මාධ්‍ය භාවිතයේදී ඉවසිල්ල වගේම විමසිල්ලත් අත්‍යවශ්‍යයි | Page 3 | සිළුමිණ

මාධ්‍ය භාවිතයේදී ඉවසිල්ල වගේම විමසිල්ලත් අත්‍යවශ්‍යයි

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි පෙළහර පාමින් ඉතා දුෂ්කර ගමනක් ඔස්සේ ඉදිරියට පැමිණ විසිපස් වසරකට ආසන්න කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයෙහි නිරතව සිටින නලින් කුමාර නිශ්ශංක සිය මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් අළලා ලියන ලද "ජන සන්නිවේදනයෙහි නූතන ව්‍යවහාරය" කෘතිය සහ වර්තමාන මාධ්‍ය කලාව පිළිබඳ දැක්වූ අදහස්හි සංක්ෂිප්තයයි මේ.

ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ආකාරය පිළිබඳව සඳහන් කළොත්,

කුඩා කාලයේ සිටම මාධ්‍ය කෙරෙහි මට තිබුණේ විශාල උනන්දුවක්. ඒ නිසාම අනුරාධපුරේ වගේ ඈත ගමක සිට උසස් පෙළ වයසේදී කොළඹට ඇවිත්, තනියම වෙහෙස වෙලා උසස්පෙළ හදාරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබලා, ඒ අතරේදී මාධ්‍ය සමගාමී ක්‍රියාකාරකම්වලත් නිරත වුණා. ඉන් පසුව මුලින් ම මම සම්බන්ධ වෙන්නේ විද්යුත් මාධ්‍යයට. එතැන් පටන් මේ වනතුරු දීර්ඝ කාලයක් ඔස්සේ තිස්සේ විද්යුත් සහ මුද්‍රිත යන මාධ්‍ය දෙකෙහිම ක්‍රියාකාරී මාධ්‍යවේදියකු ලෙස තවමත් ක්ෂේත්‍රයේ සිටිනවා.

" ජන සන්නිවේදනයෙහි නූතන ව්‍යවහාරය " වැනි කෘතියක් රචනා කරන්නට ඔබට සිතුණේ ඇයි?

දිගුකාලීන මාධ්‍ය ජීවිතය තුළ මා ලබාගත් අත්දැකීම් බොහොමයි. ප්‍රායෝගිකව සහ අධ්‍යයනයෙන් මා ලබාගත් ඒ දැනුම අනාගත පරම්පරාවලට සුරක්ෂිත කරන්නට ඇති උවමනාව නිසයි මම මේ කෘතිය සකස් කළේ. මාධ්‍ය ක්ෂේත්‍රයේ විෂය දැනුම ලබාදෙන්න නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වුණත් ප්‍රසිද්ධ මුද්‍රණයක් ලෙස එළි දකින මගේ ප්‍රථම ව්‍යායාමය "ජනසන්නිවේදනයෙහි නූතන ව්‍යවහාරය". ජනසන්නිවේදනය සඳහා උපාධිය හැදෑරීමේදී මා විසින් එක්රැස් කරගත් යම් යම් කරුණු මම මේ කෘතිය සඳහා උපයෝගි කරගත්තා. ඒ ඔස්සේ අධ්‍යන කටයුතු කරන සිසුන්ට උපකාරක ග්‍රන්ථයක් ලෙසයි මම මෙය සම්පාදනය කළේ.

"සන්නිවේදනයෙහි නූතන ව්‍යවහාරය" කෘතියෙහි අන්තර්ගතය කා වෙනුවෙන්ද?

