සකල සිරින් පිරි කවි කොළේ
කර්තෘ : පරාක්‍රම කොඩිතුවක්කු
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
මිල : 975.00
පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ පළමු වන මහා පර්යේෂණ ග්‍රන්ථය “සකල සිරින් පිරි කවි කොළේ” යනුවෙන් නාම ගන්වා තිබේ. “මහා” යන විශේෂණ පදය රචකයා වෙනුවෙනුත් කෘතිය වෙනුවෙනුත් භාවිත කළේ අතිශයෝක්තියකින් නොවේ. එපමණට ම මෙය පාඨක විචාරක අවධානයට යොමු විය යුත්තකි. විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු කළ යුතු කටයුත්තක් සරසවි අධ්‍යාපනයක් නොලැබූ පරාක්‍රම ඉටු කිරීම කෙතරම් ඉහළින් අගය කළ යුතු කර්තව්‍යයක්ද?
“පෙර බසක් හැටියට මෙය කියවන රසිකයාට මට කියන්නට ඇත්තේ ඉතා කෙටියෙන් දිගු කතාවකි. කවි කොළය මුලින්ම මගේ ඇස ගැටුණේ බාලාංශයෙහි උගන්නා කාලයේදීය. මා සමඟ සති පොළට යන අම්මා කවි කොළකාරයා ඇවිත් සිටී නම් ඉඳ හිට කවි කොළයක් ගනියි. ඒ 1950 අවධිය ය.” “පෙර කියැවුම” යනුවෙන් රචකයා කරන ප්‍රථම ආමන්ත්‍රණයෙන් උපුටා ගත් වැකි සතරකි ඒ. එයින්ම ධ්වනිත වන්නේ බොහෝ දෙනාගේ සැලකිල්ලට භාජනය නොවූ කවි කොළ සාහිත්‍ය පිළිබඳ කොඩිතුවක්කු ගේ අවධානය යොමු වීම කෙතරම් ඈතකට දිව යන්නේ ද යන කරුණකි. නූගත් සුළු කවීන්, ගස් යට කවීන්, ගොඩ කවීන්, ඇවිදින කවියන්, කැලෑ කවියන් යනුවෙන් අවඥාවෙන් බැහැර කළ පිරිසක් උපන් කවියන් ලෙස හැඳින්වීමට රචකයා මඳක් හෝ මැළි වී නැත. ඒ අනෙකක් නොවේ. මේ පර්යේෂකයාගේ ජන විඥානයයි.
නූතන සිංහල කවිය හෙවත් කොළඹ යුගයේ සිංහල කවිය ශාස්ත්‍රීය පදනමක් මත යුග තුනකට බෙදුවාක් මෙන් පරාක්‍රම කවි කොළ කිවිවරුන් යුග දෙකකට බෙදා දක්වා තිබේ. 1865 සිට 1950 වන තුරු පළමු පරපුරට අයත් කවි කොළ කිවියරුන් තිස් දෙනෙකුත්, 1950 සිට 2010 වන තුරු රචකයන් හතළිස් හත් දෙනෙකුත් හඳුන්වා දී තිබේ. කිසියම් පර්යේෂණ ග්‍රන්ථයක් බිහි කිරීමේ අනුගමනය කළ යුතු පිළිවෙත කවරේදැයි මහාචාර්ය ගතාරේ ධර්මපාල හිමියෝ “පර්යේෂණ විද්‍යාව” නම් කෘතියෙන් පෙන්වා දී ඇත්තාහ. කොඩිතුවක්කු වියතාණන් එකී මඟින් බැහැර නොවීම ඔහුගේ කෘතියෙහි අගය තවත් කුළු ගන්වන්නකි.
