- සතියකට වකුගඩු රෝගී දරුවන් 250ක් සායනයට එනවා
- රුධිරකාන්දුකරණ ඒකකයට තිබෙන්නේ සීමිත ඉඩ පහසුකම්
- වකුගඩු පරිත්‍යාගශිලින් සිටී නම් ළමා රෝහලට කතා කරන්න
මා මිතුරිය පැමිණියේ වෙනත් කාර්යයක් සඳහාය. එහෙත් අහම්බෙන් මෙන් ඇයට මේ කතාව ද කියැවිණි. එතෙක් මෙතරම් දුක්බර කතාවක් එහි ඇතැයි නොසිතුවෙමි. ඒ කතාවේ දුක්බර බව වඩාත් දැනුණේ සියල්ල දෑසින් දුටු විටය. එනිසා වකුගඩු රෝග හෝ එහි වෛද්‍ය විද්‍යාත්මක කතා නොලියා මේ දුක් කතාව ලියන්නට සිතා ගතිමු.
“අපේ රෝහලේ වකුගඩු රෝගයට ලක් වූ දරුවන් සඳහා ප්‍රතිකාර කෙරෙනවා. ඒක ලොකු වැඩපිළිවෙළක් . ඒ වගේම එතැන බොහෝම අසරණ අයත් සිටිනවා. මේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් හොඳයි” හදිසියේ හමු වූ වෛද්‍ය කුමුදිනි වේලාරත්න මිතුරිය කීවේ හැඟීම්බරවය.
පසු දිනෙක අපි රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ගියෙමු. ඒ යන අතරමඟදී අපට හමු වූයේ මැලවී ගිය මුහුණින් යුතු පුංචි පුතෙකි. ඔහු සිටියේ රෝද පුටුවකය. ඒ අසලම පුතුගේ පියා ද විය. මේ දරුවාට කුමක් නම් වෙන්න ඇතිද?
දරුවාගේ පියා පසෙකට කැඳවා තොරතුරු විමසන්නට වීමු. පියාගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඊට මඳක් එහායින් රෝද පුටුවේ සිටි පුතුය.
“පුතාගේ වකුගඩු දෙකම නරක් වෙලා. එහෙම වුණේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ 19 පුතාව පොළඟෙක් කෑවට පස්සේ. මුලින්ම ගියේ අනුරාධපුර රෝහලට. ඉන් පස්සේ තමයි මෙහෙට ආවේ. දැන් සතියට දවස් තුනක් පුතාගේ ලේ පිරිසුදු කරනවා. වෛද්‍යවරුන් කියන්නේ වකුගඩුවක් බද්ධ කරමු කියලා. පුතාගේ අම්මා එයාගේ වකුගඩුවක් පුතාට දෙන්න කැමතියි. මම ගොවිතැන් කරන්නේ. පුතා එක්ක රෝහලට එන්නෙත් ඒ අතරම තමයි.”
හිරුෂගේ පියා සුරංග තම පුතුගේ හිස පිරිමදිමින් පවසන්නට විය. හිරුෂ පසුගිය වසරේදී ශිෂ්‍යත්ව විභාගය සඳහා ද පෙනී සිටියේය. එහිදි ඔහු ලකුණු 147ක් ලබාගත්තේය. ඉගෙනීමට හපන්කම් පෑවද දැන් ඔහුට පාසල් යෑමට තරම් නීරෝගි බවක් නැත.
“මේ අවුරුද්දටම දවස් දෙකයි මම ඉස්කෝලේ ගියේ” කටකාර හිරුෂ පවසන්නේ කනස්සල්ලෙනි.
හිරුෂ පමණක් නොව වකුගඩු ආබාධයට ලක් වීමෙන් රුධිරකාන්දුකරණයට ලක් වන තවත් දරුවෝ මෙහි වෙති.
අප බොහෝ විට දන්නේ වකුගඩු නරක් වූ රෝගීන් වැඩිහිටියන් පමණක් බවය. ළමා රෝහලට ගිය විට ඒ තත්ත්වය වඩාත් වෙනස් බව දැනෙන්නේ දිනපතා එහි යන එන රෝගී දරුවන් ,දුකින් තැවෙන මවුපියන් දුටු විටය.
පළමු වරට ළමා රෝහලේ වකුගඩු රෝග පිළිබද සායනයක් පටන් ගන්නේ 2009 වසරේදීය. ඒ ලංකාවේ ළමා වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරිය වන විද්ධ්‍ය ගුණරත්න මහත්මියගේ මුලිකත්වයෙනි.
