මේ කෙල්ල තමා දවසකටවත් කෙල්ල ! | Page 4 | සිළුමිණ

මේ කෙල්ල තමා දවසකටවත් කෙල්ල !

පැය කීපයක් මුළුල්ලේ රූපවාහිනිය ඉදිරියේ අසුන්ගෙන සිටින සුනන්දා විටින් විට “අමා” යි හඬ ගායි. හුදෙකලාව කාමරයේ සිටින යුවතිය පිළිබඳ කරදර නොවී සිටින්නට ඇය අපොහොසත් වෙයි. අමාලි තනිකර දමා රූපවාහිනිය නැරඹීම වරදකැයි සිතන ඇය ඒ පශ්චත්තාපය මැඬගන්නේ එපරිද්දෙන් හඬගාමිනි.

“අනේ කාංචනා මිස් මටත් ආසයි මෙහෙම ඉන්න...”

කාංචනා නොමනාපයෙන් ඉවත බැලුවාය.

“නැද්ද අනේ තව පහනක් දෙකක්... කෝ ඔයාගෙ ජෝර්ජ්..? එයාට එන්න කියන්නකෝ.... එයාට කියන්නකෝ ගෙනත් දෙන්න කියලා..”

“ජෝර්ජ් නෙමේ පීටර්...”

කාංචනා කතා කළේ දත් සපමිනි.

“ජෝර්ජ් හරි පීටර් හරි... ඒ දෙන්නම රජවරු නේද...? අනේ අඬගහන්න කාංචනා මිස්... ඉක්මනට මට පහන් තුන හතරක් ගේන්න කියන්න...”

පීටර් පෙනී සිටියේ වෙව්ලන සිරුරිනි.

“පහන් නැත්තං ඉටිපන්දම් ගේන්නකෝ... ඉටිපන්දම් තමා හුඟක් ලස්සන. පීරිසිවල නෙමේ ලස්සන පුංචි මග් ඇතුළෙ පත්තු කරගෙන එන්නකෝ...”

ඔහු වහා හැරී බැලුවේ කාංචනා දෙසය.

“ගේන්න...” යි ඇය අණ කළේ කිසිවක් වටහාගත් නියායෙනි. නොපමාව ඒ අණ ඉටු කෙරිණ.

කුඩා කෝප්ප තුළ බහාලූ දැල්වෙන ඉටිපන්දම් දෑතින් ද හිසින් ද ගත් අමාලි වියපත් ස්ත්‍රියට තවත් සමීප වූවාය.

“ලස්සනද මැඩම්...? මම දැන් ලස්සනද?”

එක් විප්‍රකාර ගැහැනියක් මදිවාට තවත් එකියක් ඉවසා සිටින්නේ කෙලෙසදැයි සිතමින් පීටර් නිහඬව බලා සිටියේය. කාංචනා තුළද එබඳුම සිතිවිල්ලක් ජනිත වූවාට සැක නැත.

“නරක නෑ...” තරමක් විපිළිසර වූ මමී ආගන්තුක යුවතිය හඳුනාගන්නට වෙර දැරුවාය.

“කව්ද ඔය ළමයා...? මම මීට කලින් දැකලම නෑනේ...”

උත්තර දුන්නේ කාංචනාය.

“ෆාමසියෙ වැඩට මේ ළඟදි ආවෙ..”

සිය මව හිස මත පහන පෙරළා ගනු ඇත්දැයි භීතියෙන් පසුවන ඇගේ හඬ සැලෙයි.

“පහනට වඩා ඉටිපන්දම ලස්සනයි නේද කාංචනා මිස්...?”

“ඔ... ඔව්...”

“ලස්සනයි ලස්සනයි” යි පීටර් ද වහා වර්ණනා කළේය.

“එහෙනං මටත් ඕනෑ ඉටිපන්දම්...”

ඒ වචන මහලු ස්ත්‍රියගේ දෙතොල් අතරින් පිට වූ වහාම කාංචනා පෙරට පැන්නාය. පීටර් ද එකී අවස්ථාව එළැඹෙන තෙක් පුල පුලා බලා සිටි බව කියාපාමින් දෑතේ දැල්වෙන පහන් යුගලය වහා ගත්තේ ය.

හිස මත පහන ගත් සැණින් කාංචනාලා වෙළාගත් සාමය කොතෙක්ද කියන්නේ නම් එය රත් වී තිබූ බැවින් හටගත් වේදනාවද නොතැකුවාය. පහන් තුනම බාරගත් පීටර් කඩිනමින් පිටව ගියේය. මේ නිවෙසේ මින් මතුවට පහනක් ඇස නොගැටෙන බවට ඔහු දිවුරා පොරොන්දු විය.

ඉටිපන්දම් සහිතව මඳ වේලාවක් ගත කළ මමී පිටව යන දියණියට හඬ ගෑවාය.

“ඒයි... මට ඉන්ට්‍රඩියුස් කරලා දෙන්ෙන නැද්ද මේ කෙල්ලව...”

