නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

හොඳ හිත

ඉරිදා පොළ සෙනඟින් පිරී ගොසිනි. වෙළ‍ඳුන් ගේ කෑගැසිල්ලත්, පාරිභෝගිකයන් ගේ කතා කිරිල්ලත් එකට කැළතී නැගෙන්නේ මහා ඕංකාරයකි. පොළේ මහ සෙනඟ අතරින් මතුවුණු මැදිවියට ළං වූ කෙසඟ කතක එළවළුවල මිල ගණන් අසමින් පොළේ ම එළිමහනකට පැමිණ සිය මුදල් පසුම්බිය දිග හැරියා ය.

‘අනේ නංගියෙ, ‘ හිසකේ අවුල් වූ, වියළි මුහුණින් යුතු තර කතක් ඇය ඉදිරියේ නැවතුණා ය. ඇය තර කත ගේ මුහුණ මුහුණ පිරික්සුවා ය.

“අනේ නංගියෙ, මට දරු පැටව් තුන් දෙනෙක් ඉන්නව. කුලී රස්සාවක් කරන්ඩත් බෑ මේ නහර ගැටගැහිල්ල හින්ද. උන්ට එළවළුවක් ගන්ඩ මට කියක් හරි දිල පලයං!”

“ඇයි උන්ගෙ තාත්ත ?”

“මැරිල!”

ඇගේ හිත උණු විය. ඇය දිළිඳු මුදල් පසුම්බියට ඇඟිල්ලක් රිංගවා පුංචි නෝට්ටුවක් ගෙන ගැහැනියට දුන්නා ය. “පිංසිද්ද වෙච්චාවෙ” යි කියමින් ගැහැනිය ගියා ය.

මෙවර කෙසඟ කත පොළ මැදින් නොගොස් එය වටා රවුමක් යන්නට පටන් ගත්තා ය. වැඩි දුරක් යන්නට පෙර ඇය සෙනඟ පොදියක හිර වුණා ය. පොදිය හැදී තිබුණේ යමකු මග හිරකරගෙන දෑත දෙපසට විහිදාගෙන සිටි නිසා බව ඇය නොදත්තා ය. එකෙණෙහි ම ඇගේ නෙතු ඒ ආයාචනාත්මක පිරිමි නෙතු හා ගැටිණ.

“නෝන, මේ මං දිහෑ බලන්ඩ. හොඳට බලන්ඩ! මං මේ හිටගෙන ඉන්නෙ කිහිලිකරුවෙං! මෝටාර් එකක් වැදිල මගෙ කකුල දෙකටම කැඩිල ගියා. මට දරුවො පස් දෙනෙක් ඉන්නව. අතට ලැබෙන එක වියදමට

මදි! මට උපකාරයක් කරන්ඩ නෝන”

ඇයට ඔහු ගේ ආයාචනාත්මක බැල්ම මග හැරිය නොහැකි විය. ඒ පුන්‍යකර්මය හමුවේ තමා දිළිඳු බව ඇයට නොවැටහිණ. ඇය පරණ නෝට්ටුවක් ගෙන ඔහුට දී එතැනින් රිංගා ගත්තා ය.

එළවළු, පලතුරු, රස කැවිලි, පලාකොළ ආදිය අතරින් මිදුණු ඇගේ දෑසෙහි ඇලුණේ රැළි වැටුණු මුහුණක වියළි හිනාවකි. වැහැරී සිටි වියපත් කතක් ඇදුණු දෑත් පා ඇය දෙස හොඳින් බැලුවා ය.

“දුවේ, මට කීයක් හරි දීල පලයං”. බඩු ගිනිගණංනෙ බං. කොහොමද අපි කන්නෙ? දූරු දෙන්නගෙම දරුවො ඉන්නෙ මං වටේ. උංගෙ බඩවල් පුරවන්ඩ එපෑ!”

ඇය යළිත් සිය මුදල් පසුම්බියට දෑගිල්ල යැව්වා ය. ඊ ළඟ පරණ නෝට්ටුව ද එළියට ආවේ ය.

“පිංසිද්ධ වෙච්චාවෙ!”

