උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි ගැන සිළුමිණ ලිපිය | Page 3 | සිළුමිණ

උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි ගැන සිළුමිණ ලිපිය

* වටිනා මැණික් ගොම ගොඩේ නැතිව සුදුසු තැනක බැබළීම හොඳයි! 
* ලංකාව බිහි කළාට ලංකාවට නිර්මාණ නොකළ කෙනෙක්
* හේතුව: අප රටේ නාද මාධ්‍ය රස වින්දනයේ අර්බුදයයි

'ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම සංගීතඥයා උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමියි' යන ශීර්ෂයෙන් යුතුව පසුගිය ඉරිදා (11) සිළුමිණ පුන්කලසෙහි පළ වූ සංවාදය විදග්ධ සමාජයේ දැඩි කතාබහකට හා ආන්දෝලනයකට ලක් විණි. මේ සංවාදය සිදුකරන ලද්දේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවියන් සමඟ සුලෝචන වික්‍රමසිංහ විසිනි. විවිධ අය විවිධ ලෙස ඊට ප්‍රතිචාර දැක්වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වෙනුවෙන් ගොඩනැඟුණු සංවාදය මෙබඳුය. 

Isuru Upanada - පින්! මෙතුමා ගැන අසා තිබුණත් මේ තරම් විස්තරයක් දැනගත්තේ අද. මෙතුමා තමයි ඉස්ලාම් නො වන එක ම උස්තාද් වරයා මං අහලා තියෙන විදිහට.

Janappriya Gamage - මෙතුමා ගැන මින් පෙර අහල තියෙන දේ මේකයි. මෙතුමා කිසි විටෙක ලංකාව සමඟ සබඳතා තබාගන්නට කැමති වූයේ නැති ලු. භාරතයට ගිය ගොඩක් අය තදින්ම ඉන්දියානුකරණය වෙලා, ඉන් පස්සෙ තමන්ගෙ මුල අමතක කර දමනවා. මෙතුමා ගැන ඒ අදහස ගොඩක් තැන්වල කියැවිලා තියෙනවා!

Pradeep Anjana - උස්තාද් ඩේවිඩ් අප්පුහාමි භාරතීය ශාස්ත්‍රීය සංගීතය පරතෙරටම හැදෑරූ අයෙක්. මෙවැනි අයට ලංකාවට ඇවිත් කරන්න දෙයක් තියෙනවද? රජරට පළාතෙ මා දන්න ගුරුවරියක් ඉන්නවා ඉන්දියාවට ගිහින් ගායන විශාරද, වාද්‍ය විශාරද, සංගීත් නිපුන් සහ සංගීත ශාස්ත්‍රපති විභාග සමත් වුණ. ඇගේ ශාස්ත්‍රීය සංගීත දැනුමෙන් වැඩක් නොගෙන අැය තවමත් කුඩා පාසලක සංගීත ගුරුවරියක් ලෙස ම ඉන්නවා. අපේ රටේ ශාස්ත්‍රීය ගායකයො සහ වාදකයො අගුවට දමන සමාජයක, එවැනි සංගීතයක් රස විඳින්න නොදන්න සමාජයක ඩේවිඩ් අප්පුහාමිලාට, ආචාර්ය ස්ටැන්ලි පෙරේරාට තැනක් නෑ. වටිනා මැණිකක් ගොම ගොඩක තියෙනවාට වඩා එය බැබළීමට සුදුසු තැන තිබිය යුතුයි.

Janappriya Gamage - මේ අය ලංකාවට එන්න ඕන කියල නෙවෙයි මේ කියන්නෙ. ඔවුන් ලංකාව ගැන දැරූ ආකල්පය ගැනයි මේ කතා කරන්නෙ. ඕක අවබෝධ කරගන්න නම් මේ පොඩි අප්පුහාමි වගේම ඉන්දියාවට ගිහින් ජය කෙහෙළි නංවපු මේ වගේ අය පෞද්ගලිකව සිතූ පැතූ හැටි දැනගන්න ඕන.

