එළිවන තුරු නින්දක් නැති බොන්නට දිය පොදක් නැති ඇල­ප­ත්ගමේ වැසියන්ගේ විලාපය | සිළුමිණ

එළිවන තුරු නින්දක් නැති බොන්නට දිය පොදක් නැති ඇල­ප­ත්ගමේ වැසියන්ගේ විලාපය

* සෝභිත හිමිගේ අපවත් වීමත් එක්ක නිවාස ව්‍යාපෘතියත් නතර වුණා

 

* පවුල් තුන-හතර එක ගෙදරට එකතු වෙලා එළි වන තුරු අලි එළවන්න කෑගහනවා

 

* නාන්න වතුර නැති වුණාම වැවේ බොර වතුරත් නානවා

 

* ගමට යන්න තිබුණ එකම බසයත් දැන් නෑ

මේ දුරුත්තේ රට පුරා ඇත්තේ සීතල බවකි. කඩින් කඩ වැසි වැටුණත් ඇතැම් පළාත්වල ඇත්තේ වියළි කාලගුණයකි. මේ අතර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇලපත්ගම ගම්මානයේ ජනතාව කලක් තිස්සේ අනේකවිධ ප්‍රශ්නවලින් බැටකමින් සිටිති. පවුල් 200කින් සමන්විත මේ ගම්මානයේ වැසියන් ජීවිකාව ගෙන යන්නේ හේන් ගොවිතැන් කිරීමෙනි. ඒත් ඔවුන්ගෙන් ඇතැම් දෙනා දැන් දැන් තම අඹුදරුවන් පෝෂණය කිරීමට කුලී රස්සා සොයා යන්නට පටන් ගෙන ඇත.

දරිද්‍රතාවෙන් පෙළෙන ඇලපත්ගම ගම්මානයේ වැසියන්ගේ සමහර නිවෙස් පැල්පත්ය. ඇතැම් නිවෙස් දුටු විට එක්වරම සිතට නැඟෙන්නේ මේ නිවාසවල දරුවන් සමඟ ජීවත් වීමට හැකිද කියාය.

මොවුන් මුහුණ දෙන ලොකුම ගැටලුවක් වී ඇත්තේ ජලය හිඟකමයි. ගම්මානයටම බීමට, දිය නෑමට ජලය සපයාගැනීමට ඇත්තේ නළ ළිං තුනක් පමණි. වෙනත් ළිංවලින් ජලය ගත නොහැකිව ඇත්තේ කිවුල් ගතිය වැඩි බැවින්යැයි ගැමියන් පවසන්නේ කනගාටුවෙනි.

දැනට වසර කිහිපයකට පෙර මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් එක්තරා සමාගමක් සමඟ එක්ව නිවාස 153කින් යුත් නිවාස ඉදි කිරීමට කටයුතු කර තිබුණද එයද සාර්ථක වී නැත. ඇතැම් නිවාසවලට දැමු අඩිතාලම අදද එලෙසින්ම දැකිය හැකිය.

ජල ප්‍රශ්නයෙන්, දරිද්‍රතාවෙන් පමණක් නොව; වන අලින්ගෙන්ද පීඩා විඳින තමන් ගමනක් බිමනක් යන්නේ මරණ සහතිකය අතේ තියාගෙන මෙනැයි ගැමියකු පැවසුවේ දෑසේ කඳුළු පුරවාගෙනය.

ඇලපත්ගම ගමේ වාසය කරන එස්. නිමල්සිරි ඔවුන් විඳින දුක පැවසුවේ මෙසේය:

“මේ ගමේ පවුල් 200ක් ජීවත් වනවා. අපේ ගම කොන් වෙලා තියෙන ගමක්. අපට කවදාවත් දේශපාලකයෙක් කිසිම දෙයක් කළේ නැහැ. අපේ ගමේ මිනිස්සු අනන්ත දුක් විඳිනවා. හේනක් කුඹුරක් කරගන්න පුළුවන් වන්නේ වැස්සක් ආවොත් විතරයි. ගොඩාක් දුර ගිහිල්ලා තමයි කුලියක් මලියක් කරගෙන එන්නේ. අපේ වැවෙ රොන් මඩවලින්ම පිරිලා. වැස්ස දවස්වලට විතරක් වැව පිරෙනවා. අයෙමත් ටික දවසකින් වැව හිඳිලා යනවා. මේ නිසා අපි හැමදාම දුක් විඳිනවා...” ඔහු පවසන්නේ යාන්තම් වතුර ඇති වැව පෙන්වමිනි.