“මුලින් නම් ළමා රෝහලේ ළමයින්ගේ වකුගඩු රෝග කියලා විශේෂ දෙයක් කෙරුණේ නැහැ. නමුත් හිටපු අධ්‍යක්ෂවරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උදව් ඇතිව තමයි 2009 වසරේදී කුඩා කාමරයක සායනයක් ආරම්භ කළේ. ඒ වන විට පේරාදෙණිය රෝහලේ වකුගඩු බද්ධ කිරීම කෙරුණා. නමුත් මේ සායන පැවැත්වීමේදී අපට තේරුණා ළමයින් අතර වකුගඩු රෝග බහුල බව. ක්‍රමයෙන් මේ ඒකකය දියුණු කරගන්න පුළුවන් වුණා. වකුගඩු රෝගී දරුවන් සඳහා රුධිරකාන්දුකරණය ආරම්භ කෙරුණේ මේ අතර.
අපි වාට්ටුවේ නේවාසිකව තියාගෙන දරුවන්ට රුධිරකාන්දුකරණය කිරීම ආරම්භ කෙරුවා. ඒ හැරුණ විට නිවසේදීම ලේ පිරිසුදු කරගන්න විදිහ අපි දරුවාගේ මවට හෝ පියාට පුහුණුව ලබා දුන්නා. ඇතැම් දරුවන්ට නිවසේදී ඒ දේ කරන්න බැහැ. හේතුව තමයි නළ ජල පහසුකම් නැතිකම. එහෙමත් නැත්නම් නිවෙසක් නැහැ. තිබෙන නිවෙස අබලන්. මේ තැන්වලදී විෂබීජ ශරීර ගතවෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මේ සායනවලදී අපට හමු වී තිබෙනවා එකම පවුලේ දරුවන් 4 දෙනෙක්. ඔවුන් හතර දෙනාම වකුගඩු ආබාධයෙන් පෙළෙනවා. මේ දරුවන් දෙනෙකුට වකුගඩු බද්ධ කරන්න පුළුවන්. නමුත් ඔවුන්ට ගැළපෙන වකුගඩුවක් පරිත්‍යාග කරන්නට කෙනෙක් නැහැ. අපේ රෝහලෙන් මේ දරුවන්ට ප්‍රතිකාර කෙරුණත් ඒ දරුවන් බොහෝ ආර්ථික ප්‍රශ්නවල ඉන්නේ. පෞද්ගලික රෝහල් වල ළමයින් සඳහා රුධිරකාන්දුකරණය සිදු කරන්නේ නැහැ. ඒ ඊට ලොකු මුලදක් අය කරන්නට වෙන නිසා. නමුත් ළමා රෝහලෙන් මේ සියල්ල කෙරෙන්නේ නොමිලේ. ළමයින් සඳහා විශේෂිත මැෂින් වර්ග, කැතීටර වර්ග ආදිය තිබෙනවා.
2013 වසරේ දී තමයි මේ ඒකකය ආරම්භ කළේ. පර්යන්ත කාන්දුකරණය කියන්නේ බටයක් දාලා ඕනෑම තැනෙකදී මේ රුධිරකාන්දු කරණය කරන්නට පුළුවන්. නමුත් අනෙක් ක්‍රමයට රුධිරකාන්දුකරණය කරන්නට නම් පුහුණු වෛද්‍යවරුන් පුහුණු හෙදියන් වගේම පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. දැනට සතියකට සායන සඳහා වකුගඩු රෝගී දරුවන් 250ක් පමණ විවිධ පළාත්වලින් පැමිණෙනවා. ඒ වගේම තමයි වකුගඩු රෝගයෙන් පෙළෙන ඇතැම් දරුවන්ට වකුගඩු බද්ධ කරන්නට පුළුවන්.” වෛද්‍ය වින්ද්‍යා පවසන්නීය.
ඇතැම් විට පරිත්‍යාගශීලින් වකුගඩු ලබාදීමට ඉදිරිපත් වුවද ඔවුහු යම් මුදලක් බලාපොරොත්තු වෙති. මේ දරුවන්ගේ මවුපියන්ට ඒ සඳහා මුදල් ගෙවීමට වත්කමක් නැත. වකුගඩුවක් බද්ධ කරන්නට නම් රෝගියාගේ සහ පරිත්‍යාගශීලියාගේ ලේ ගැළපිය යුතුය. වෙනත් රෝග නොතිබිය යුතුය. වයස අවුරදු විසි එකට වැඩි අවුරුදු පනහත් අතර නීරෝගි අයට වකුගඩු පරිත්‍යාග කළ හැකිය. මොළය මැරුණ අයගේ නිරෝගී වකුගඩු ද පරිත්‍යාග කිරීමට පුළුන්කම තිබේ. මේ දරුවන් වෙනුවෙන් යමෙකු වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැත්තේ නම් ඔවුන්ට ළමාරෝහලට ඒ බව දැන්විය හැකිය. ඒ පිළිබද වැඩි තොරතුරු ලබාගැනීමට පුළුවන.
