රට අස්වද්දන්න යෝධ බල පාන පින්වත් පුත්තු | සිළුමිණ

රට අස්වද්දන්න යෝධ බල පාන පින්වත් පුත්තු

- කණ්ඩායම මුණ ගැසුණේ් මුහුණු පොතෙන් 
- ඉලක්කය රටේ සෑම පුරන් කුඹුරක්ම අස්වැද්දීමය 
- හඳුන්වා දෙන්නෙ දේශීය ගොවිතැන

“මෙහෙම තිබුණට මේ වතුර පිරිසුදු කරන්න පුළුවන්. ජනවාරි මාසේ දිහාට අපි මේක පිරිසිදු කරන වැඩේ පටන් ගනිමු?” කණ්ඩායමේ නායක තරුණයා සෙස්සන්ට පවසයි. සෙස්සෝ එය අනුමත කරමින් කළ යුතු පිළිවෙළ ගැන පිඹුරුපත් සකස් කරති. නායක තරුණයා පමණක් නොව තවත් තරුණයන් පස් දෙනෙකු කැටිව ලේක්හවුසිය අසල බෝගන්විලා මල් ගාල යටින් රිංගා බේරේ වැව අයින පඩි පෙළ බැස ගියේ ඔවුන්ගේ ඡායාරූපයක් ගැනීමටය. ඡායාරූප ශිල්පි සාලිය කරන්නට ගිය වැඩය අමතක වූ සේ තරුණයන්ට සවන් දී සිටී. ඒ දහවලේ පඩි පෙළ බැස යන්නෝද හැරි හැරී තරුණයන් දෙස බලති.

“ඒ අර කුඹුරු වවන ළමයි නේද” පසුපස හැරී බලමින් ගිය අයෙක් තවකෙකුට කියන්නට විය. එකත් එකටම ඔහු මුහුණු පොතේ සැරිසරන්නකු විය යුතුය.

එකක් නොව දහසක් වැඩ ගැන මඟදිගට කතා කරන මේ තරුණ පිරිස හරි අපූරුයැයි සිතුණේ ඔවුන් සමඟ ගත කළ හෝරා කීපයේදී ය. පසුගිය දිනවල දී මුහුණු පොතේ එහා මෙහා ගිය පෝස්ටුවක දකින්නට ලැබුණේ පුරන් කුඹුරු අස්වද්දන්නට තරුණයකු හා ඔහුගේ සගයන් ගන්නා උත්සාහය පිළිබඳය.

රාජකාරි වැඩවලට දිවයිනේ විවිධ පළාත්වලට යද්දි අත්හැර දමා තිබෙන කුඹුරු දුටු විට අපට සිතුණේ, “ඇයි මේ කුඹුරු වැඩ කරන්නේ නැත්තේ” කියාය.

මහියංගණය ප්‍රදේශයේ කළ සංචාරයේදී අත්හැර දමා තිබූ කුඹුරු දැක වැඩිහිටියෙකුගෙන් ඒ ගැන ඇසුවෙමු.

“දැන් කුඹුරු කරන්න තරම් හයි හත්තියක් නැහැ. පුත්තු කැමති නැහැ මඩ ගාගන්න. ඒ නිසා දැන මේවා අත්ඇරලා දාලා තියෙන්නේ.”

වැඩිහිටියා පැවැසුවේ කනස්සල්ලෙනි.

අද තරුණයන් ඇගේ මඩ ගා ගන්න අකමැතිය යන කතාව මේ තරුණයන් ඉදිරියේ බොරුවක් නේදැයි සිතෙන්නේ ජැන්ඩිපහට ඇඳගෙන සිටියද ඔවුන්ගේ දෙපාවල නියපොතු දකිද්දීය. ගත දැවටෙන මඩ ගැන අපුලක් නැතිව රට ගැන හිතන, ගොවිතැන ගැන භක්තියෙන් සිටින මේ තරුණයන්ගේ සිතුම් පැතුම් ආකල්ප ගැන කාට වුව පැහැදීමක් ඇති වීම සාමාන්‍ය දෙයකි. ඔවුන්ගේ කතාවට ඇරඹුමක් දුන්නේ නාලක සේනාධීරය.