ඇය යළිත් පොළ මැදට වැදුණේ ගිනි ගත් හදිනි. සතිය පුරා ටික ටික එකතු කරගත් සල්ලි ටික ඊ ළඟ සතියට වුවමනා කළමනා ගන්නට ද මදි ව තිබිය දී ඉන් කොටසක් දන් දෙන්නට සිදු ව තිබේ. මිනිස්සු තමන්ට ම දුක කියන්නේ ඇයි? අනුන් ගේ දුක හමුවේ තමා ගේ හද හඬා වැටෙන්නේ ඇයි? උන් ගේ දුක අසා ඒ නෑසුණා සේ අහක බලාගෙන යෑමට ඇයට හිත නොදේ. දනට දීම පිනකි. එහෙත් පසුම්බිය හිඳෙයි.

පොළ තුළ ඇවිද යන ගමන් එළවළු, අල, ලූනු ආදියේ මිල ගණන් ඇසූ ඇය කට වසාගෙන යළිත් එළිමහනකට ආවේ කරකියාගත හැකි දෙයක් නැති තැන ය.

එතැන රැදුණු ඇය වටපිට බැලුවා ය. මිනිස්සු අලුත් නොට්ටු දිගු කරමින් තරගයට මෙන් බඩු ගනිති. උන්ට ඇත්තේත් තමන්ට නැත්තේත් ඇයි? තමනුත් සෙස්සන් මෙන් දිනපතා මහන්සි වී වැඩ කරනවා නොවේ ද? එසේ නම් තමන්ට නැති වැඩි මුදලක් ඔවුන්ට ලැබෙන්නේ කෙසේ ද?

ඇය අසල ම වෙළෙන්දෙක් විසිතුරු මල් පැළ විකුණමින් සිටියේ ය. නෝනලා ද මහත්තුරු ද මල් පැළවල මිල ගණන් විමසමින් ඒවා අත පත ගාමින් සිටියහ. පැළ වෙළෙන්දා ගෙන් මල් පැළයක් වෙන් කරවා ගත් මහතෙක් එය පසෙක තබවා එහි මිල ගෙවන්නට සිය මුදල් පසුම්බියට ඇඟිලි රුවා කොළ පැහැ නෝට්ටු එළියට අදිද්දී දෙකට නමන ලද රන් පැහැ නෝට්ටුවක් බිම වැටෙනු ඇය දුටුවා ය. මහත්තයා ඒ බව නොදත්තේ ය. ඇය වහා නැමී එය ඇහිද කිසිත් නොවූ ගාණට සෙනඟ අතරට වැදුණා ය. ඇය සෙනඟ පීරාගෙන පොළේ එහා කෙළවරට ගියේ සෙරක මෙනි.

සෙනඟින් හිස් වූ තැනක නතර වූ ඇය රහසේ ම නෝට්ටුව පිරික්සුවා ය. රුපියල් පන්දහසේ අලුත් නෝට්ටුවකි! පහේ අංකයත්, බින්දු පෙළත් දුටු හැටියේ ඇය වෙව්ලා ගියා ය. මේසා වටිනා නෝට්ටුවක් ඇල්ලූ කාලයක් ඇගේ මතකයේ නොවී ය.

ඇය එය ගුළි කරගෙන මහ පාරට ආවා ය.

දැන් පොඩි කෙලීට ගවුමක් ගත හැකි ය. ලොකු එකාට කලිසමක් ගත හැකි ය. තමාට සෙරෙප්පු ජෝඩුවක් ගත හැකි ය. මල්ල පිරෙන්නට බඩු ද රැගෙන ගෙදර යා හැකි ය.

රෙදි සාප්පුවකට ගොඩ වූ ඇය ඇතුළට එබී බලා යළි ආපසු හැරුණා ය. ඇගේ හදවත ඇයට එරෙහි ව නැගෙන්නට පටන් ගත්තේ ය.

මෙතෙක් කල් පහන් පැලක් සේ නිකැළැල් ව තිබූ හදවත දැන් හඬා වැටෙන්නා සේ ය. ඇය හරිය වැරැද්ද අතරේ හිරවී තෙරපුණා ය. ඇගේ පපුවේ ගැස්ම වැඩි විය. ඇය වහා ආපසු හැරුණා ය.

