්ම කව්සිළුමිණි කවියා ද තර්ක කරයි. පෙනෙන්නට තිබෙන අරුතට එහා යමක් සොයයි. රස වෙනස් ආකාරයෙන් දනවන්නේ එසේ ය. එය තීරණය වන්නේ නිර්මාණකරුවාගේ සාහිත්‍යයික පරිමාව, පෞරුෂය අනුව ය. ලේඛනයේ රන්සුනු සොයන අප මේ එළැඹුම් හා ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කිරීම වැදගත් ය. රස, රසයක් කරන්නේ කෙසේද යන්න සමඟින් ඔබට, මට අරුත් සැපයෙන්නේ ය.
ඇසට පෙනෙන, කනට ඇසෙන, සිතට සිතෙන දෙය දෘෂ්‍යමානය නම් වන බවත් එහි සත්‍යයක් නැති බවත් ඔබ දන්නේ ය. සත්‍ය වෙත ළඟාවීමට නම් මේ දෘෂ්‍යමානයට එහා මතුපිට තතු විනිවිඳ යා යුතු ය. කලාකරුවා කරන්නේ ඒ මතුපිටට ඔබ්බෙන් වන දෑ සොයා යෑම ය. කලා නිර්මාණ ජීවිත පරිඥානය උදා කරන්නේ එපරිද්දෙනි. කලාව ජීවිතය ඥානනය කරයි කීව ද යථාර්ථය ඥානනය කරයි කීවද ඒ දෙක ම එකක් වන්නේ: කලාකරුවා සිය කලා කෘතියට විෂයය කරගන්නේ එක්කෝ පුද්ගලයකු වීම ය; නැතිනම් පුද්ගල ඛණ්ඩයක් වීම නිසා ය. එසේත් නැතිනම් පුද්ගලයකුට වන දේ කීවත්, ඔහු අයත් සමාජයට වන දේ කීවත් දෙක ම එක ම ය. කලාව හා සාහිත්‍ය සුවිශේෂය මඟින් සාමාන්‍ය නිරූපණය කරන්නේ යැයි කියන්නේ ඒ නිසා ය.
පුද්ගලයකුට හෝ සමාජ ඛණ්ඩයකට බාහිර ලෝකයේ ඔවුන්ගේ ජීවිතවල සිදු වෙමින්, විකාශනය වන දේ කියූ විට එය යථාර්ථවාදී වෙයි. එසේ නැතිව නවකතාකරුවා, කෙටිකතාකරුවා තම සිතේ තිබෙන දෙයට චරිත පැටවූ කල්හි එය යථාර්ථ විරෝධී හෙවත් විඥානවාදී වෙයි. ජීවිතය යනු එක තැනක පල් වෙන දෙයක් නොවේ. එය නිරන්තරයෙන් වෙනස්වන සුලු ය. මිනිසා යනු සෑමවිටම සොබා දහමෙන් හා ජීවත්වීමෙන් දිනාගත් අඩ ද ඉතිරි අඩ දිනා ගැනීම සඳහා ද අරගල කරන්නෙකි.
ඇතැම් සාහිත්‍ය කෘති මඟින් ජීවත්වන විදියත්, හාත්පස සමාජයත් එක එල්ලේ ම ප්‍රකට වේ. තවත් සමහර නිර්මාණ ඔස්සේ ජීවිතය විදාරණය වන්නේ වක්‍රෝත්ති මාර්ගයෙනි. උදාහරණ ලෙස ඔබ අප කවුරුත් දන්නා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ම කෘති දෙකක් ගනිමු. වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය වැඩවසම් යුගය හා තත්කාලීන සමාජ යථාර්ථවාදී අත්දැකීම පාඨක අප හමුවේ තබයි. විරාගය ඊට හාත්පසින් ම විරුද්ධ වූ ආරක් ගෙන මානසික සමාජයීය විරල අත්දැකීමක් අපට තිළිණ කරයි. එකකින් අවට සමාජය එක එල්ලේ විදාරණය කරන අතර; තවකකින් මානසික ඝට්ටනය ලියයි.
ලියෝ තෝල්ස්තොයිගේ ‘ඇනා කැරනිනා’ ගතහොත් ඇනාගේ සජීවි චරිත වියමන විසින් සමාජයීය කාරණා විවේචනාත්මක ඇසින් පාඨකයාට කතුවරයා ලබා දෙයි. ඒ අත්දැකීමේ අපත් කොටස්කරුවන් නොවේ දැයි ඔබට, මට සිතෙයි. සමාජය හා මිනිස් සිතෙහි වන අභ්‍යන්තරික අරගලය මනාව සුසංයෝග කිරීම ලේඛකයාගේ පුළුල් බවට හා රසයෙහි නිපුණ බවට සාධක ය. ජීවන අරගලයේ සෑම අංශුවක් ම කලාව මඟින් ග්‍රහණය කර ගැනීම කලාකරුවාගේ ප්‍රයත්නයයි. කලා කෘතියක රස වන්නේ මේ සියලු දෑ ය. සියල්ල ජරාජීර්ණ වූ යුගයක කලාවේ මූලික රසය ගොනුවෙන්නේ කරුණ රසයට ය. කරුණ රසයට පාදක වන්නේ ශෝකය යි. ජීවත්වීමේ ගැටලුව මේ සියල්ලට උඩින් වේ.
ලෝකයේ හැම තැනම එහෙ ම ය. හොඳ ම ග්‍රීක නාට්‍ය ද, ශේක්ස්පියර්ගේ හොඳ ම නාට්‍ය ද රුසියාවේ හොඳ ම සාහිත්‍ය කෘති ද ශෝකාන්ත වී ඇත්තේ ඒ නිසා ය.