‘දිනමිණ’ සහ ‘සිළුමිණ’ පුවත්පත්හි සිතුවම් ශිල්පියකු සහ ලේඛකයකු ලෙස කටයුතු කරන දර්ශ කපුගේ නම් වන ඔහු දශක දෙකකට අධික කාලයක් නිර්මාණය කළ චිත්‍ර අතරින් තෝරාගත් සිතුවම් කිහිපයක් සහ විවිධ මාධ්‍ය භාවිත කරමින් ඇඳි සිතුවම් කිහිපයක් එළැඹෙන ඔක්තෝබර් 08 සහ 09 යන දෙදින ‘දර්ශගේ සිත්තම්’ නමින් පානදුර නගර ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. මෙහිදී ඔහුගේ නමින් වෙබ් අඩවියක් ද විවෘත වේ. මේ ඒ පිළිබඳව තබන සටහනකි.
දර්ශ කපුගේ ඉගෙන ගත්තේ ඇල්පිටිය ආනන්ද විදුහලෙනි. පාසල් යන අවදියේ සිටම චිත්‍ර ශිල්පයට දස්කම් දැක්වූ නිසාම පාසලේත් ප්රදේශයෙත් විවිධ කලා කටයුතුවලට කුඩා කල සිටම සම්බන්ධ වීමට අවස්ථාව උදා විය. ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයකුත් වූ හෙතෙම විවිධ කලා අංශවලට යොමු විය. කලා ක්ෂේත්රයෙන් ම ඉදිරියට යෑමට සිත යොමු කළ ඔහු අධිෂ්ඨානය කිසිවිටෙක අත් නොහැරියේය. කපුගේ ගේ පියා ඉන්ද්‍රා කපුගේ ප්‍රදේශයේ කලා කටයුතුවලට මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකු වූ බැවින් නිෙවස තුළ තිබූ කලා පරිසරය ඔහු ගේ ගමනට ලොකු පිටිවහලක් විය.
දිනක් පන්ති භාර ගුරුතුමිය වූ බර්තා ගුරුතුමිය විසින්, යම් බරක් පටවාගෙන යන මිනිසකුගේ සිතුවමක් අඳින්න යැයි පැවසුවාය. කෙටි කාලයක් තුළ එය අවසන් කළ දර්ශ ගුරුතුමියට පෙන්වීය. ඇය පුදුමයට පත්වී එම චිත්‍රය අනිකුත් ළමයින්ට ද පෙන්වා අගය කළා ය. එ් චිත්‍රය විනාඩි කිහිපයක් තුළ අනිකුත් පන්ති කාමරවලටත් අතින් අත මාරු විය. එක මොහොතකින් චිත්‍ර ශිල්පියකු ලෙස ඔහු කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත් විය.
මුල්කාලයේ පාසලේදී විෂයක් ලෙස චිත්‍ර කලාව හැදෑරුව ද පසුව දර්ශට චිත්‍ර ඉගෙන ගැනීමට සිදු වූයේ තනිවම ය. පාසල් වියේදීම චිත්‍ර කතා අඳින්න වැඩි ඇල්මක් දැක්වූ ඔහු මිතුරන්ගේ පොත්වල පවා චිත්‍ර කතා වීරයන්ගේ සිතුවම් ඇන්දේය. මේ නිසා ගුරුවරුන්ගෙන් අනන්තවත් බැණුම් ඇසුවේය. ඒ කාලෙදිම බැනර් ඇඳ යම් මුදලක් උපයා ගැනීමට දර්ශට හැකි විය. දර්ශ චිත්‍ර කතා ඇඳගෙන කොළඹ පත්තර කන්තෝරු ගානේ ඇවිදින්නේ ඒ මුදල්වලිනි. ඔය අතරතුර ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්ධුල හරිශ්චන්ද්රගෙන් ගුරුහරුකම් ලබන්නට හේ වාසනාවන්ත විය.
පුවත්පතක දර්ශගේ නිර්මාණයක් මුලින්ම පළ වූයේ ‘රැජින’ (1989 වසරේදී) කාන්තා පුවත්පතෙහි ය. ඒ ඔහු පාසල් අවධියේදී ඇඳී චිත්‍ර කතා දෙකක් එහි පළ වීමත් සමඟ ය. ඒ සඳහා ඔහුට උදව් කොට තිබුණේ පුවත්පත් කලාවේදී තිලක් සේනාසිංහ මහතා ය. මේ සමඟම ඔහුගේ විශ්වාසය සහ වුවමනාව තවත් වැඩි විය.