රචකයා මාතෘකා තිස් තුනක් ඔස්සේ කවි කොළය ගැන සාකච්ඡා කිරීමේදී එහි රූප ලක්ෂණ, විරිත් විසිතුරු, රසමඟ, කවි කොළයේ තාක්ෂණය ගැන කතාබහ කිරීමට අමතක කර නොමැත. ජෝර්ජ් බර්නාඩ් ෂෝ වැනි බටහිර දාර්ශනිකයන්ගෙන් අරඹා මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මුල්ලපිටියේ කේ.එච්.ද සිල්වා විජේසිරිවර්ධන, කුමාරි ජයවර්ධන, ආනන්ද කුමාරස්වාමී වැනි දේශීය පඬිවරුන්ගේ මති මතාන්තර ද රචකයා අවස්ථාවොචිතව ඇඳාගෙන තිබේ. අප රට කවි කොළකරුවන් පමණක් නොව, ඇලන් ගින්ස්බර්ග් නම් සුප්‍රකට ඉංග්‍රීසි කවියා බංග්ලාදේශයේදී විරචිත “සැප්තැම්බර් මාසයේ ජේරිස් පාරේදී” යනුවෙන් නම් කළ ලොව දිගු ම කවි කොළය පරිවර්තනය කර සිය කෘතියට ඇතුළු කිරීමට ද පරාක්‍රම කොඩිතුවක්කු වග බලාගෙන තිබේ. ජනතා සාහිත්‍යයට අයත් කවි කොළය පිළිබඳ ව සාකච්ඡා කිරීමේදී යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම, සීගිරිගී අප රට බිහි වූ මහා කාව්‍ය, බණ්ඩ කාව්‍ය මෙන්ම, තෙරීසා, අපේ ආගම, ජයතිස්ස සහ රොසලින්, ගම්පෙරළිය ආදී නවකතා ද අවස්ථාචෝචිත පරිදි රචනා ඇඳාගෙන තිබීම මේ කෘතිය කෙතරම් පිරිපුන් පර්යේෂණ ග්‍රන්ථයක් ද යන කරුණ මැනවින් තහවුරු කරයි.
කවර ශාස්ත්‍රීය මාර්ගයක් අනුගමනය කළත්, කොඩිතුවක්කු කවියා සුපුරුදු හෘදයංගම බවින් ඈත් නොවීමේ ගුණයත්, සිය දෘෂ්ටිමය ආස්ථානයෙන් විනිර්මුක් නොවීමක් මෙහිදී කැපී පෙනෙන ගුණාංගයක් ලෙස දැක්විය යුතුය. එතැන්හිදී මහනුවර යුගයේ කවි කලාවට රචකයා මෙසේ ගමන් කරයි.
“ගුණේ පණේ ඇති ගණේ වලව්වෙන්
වී කෙටුමට පණිවිඩ ආවේ
වී කෙටුවා මිස දුන්නු දෙයක් නැත
හඳපානේ ගෙදරට ආවේ
අනේ මගේ ළමයිනේ අඬන විට
මොනවද මම නුඹලට දෙන්නේ
විෂ්ණු සමන් දෙවියෝ සිටියා නම්
මැණිකේ හතරට පළනවනේ
ගණේ වලව්වේ සිවුරු පොරවා නොගත්, එනමුත් හාමුදුරුවනේ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට සිදු වූ ප්‍රභූ පන්තියට එරෙහිව නැඟුණ මේ ශාපය සමඟ කවියා සසඳන්නේ චන්නකින්නර ජාතකය නොව, ඊට වඩා ජනතාවාදී වූ සඳ කිඳුරුදා කවයි.
රජකම් කරන සැටි කදිමයි බලු ජඩයා අද අප කුමට වෙන් කෙරුවේ ද පාඩියා එතැනින් ද නොනවතින රචකයා 1816 බිහි වූ ඇහැලේපොළ හටන් කව වෙත ගමන් කරයි. මෙහිදී අපට පරාක්‍රම කොඩිතුවක්කු ගේ පළමු කාව්‍ය සංග්‍රහයෙහි ඇතැම් නිර්මාණ මෙන්ම “පුරන් අප්පු” සිනමා කාව්‍ය උදෙසා විරචිත ගේය පදමාලාව ද සිහිපත් වීම වැළැක්විය නොහැකිය.
“කෙසේ මැවුණාද ඒ සසිරි කවි කොළය” යනුවෙන් නම් තබා ඇති උක්ත පරිච්ඡේදය ආරම්භයේ දී මුල්ලපිටියේ කේ.එච්.ද. සිල්වා විද්වතාණන්ගේ ප්‍රකාශයක් උද්ධරණය කරමින් අප ගේ ජාතික උරුමය රැකගෙන එය සංවර්ධනය කළ සතර දෙනාට කවි කොළ කවියා ද ඇතුළත් වන බව පවසයි. එය ද මේ කවි කොළ කවියාට පිරිනැමිය යුතු අසුන මැළි නොවී පිළිගැන්වීමකි. මේ යථාවාදය සමඟ ලේඛනයට පිළිපන් රචකයා ම ය.
