නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

දිවිමග සැනසුම

පැතුමක් බිඳීමෙන් තැවුලට පත් මමිතුරෙක් මා සොයා ආවේ ය. ඔහු ගේ දුක තුනී කිරීමට මම කරුණු කීමි. ඉන් යම් පමණ ඔහු ගේ හිත හැදුණ ද එය තාවකාලික සුවපත් වීමක් බව මට පසක් විය.

“අපි යමු ද හිත නිමෙන තැනකට?” මම යෝජනා කළෙමි. ඔහු කැමති විය. පසු දා අපි දුරත් නොවන, ළඟත් නොවන වන සෙනසුනකට ගියෙමු. මුදු සිහිලැල් එවන සෙනසුන අප සිත් නිවාලී ය. අපි වන සිරිය විඳිමින් මිටි ගල්කුළක් මත බොහෝ වේලාවක් හිඳ සිටියෙමු.

සැදැහැවතුන් පිරිසක් අපට එහායින් වූ දන්සලෙහි දනක් පිළියෙල කරමින් සිටියහ. ටිකකින් තරුණ හිමිනමක් ඊට යාබද බුදු කුටියට වැඩියහ. අර පිරිස ද එහිමිනම පිටුපස එහි ඇතුළු වූහ. බුදු පුදෙහි යෙදෙන ඔවුන් ගේ නිවුණු හඬ යාන්තමින් අපට ඇසිණ.

වන සෙනසුනට වැටුණු කඳු මඟ පිය මනිමින් මඳින් මඳ ඉහළට එන ආගන්තුක රුවක් මනෙත ගැටුණේ මෙවිට ය. ඔහු එමින් සිටියේ තැන්පත් ගමනිනි. ලොකු බරක් ඔහු ගේ උරින් පිටතට එල්ලෙමින් තිබිණ. ඉහළ මළුවට ආ ඔහු සිය බර බිම තබා හාත්පස වන අසිරිය විඳින ගමන් ම අප දෙදෙනා දෙස ද බැලුවේ ය. අපිදු ඔහු වෙත පල්ලම් බසින්නට වීමු. දන්සල දෙස සිට මහ මළුවට වැටෙන සිමෙන්ති කැට පෙළ දිගේ එමින් සිටි කතක් අප ඉදිරියේ නැවතුණා ය.

“ඔය ඇත්තො දානෙ දෙන නඩේ කොටහක්ද?”

“නෑ. අපි සේනාසනේ බලන්ඩ ආපු අය”

ඇය කිසිත් නොදොඩා තුන්වැන්නා ඉදිරියට ගියා ය.

“ඔයා කවුද?” ඇය ඔහුගෙන් විමසුවා ය. මා සිත නොසන්සුන් විය. වන සෙනසුනකට ආ සැදැහැවතකු ගෙන් එසේ ඇසීම නොමනා යැයි මට සිතිණ. තෙවැන්නා ද ඇගේ පැනය වැසෙන පරිදි පෙරළා ඇගෙන් ම පැනයක් ඇසුවා ය. “ලොකු හාමුදුරුවො ඉන්නවද?”

ඇය ද පිළිතුරු දුන්නේ ද පෙර පැනයෙන් ම ය. “ඔයා කවුද?”

ඔහු ද ඊට පිළිතුරක් දෙනු වෙනුවට පැනයක් ම ඇසුවේ ය.

“දාන ශාලාව කොයි පැත්තෙද?”

ඇය ඊට ද පිළිතුරු නොදී මුල් පැනය යළිත් අසන විට මම “දානශාලාව අර පැත්තෙ” යි ඔහුට කීමි. ඔහු පරණ සපත්තු දෙක දෙපයින් මුදා ඒ පැත්තට ගියේ ය.

තමන්ට පිටුපා ඇදෙන අමුත්තා ගේ රුව දෙස නුරුස්නා බැල්මෙන් බැලූ ඇය මදෙස බලා “කවුද දන්නෙත් නෑ. ඇහුවට කියන්නෙත් නෑ” යි කීවා ය. මා ද ඇයට මසිතෙහි සැඟවුණු අක­ැමැත්ත පළ කළේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මමිතුරා ද කැටුව සෙනසුනින් පහළට වැටුණු මඟට ඇදෙමිනි. ඇය කුටියකට පිවිසෙනු මම දිටිමි.

විසල් වන තුරු යළි අප සිත් නිවාලී ය. ටිකකින් අපි ආපසු මළුව වෙත පිය මැන්නෙමු.

අමුත්තා මළුවට ආපසු ආවේ ද මෙවිට ය. ඔහු දන්සල වෙත ගොස් තිබුණේ මුහුණ කට සෝදාගනු පිණිස ය. තැන්පත් ගතිපැවතුම් ඇති ඔහු කවුරුන්දැයි දැන ගැනීමේ කුහුලක් මසිතෙහි ඇති විය. මම ඔහු ළඟට ගියෙමි.