1991 වසරේදී ‘රස’ සිනමා පුවත්පතෙහි නළුනිළියන්ගේ රුව සිතුවමට නඟා පළ කරන්නට දර්ශට අවස්ථාව ලැබිණි. එම විශේෂාංගය බොහෝ සෙයින් ජනප්‍රිය විය. මෙනිසා කර්තෘ අර්නස්ට් වඩුගේ මහතාගේ උදව් ඇතිව එම ප්‍රකාශන ආයතනයෙහි චිත්‍ර ශිල්පියකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට දර්ශට අවස්ථාව උදාවිය. ‘සුවඳ’ යොවුන් පුවත්පතෙහි ‘සුලෝචනා’ නමින් චිත්‍ර කතාව ඇන්දේ ඔහු ය. එය තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඉන් චිත්රශිල්පියකු ලෙස නමක් දිනා ගැනීමට දර්ශට හැකි විය. අනතුරුව ‘ජීවිතය’ පුවත්පතටත්, මෑත කාලීනව නිකුත් වුණු ‘ඉරිදා සියදෙස‘ පුවත්පතටත් ඔහු චිත්‍ර කතා ඇඳීමෙන් සහ ලේඛනයෙන් දායක විය. ‘රස‘ ප්‍රකාශන ආයතයෙහි වසර 10ක් පමණ සේවය නිම කර විවිධ පුවත්පත් හා සම්බන්ධ වී නිදහස් මාධ්‍යවේදියකු හා චිත්‍ර ශිල්පියකු ලෙස ඔහු කලක් කටයුතු කළේය.
පසුව පත්තර කලාවෙන් තරමක් දුරට ඈත් වූ දර්ශ ළමා කතන්දර පොත් නිර්මාණයට පෙලඹිණි. එතැන් පටන් මේ දක්වා ළමා කතන්දර පොත් 60ක් පමණ එළිදැක්වා ඇති ඔහු, වෙනත් කර්තෘවරුන්ගේ පොත් සඳහා කවර නිර්මාණය කිරීමට පෙලඹිණි. ඒවා ගණනින් 100කට අධික විය.
කාටුන් ශිල්පියකු වන්නට බලාපොරොත්තුවක් ඔහු තුළ නොතිබුණද පසුකාලීනව කාටුන් ඇඳීමට යොමුවීමෙන් ඔහුගේ සිතුවම් ශීල්පී හැකියාව ඔප්නැංවිණ. ලැබෙන ඕනෑම අභියෝගයක් සතුටින් බාරගැනීම ඔහුගේ සාර්ථකත්වයට හේතු විය. මේ නිසාම ඔහු විසින් නිර්මාණය කළ කාටුන් සමාජය තුළ ඉක්මනින් ජනප්‍රිය විය. පසුකාලීනව ‘දිනමිණ‘ පුවත්පතෙහි ප්‍රධාන කාටුන් ශිල්පියා බවට පත්වන දර්ශ ‘සිළුමිණ‘ පුවත්පතෙහි ද දේශපාලනඥයන් කාටුන් සිතුවමට නැඟීමට අවස්ථාව උදා කර ගන්නේය. මෙයින් වඩාත් පාඨක ආකර්ෂණයක් දිනා ගැනීමට ඔහුට හැකි විය.
මේ වන විට කාටුන් යනු පුවත්පතකට අත්‍යඅවශ්‍ය අංගයකි. ඒ ප්‍රබල අදහසක් සංක්ෂිප්ත කොට කුඩා කටු චිත්රයකින් කුළුගැන්වීමට ඇති හැකියාව නිසා ය. එමෙන්ම එක දිගට කියවාගෙන යන පාඨකයාට ඉන් යම් වින්දනාත්මක විවේකයක් ද ලැබේ. එනයින් පුවත්පතකට හොඳ චිත්‍ර ශිල්පියකුගෙන් ලැබෙන ආලෝකය අතිවිශාලය. පුවත්පතක් වඩාත් විචිත්‍රවත් වන්නේ ඔවුන්ගේ දායකත්වය නිසා ය. දර්ශ වැන්නකුගෙන් පුවත්පතකට ලබා ගත හැකි ප්‍රයෝජන බොහෝය. මන්දයත් පත්තර කලාව තුළ ඕනෑම අංශයක වැඩ කිරීමේ සුවිශේෂී හැකියාව සහ පළපුරුද්ද ඔහු සතු නිසාය.
දීර්ඝ කාලයක් දර්ශගේ සිතේ තිබුණු සිහිනයක් මල්පල ගැන්වීමක් ලෙස ‘දර්ශගේ සිත්තම්‘ සිතුවම් දැක්ම හැඳින්විය හැකිය. මෙහිදී ඔහු විසින් පුවත්පත් සදහා නිර්මාණය කරන ලද සිතුවම් මෙන්ම කාටුන් නිර්මාණ සහ වෙනත් චිත්‍ර මීට එක්කර ඇත. තෙල් සායම්, ඇක්‍රිලික්, දිය සායම්, පැස්ටල් වැනි විවිධ මාධ්‍ය ඔහු මෙහිදී භාවිත කර ඇත. සිතුවම් 250කට වඩා ප්‍රදර්ශනයට ඇතුළත් වේ. එක් මාධ්‍යකට සහ රාමුවකට සීමා නොවී, විවිධාංගයෙන් යුතු නිර්මාණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වීම මේ ප්‍රදර්ශනය නැරඹීමට එන අයට අලුත් අත්දැකීමක් ද වෙයි. මෙය සාර්ථක කරගැනීමට පාණදුර වත්මන් නගරාධිපති නන්දන ගුණතිලක මහතා හා මේ සඳහා අනුග්‍රාහක දායකත්වය දුන් සයින් ආර්ට් ඇඩ්වර්ටයිසින් ආයතනයට දර්ශ සිය කෘතඥතාව පළ කරයි. ඔවුන්ගේ දායකත්වය නොලැබෙන්නට මෙය සිහිනයක් වීමට තිබූ බව දර්ශගේ වැටහීම ය.