සිංහල බෞද්ධ යැයි කියා ගන්නා මේ සමාජයේ කුරිරු බව, ජඩ බව පුවත් පත් පරයා ජනතාව වෙත රැගෙන ගියේ කවි කොළ කවියා ය. දේශපාලන ගැටුම්, ඇති නැති පරතරය හේතු කොටගෙන සිදු වූ ඛේදවාචක, මහා අපරාධ පමණක් නොව, සොබා දහම් විපත්, අරුම පුදුම සිදුවීම් කවි කොළ කවියා ගේ වස්තු විෂය බවට පත්විය. මේ කවරක් පාදක කර ගත්තත් එතැන කලාවක් විය. ප්‍රතිපූර්ණ රචකයෙක් මතු විය. එක කවි කොළයකින් එදා පිටපත් ලක්ෂ ගණනක් සමාජය වෙත රැගෙන ගිය පිය පුතු යුවළක් පිළිබඳව කවි කොළ සාහිත්‍යයේදී කතා නොකරම බැරිය. මීගහතැන්නේ මැදිවත්තේ මාටින් අප්පුහාමි, ප්‍රේමවංශ ඩී පොද්දෙණිය ඔවුන් දෙදෙනාය. “හිරමන පහර දි මෙහෙකාරිය මරා පෝරණුවක පුලුස්සා දැමීමේ දුක්මුසු පුවත හෙවත් දනපති නෝනලා ගේ දරදඩුකම්” දෙමාපියන්ගෙන් දුරස් වී බංගලාවක මෙහෙකාරියක වූ කුසුමාවතී ගැන පැවසීමට මාටින් අප්පුහාමි යෙදූ මාතෘකාවයි මේ. මෙලෙස ඉතා දිගු නාම ගැන්වීම් කවි කොළ රචකයන්ට අනන්‍ය වූවක් බවද කිව යුත්තකි.
“මනහර සිරිලක උතුරු පළාතේ
හොරගස් තැන්නය නැමැති ගමේ
ගුණවත් කිරිනේරිස් විසුවේ
නම්බුව රැකගෙන තමගෙ නමේ
දුවණිය නාමය කුසුමාවති වෙයි ඇය ගේ
මව පරලොවට ගියා
තව අවුරුදු තුන හතරක් පමණයි
දුවගේ සැප දුක් බැලුවෙ පියා” මාත්‍රා තිහක දිගු විරිතකින් කතාව අරඹන රචකයා පළමු කවියේම තුන්වන හතරවන පාදවල දී ගේය කාව්‍යකාරයෙකුට ළං වෙන බව අප ගේ පෞද්ගලික හැඟීමයි. කවි කොළ රචකයාට සිව් පද කවි නොව, ගීත රචනා කිරීමේ හැකියාව ද තිබූ බව ඉන් ධ්වනිත ය. අනතුරුව රචකයා බිය සැක නැතිව මාත්‍රා දහ නවයක විරිතකට මාරු වෙයි.
“දැලි කුණු වැකුණු ඇඳගෙන රෙදි කඩමල්ල
හැලි හැලි කඳුළු කී මුත් දුක මැසිවිල්ල
පොලියත් සමඟ ගුටි කෑවා මෙම කෙල්ල
ගුලියකි යකඩ මහ නෝනගෙ හද පල්ල”
මෙය අද්‍යතන කාව්‍ය රචකයෙකුගේ කවියට දෙවැනි නොවන බව කීමට අප පසු බට විය යුතු ද?
මෙවන් කවි කොළ නූතන කෙටි කතා පරිද්දෙන් ගැමි ජනයා නිෙවසට රස විඳි බවද මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ප්‍රකාශ කළේ යයි ද පරාක්‍රම කොඩිතුවක්කු සඳහන් කර තිබේ.
“ඔබේ දුවට මෙහෙම වුණේ ඇයි? තරුණ පාසල් සිසුවිය දරුණු සමාජයට ආදර්ශයක් දී, දිවි නසා ගැනීමේ දුක් මුසු පුවත” මැයෙන් ප්‍රේමවංශ ඩී. පොද්දෙණිය විරචිත කවි කොළයද කාව්‍යමය ගුණයෙන් අනූන නිර්මාණයකි.