“මම උපන්නේ 1991 අවුරුද්දේ. මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ජාතික තරුණසේවා සභාවේ පාඨමාලාවක් හැදැරුවා. ඉන් පස්සේ කලා අංශයෙන් උසස් පෙළ විභාගය කෙරුවා. විවිධ රස්සාවල් කෙරුවා. ඡායාරූප ශිල්පි දුමින්ද සමරකෝන් මහතා ළඟ සේවය කෙරුවා. ඔය අතර මම “පරාග, කිරි දී හැදුණයි” යන කවි පොත් දෙක ලියා පළ කළා. වෙ‍ෙළඳ දැන්විම්වල පෙනී සිටියා, නළුවෙකු විදිහට කුඹියෝ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඔය අතර මම ධර්මය පැත්තටත් යොමු වුණා.

මගේ ගම දැදිගම. අපේ ගමේ තියෙනවා බිසෝ කොටුව කියලා රජ දවස බිසෝවරුන් නෑව තැනක්. එතැන කාලයක් තිස්සේ වල් බිහි වෙලා තිබුණේ. ගයාන්, සඳුන්, ජයවීරයි එකතු වෙලා එතැන සුද්ද කළා. අපි එය මුහුණු පොතේ පළ කළා. අපට හොඳ ප්‍රතිචාර තිබුණා. ඉන් පස්සේ මම දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට පාපැදියකින් දවස් හතක් තිස්සේ ගියා. මට ඕනෑ වුණේ කාගෙත් අවධානය ගන්න. එය නිහඬ විරෝධයක්.

අපේ ගමේ තියෙනවා තෙලිඇල්ල ගම කියලා ගමක්. එතැනට වරකාපොළ ප්‍රාදේශිය සභාවෙන් කුණු දාන්න අරගෙන. අවුරුදු දහයක් තිස්සේ දවසට කුණු ට්‍රැක්ටර් 14ක් දාලා. එය රක්ෂිත භුමියක්. ඊට විරෝධය පාලා මම පිටකොටුවේ තනියම උද්ඝෝෂණයක් කෙරුවා. කොහොම හරි සීඅයිඩි මහත්වරු ගමට ගිහින් බලලා කුණු දාන්න නුසුදුසු තැනක් කියලා වාර්තා කර තිබුණා. ඉන් පස්සේ ඒ ස්ථානයට කුණු දාන එක අවම වුණා. විල්පත්තුවේ නොච්චියාගම හරියේ මම කුඹුක් පැළ 100ක් හිටෙව්වා. ලංකාව වටේ කිලෝමීටර 14000ක වෙරළ පිරිසුදු කිරීම කළා‍. ඒ සඳහා අපට ඒ ප්‍රදේශවල අය සහාය දුන්නා. ඔය සියල්ලම කරගෙන යන අතර තුර තමයි මට හිතුණේ අපේ රටේ තියෙන පුරන් කුඹුරු අස්වද්දන්න පුළුවන් නේද කියලා.

අපේ ගමේ තිබෙනවා 1952 ඩඩ්ලි සේනානායක මහත්තයාගේ කාලේ හදපු ඇළක්. 1994 අවුරුද්දේ ඉඳලා මේ ඇළ මාර්ගය අවහිර වෙලා තිබුණේ. අපි මේක පිළිසකර කළා. කිලෝමීටර තුනක් දුර ජලය ගෙනියන්න පුළුවන් විදිහට ඇළ පිළිසකර කළා. දැදිගම ගොවියන් එයින් උනන්දු වුණා. අපිට පුළුවන් වුණා කුඹුරු අක්කර සියයක් අස්වද්දන්න. ගමේ ගොවි මහත්වරුන් අපට සහාය දුන්නා. ඔවුන් අපව දිරිමත් කළා. මුහුණු පොතේ අපි කරපු දේවල් ඇතුළත් වීමත් සමඟ බොහෝ අය අප හා එක් වුණා. ඔවුන් අප දිරිමත් කළා. මේ වෙන කොට අපි ලංකාව පුරාම අපේ නියෝජිතයන් පත් කරමින් ඉන්නේ. මම හිතුවේ නැති ප්‍රතිචාර අපට ලැබෙනවා.” නාලක පවසන්නේ මුව පුරා හිනැහෙමිනි.