Sachin Jayanetti - උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි ගැන තාත්තා කියනවා අපි කුඩා කාලේ අසා තිබුණා. අපේ තාත්තා තබ්ලා වාදකයෙක්. ජයනෙත්ති මාස්ටර් කියලා තමයි ඒ කාලේ කිව්වේ. එදා ඔහු කිව්වේ ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම සංගීතඥයා ඔහු බව. ඔහු නැවත තම උපන් ගමට දෙතුන් වතාවකට වඩා පැමිණියේ නැහැ. ඒ පැමිණියේත් පවුලේ විවාහයක් වැනි සුවිශේෂ අවස්ථාවක් සඳහා මිස සංගීතය හා සම්බන්ධ වූ දෙයකට නොවෙයි.

Janappriya Gamage - මෙතැන තියෙන්නෙ අපේ රටේ අය එයාල පිළිගැනීමට ලක් නොකිරීමක් නෙවෙයි නේ ?

Sachin Jayanetti - මං හිතන්නේ ඒ අය එහි සංස්කෘතියට ඇතුළු වුණාට පස්සේ ලංකාවේ පිළිගත්තත් ලංකාවට ආවට පස්සේ තමන් ඊට අයිති නැහැ වගේ හැඟීමක් එනවා ඇති. මට ඒක තේරෙනවා, දැනෙනවා. මං කැනඩාවට ඇවිත් අවුරුදු දහ අටක්.

Sha Danthanarayana - ලංකාව බිහි කළාට ලංකාවට නිර්මාණ නොකළ සංගීතවේදියෙක්. ලංකාවේ අසහාය සංගීතවේදියා අමරදේව වන්නේ ඔහු ඉන්දියාවේ ඉගෙන ගත්තත් ලාංකීය සංගීතය පෝෂණය කළ නිසා.

Gamini Ekanayaka - ලංකාව හැරදා ගිහින් ලෝක පුරවැසියන් වෙන්න හැම අවස්ථාව තිබිලා එසේ නොකළ සුචරිත ගම්ලත්, නලීන් ද සිල්වා වැනි විශිෂ්ටයන්ට සිදු වූ දේ සලකලා බැලුවම උස්තාද් ඩේවිඩ් කියන්නේ මොළේ තිබුණ මිනිහෙක්.

Parakrama Niriella - මේ රටේ ඉඳගෙන අනුපමේය මෙහෙවරක යෙදී තමන් අත්කර දෙන ජයග්‍රහණ අගයන්නට නොදන්නා ජන සමාජයක ජීවත් වෙමින්, අසාධාරණයට ලක්වෙමින් කනස්සල්ලට පත්ව දුක් විඳීම තෝරා ගන්නවාද, නැත්නම් තමන්ගේ හැකියාව, කුසලතා අගයන සමාජයක තමන් සතුටින් ජීවත් වෙනවාද යන්න තීරණය කිරීම සිහි නුවණැත්තෙකු නිතැතින් ම කරන දෙයකි. බුදුන් වහන්සේ ද කාලය සහ දේශය ගැන සැලකිලිමත් වූහ. මේ රටේ වර්තමාන සමාජයට විශිෂට රාග සියයක් නිර්මාණය කළත් පලක් නැත. උස්තාද් ඩේවිඩ් අප්පුහාමි අද මෙහි ඇවිත් ශස්ත්‍රීය සංගීතයක් ප්‍රසිද්ධියේ වාදනය කළොත් මෙහෙ ඉන්න කී දෙනෙක් එය විඳීවි ද? ශාස්ත්‍රීය සංගීතය මළගම් සංගීතයක් හැටියට සලකන අය කොච්චර නම් ඉන්නවාද?

Sachin Jayanetti - ඒත් උස්තාද් ඩේවිඩ් පොඩි අප්පුහාමි අවසානයේ තෝරාගත්තේ එවැනි ජීවිතයක් නොවේ. ජරාජීර්ණ වී කුණු ගඳගහන නවාතැන්පළක සියලු මිනිසුන් ගෙන් වෙන් වී උදේ සිට රෑ වෙන තුරු මධුවිත එක්ක ගත කරන හු‍ෙදකලා ජීවිතයක්.

