තල්ගමුවේ ධම්මකිත්ති හිමි
කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති
“කොරියාවට මොකටද පන්සලක්?”
කෙනෙකු මගෙන් ඒ ප්රශ්නය නැඟුවේ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් යන එන වන්දනාමාන කරන පන්සලක් පිළිබඳ කතා කරමින් සිටින අතර තුරය. ඇත්තටම කොරියාවට මොකට ද පන්සලක්? බෞද්ධ රටක් වන පන්සල් ද ඇති එරටට තවත් අලුත් පන්සල් කුමට ද?
මේ ප්‍රශ්නයට හොඳම පිළිතුර ඇත්තේ කොරියාවේ වෙසෙන කොරියා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති තල්ගමුවේ ධම්මකිත්ති හිමියන් සතුවය. වසර පහළොවක් තිස්සේ කොරියාවේ වැඩ වෙසෙන ධම්මකිත්ති හිමි එරට විහාරයක් ආරම්භ කර ඇත්තේ මීට වසර පහකට පෙරය.
වයස අවුරුදු දහයේදී අට්ටාපිටියේ කිත්තිසිරි ගුරු හිමියන් යටතේ පැවිදි දිවියට ඇතුළත් වූ ධම්මකිත්ති හිමියෝ වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූහ. ඉන් පසුව මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබු උන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත විශේෂවේදී උපාධියේ ප්‍රථම පන්ති සමාර්ථ්‍යයක් ලබන්නාහ. ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා කොරියාව බලා පිටත් වන උන් වහන්සේ ඩොංගුක් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලැබූහ.
කොරියාවේ වැඩ වාසය කරන කාලයේදී එහි වෙසෙන ශ්‍රී ලාංකික තරුණයන් ගත කරන ජීවිත දකින ධම්මකිත්ති ස්වාමීන් වහන්සේට සිතෙන්නේ නොමඟට යන තරුණ ජීවිතවලට නිසි මඟ පෙන්වීමක් කළ යුතු බවය.
මහායාන සම්ප්‍රදායට මුල් තැන දෙන කොරියාවේ ඇත්තේ මහායාන බුදුදහමය. එවන් රටක ථේරවාදි බුදු දහමට මුල් තැන දී විහාරස්ථානයක් ගොඩනැඟීම අසීරු කටයුත්තකි. නමුත් මේ අසීරු කටයුත්තට මූලාරම්භය තබන්නේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ විසිනි.
“මම ඒ රටේ ඉගෙනගන්නා කාලෙදීත් ඉන්පසුව එහෙ විශ්වවිද්‍යාලයේ උගන්නන කාලයේදීත් දුටුව දෙයක් තමයි අපේ රටෙන් යන තරුණ තරුණියන් ඒ රටේදී යම් ප්‍රශ්නයකට මුහුණ දුන්නාම බොහෝ අසරණ වන බව. එකක් තමයි රෝගී වීම. රෝහල් ගත වුණාම භාෂාව නොදන්නා විට බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. අනෙක වීසා ඉවර වුණාම ඒ කටයුතු කර ගන්න කරදර වෙන්න වෙනවා.
කොරියාවේ බහුලව තියෙන්නේ මහායාන පන්සල්. මම ථේරවාද පන්සලක් ආරම්භ කළා. පන්සලක් පවත්වාගෙන යන්නට අපේම කියලා ඉඩමක් තිබුණේ නැහැ. අපි හිටියේ ගොඩනැගිල්ලක. ඒක හරියට කුලි ගෙවල් වල ඉන්නවා වගේ වැඩක්. පසුව කන්ටේනර් පෙට්ටියක පන්සල පවත්වාගෙන ගියා. ඉන් පසුව අපි ඉඩමක් මිලට ගෙන පන්සල ගොඩ නඟන්න හිතුවා. එය බොහෝම අසීරු කටයුත්තක්. අපේ රටෙන් ගිය අපේ අය වගේම කොරියානු ජාතිකයොත් ඉඩම මිලට ගන්න අපට උදව් කළා.