කාංචනා ආපසු හැරුණේ මුව’ග සිනාව මැඬ ගනිමිනි.

ඉටිපන්දම් සහිත කෝප්පද ඉවත් කෙරිණ.

“මමී මෙයා අමාලි සිරිමාන්න... අමාලි මේ මගේ මමී...”

උදාරම් සිනාවක් සමඟ ඒ මහලු ස්ත්‍රිය “ශ්‍රීමා වීරවර්ධන” යි පවසා සිටියේ රැජනකගේ ප්‍රෞඪ විලාසයෙනි.

ආචාර සමාචාර ආදියෙන් පසු තේ පැන් සංග්‍රහය...! කාංචනා පිටව ගියේ මහත් සැහැල්ලුවෙනි.

“මං හිතුවට වඩා ඔයා දක්ෂයි අමාලි. ඇත්තට ම මට දැන් කිසිම බයක් නෑ ඔයාව තියල යන්න මමී ළඟ..” ඇය කීවේ කෘතවේදී බැල්මක් හෙලමිනි.

“මං නං චුට්ටක් බයයි කාංචනා මිස්. ඊළඟට අපේ ආර්යාව මොන වගේ ජල්ලියක් අල්ලයිද කව්ද දන්නෙ...”

හඬනඟා හිනැහුණු කාංචනා යුවතියගේ උරහිසට තට්ටු කළාය.

“මොන ජල්ලියක් ඇල්ලුවත් ඔයා ඉන්න නිසා අද අපේ කවුරුත් බයක් නැතිව ඉඳී... මං බයේ ඉන්නෙ කොයි වෙලාවක හරි ඒ මනුස්සයාට හාට් ඇටෑක් හැදෙයි කියලා...”

ඔවුන්ගේ සිනාව නොරිස්සු ශ්‍රීමා “තවත් හිනා වෙවී ඉන්නෙ... යන්නෙ නැතුව... කී පාරක් කීවද කාංචනා ඔයාට ලේට් වෙනවා කියලා...” යි ආඩපාළි කීවාය.

“හරි හරි... මම යනවා... අනේ මමී මේ ළමයට වද දෙන්න නම් එපා ඔන්න..”

“මං වද දෙනවා...? කාටද මම වද දෙන්නෙ...? බලන්න මේ කාංචනා කියන කතා...”

ශ්‍රීමා විමතිය පළ කළාය.

“අපොයි ඔව්... මගේ මමී කාටවත් වද දෙන්නෙ නෑ... මල්ලි ආවට පස්සෙවත් මමී ටිකක් හොඳට ඉන්න... එයාට එපා වෙයි.”

“මං හොඳට තමා ඉන්නෙ.. අනිත් එක ඔය මෝඩයා අද එන්නෙ නෑ. නිකං බොරුවට ඔයා ඔය එයාර්පෝට් යන්නෙ...”

අමාලි ඉඟි කළේ මේ වාදය නවත්වන ලෙසය. මේ අපූරු ස්ත්‍රිය එයින් කුපිත වන බව ඇය මේ කෙටි කාල සීමාව තුළ අවබෝධ කරගෙන සිටියාය. එහෙත් ජීවිත කාලයක් එක්ව වාසය කළද කාංචනා ඒ බව දැන නොසිටීම කණගාටුවට හා විමතියට කරුණක් නොවේදැයි ඇයට සිතිණ.

පළමුවරට හාම්පුතා සිය සේවිකාවට අවනත වූවාය. ඉනික්බිති අමාලි සිය අලුත්ම මිතුරිය වෙත හැරුණාය.

“ඔව් මැඩම්... සමහරවිට මැඩම්ගෙ පුතාට අද එන්න බැරිවෙයි. ඕනම දෙයක් වෙන්න පුළුවන්නෙ...”

ශ්‍රීමා මහත් කැමැත්තෙන් පිළිසඳර ආරම්භ කළාය.

“එනවනං එන්නෙ නැතෑ. ඔය ළමයා යෝග දන්නවද... දන්නවද...”

අමාලි නිරුත්තරව බලා සිටියාය.

* * * *

දිදුලන තිරය වටා විසූක දස්සන නරඹන්නට නොරිසි සිරිමාන්න ප්‍රවෘත්ති විකාශය අවසන් වූ සැණින් නැඟී සිටියි. ඉනික්බිති එළඹෙන්නේ සුනන්දාගේ වාරයයි. ඇය ඇදහිය නුහුණු ටෙලි විකාර නරඹන බවට ඔහු විටෙක චෝදනා කරයි.

“ඕවා බලන්න පුරුදු වුණාම ඉතිං අබිං කෑවා වගේ තමා. දවසක් නෑර බලන්න ඕනිනේ. හැබැයි ඉතිං මාසයක් නොබලා ඉඳලා බැලුවත් ලොකු අවුලකුත් නෑ. ඒ තරම් අජූතයි ඕවා..”