ජනමාධ්‍ය විෂයක් ලෙස මුලින්ම පැමිණියේ උසස් පෙළ විෂය ක්ෂේත්‍රය සඳහා. නමුත් මේ වන විට සාමාන්‍ය පෙළ සිටම ජනමාධ්‍ය හදාරන්නට හැකියාව තිබෙනවා. මම මේ කෘතියෙහි අන්තර්ගත කර තිබෙන්නේ උසස් පෙළ සහ විශ්වවිද්‍යාල පළමු සහ දෙවන වසර සිසුන් සඳහා අවශ්‍ය වේ යැයි සිතිය හැකි විෂය කරුණු. අධ්‍යයනයෙන් එකතු කරගත් කරුණුවලට අමතරව එක්තරා විද්‍යුත් මාධ්‍යයක පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමේදී අංකුර මාධ්‍යවේදීන් සමග ගනුදෙනු කරන අතර හඳුනාගත් ඔවුන්ට ඇති ගැටලු ආශ්‍රය කරගනිමින් මෙහි අන්තර්ගතය සකස් කළා. එම ගැටලු නිරාකරණය කර ගනිමින් මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට හැකි අඩිතාලම සකස් කරමින් මෙම කෘතිය ලියන්නට මම උත්සාහ දැරුවා. විශේෂයෙන්ම නවකයකු ලෙස යම්කිසි මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙන අයකුට එම මාධ්‍ය ආයතනය තුළ ඇති දේශපාලන මතය සහ මුදල් සම්බන්ධව අවබෝධයක් නොමැතිවීම මත විශාල ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මනා අධ්‍යයන පසුබිමක් මත සම්බන්ධ වුවහොත් රැකියාව කරගෙන යාමට ඔවුන්ට යම්කිසි පහසුවක් ලැබෙනවා. මාධ්‍ය පාලනය ප්‍රායෝගිකව සිදුවන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දීමට මේ කෘතියෙහි අන්තර්ගතය තුළ මම උත්සාහයක් දරලා තියෙනවා. එය විෂය අනුබද්ද කරුණක් වගේම ප්‍රායෝගිකව අප දැන සිටිය යුතු කාරණාවක්.

මේ කෘතියෙහි පිටකවරයත් විශේෂයි කියා ඔබ ප්‍රකාශ කළා?

ඔවු. ඕනෑම මාධ්‍ය ආයතනයක ඇසට නොපෙනෙන නූලකින් මුදල් සහ දේශපාලනය ගැට ගැසී තිබෙනවා. "ජනසන්නිවේදනයෙහි නූතන ව්‍යවහාරය" කෘතියෙහි පිට කවරය තුළින් මම පෙන්වා දෙන්නට උත්සාහ දරා තිබෙන්නේ ධනය සන්නිවේදනය කෙරෙහි බලපාන ආකාරයයි. එය අත්හදා බැලීමක් ලෙසින් කරන ලද නිර්මාණයක්.

පුළුල් විෂයක් වන " ජනමාධ්‍ය " පිළිබඳ කෘතියක් සම්පාදනය කිරීමේදී අන්තර්ගතය පිළිබඳව සැලකිලිමත් වුයේ කුමන කරුණු පදනම් කරගෙන ද?

මූලිකම අවශ්‍යතාවය වුණේ ජනමාධ්‍ය හැදෑරීමේදී එහි නිවැරදි පිළිවෙළ හඳුන්වා දීම. තැනින් තැනින් කරුණු එක්රැස් කර ගැනීමෙන් හරි අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මූලිකවම දැනගත යුතු කරුණු පැහැදිලිව මේ තුළ අන්තර්ගත කරන්නට මම උත්සාහ දැරුවා. සන්නිවේදනය අප උපතින්ම අරන් එන ගුණාංගයක්. දරුවෙක් ඉපදීමේදී මුලින්ම ඇසෙන හැඬුම, මුල්ම හුස්ම තුළ පවා තිබෙන්නේ සන්නිවේදනය. උපතේ සිට ගතවන සෑම මොහොතක්ම සන්නිවේදනය සමඟ බද්ධ වූ ජීවිත ගත කරන අප මනා අවබෝධයක් නොමැතිව මේ ක්‍රියාවලියට සම්බන්ධ වුවහොත් එයින් සිදුවන්නේ අතරමං වීමක්. අතරමං නොවී මඟ දැන ගෙන යන්නට මඟ පෙන්වීමක් සඳහා අවශ්‍ය කරන මූලික කරුණු මේ තුළ අන්තර්ගත කර තිබෙනවා.

ජනමාධ්‍ය යනුවෙන් හඳුන්වන්නේ විෂයක් ලෙස ඉගෙන ගැනීමකින් පමණක් කළ හැකි කාර්යයක් ද?

