නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

පිය සතුට

ඇදී ආ ලංගම බසයට අත දමා නැඟුණු මට එහි පිටුපස අසුන එහෙම පිටින් ම ලැබිණ. එහි පසෙක හිඳ සිටියේ තරුණ අම්මා කෙනෙකු පමණි. ඊට ඉදිරි අසුනේ සිටි එබඳුම අම්මා කෙනෙක් පිටුපස හැරී ඇයත් සමඟ උස් හඬින් කතා කරමින් සිටියා ය. බසයේ ඉදිරි අසුන්වල සිටි කිහිප දෙනාට ඔවුන්ගේ කතාව බාධාවක් නොවී ය.

“අනේ මට පුතත් අරං ගලේ දේවාලෙ යන්ඩ ඕනැ. සෙනඟ වැඩියිලු නේද? උදේම ගියොත් කොහොමද?”

“මගෙ අම්මේ, කිට්ටු කරන්ඩ බෑ. ඒ තරමට සෙනඟ! ඔයා යනවනං පාන්දර පහට විතර යන්ඩ! ඒ වෙලාවෙ සෙනඟ නෑ. හොඳට බාරහාර වෙලා දෙවියො වැඳගෙන සැනසිල්ලෙ එන්ඩ පුළුවං. සෙනසුරාද ඉරිද නං යන්ඩ එපා! සෙනඟ වැඩියි.”

“මොනවද ගෙනියන්ඩ ඕනැ?”

“පූජා වට්ටියක් තිබ්බම ඇති. ඔය මහ දේවාලවල වාගෙ සල්ලි ගන්න කපුවො එතන නෑනෙ. තමංම ගිහිල්ල තමංම දෙයියන්ට බාරවෙලා බාරෙ හරි ගියාම ඒක ඔප්පු කරපුවම ඇති.”

“ඔය පාන්දර පූජා වට්ටි ගන්ඩ කඩ ඇරල ගියෙනවද?”

“අපොයි ඔව්. හැබැයි ඔයාට පුළුවං නං ගෙදරදිම එකක් හොඳට හදාගෙන යන්ඩ ඒවයිං ගන්ඩ ඕනැ නෑ. ඔය පලතුරු විකුණන කොයිතැනකට හරි ගිහිං පූජා වට්ටියකට පලතුරු දෙන්ඩ කියපුවම දෙයි. ඒව හෝදල පිහල ලස්සනට පොඩි වට්ටියක අඩුක් කරගත්තම හොඳටම හොඳයි.”

මේ දෙදෙනාගේ කතාවට මැදි වයසේ සිටි කොන්දොස්තර තැන කන් දීගෙන සිටියේ යමක් කීමට ආසාවෙන් මෙනි.

“කොහොමද අනේ දේවාලෙට යන්නෙ?”

ඊට වහා පිළිතුරු දුන්නේ කොන්දොස්තර තැන ය. දේවාලයට යෑමට පාරවල් දෙකක් ඇති බව කී ඔහු ඒ දෙකෙන් ම යන හැටි පැහැදිලි කර දුන්නේ ය.

ඊළඟ නැවතුමේ දී අම්මලා දෙදෙනා කොන්දොස්තරට සමු දී බසයෙන් බැසගත් හ. ඔවුන් පාපුවරුවෙන් බැස යන තුරු කොන්දොස්තර තැන ඉවසිල්ලෙන් බලා සිටියේ ය.

“රායිට් යං!”

රියැදුරුට එසේ හඬ තැළූ හේ මා හිඳ සිටි අසුනට බර දී මට හිනාවක් පෑවේ ය.

“මහත්තය, ඔය ළමයි බමයි උස්සගෙන දේවාල ගානෙ යන එක බොරු වැඩක්! දෙයියො කොහොමද විභාගෙට ලියන්නෙ? විභාගෙ ලියන්නෙ ළමයිනෙ. ඒකට ළමයින්ව හුරුකරන්ඩ මවුපියො දැනගන්ඩ ඕනැ. නැද්ද මං අහන්නෙ? මහත්තය මොකද කියන්නෙ?” ඔහු මා තීරකයා බවට පත් කළේ ය.

“ඔයාගෙ කතාව හැබැව!” මම ඔහුට ලකුණු සීයෙන් සීයම දුනිමි.

“අන්න මහත්තය හොඳ අවබෝධෙකිං ඉන්නව!” ඔහුගේ මුහුණේ හිනාව ඉතිරී ගියේ ය. එවිට ම වාගේ බසය නැවතුමක නතර වූ අතර දෙදෙනෙක් ඊට ගොඩ වූහ.

“ටග් ගාල නගින්ඩ! ඉස්සරහට ගිහිං වාඩිවෙන්ඩ!”

මගීනට එසේ විධාන කළ ඔහු වහා ගොස් ඔවුනට ටිකටි කඩා ගිය වේගයට වඩා වැඩි වේගයකින් පැමිණ යළිත් මා ළඟ හිඳ ගත්තේ ය.

“මහත්තයට කියන්ඩ මහත්තය මං මගෙ ළමයි දෙන්න විභාගවලිං පාස් කෙරෙව්වෙ ඔහොම නෙමේ. ඒකට මං අපූරු උපක්‍රමයක් පාවිච්චි කෙරුව!”

“උපක්‍රමයක්?”

