යෝධ පීත්ත පටියක් බඳු මහා මාර්ගය හිරු රැසින් බබළයි. වාහන තදබදයක් නැති බැවින් ඈත අහසේ පුපුරන්නාට මහා මාර්ගය රිසි පරිද්දෙන් දැවිය හැකිය.
“නවත්තන්න...”
අමාලි නැවතත් කෝපයෙන් කෑගෑවාය.
“නැවැත්තුවෙ නැත්තං...?”
තිරිංග තද කරන්න නොවෙහෙසුණු රමේෂ් සරදම් සරින් ඇසුවේය.
“නැවැත්තුවේ නැත්තං යන වාහනෙන් බිමට පැනලා බෙල්ල කඩාගන්නෙ නෑ මම...”
“මම ඒක දන්නවා...”
ඇය නොහෙළුෑ සුසුමක බරින් මිරිකුණාය.
“ඔයා මාව විශ්වාස කරන්නෙ නැත්තං මං හින්දා කරදර වෙන එක මෝඩකමක් නේද රමේෂ්....?”
ඇගේ ස්වරයෙහි සුපුරුදු සැහැල්ලුව නොවීය. ඒ සෝබර හඬ ඔහුගේ සිත දයාව වඩවාලයි.
“මේක විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ අමාලි. ඔයා කේන්ති ගත්තෙ මා එක්ක නෙමේ. ඔයා එක්කමයි. ඒකයි මම කලබල වුණේ...”
ඇය විමතියෙන් අයා ගත් ඇසින් ඔහු දෙස බැලුවාය.
“ඔයා කොහොමද රමේෂ් ඔය තරම් හොඳට මාව තේරුම් ගන්නෙ? අපි අඳුනගෙනත් වැඩි කාලයක් නෑ නේ...”
ඔහුගේ දෙතොලට නැගුණේ මඳ සිනාවකි.
“ඔයා හොයන්නෙ ඔයාගෙ අම්මව විතරක් නෙමේ. ඒ ඇත්ත මම දැනගත්තු නිසයි ඔයාට කේන්ති ආවෙ..”
ඇය අකැමැත්තෙන් වුව හිස සැලුවාය.
“අපි කතා කරමු අමාලි. අපි හුඟක් වෙලාවට හුඟක් දේවල් හිතේ හංගාගෙන තනියම දුක් විඳිනවා. තමන්ට හුඟක් කිට්ටු කෙනෙක් එක්ක වුණත් තමන්ගෙ හැඟීම් බෙදා ගන්න අපි මැළි වෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෑ. අපේ මිනිස්සු හැම දේම හිතේ හංගාගෙන දුකට ම ළං වෙනවා. සතුටෙන් ඈත් වෙනවා...”
ඇය දුක්බර මඳහසක් සමඟ “ඔයා හරි රමේෂ්” යි කොඳුළාය. වෙනදා මෙන් වාද කරන්නට උත්සුක නොවන යුවතිය කෙරෙහි ඔහු තුළ මහත් අනුකම්පාවක් ජනිත විය. අතුරුදන් වූ අම්මා පිළිබඳව තැවෙමින්, දරදඬු තාත්තා සහ වහා කැලඹෙන නැන්දා සමඟ වෙසෙන ඇයට ජීවිතය පහසු නැතැයි ඔහුට සිතිණ.
ඇගේ මව සෙවීම සඳහා හදවතට වහල් වෙමින් යන මෙබඳු ගමන් නවතා විධිමත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ඔහුට සිතිණ. පටන් ගත යුත්තේ කොතනින්දැයි දහ අතේ කල්පනා යුතු නැත. වේදනා සහගත වුවද අමාලිගෙන් ම ආරම්භ කළ යුතුය.
“ඔයාගෙ හිත රිදවන්න අකැමැති හින්දමයි මම ඔයාගෙ අම්මා ගැන වැඩි විස්තර ඇහුවෙ නැත්තෙ...”
සීරුවෙන් වාහනය පදවන අතරේම ඔහු නෙත් කොනින් ඇය දෙස බැලුවේය.
“ඕන දෙයක් අහන්න රමේෂ්.. මම දන්නවා ඔයාට මාව දැනෙනවා කියලා.. අම්මව හොයන්න මට වගේම ඔයාටත් ලොකු වුවමනාවක් තියෙනවා කියලත් මම දන්නවා.”
ඔහු ඊළඟ ප්‍රශ්නය යොමු කළේ එක්තරා සහනදායි බවක ගිලෙමිනි.
“අම්මා ගෙදර හිටපු අන්තිම දවස් ඔයාට මතක ඇතිනෙ.. කිසිම වෙනසක් ඔයා දැක්කෙ නැද්ද? අම්මා වෙනදා වගේමද හිටියෙ...?”
උත්තර දෙන්න පෙර ඇය දිගු සුසුමක් හෙළුවාය.
“ඔයාට අමාරු නම් අපි වෙන දවසක මේ ගැන කතා කරමු අමාලි...”
සන්තාපය මැඬගන්න ඇය දරන වෑයම ඉවසිය නුහුනු තරුණයා කරුණාවෙන් ඉල්ලා සිටියේය.
“නෑ රමේෂ්... දුක හිතෙයි බය හිතෙයි කියලා අපිට මේක මගාරින්න බෑ හැමදාමත්... මම කියන්නම්... මට මතක තියෙන හැමදේම මම කියන්නම්...”