“මෙතන හිත නිමෙන තැනක් නේද? අපි ආවෙ ටිකක් හිත නිවාගන්ඩ. ඔයත් එහෙමද?” මම ඇසීමි.

“ඔව්. මම මේ වගේ තැන් හොයාගෙන යන කෙනෙක්. පහළ තියෙන ගිහි සමාජෙ ගිනි ගොඩක්. ඉවරයක් නැති දිවිල්ලක්. මම කැමති මේ වගේ තැන්වලට තමයි” ඔහු නිවුණු හඬින් කීවේ ය. මෙවිට මමිතුරා ද අප වෙත ආවේ ය.

“අපිට නිතර නිතර මේ වගේ තැන්වලට එන්ඩ බෑ. දරුවන්ට යුතුකම් ඉෂ්ට කරන්ඩ ති‍ෙයනව. කොහොම කොහොම හරි ඉඩ ලැබෙන වෙලාවලට අපි ඇවිත් ටිකක් හිත නිවාගෙන යනව” මමිතුරා කීවේ ය.

“එහෙනං ඔයාලට තවම ගිහි බාධක තියනව. මට එහෙම නෑ. මම පොඩි කාලෙ හිට මහණ දම් පුරන්ඩ හිටිය කෙනෙක්. තාත්ත ඒකට ඉඩ නොදුන් හින්ද මං ඉගෙන ගත්ත. ඒත් මං ගිහි ජීවිතේට ඇලුණෙ නෑ. මගෙ සහෝදරයො ඒකට ඇලුණ. මම ඒ කාලෙ හිට අනගාරික ජීවිතේකට හුරු උණා. පස්කම් සැපතින් මිදුණා. මේ වගේ සේනාසන හොයාගෙන රට පුරාම ඇවිද්ද. දැනුත් මං මේ අනුරාධපුරේ යන ගමන්. මේ සේනාසනේ ගැන ආරංචි වෙලයි මේ ආවෙ. මේවට එන්ඩ, මේවයෙ ඉඳල මේ සැනසීම ලබා ගන්ඩ කෙනෙකුට වාසනාව තියෙන්ඩ ඕනැ”

එසේ කී ඔහු ආධ්‍යාත්මික සැනසීම සොයා ගන්නා ආකාරය ගැන අපට කරුණු කියන්නට වූයේ ය. මේ දුක් සසරින් මිදීමට, එහි ඉමක් කොනක් සෙවීමට යත්න දරන මේ අපූරු මිනිසා ගැන අප සිත්හි පහළ වූයේ පැහැදීමකි.

“මං ඔය දෙන්නට පොඩි උපදේශයක් දෙන්නං. අඩුමතරමෙ පංචශීලයවත් හරියට රකින්ඩ! මං පංචශීලයෙ පිහිටපු කෙනෙක්. එකෙං ලබන සැනසිල්ල විඳින කෙනෙක්. මම ටික ටික පැවිදි ජීවිතේට පත්වෙන්ඩයි යන්නෙ. හිත තැන්පත් කර ගත්තොත් විතරයි පැවිදි ජීවිතේ යාදෙන්නෙ. ඒකට ශ්‍රද්ධාව වඩවගන්ඩ ඕනැ‘

මෙවිට ම යතිවරයන් දනට කැඳවන ලී බෙර හඬ නැගෙන්නට විය. අපි කතාව නවත්වා යතිවර පෙළ දනට වඩින හැටි බලා සිටියෙමු. ටිකකින් යතිවරු දන් පාත්තර සිවුරු පොටින් වසාගෙන ආපසු වැඩියහ.

ඉනික්බිති අපි තොරතුරු හුවමාරු කර ගතිමු. ඔහු සිය අනගාරික නම හෙළි කළේ ය.

“ඔයාගෙ ආධ්‍යාත්මික වැඩකටයුතුවලට මුදල් හොයා ගන්නෙ කොහොමද?” ම මිතුරා ඇසී ය.

“වැඩි මුදලක් යන්නෙ නෑ. කෝච්චියෙයි බස්එකෙයි තමයි යන්නෙ. අනුරාධපුරේ වගේ තැන්වල විශ්‍රාමශාලා තියනව. දන්සැල් තියනව. අතේ සල්ලි නැති වෙනකොට ආපහු ගමට යනව. සල්ලි ටිකක් හොයාගෙන ආයෙත් මගෙ ගමන යනවා.”

මමිතුරා මා පසෙකට කැඳවා සිය මුදල් පසුම්බිය දිගහැරියේ ය.“මෙයාගෙ වියදමට අපි කීයක් හරි දෙමු” ඔහු නෝට්ටු දෙකක් මා අතට දුන්නේ ය. මම ද ඊට නෝට්ටුවක් එක්කොට අමුත්තා වෙත ගියෙමි. “ඔයාගෙ ගමන් වියදමට මේකත් තියාගන්ඩකො” මම එය ඔහු ගේ අතෙහි තැබුවෙමි. ඔහු තුති පුදමින් එය බාර ගත්තේ ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයෙකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ, 
ලේක්හවුස්, කොළඹ 10.

Comments