වකුගඩු රෝග සායනයටම සම්බන්ධ තවත් සායනයක් ළමා රෝහලේදී පවත්වාගෙන යනු ලැබේ. ඒ උත්පත්තියෙන් ස්නායු ආබාධයෙන් පෙළිම නිසා සාමාන්‍ය විදිහට මුත්‍රා පිට කරන්නට බැරි නොදැනුවත්වම මුත්‍රා පිට වන දරුවන් සඳහා පවත්වන සායනයයි. මෙහිදි කෙරෙන්නේ දරුවන් සහ දරුවාගේ භාරකාරයා හෝ මව රෝහලට ගෙන්වා ඔවුන්ට පුහුණුවක් ලබාදීමය.
“මේ වන විට අප එවැනි ළමයින් 150ක් පමණ පුහුණු කර තිබෙනවා. මාස තුනකට සැරයක් අපි ඔවුන් ගෙන්වා ඒ පිළිබද සොයා බලනවා. අම්මලාට කියලා දෙනවා ආසාදන ඇති නොවන විදිහට , තෙමාගන්නේ නැතිව දරුවන්ට මුත්‍රා පිට කරන්න කියලා දෙන විදිහ. දුර පළාත්වල සිට එන දරුවන් ඒ පළාත ආසන්නයේ රෝහලට යොමු කරනවා. එහිදී අප ඒ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා ට දරුවා පිළිබඳ ඔහුට ප්‍රතිකාර කරන්නට ඕනෑ පිළිවෙළ පිළිබද දැනුවත් කරනවා.” විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා මහත්මිය පවසන්නීය.
ඒ රුධිරකාන්දුකරණ ඒකකයයි. එය පුංචිම පුංචි කාමරයකි. එහි ඇත්තේ ඇදන් හතරක් පමණි. එහි තබා ඇති මැෂින් නිසා හෙදියන්ට එහා මෙහා වන්නට ඉඩ පහසුකම් මදිය. ඒ පුංචි වාට්ටුවේම එක් කොනක ඇත්තේ වතුර ටැංකි කිහිපයක් සහ නළ කිහිපයකි. රුධිරකාන්දුකරණය කරන මැෂින් ක්‍රියාත්මක කරන විට මේ යන්ත්‍රවලින් නැඟෙන්නේ කටුක හඬකි. විනිවිද පෙනෙන විදුරුවලින් ඒ සියලු යන්ත්‍ර දකින විට රෝගි දරුවන්ගේ සිත් ගැහෙනු ඇත. ඒ විදුරුවල අඩුම තරමේ ලස්සන සිතුවම් පෙළක් සහිත ස්ටිකරයක් හෝ අලවා ඇත්නම් ගිලන් ඇදේ සිටින දරුවාගේ සිත ඒ සිතුවම් හා බැඳෙනු ඇත. නමුදු රෝගී දරුවන් වෙනුවෙන් සියල්ල කරන රෝහලට එය තවත් අමතර වියදමකි.
කොහොම නමුත් ඒ කුඩා වාට්ටුවට අප ගිය මොහොතේ වයස අවුරුදු තුනක ළදරුවකු රුධිරකාන්දුකරණය සඳහා සුදානම් කර තිබිණි. එහෙන් මෙහෙන් සිඟිති අත්වලට ගැසු බට දිගේ යන්නේ දරුවාගේ රුධිරයයි. යන්ත්‍රය මඟින් රුධිරය පිරිසුදු කිරීමට ගත වන කාලය පැය හයකි. වේදනාවෙන් දෑස් තද කරගත් සිඟිත්තා යාන්තමට අප හා හිනැහුණේය. අතේ සිටි ටෙඩිබෙයා තව තවත් පපුවට තුරුල් කරගනිමින් සිඟිත්තා යළි දෑස් තද කර වසාගත්තාය.