කොරියානු ජාතිකයන් තුළ ලංකාව ගැන හොඳ සිතිවිල්ලක් තිබුණේ නැහැ ඉස්සර. අපේ රටේ සංචාරයට එන විට පරිස්සම් වෙන්න කියා උපදෙස් දීලා එවන්නේ. ඔවුන් කියන්නේ ත්‍රීරෝද රියදුරන්ගෙන් පරිස්සම් වෙන්න කියලා. ඒ වගේම ලංකාව කියන්නෙ කාන්තාවන්ට හිරිහැර කරන රටක්. ඒ නිසා පරිස්ම් වෙන්න කියනවා. පහුගිය කාලේ බෝම්බ පුපුරන විට එයත් ඔවුන්ට බලපෑවා. නමුත් අද වන විට අප ශ්‍රීලාංකිකයන් ගැන සියයට හැත්තෑවක විශ්වාසයක් ගොඩනඟාගෙන තිබෙනවා. මම කොරියා ශ්‍රී ලංකා මහා විහාරය ගොඩනඟද්දි බොහෝ අභියෝගයන්ට මුහුණ දුන්නා. නමුත් අද වන විට දුම්පො ප්‍රදේශයේ පිහිටා තිබෙන මහාවිහාරය කවුරුත් හඳුන්වන්නේ අපේ පන්සල කියලා. අපේ පන්සලේ දායක සභා දෙකක් තියෙනවා.”
ධම්ම්කිත්ති හිමියන් පවසන්නේ මහා විහාරය ගොඩනැඟීමේ අතීත කතාවයි.
බොහෝ අභියෝගයන්ට මුහුණ දෙමින් කන්ටේනර් පෙට්ටියක වසර හතරක් තිස්සේ පවත්වාගෙන ගිය පන්සල කොරියා රටේ අසාන් ප්‍රදේශයෙන් මිලට ගත් අක්කර එකහමාරක ඉඩමක අද අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වෙමින් පවතී. කොරියාවේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ගේ මෙන්ම කොරියානු දානපතියන්ගෙන් ලැබුණ ආධාර මුදලින් සහ කොරියානු බැංකු ණය ආධාර යටතේ එම විහාරස්ථානය ඉදි කර ඇත. අද වන විට කොරියාවේ වෙසෙන ලාංකිකයන්ට මහත් ශක්තියක් වී ඇත්තේ කොරියාවේ අපේ පන්සලයි.
“ කොරියානු ජාතිකයන්ට තම ජාතිය ඉතාම වටිනවා. ජාතිය ඔවුන්ගේ අංක එක. මේ වන විට කොරියාවේ රටවල් 11ක් බෞද්ධ පන්සල් හදලා තියෙනවා. මේ රටවල් එකොළහ එක් වී පිහිටුවූ ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සභාපතිවරයා ලෙස මෙවර පත් වුණේ මම. මහා විහාරයේ මේ වන විට වැඩ වසන දුල්වල වංගීෂ හිමි සහ පාගොඩ සරණසීහ හිමි විහාරස්ථානයේ කටයුතු වලට දායක වෙනවා.
අපේ විහාරස්ථානයේ සියලුම ආගමික කටයුතු කෙරෙන අතර, සෑම මසකම තුන් වන සෙනසුරාදා සිංහල භාෂාවෙන් සහ කොරියානු භාෂාවෙන් ශිල භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. කොරියන් ජාතිකයන් සඳහා සිංහල භාෂාව ඉගැන්වීමත්( කොරියන් භාෂාවෙන්) වීසා වෙනස් කරගැනීම සඳහා ලාංකිකයන්ට කොරියන් භාෂාව සිංහලෙන් ඉගැන්වීමත් අපේ විහාරස්ථානයේදී සිදු කරනවා. ඒ වගේම කොරියාවේදී අනතුරුවලට පත් වෙන රෝගවලට ගොදුරු වන ලාංකිකයන් සඳහා මුල්‍ය ආධාර ලබාදීමටත් අප මැදිහත් වෙනවා. කොරියාවේ රෝහල් ගාස්තු ඉතාම ඉහළයි. ඒ වගේම භාෂාව නොදන්නාකම නිසා අපේ අය බොහෝ අසරණ වෙනවා.
එවැනි වේලාවක මුල්‍ය ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. ඒ අය ගැන සොයා බැලීමත් කරනවා. ඊට අමතරව කොරියා ශ්‍රී ලංකා මහා විහාර පදනම මඟින් ලංකාවේ සිදු කරන සුබසාධන කටයුතු සඳහා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ට අවශ්‍ය පෝෂණ ආහාර බෙදාදීම, ශෂ්‍ය ආධාර ලබාදීම, කිරිගවයන් ලබාදීම, පාසල් උපකරණ ලබාදීම වගේම විහාරස්ථාන ගොඩනැඟීමට ආධාර ලබාදීමත් කරනවා. ශ්‍රි ලාංකා-කොරියා සංස්කෘතික වැඩසටහන් පැවැත්වීමත් කරනවා. ”
ධම්මකිත්ති හිමියෝ පවසන්නේ කොරියාවේ අසාන් ප්‍රදේශයේ පිහිටි මහා විහාරය හෙවත් කවුරුත් අපේ පන්සල ලෙසින් හඳුන්වන විහාරස්ථානය මුල් කරගෙන සිදු කරන වැඩසටහන් පිළිබඳ ය.