අද වන විට කේක් නිර්මාණකරණය බෙහෙවින් ජනප්‍රිය වේ. මුල් කාලයේ කිසිදු සැරසිල්ලක් නොකළ කේක් නිර්මාණ අද විවිධ සැරසිලි ආදියෙන් ඔප වැටී අදහා ගත නොහැකි නිර්මාණ ලෙස එළදකී. සත්ත්ව රූප, කෝච්චි, මල් බෝනික්කන් ආදි ලෙසින් එළි දුටු කේක් නිර්මාණ අතර පසුගියදා දුටු ජීවමාන මිනිස් රුවක් රැගත් නිර්මාණය හරි අපූරුය. උඩරට පළාතේ නිලමේ වරයෙකුගේ රුවක් රැගත් ඒ නිර්මාණය කාගේත් පැසසුමට ලක්විය. සැබැවින්ම එවන් නිර්මාණයක් කළ ශිල්පිනිය කවුරුද? ඇය නම් ෆස්ලියානා රමින්ය. දෙමටගොඩ ප්‍රදේශයේ Tallent Hub ආයතනයේ හිමිකාරිනිය වන ෆස්ලියානා එම ආයතනයේ, මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්, බේකරි නිෂ්පාදන සහ කේක් නිෂ්පාදන පිළිබඳව වෘත්තියමය මට්ටමින් පාඨමාලා රැසක් පවත්වනු ලැබේ. TBEC තෘතියික වෘත්තීය පුහුණු ආයතනයේ ලියාපදිංචි ආයතනයක් වන මෙම ආයතනය සිය පාඨමාලා සඳහා එක්සත් රාජධානියේ සිටි ඇන්ඩ් ගිල්ඩ් ප්‍රමිතියෙන් යුතු සහතිකයක් ලබා දීම සිදුකරන අතර පසුගියදා ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලද නව නිර්මාණ පිළිබඳ ඇය කතා කරනුයේ මෙලෙසිනි.
මේ ප්‍රදර්ශනය නැරඹීමට විදේශිකයන් පැමිණෙන බව මට දැන ගන්නට ලැබුණා. මට හිතුණා අලුත්ම නිර්මාණයක් කරන්න ඕන කියලා. උඩරට නිලමේ කියන්නේ අපේ රටේ සංස්කෘතියට අයත් දෙයක්. ඒ නිසයි මම උඩරට නිලමේ කේක් ආකෘතියක් ලෙස කළේ. මේ සඳහා පොන්ඩන් අයිසින්, පාෂ්මන්ට් අයිසින්, ආදිය භාවිතා කෙරුවා. මේ ප්‍රදර්ශනය සඳහා එක් එක් අය වෙනස් වෙනස් නිර්මාණ කෙරුවා. මට සතුටක් තියෙනවා අපේ සාම්ප්‍රදායික නිර්මාණයක් කරන්න ලැබීම ගැන. මෙය දුටු බොහෝ අය මා අගය කළා. එය මට වටිනවා. මෙම නිර්මාණය කිරීමට මාසයක කාලයක් ගතවුණා.
දෙමටගොඩ කයිරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ෆස්ලියානා මෙම ක්ෂේත්රය තුළ වසර 10 ක පළපුරුද්දක් ඇත්තියකි. කේක් නිර්මාණය පිළිබඳ පාඨමාලා පැවැත්වීමේදී ප්‍රායෝගික පුහුණුව මෙන්ම ශිල්පීය ක්‍රම සහ නව නිර්මාණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි.
කේක් නිර්මාණ ක්ෂේත්රයේ නව අත්හදාබැලීම් සිදු කරන අතර ඇය සාම්ප්‍රදායික හැඩයකින් යුතු කේක් නිර්මාණයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
මෙම කේක් නිර්මාණය උඩරට මුල් ඇඳුම සහිත නිලමේවරයෙකු ද, සඳකඩ පහන ද නිර්මාණය කර ඇත. ශ්‍රී ලාංකේය අනත්යතාවය නිරූපණය කරන මෙම කේක් නිර්මාණය මුස්ලිම් ජාතික යුවතියක් අතින් නිර්මාණය වීම විශේෂිතය. මෙම කේක් ආකෘතියේ වර්ණ ගැළපීම් හැඩතල, රටාවන් සියල්ල සජීව බවින් යුතුව නිර්මාණය කර තිබිණි. පසුගිය නොවැම්බර් 03 වැනි දා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති තරගය සඳහා මෙම කේක් නිර්මාණ ඉදිරිපත් කර තිබිණි.
ඇය ජයග්‍රහණය ලබාගත් පළමු කේක් නිර්මාණය මංගල කේක් ආකෘතියකි. එහිදී ඇයට රන් සම්මානය හිමිවිය. පලතුරු සහිත ආකෘතියක් නිරූපණය කරමින් ඇය විසින් නිර්මාණය කළ කේක් ආකෘතිය සඳහා ද සම්මානයක් හිමි විය.
ටිෂානි