අවුරුදු ගණන් පුරන්ව ගිය කුඹුරු අස්වැද්දීමට දායක වූ ඔවුහු දැන් පැළ ගොයම දැක අපමණ සතුටට පත් වෙති.

“ගම්වල කුඹුරු අයිති වැඩිහිටියෝ අපට කියනවා මෙන්න ඉඩම පුතාලා වවන්න. අපිට කිසිම දෙයක් එපා කියලා. අපි කුඹුරු වැඩ කරන කොට වැඩිහිටියෝ ඇවිත් අපට උදව් වෙනවා. ඔවුන් අපට පැණි රොටි, ඉඹුල් කිරිබත්, අලකොළ ඇඹුල පොළොස් ඇඹුල හදාගෙන එනවා. කෑමෙන් බීමෙන් සංග්‍රහ කරනවා. ඒ වගේම අපට නිරන්තරවම තිලක් කන්දේගම මහත්තයාගේ ගුරුහරුකම් ලැබෙනවා. අපි වපුරන්නේ දේශීය වී වර්ග . අපේ විස්තර අන්තර්ජාලයෙන් ලෝකයට ගියා. ඒ නිසා බොහෝ අය අපිට උදව් කරන්න ඉදිරිපත් වුණා.

අපි දැන් අපව හඳුන්වාගන්නේ “එකමුතු ශ්‍රී ලංකා“ කියලා. කුඹුරුවලට බහින්න තරුණයෝ කැමති නෑ කියලා නැහැ. දැන් අපිත් සමඟ කුඹුරු වැඩ කරන්නේ තරුණ අය. විවිධ පළාත්වල අපේ අය ඉන්නවා. එ්ගොල්ලන්ට ඒ ඒ ප්‍රදේශවල කටයුතු බලාගන්න දීලා තියෙන්නේ.අපිට ජාති ආගම් බේද නැහැ. කොත්මලේ, හැටන් ප්‍රදේශවලත් කුඹුරු අස්වැද්දීමයි අපේ බලාපොරොත්තුව. මම ඉන්දියාවේ ගිහින් තියෙනවා. එත් අපේ තරම් හොඳ පසක් කොහෙවත් නැහැ. අපේ පොළොවේ ඕනෑ දෙයක් වැවෙනවා. අපි මඩ ගොවිතැන වගේම ඉදිරියේදි ගොඩ ගොවිතැනත් කරනවා. කුඹුරුවල නියරවල් හදන්නේ පළලට. එහෙම කරන්නේ ඒ නියරවල්වල එළවළු වවන්න හිතාගෙන. දැන් වෙළෙඳ පොළේ විවිධ වට්ටක්කා තිබෙනවා. ඒත් ඒවා කල් තියාගන්න බැහැ. නමුත් අපේ වට්ටක්කා අවුරුද්දකට වඩා කල් තියාගන්න පුළුවන්. හෝමාගම පී ගුරුසිංහ ගොවිමහතා ළඟ තියෙනවා අවුරුද්දක් පරණ වට්ටක්කා. අපි පොහොර හැටියට යොදන්නේ කාබනික පොහොර. අපේ පැරණි එළවළු වර්ග වැවීමත් කරනවා.”