“ගමට නළ ළිං තුනයි තියෙන්නේ. වැව හිඳුණාම නාන්න තැනක් නැති හින්දා මේ නළ ළිංවලින් තමයි නාන්නේ. නාන්න ගියාම වරු ගණන් ළිඳ ළඟ ඉන්න ඕනෑ. මිනිස්සු පිරෙනවා. අටසියයකට දාහකට ළිඳේ නාන්න බැරි නිසා වැවේ තියෙන මඩ වතුර නාන්න අපේ මිනිස්සු පුරුදු වෙලා. සමහර කාලවලට වැවේ තියෙන්නේ වතුර ටිකයි. ඒකත් බොර වතුර. ඒ වතුර නෑවාම ඇඟ කසනවා. අපට පයිප්ප වතුර නැහැ. වැස්සක් වැටෙන තුරු මිනිස්සු බලාගෙන ඉන්නේ ආසාවෙන්. වැස්ස වැටෙන කොට ගෙදර තියෙන භාජන හැම එකකටම වතුර පුරවනවා. ඒ වතුර තමයි වැසිකිළි යන්නත් ගෙදර වළං පිඟන් සෝදන්නෙත් පාවිච්චි කරන්නේ...” ටී.වී. අශෝකා චාන්දනී පවසන්නේ වතුර හිඟකම නිසා ඔවුන් විඳින පීඩාවය.

“මේ ගමේ මිනිස්සුන්ට අපේ සෝභිත හාමුදුරුවෝ සමාගමක් එක්ක එකතු වෙලා ගෙවල් 153ක් හදන්න මුල්ගල් තිබ්බා. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ ඒවායේ වැඩ නතර වුණා. සමහර තැන්වල අඩිතාලම විතරයි දාන්න ලැබුණේ. ගෙවල් කිහිපයක් තරමක් දුරට ඉදි කරලා තියෙනවා. කවුරුවත් අපි ගැන සොයන්න බලන්න එන්නේ නැහැ. අපට මේ ගෙවල්වල වැඩ අවසන් කරගන්න අතේ සල්ලිත් නැහැ. සෝභිත හාමුදුරුවෝ හිටියා නම් අපට මෙහෙම වන්නේ නැහැ. මොනවා කරන්නද. උන් වහන්සේ අපවත් වුණේ අපේ කරුමෙට. තවත් එකක් කියන්න ඕනි. උන් වහන්සේ ඉන්න කාලේ ඒ උත්තමයට ලැබෙන කිරිපිටි පැකට්එකත් අපට ගෙනල්ලා දෙනවා...” ඩී. තුෂාර බංඩා පවසන්නේ තම ගමට යම් සහනයක් සැලසූ මාදුළුවාවේ සෝභිත හිමියන් ගැන ගෞරවයෙනි.

බොහෝ පීඩාවලට මුහුණ දෙන මේ ගැමියන් තම දුක කාට කියන්නදැයි සිතාගනු බැරිව ළතැවෙති. කේ.ඩී. වීරරත්න ඒ ගැන පවසන්නේ මෙලෙසිනි:

“අපේ ගමේ මිනිස්සුන්ට යන එන මං නැහැ. වැස්ස නැත් නම් කන්නත් නැහැ. සමහර පැතිවලට ජලයෝජනා ක්‍රම තියෙනවා. අපට ඒකත් නැහැ. අපේ ගමේ මිනිස්සු කුලී වැඩක් හොයාගන්නත් ගොඩාක් දුර යනවා. පිටින් කවුරු හරි අපේ ගමට හාල් ටිකක්, මිරිස් ටිකක් හරි වෙන මොනවා හරි ගෙනල්ලා දුන්නම පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒවා ගමේ මිනිස්සුන්ට බෙදලා දෙනවා. ඡන්ද ළං වනකොට අපේ ගමට පක්ෂ තුනෙන්ම එනවා. ඒක ඉවර වුණාට පස්සේ ඒ අය දකින්නත් නැහැ. ආයේත් එන්නේ ඊළඟ පාර ඡන්දෙට. එතකල් අපි උන්නාද මළාද කියලා බලන්න කෙනෙක් නැහැ.”