“වැඩිදුර ඉගෙන ගන්නට වාසිටිය තුළ
දැඩි අදහසින් මා මෙහෙයුම ලබන කල
පොඩිකර දමා මගෙ සිත දහිරි බල
වෙඩි පහරක් වගෙයි දුක් හදවතෙහි ගිල
කොලු පැටියෙක් වගේ නොපනත් කමෙහි ගැලී
සෙළුවෙන් නටයි බීමත්කම සිතෙහි ඇලී
බැලුවම පියතුමනි ඔබෙ මේ පතිය කෙළී
පුළුවන් වෙයිද දුවණිට ඉගෙනුමට යළි
බේබදු වනචර පියකු හේතු කොටගෙන ජීවිතයට සමුදුන් මේ සිසුවිය පිළිබඳ ඛේදවාචකය පාදක කරගත් කවි කොළය පරාක්‍රම කොඩිතුවක්කු සසඳන්නේ සිල්වියා ප්ලාත් නම් බටහිර කිවිඳිය ගේ නිර්මාණයක් සමඟ ය. මෙය එතරම් උත්තරීතර ය.
උදේනි ධර්මවර්ධන කවියා විරචිත කවි කොළ කුළු මී හරකුන් සමඟ වනාන්තරයෙහි හැසිරෙන කැලෑ කෙල්ලක් ගැන ය. එහිදී රචකයා පාඨක සන්තානයෙහි කරුණ රසයක් ජනනය කරන අතර, එවන් තැනැත්තන් තැනැත්තියන් පිළිබඳ ව පර්යේෂණ පවත්වන පර්යේෂකයකු බවට ද පත් වී ඇතැයි හැඟේ
“වැදි කෙල්ලක් නොවේ පය කුර ඇති සන්දා
මිනිස් නොවේ දිගු ලොම් ඇඟ ඇති හින්දා
කිඳුරියක් ද නොවේ වරල් ද නැති සන්දා
දෙවිදුවකත් නොවේ සැම දු එන හින්දා”
මිනිස් තිරිසනුන්ගේ සම්බෝග වල
මෙහෙමට උණත් සිදු වී තිබෙයි පෙර කල
ඒ ගැන කතා ලියවී තිබේ පොත්වල
සෙවුමට වටින පුවරක් කිමැයි සුලමුල”
මෙය විරචිත උදේනි ධර්මවර්ධන අද දවසේ මායා යථාස්වාදයට ප්‍රමුඛස්ථානයක් දෙමින් නිර්මාණයෙහි නිමග්නවන නිර්මාණකාරකයකුගෙන් වෙනස් වන්නේ කෙලෙසද?
කලාකරුවන්ට, කලාකාරියන්ට පෙම් බැඳි කවි කොළ පිළිබඳ ව විග්‍රහ කරමින් එච්.ඒ.ඇස්. පෙරේරා රමණි බර්කෝලමියුස්ගේ ඝාතනය ගැන විරචිත කවි පත්‍රිකාව මෙහි පළ කර තිබේ. මේ ඉන් උපුටාගත් පැදි දෙකක් පමණකි.
“රැඟුමට මෙන්ම ඇයගේ කටහඬ මදුර
සැරසුවෙ පැල්පතද මහා දනපති මැඳුර
මැය ගේ වියෝවෙන් විහිදුවමින් අඳුර
දුක් වී සැලේ වැට අද්දර උණ පඳුර
වාහනයකින් පැන මැරුණා නම් එහෙම
විස්තර කරනු බෑ මරණය ගැන මෙම
දඟලා පොරබදා ඇති ලකුණයි ඈම
මේ වගෙ මරණ ඉවසනු නොහැකිය බෝමා”
“භාග්‍යා” ටෙලි නාටකයට ඇතුළත් ඈ ගැයූ ලෙස ඉදිරිපත් කළ “ආජු තපර ලාහිලා” ගීතය උපුටා දක්වමින් අරඹා ඇති මෙය, රවින්ද්‍ර රන්දෙණිය හා මහේස්ත්‍රාත් ප්‍රකාශයෙන් ද පිරිපුන් බවට පත් කර තිබේ.
කවි කොළ රචකයන් සමඟ පැවැත්වූ සාකච්ඡා, පැරණි කවි කොළවල ඡායා පිටපත් කවි කොළ රචකයන් ගේ අත් අකුරු, ඔවුන්ගෙන් ඇතැමකුගේ ඡායාරූප පමණක් නොව, කවි කොළ රචකයන් මුදුණාලකරුවන් සමඟ පැවැත්වූ සබඳතා ද මෙහි විග්‍රහ කර තිබේ.
මේ සියල්ලෙන් සන්නද්ධ පරාක්‍රම කොඩිතුවක්කුගේ “සකල සිරින් පිරි කවි කොළේ” පාඨක විචාරක පමණක් නොව, වගකිව යුතු බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර විය යුතු අගනා පර්යේෂණ ග්‍රන්ථයක් ලෙස ලියා තැබීමට අපි පසුබට නොවෙමු.