“යම් තරමකට මේක වේදනාකාරියි. මේ දරුවෝ බොහෝම අසරණයි. මෙයාලට දියර වර්ග පානය කිරීම සීමා කරලා තියෙන්නේ . වෙනත් රෝගවලින් පෙළෙන දරුවන්ට වගේ හිතේ හැටියට එහෙ මෙහෙ දුව පනින්න බැහැ. අපේ වාට්ටුවේ සිටින දරුවන්ට මේ ප්‍රතිකාර සඳහා එන දරුවන්ට බොහෝ අඩු පාඩු තිබෙනවා. මේ අයගේ අධ්‍යාපන කටයුතු මඟ හැරෙනවා. ඒ අයට උගන්වන්න රජයෙන් ගුරුවරු ලබාදී තිබෙනවා. නමුත් මේ දරුවන් සදහා ක්‍රියාකාරකම් කිරීමට ඔවුනට විනෝදාස්වාදය ලබාදීමට, දරුවන් සදහා ක්‍රියාකාරකම් කළ හැකි සෙල්ලම් බඩු කතන්දර පොත් ආදිය ලබාදෙන්න පුළුවන් නම් හොඳයි.
අපි හැම මොහොතකම මේ දරුවන් වෙනුවෙන් අපේ උපරිම සේවය ලබාදෙනවා. සමහර වේලාවට මේ අයම තම තමන්ට උදව් කර ගන්නවා. මට මතකයි දුර බැහැර ඉන්න එක් රෝගී දරුවෙකුට ළඟපාතින් නතර වෙන්න ගෙයක් ලබා දුන්නේ මෙහාට ප්‍රතිකාර ගන්න එන තවත් රෝගි දරුවෙකුගේ මාපියන්. මෙන්න මේ පුංචි දුවත් බොහෝ අමාරුකම් මැද්දේ ජීවත් වන්නේ.” ලක්මිණි රණසිංහ හෙදිය පැවැසුවාය.
ලක්මිණි හෙදිය පැවැසු පුංචි දියණිය ද ඒ වන විට රුධිරකාන්දුකරණ ක්‍රියාවලියට සම්බන්ධ කර තිබිණි. අපට ඇගේ මව හමු වුයේ 24 වාට්ටුවේදිය. ඇය ෂර්මිලාය. දුව අසනීප වුණේ 2017 වසරේ. එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා. දුව හතර වසරට යන තුරු ඉස්කෝලේ ගියා. අපි දුවට බද්ධ කරන්න වකුගඩුවක් සෙව්වා. ඒත් ඒ අය ඉල්ලන තරම් දෙන්න සල්ලි අපිට නැහැ. මම දුවට වකුගඩුවක් දෙන්න ඉන්නේ. මට පුතාලා දෙන්නෙකුත් ඉන්නවා. දරුවන්ගේ තාත්තා කුලී වැඩ කරන්නේ. නෑබඩ ඉඳලා බස් එකේ තමයි අපි යන්න එන්නේ. මොනවා කරන්න ද. මම මගේ දරුවා බේරගන්න ඕනෑ.
ෂර්මිලා පැවැසුවේ කදුළු පුරවාගත් දෑසිනි.
ඒ එක් මවක් පමණි. දරුවන් වෙනුවෙන් තැවෙන දැවෙන අම්මලා තාත්තලා මෙහි තව බොහෝ සිටිති. වෛද්‍යවරු තමන්ට පුළුවන් උපරිමයෙන් ඔවුන් පිළිබද සොයා බලති. ප්‍රතිකාර කරති. මේ මිනිසුන්ගේ හිත් සුවපත් කිරිමට ජීවිතයත් මරණයත් සමඟ දිවිගෙවන මේ දරුවන්ට කාරුණික හදවත් ඇත්තන්ගේ ආදරයද ලැබිය යුතුමය.
මෙම වකුගඩු සායන හා රුධිරකාන්දුකරණ ඒකකය පිළිබද අප ළමා රෝහලේ අධ්‍යක්ෂ අජිත් දන්තනාරායන මහතාගෙන් ද විසීමක් කළෙමු.
“මෙම ඒකකයට පැමිණෙන රෝගී දරුවන් සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා. මේ වන විට රුධිර කාන්දුකරණය අපේ රෝහලේ දී සිදු කැරෙනවා. වකුගඩු බද්ධ කිරිම ජාතික රෝහලේදී සහ මෙහිදී සිදු කැරෙනවා. අපට තිබෙන ඉඩ පහසුකම් බොහෝම අඩුයි. පුහුණු කාර්ය මණ්ඩලය අඩුයි. ඒ වුණත් අපි දරුවන් වෙනුවෙන් උපරිම සේවාවක් ලබාදීමට උත්සාහ දරනවා. ඔවුන් සුවපත් කිරීමයි අපේ අරමුණ.
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