රතු ටී ෂර්ටය හැදි මහත්තයා වෙළෙන්දකු ළඟ සිටියේ ය. වෙළෙන්දා ඔහුට බඩු මල්ලක් දුන්නේ ය. ඔහු නෝට්ටුවක් දුන්නේ ය.

“මහත්තය !” ඇය ඔහු ඇමතුවා ය. ඔහු ඇය දෙස බලා නළල රැළි ගැන්නුවේ ය.

“ඇයි?”

“මහත්තයගෙ පර්ස් එකෙං රුපියල් පන්දාහෙ කොළයක් වැටිල කියල මහත්තය දන්නැද්ද?”

“මගෙ?” ඔහු වහා සිය පසුම්බිය පිරික්සුවේ ය.

“ඇත්ත නේන්නං. පන්දාහෙ කොළයක් තිබුණ. ඒක දැං නෑ”

“මෙන්න මහත්තය ඒක” ඇය නෝට්ටුව ඔහුට දිගු කළා ය. ඔහු පුදුමයෙන් එදෙස බලා සිට හිනැහී එය අතට ගත්තේ ය. “තෑන්ක් යූ” එකෙණෙහි ම ඇය යන්නට ගියා ය.

පොළේ කෙළවර එළිමහනේ සිමෙන්ති බංකුව හිස් ව තිබිණ. ඇය ඒ මත ඇද වැටුණා ය. ඇගේ දෑස කඳුළින් පිරී ගියේ ය. නැතිවූ පන්දාහේ නෝට්ටුව තමාට දුන් ගැහැනිය හිටි හැටියේ ම අතුරු දහන් වීම නිසා මහත්තයා තුළ ඇති වූයේ කුතුහලයකි. ඔහු ඇය ගැන විපරම් කරමින් පොළ කෙළවරට ආවේ ය. ඇය හඬමින් සිටිනු ඔහු දුටුවේ ය.

“මොකක්ද ප්‍රශ්නෙ?”

ඇය ගැස්සී නැගිට්ටා ය. රතු ටී ෂර්ටය හැදි

මහත්තයා තමා දෙස හිනැහීගෙන බලා සිටී.

ඇය කඳුළු අතරින් සිනාවක් නැඟුවා ය.

මේ නන්නාඳුනන කෙසඟ ගැහැනිය ලොකු ප්‍රශ්නයක හිරිවී සිටින බව ඔහුට වැටහිණ.

“බඩු ගන්ඩ ආව නං ඔතෙන්ට වෙලා අඬ අඬ ඉන්නෙ ඇයි අක්කෙ?”

 

ඇය කඳුළු පිස දාගෙන වචන ගැට ගැසුවා ය.

“පොළ ඉවර වේගන එනකොට බඩු ලාබ

වෙනවනෙ මහත්තය. මං එළවළු දෙක

තුනකුයි කරෝල ටිකකුයි ගන්ඩ එතකං මේ

බලං ඉන්නෙ.‘

“එහෙමද?”එසේ ඇසූ ඔහු යළි කිසිත් නොදොඩා පොළතුළට ගියේ ය.

මහත්තයාට තමා ගේ ප්‍රශ්නය ගැන නොකියා ඕනෑවට වඩා අවංක වී තමා කළේ මොනතරම් මෝඩ වැඩක් දැයි සිතමින් ඇය බංකුව මත ලැග සිටියා ය.

වැඩි වේලාවක් ගත නොවී ය. රතු ටී ෂර්ටය හැඳි මහත්තයා ඇය ඉදිරියේ පෙනී සිටියේ ය.

“අක්කෙ, මේක තියා ගන්ඩකො” බරට බර කළු පැහැ ප්ලාස්ටික් බෑගයක් ඇගේ ඔඩොක්කුවේ තැබූ ඔහු නොපෙනී ගියේ ය.

ඇය පුදුම වී මල්ල දිග හැරියා ය.

එහි වූයේ අලුත් එළවළු වර්ග කිහිපයකි. ඒ මැද තිබු ලොකු කරදාසි මුල මදක් ඉරා බැලූ ඇයට දැක ගත හැකි වූයේ කරවල කැබැල්ලකි.

 

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

Comments