ඔවුහු අනුන්ට අත නොපාති. ඔවුන් ඉල්ලන්නේ තමන්ට ජීවත් වන්න මඟක් සලසන ලෙසය. සොබාදහමින්ද පීඩා විඳින ඔවුන් වන අලින් නිසා ජීවත් වන්නේ මර බියෙනි.

“රැයක් දවාලක් කියලා නැහැ. අපට අලින්ගෙන් කරදරයි. ගමනක් යන්නේ මරණ සහතිකයත් ලියාගෙන. ඒ තරමට අලි නිසා අපි ජීවත් වෙන්නෙ බයෙන්. ඉඳලා ඉඳලා හේනක්, කුඹුරක් කළත් ඒකත් අලි වනසනවා. අපි අලින්ගෙන් වගාව බේරගන්න, ජීවිත අලින්ගෙන් බේරෙන්න පවුල් තුන-හතරක් එක ගෙදරකට එක් වෙලා රෑ එළි වනකල් කෑගගහ ඉන්නවා. අපට අප ඇරෙන්න වෙන පිළිසරණක් නැහැ...” ගීතිකා ප්‍රියදර්ශනී පවසන්නීය.

කලකට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මේ ගමට නොච්චියාගම සිට ධාවනය වුවද දැන් එයත් නැත. ගැමියෝ දැන් ප්‍රවාහන පහසුකම් නැතිකමින්ද පීඩා විඳිති.

මේ පිළිබඳ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මන්ජරි සී. චන්ද්‍රදාස මහත්මියගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ මෙවැනි කතාවකි:

“මේ ගම්මුන්ගේ පානීය ජල අවශ්‍යතාව සපුරන්න පන්සලේ ජල පිරිපහදු යන්ත්‍රයක් සවි කරලා තියෙනවා. මේ දිනවල වර්ෂාව ලැබෙන නිසා ගමේ වැව් පිරිලා තියෙනවා. මේ ගමට නළළිං 5ක් තියෙනවා. ඒ වගේම පෞද්ගලිකවත් ළිං 20ක් විතර තියෙනවා. දැනට අලි වැට කිලෝ මීටර් 8ක් විතර දිගට තියෙනවා. අලුතින් පවුල් 2-3ක් පදිංචි කළා. ඒ අයත් රැකගන්න වනජීවි දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා තවත් කිලෝ මීටර් 2ක් දුරට අලිවැට දික්කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම කිලෝ මීටර් 4ක් දුරට ජීව වැටක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒවයේ දෙහි සහ හණ වගාව තමයි දාන්නේ. ඒය සාර්ථක වුණොත් ජීව වැට තවත් දික්කරනවා. මේ වැට නඩත්තු කරන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්. තව අපි ගමේ අයට අලි වෙඩිත් නිතරම දෙනවා. නිවාස ව්‍යාපෘතියේ ගෙවල් 153 හදන්න අපි ඉඩම් කට්ටි වෙන් කරලා දුන්නා. ඒක හදන්නේ කථානායක කාර්යාලයයි ලින්ක් ඉන්ජීනියරින් සමාගමයි එකතුවෙලා.”

ප්‍රාදේශීය ලේකම්තුමිය පවසන අන්දමටම කටයුතු සිදු වන්නේ නම් මේ ගම්වැසියන්ගේ ගැටලු රැසකට වැඩි කලක් යා නොදී විසඳුම් ලැබිය යුතුය. එසේ වන තුරු අපිදු මහත් බලාපොරොත්තු සහගතව සිටිනුයේ ඔවුන්ගේ ජීවන තත්ත්වය සියැසින්ම දුටු බැවිනි. 

 
 
 
 

Comments