Anuradha Dassanayake - පෙදෙහි රස හව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ" යනුවෙන් කව්සිළුමිණේත් සඳහන් වෙනවනේ. මොනම රටකවත් බහුතරය සුභාවිත කලා සාහිත්‍ය රසාස්වාදයෙහි යෙදෙන්නේ නැහැ. ඒ වාසනාව තිබෙන්නේ සුළුතරයකට ම තමයි. මෙරට උසස් රසිකයන් ඇත්තේම නැති බව ට අර්ථ දක්වන්නත් බැහැ. වැදගත් ම කරුණ නම් කලාකරුවා සිය කලා මෙහෙවරේ නිරත විය යුතුයි. යමෙක් නොරටක උගෙන වුවද මව් රටට සේවයක් කරන්නේ නම් එය වඩාත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.

Saman Nandalal - අපේ රටේ සංගීතය කියන්නේ එළිමහන් වේදිකා සංගීත සන්දර්ශනවලට, බොහෝ දෙනා හිතන්නේ සංගිතය සහ ගිතය දෙකම එකක් ය කියායි. අමරදේව නම් සංගීතඥයා අබිබවා අමරදේව නම් ගායකයා ඉස්මතු වුණේ ඒ නිසයි. ඔහු පමණක් නොවේ සනත්, වික්ටර් වැනි අයත් එලෙසයි. මකුලොලුව සහ සහ ගුවන් විදුලියේ සිටි සී ද එස් කුලතිලක යන මහත්වරුන් කිසියම් දෙයක් කරන්නට උත්සාහ කළත් ඒවා පවා යට ගියා. ආනන්ද සමරකෝන්ට සහ සුනිල් සාන්තට මුහුණ දෙන්නට වූ කැපිලිත් ලයනල් එදිරිසිංහ පරිපාලනයට සීමා වීමත් බොහෝ දෙනාට දැන් මතක නෑ. ඉතින් පොඩි අප්පුහාමි ඉන්දියාවේ නැවතීම කිසිසේත්ම දේශද්‍රෝහී ක්‍රියාවක් සේ ගන්නට බෑ. ඒ අනුව ඔබේ මතය නිවැරදි සේ මා දකිනවා

Anuradha Dassanayake - කවර සම්ප්‍රදායක වුව නිර්මාණකරණයේ යෙදීමයි වැදගත් වන්නේ. වරක් ගාන්ධිතුමා මෙසේ පවසා තිබෙනවා. "කලාකරුවා සිටින්නේ ශිල්ප ශාස්ත්‍ර නම් තඩාගයේ ගිලී මියෙන්නට නොව, එහි කිමිද මුතු ගෙන ඒමටයි" කියලා. මෙහිදී නිර්මාණකරණය යනු කුමක්ද යන්න ගැනත් සිතා බැලිය යුතුයි. රවි ශංකර් හෝ චෞරෂියා ඒකල වාදනයකින් කරන්නේත් නිර්මාණයයි. බටහිර සංධ්වනියක කෙරෙන්නේත් නිර්මාණයයි. රෝහණ වීරසිංහ තනුවකින් කරන්නේත් නිර්මාණයයි. වැදගත් වන්නේ නිර්මාණයේ තරාතිරමයි. එය ජන, ජනප්‍රිය, සුභාවිත හා උත්තම, මධ්‍යම, අධම වැනි මිනුම්දඬු වලින් මැන ගැනීම විචාරකයන්ට හා රසිකයන්ට අයිති කාර්යයක්. එසේම සංගීතයෙහි ද විවිධ ධාරා තිබෙනවා. මේවා පටලවා ගත යුතු නැහැ. සී ද ඇස් කුලතිලක, මකුලොලුව වැන්නන් සාර්ථක වූයේ සංගීත පර්යේෂකයන් ලෙසයි. හංගේරියාවේ බෙලා බාටෝ ද එවැනි විද්වතෙක්. මානව වර්ගීය සංගීත පර්යේෂණවේදය ද (Ethno musicology) අද ලෝකයේ දියුණුතම විෂයයක්. එසේම සංගීත නාද තාක්ෂණ වේදය ද වැදගත්. මෙහිදී කවුරුත් දන්නා මෙරට අයෙක් සිහිපත් කළහොත් මර්වින් බෙන්ස් මහතා හැඳින්විය හැකියි. නූතනයේ නම් රංග දසනායක වැන්නන්. සංගීතයේ මාධ්‍යය නාදයයි. නාද මාධ්‍යයේ රසවින්දනය දියුණු කිරීමට නම් ව්‍යාජ උස් මිටිකම්, පටු වාද බේද දුරලා මේ සියලු කරුණු ගැන සාකච්ඡා කිරීමයි වැදගත් වන්නේ