“මුලදි අපේ නෝනත් ළමයි අරං දේවාලෙ යං කියල කිව්ව. මං එයාට කිව්ව සුදු නෝනෙ, අපි ඔය යන්නං වාලෙ දේවාල ගානෙ යන්ඩ ඕනැ නෑ. දැං අපේ දරුවො දෙන්න ඉස්කෝලෙ ගිහිං හොඳට ඉගෙන ගන්නවනෙ. අපි ඒගොල්ලංගෙ අඩුපාඩු සම්පූර්ණ කරන ගමං ඒ ගොල්ලංව ඉගෙනීමට පොලඹවමු” කියල. එයත් ඒකට කැමති උණා. මං මගෙ උපක්‍රමය ක්‍රියාවට යෙදෙව්ව! ඔය කාලෙ අපේ දුව හතරෙ. පුතා බාලයිනෙ”

මගේ කුතුහලය වැඩිණ. “මොකක්ද ඒ උපක්‍රමේ?”

“මං දූටයි පුතාටයි කතාකරල ඇහුව ඔයාලට තෑගි දෙකක් වුවමනා නං මොන වගේ තෑගිවලටද ආස කියල. දු ගත් කටටම කිව්ව තාත්තෙ මං ලොකු බෝනික්කෙකුට ආසයි කියල. පුතා කිව්ව වයිං කරන කාරෙකකට ආසයි කියල. ඊට පස්සෙ මං දෙන්නටම මෙහෙම කිව්ව. ‘‘ඔයාලට ඒ තෑගි ලැබෙයි. හැබැයි ඒව ලැබෙන්නෙ මෙදා සැරේ වාර විභාගෙං වැඩි ලකුණු අරං පෙන්නුවොත් විතරයි කියල. දරුවො දෙන්න තෑගිවලට තියෙන ආසාවට මහන්සිවෙලා ඉගෙන ගත්ත. කිව්වත් වගේ දෙන්නම වැඩි ලකුණු ගත්ත. මං මගෙ පොරොන්දුව ඉෂ්ට කෙරුව. ඔන්න ඔය විදිහට තමයි මහත්තය ඒ දෙන්නව අවුරුද්දෙං අවුරුද්ද මං ඉහළිං පාස් කෙරෙව්වෙ. හැබැයි අවුරුද්දෙං අවුරුද්ද තෑගිත් ලොකු වුණා. මාත් කොහොම හරි කරල ඒව අරං දුන්න... ඔන්න දුවගෙ ඕ ලෙවල් විභාගෙ ආව. තාත්තෙ මං විභාගෙ හොඳිං පාස්වෙනව. මට මහන මැෂිමක් ඕනැ කියල දුව කිව්ව. මං හා කිව්ව. කිව්ව වගේම කෙල්ල ඉහළිං පාස් උණා. මාත් එයාව සාප්පුවකට එක්ක ගිහිං අලුත් මැෂිමක් අරං දුන්න. ඔන්න පුතාගෙ ඕ ලෙවල් විභාගෙ ආව. එයා ඉල්ලුවෙ මෝටර් සයිකලයක්! මාත් හා කිව්ව. කොල්ලත් ඉහළිංම පාස් උණා. මාත් පොරොන්දුව ඉෂ්ට කෙරුව”

“ෂහ්!”

“දුව දැං කැම්පස්. දැං එයාගෙ මොළේ මෝරල නිසා තෑගි ඉල්ලන්නෙ නෑ. හැබැයි පුතා මට චැලේන්ජ් එකක් කෙරුව!”

“මොකක්ද?”

“තාත්තෙ, මං ඒලෙවල් පාස්වෙනව. මට කාර් එකක් ඕනැ කියල කිව්ව. මට බෑ කියන්ඩ බෑනෙ. මං චැලේන්ජ් එක බාර ගත්ත! හැබැයි ඒ වැඩේ මට අමාරුයි. මගෙ අර්ථසාදධකෙං මොනව හරි කරල අරං දෙන්ඩ ඕනැ. මොකද පොරොන්දු ඒ විදිහට තියෙන්ඩ එපෑ. කාර් තෑග්ග මොනව වුණත් කොල්ල පාස්වෙන එක මට ෂුවර්. හැබැයි කාර් එක අරං දුන්නත් නොදුන්නත් එකක් පැහැදිලියි. දරුවො දෙන්නම දැං ගොඩ ගිහිං! එතන ඉඳල ඒ ගොල්ලො තම තමංගෙ ලෝක ගොඩනගාගනී!” ඔහු කතාව නිම කර අතරමගදී නැගගත් මගීනට ටිකට් කඩන්නට දිව්වේ ය. ඒ රාජකාරිය වහ වහා ඉටුකළ හේ යළිදු මා සොයා ආවේ ය.

“ඔන්න ඕකයි මහත්තය ම‍ෙග ක්‍රමේ! ඒක නියමෙටම සාර්ථක වුණා. මේ වගේ රස්සාවක් කරන මං වගේ තාත්ත කෙනෙකුට දරුවො දෙන්න ගොඩ ගියා කියන්නෙ කියල නිම කරන්ඩ බැරි සතුටක්!”

ඔහුගේ හිතේ සතුට පුළුල්ව මුහුණේ ඇඳී ගිය සිනාවේ පිළිබිඹු විය. ඒ සිනාව සැහෙන වෙලාවක් ඔහුගේ මුහුණ එළිය කළේ ය

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

Comments