ඇය ඒ සා ශක්තිමත් වීම ඔහු ඉතසිතින්ම අගය කළේ ය. ජීවිතය හැර පියා ගිය බව නිසැකව දන්නා අයකු පිළිබඳව ස්මරණය වේදනාකාරි බව ඔහු දනියි. මිය ගියේද ජීවතුන් අතර සිටිනේදැයි නිශ්චිතව නොදත් සමීපතමයකු පිළිබඳ මෙනෙහි කිරීම හද කකියන කර්තව්‍යයකි. එහෙත් අමාලිගේ මව සෙවීම සඳහා තමා ඒ සිද්ධිදාමයේ අග මුල විස්තර දැනගත යුතුව තිබේ.
“හොඳට මතක් කරන්න. විශේෂ දෙයක් මතක නැත්තං නිකං සාමාන්‍යයෙන් එදිනෙදා දේවල් වුණත් මතක් කරන්න..”
ඇය බහ තෝරන ළදැරියක තරමට අසරණව පසු වන අයුරු දුටු මහත් අනුකම්පා සහගත සිතින් පැවසුවේය.
“ඇත්තට ම විශේෂත්වයක් තිබ්බෙ නෑ රමේෂ්. ඉස්කෝලෙ බදාගත්තු ප්‍රින්සිපල් කෙනෙක්... ඉගෙනගන්න මහ ලොකු දස්සකමක් නැති දුවෙක්... හැමදාම තාත්තගෙයි දුවගෙයි රණ්ඩුවලට මැදි වෙලා විඳවන අම්මෙක්... පැත්තක් ගන්න බැරිව අසරණ වුණු නැන්දෙක්... ඕක තමා ඉතිං අපේ එදිනෙදා ජීවිතය.”
ඔහු අතෘප්තියෙන් තොල පෙරළීය.
“මදි මදි ඒ විස්තරේ මදි. අම්මයි තාත්තයි අතරෙ සමගියක් ආදරයක් තිබ්බෙම නැහැ කියලද ඔයා කියන්නේ?”
ඇය පාරේ පසෙක ගමන් ගන්නා පාපැදිය දෙස බැලුවාය. දහදිය වගුරුවමින් එය පැද යන්නේ පියා විය යුතුය. ලැගේජය මත හිඳ සිටින තුරුණු ගැහැනියගේ ඇකයේ බිලිෙඳකි. පාපැදියේ හරස් පොල්ල මත හිඳගත් කුඩා පිරිමි ළමයා වැඩිමලා බව අමාලිට සිතිණ. ඔවුන් ප්‍රීතියෙන් හා සමගියෙන් ජීවත්වන බව සිතන්නට ඇය වෑයම් කළාය. එහෙත් පාපැදියේ වේවා මෝටර් රියක හෝ ගුවන් යානයක වේවා ගමන් ගන්නා පවුලක් තුළ සමගියද සෙනෙහස ද පිරී ඉතිරී ඇතැයි පිටතින් බලා නිගමනය කිරීම කොතරම් අනුවණ දැයි ඇය ඊළඟ මොහොතේ තමාගෙන් ම ප්‍රශ්න කළාය.
“දුප්පත් ගෙදරක සතුට තියෙනවා කියලා හිතන්න අපි කැමැතියි. ඒත් දුප්පත්කම හින්දම එයාලා අතරේ මොන තරම් ප්‍රශ්න ඇති වෙනවාද. සල්ලි තියෙන තැනුත් එහෙම තමා” රමේෂ් සියුම් මඳහසකින් හිස සැලුවේය.
“ඔයා හරි.. අපි හිතන විදිය බලන විදය වෙනස් වෙන්න ඕන. එතනයි අවුල තියෙන්නේ.”
“ඔයා එක්ක ඉන්න එක හරි පහසුයි රමේෂ්.. ඔයාට හරි ඉක්මනට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන්... ඔයා එකඟ නූණත් අනික් කෙනාට ඇහුම්කන් දෙන්න ඔයා සූදානම්.. ඒක තමා වටිනාම දේ...”
හපන්කමක් කළ නොදරුවෙකු මුව නැඟෙන සාඩම්බර සිනාවක් සමඟ ඔහු ඇය දෙස බැලුවේය.
“ඕව තේරුම් නොගැනීමයි ඇහුම්කන් නොදීමයි නිසා නේද මේ රට අවුලෙන් අවුලට ගිහින් තියෙන්නේ?”
“ඔයා අවුරුදු ගානක් පිටරට හිටියට මොකද මේ රට ගැන හුඟාක් සෙවිල්ලෙන් ඉඳල තියෙන පාටයි.”
“සත්තකින්ම...” යි කියමින් රමේෂ් පාරේ පසෙකට කොට වාහනය නැවත්වීය.
ඇය ඇයි දැයි ඇසූවේ මුවින් නොව විදහා ගත් දෙඇසිනි.
“මට මහන්සියි බං... තිබහයි”
ඔහුගේ මුවින් “බං” “බොලං” යි අසන්නට කිසි විටෙකත් අපේක්ෂා නොකළ යුවතිය පළමුව විස්මයෙන් ගොළු වූවාය. දෙවනුව හඩ නඟා හිනැහුණාය.
“තාමත් බං මතකයි නේද බං?”
ඇය මෝටර් රථයෙන් බසින අතරතුර ඇසුවේ ප්‍රීතිමත් හඬිනි.
“නැතුව බං... ලෝකෙ කොයි කෙළවරකට ගියත් අපි ලංකාවෙනේ...”
“ෂහ්... ඒක මතක තියෙන එක නම් මරු ආ...”
ලබන සතියට...