නාලක පවසන විට සෙස්සෝ එය අනුමත කරති. බුද්ධික දිසානායක, නිසල් තුෂිර, චාමර හේරත්, කස්තුරි සංජය අමරසිංහ යන සිවුදෙනා නාලකට එක් වී ඇත්තේ මුහුණු පොතෙන් හඳුනාගෙනය. මුහුණු පොතින් හඳුනාගෙන පාටි දාන තරුණයන් සිටින රටක මුහුණු පොතින් හඳුනාගත් මේ තරුණයන් රටට ගමට පලක් ඇති දෙයක් කිරීම බොහෝ වටී. මේ තරුණ කල්ලිය දේශපාලනය පැත්ත පළාතේ වැද්ද නොගනිති. ඔවුන්ට අවශ්‍ය රටට යමක් කිරීමට මිස එකිනෙකා පසු කර යමින් කැපී පෙනෙන්නට නොවේ.

මතුගම කස්තුරි කලක් තිස්සේ ගොවිතැන් කටයුතුවල යෙදෙන තරුණයෙකි.

“මම ගොවිතැන්වල යෙදෙන කොට බොහෝ අය මට ඇනුම්පද කිව්වා. ඕවා කරලා හරි යයිද කියලා. ඒත් මම ඒ කාගෙවත් හඬට කන් දුන්නේ නැ. කරන රස්සාවට අමතරව මම ගොවිතැන් වැඩ කළා. ඒ අතර තමයි මට නාලක හමු වුණේ. දැන් අපි කණ්ඩායමක් විදිහට වැඩ කරනවා. මෙය අපට මානසික සහනයක්.“ කස්තුරි පවසන්නේ බොහෝ උනන්දුවෙනි.

“අද අපේ සමාජයේ ඉන්නවා බොහෝ නව නිපැයුම් කරන අය. ඔවුන් යම් නිපැයුම් කළාම ඒවා ගැන මාධ්‍ය මඟින් පළ වෙනවා. එපමණයි. එත් අපි මේ අයට තැනක් දෙන්න හිතාගෙන ඉන්නවා. මම තමයි අපේ එකමුතු ශ්‍රී ලංකා සංවිධානයේ නව නිපැයුම් කරන අය සම්බන්ධව කටයුතු කරන්නේ. ඔවුන්ට පුළුවන් අපට කතා කරන්න. අපිට ඕන අපේ රටේ දක්ෂයන්ට තැනක් දෙන්න.” චාමර පවසන්නේ එලෙසිනි.

ඔවුන් ජව සම්පන්නය. උද්‍යෝගීමත්ය. ඔවුන්ට රට ගැන හැඟිමක් ඇත.

“අපිට හෝමාගම කටුවන පැත්තෙන් අක්කර පහක ඉඩමක් ලැබුණා. වවන්න කියලා ඒ ඉඩම පරිත්‍යාග කළේ වල්පොළ යුවළ. මුලින්ම මම මේ වැඩ ආරම්භ කරද්දි සවුදි අරාබියේ සිටින දීපාල්, ඇමරිකාවේ කරුණාරත්න, ඔස්ට්‍රේලියාවේ මංගල මහත්වරුන් මාව දැකලවත් නැතිව අපට උදව් කළා. ඉන් පස්සෙත් අපට බොහෝ අය උදව් කළා. දැනටත් උදව් කරනවා. අප මේ කිසිම කෙනෙකු අමතක කරන්නේ නෑ. අපේ පැතුම හැම නිවෙසකම අපේ රටේ සහල්වලින් බතක් ඉදෙනවා දැකීමයි. මේ ගොවිතැන හරියට කළොත් මාස හතරෙන් අවුරුදු සියයක් කන්න සහල් ඉතිරි කරන්නට අපට පුළුවන්.” දිගු කතාබහක අවසානයේ නාලක පැවැසුවේ දැඩි අධිෂ්ඨානයෙනි.

ඡායාරූප - සාලිය රූපසිංහ

Comments