විදුහල්පති සහෝදරයා සමඟ වාදයට නොඑළඹෙන සුනන්දා වරදක් කළ සිසුවියක සේ හැකිලෙයි.

“තාත්තා කැමති දේට ම නැන්දත් කැමති වෙන්න ඕනද...? තාත්තත් ඉතිං ඔය ප්‍රවෘත්ති කියලා බලන්නෙ ටෙලි නාට්‍යම තමා. අපේ රටේ තියෙනවද වගකීම් සහගත දියුණු ප්‍රවෘත්ති කලාවක්? ලේයි කඳුළුයි මාකට් කරන කැත සෙල්ලමක්නෙ ලංකාවෙ ප්‍රවෘත්ති කියන්නෙත්.

අමාලි නොබියව කතා කරයි. ඔහු ඇය දෙස විමසිලිමත් බැල්මක් හෙළයි. සෙල්ලක්කාර හා වගකීම් විරහිත යුවතියක සේ දිස්වන දියණියගේ එබඳු කතා අසන ඔහු විමතියට පත්වෙයි. තරුණ පරපුරට ගැඹුරක් නැතැයි චෝදනා කළද මවුබිම වටහා ගන්නට දක්වන හැකියාව අගය කළ යුතු නැද්දැයි ඔහුට සිතෙයි.

“අමා.. කාටද ඔය කතා කරන්නෙ?”

මවකගේ ඇල්ම බැල්ම නොලබන දියණිය ආණ්ඩු මට්ටු කිරීම තම වගකීම හා යුතුකම බව සිතන සුනන්දා රළු පරළු හඬින් අසයි.

“කාටද කතා කරන්නෙ කියන එක නෙමේ නැන්දෙ වැදගත්. කියන්නෙ මොනවද කියන එකයි. තාත්තා හිතනවා ප්‍රවෘත්ති බලන නසා හරි බුද්ධිමත් කියලා. ටෙලි නාට්‍ය චිත්‍රපටි බලන ඔයා හැඟීම්බර බොලඳ මෝඩ ගෑනියෙක් කියලයි මේ උගත් බුද්ධිමත් ප්‍රින්සිපල් සර් හිතන්නෙ... ඒක හරිද..? එක එක්කෙනාගෙ රස වින්දනය වෙනස්. ඒ වෙනස තේරුම් ගන්න ඕන. ඒ වෙනස ඉවසන්න ඕන.”

විදුහල්පතිවරයකු වීත් තමා නිරුත්තර වග වටහා ගන්නා සිරිමාන්න නිහඬවම කාමරයට වදියි. ඔහු සිත කෝපයක් හෝ අප්‍රසාදයක් ජනිත නොවේ.

“කෙල්ල කියන්නෙ ඇත්තනෙ” යි ඔහු මුමුනන්නේ යහනේ වැතිරෙමිනි.

“මට කට උත්තර නෑ. මේ කෙල්ල තමා දවසකටවත් කෙල්ල” ඔහු දෑස පියාගනියි. මුව’ග සිහින් සාඩම්බර සිනා පොද ඒ හිතුවක්කාර කෙල්ල වෙනුවෙනි.

පැය කීපයක් මුළුල්ලේ රූපවාහිනිය ඉදිරියේ අසුන්ගෙන සිටින සුනන්දා විටින් විට “අමා” යි හඬ ගායි. හුදෙකලාව කාමරයේ සිටින යුවතිය පිළිබඳ කරදර නොවී සිටින්නට ඇය අපොහොසත් වෙයි. අමාලි තනිකර දමා රූපවාහිනිය නැරඹීම වරදකැයි සිතන ඇය ඒ පශ්චත්තාපය මැඬගන්නේ එපරිද්දෙන් හඬගාමිනි.

“මොකද නැන්දෙ..? ඔයාගෙ ඇඟ විතරනෙ ඔතන. හිත මෙතන... ඇඟයි හිතයි දෙකම එක තැන තියාගන්නවද කරුණාකරලා”

හිටි හැටියේ දොර රෙද්ද පසෙකට කරන අමාලි කතා කරන්නේ කෝපයෙනි.

“රස්සාවක් කරනවා කියලා මෙයාගේ තියෙන ආඩම්බරේ..”

කෙල්ල අවුස්සා ගන්නට වුවමනා නිසාම සුනන්දා ආඩපාළි කියයි. බේබද්දෙකු මීවිතින් මත්වන්නාක් මෙන් තමාද ටෙලිනාට්‍ය නරඹන්න ඇබ්බැහි වී සිටින බව පිළිගනිමින් ඇය නැඟී සිටියි. මෙලෝ රහක් නැති මේ විප්‍රකාරවලට වඩා මේ කෙල්ල සමඟ පැටලෙන එක හොඳ බව සිතයි.

“ආඩම්බර වෙන්න ඕන රස්සාව හරියට කරනව නම් විතරයි නැන්දෙ..”

ලබන සතියට‍...

Comments