සියයට සීයක් ම එයට එකඟ වෙන්නට හැකියාවක් නැහැ. කිසිදු හැදෑරීමකින් තොරව මාධ්‍යකරණයෙහි නිරතවන ප්‍රශස්ත මට්ටමේ ජනමාධ්‍යවේදීන් අපේ රටෙහි සිටියා සහ මේ වනවිටත් සිටිනවා. ඔවුන් දීර්ඝ කාලීන අත්දැකීම් තුළින් සහ අත්විඳීම් තුළින් මාධ්‍යකරණය ඉගෙන ගත් පුද්ගලයන්. නව මාධ්‍යවේදීන්ට පොතපත පරිශීලනය කිරීමට කැමැත්තක් හෝ අවකාශයක් නොමැති නම් පරිණත මාධ්‍යවේදීන්ගේ ජීවිත හැදෑරීමෙන් හෝ මාධ්‍ය කරණය ඉගෙනගත හැකියි.

අලුතින් මාධ්‍ය ක්ෂේත්‍රයට පා තබන අය තුළ තිබිය යුතු ගුණාංග ලෙස ඔබ දකින්නේ මොනවා ද?

සියල්ලටම පෙර ඉවසිලිවන්තව යමක් ග්‍රහණය කරගත හැකි ආකාරයේ මනසක් තිබිය යුතුයි. එය ජනමාධ්‍ය පමණක් නොවෙයි ඕනෑම දෙයක් ඉගෙන ගැනීමේදී තිබිය යුතු සාධකයක්. එසේම කවර කාලයකදී වුවත් තමා ඉගෙන ගෙන අවසන් යන නිගමනයට එළඹෙන්නට ජනමාධ්‍යවේදියකුට හැකියාවක් නැහැ. අප නොසිතන තැන්වල පවා අපට ඉගෙනගත යුතු සහ ඉගෙන ගත හැකි දේවල් බොහොමයක් තිබෙනවා. වසර විසි පහකට අධික කාලයක් අත්දැකීම් සහිතව මාධ්‍යකරණය නිරත වුණත් මමත් අදටත් යම් යම් කරුණු ඉගෙන ගනිමින් සිටිනවා. ඉවසිල්ල වගේම විමසිල්ලත් අත්‍යවශ්‍ය ම සාධකයක්. නිතර විමසිලිමත් වීම ජනමාධ්‍යවේදියකු තුළ තිබිය යුතු විශිෂ්ට ලක්ෂණයක්. ඒ තුළින් සාර්ථක සන්නිවේදකයෙකු වෙන්නට හැකියාව ලැබෙනවා.

මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඔබේ අදහස සඳහන් කළ කවර ආකාරයක එකක් ද?

විශාල වශයෙන් විද්‍යුත් මාධ්‍ය තුළ සහ යම් තාක් දුරට මුද්‍රිත මාධ්‍ය තුළ යම් පිරිහීමක් දක්නට ලැබෙනවා සේම ප්‍රේක්ෂකයන් ඒ පිළිබඳව චෝදනා නගනවා. චෝදනා නගමින් සහ අසමින් සිටිනවා ද එයට හේතුව සොයා බලමින් ඒ සඳහා විසඳුම් සොයා යනවාද යන්න අප ඉදිරියේ ඇති ගැටලුවක්. පසුගිය කාලය පුරාම විද්‍යුත් මාධ්‍ය තුළින් මා දුටු එක් කාරණයක් තමයි ප්‍රවෘත්ති කියා යමක් ඒ තුළ දක්නට නොලැබීම. එහි ඇත්තේ රංගනයක් සහ හඬකැවීම් කිහිපයක්. ප්‍රවෘත්ති ලෙසින් හදුන්වන්නේ කුතුහලය ඇති කරවන මාධ්‍යයක්. නමුත් අද වන විට එහි හරය පිළිබඳව විශාල ගැටලුවක් තිබෙනවා. මාධ්‍යවේදියකු වශයෙන් මේ පිළිබඳ ව කනගාටුවට පත් වෙමින් සිටීම වෙනුවට අලුතෙන් එකතුවෙන පිරිසගේ චින්තනය වෙනස් කරමින් වුන් නිවැරදි ගමන් මඟක ගමන් කරන මාධ්‍යවේදීන් බවට පත් කිරීම අපේ වගකීමක්. ඉදිරියේදී මාධ්‍යවේදියකු මුහුණ දෙන ගැටලු උපයෝගී කරගනිමින් මාධ්‍යවේදියකු ලෙස ක්ෂේත්‍රය තුළ නිවැරදිව නැගී සිටීමට හැකි ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව නවකයන් දැනුවත් කිරීමට මම අදහස් කරගෙන සිටිනවා.

 

සේයාරූ - වාසිත පටබැඳිගේ

Comments