Parakrama Niriella - ඔබ කියන්නේ සත්‍යයක්. එය පුද්ගලබද්ධ ප්‍රතිඵලයක්. නමුත් සමස්තය සහ සමාජයක වගකීම අනුව මේ රටේ සිදුවන නොතකා හැරීමේ ක්‍රියාවලිය ඛේදවාචකයක්.

Anuradha Dassanayake - උදාහරණ:- සුනිල් සාන්තයන් හට අනේක විධ කෙනෙහිලි කම් කර, ගුවන් විදුලි සංස්ථාවෙන් අතුගා දමා, දැන් ගුවන් විදුලි මැදිරියක් ඒ නමින් නම් කිරීම.

Bhathiya Jayathilake - ලිපිය විශිෂ්ටයි, ඔහු ශ්‍රේෂ්ඨයි, ලෝක දායාද. ලංකාවේ අවාසනාව කුහක ඉරිසියාවන්ත මිනිසුන් මේ අයව යටපත් කරන්නේ තමන් වැජඹෙන්නේ. ලංකාවේ සිටි සුපිරි ගායකයෙක් වුණු තිලකසිරි ප්‍රනාන්දු අකාලයේ මැරිල ගියා. ලංකාවේ දේශපාලනය වේවා කුහක සමාජ වේවා අවංක විශිෂ්ට සෘජු චරිත ඉස්මතු වෙන්න නොදීම නිසා ඇගයීමට ලක් නොවී එක්කෝ රට හැර යනවා, අකාලයේ මැරිල යනවා, එක්කෝ කාලයේ වැලි තලාවට යට වී යනවා. මෙවැනි එළි දැක්වීම් කරන සැමටම තෙරුවන් සරණයි! නිරෝගි වේවා! ජයවේවා! ශක්තිමත් වේවා! ගුවන් විදුලියේ සිටි සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක.

Jayantha Mayadunne - ස්තුතියි මෙතුමා අද කාලයේ තරුණ තරුණියනට හඳුන්වා දුන්නාට. දශක කිහිපයකට පෙරත් මෙතුමා පිළිබඳ ව දැන සිටි ලාංකිකයින් සංඛ්‍යාවෙන් අඩුයි. දශක කිහිපයකට පෙර වරක් මෙතුමා ලංකාවට පැමිණි විටෙක මෙතුමා පිළිබඳව පළවූ පුවත්පත් ලිපියක් හරහා දැන ගැනීමෙන් පසුව මෙතුමා පිළිබඳව තව තවත් තොරතුරු සොයා ගත්තා.

මොවුන් මෙරටට පමණක් නොව ලොවට ලැබුණු දායාද. නමුත් මේ රට එවැන්නන් අගය කිරීමකට ලක් නොකිරීම අභාග්‍යයක්. කෙසේ වෙතත් මොහු වැනි නව සංගීත රාග පවා නිපදවීමට සමත් මෙවැනි අති දක්ෂයන් ලංකාවටම සීමා වූවා නම් එය ලෝකයට අභාග්‍යයක්.

මෙතුමාගේ ජීවිතයේ අවසන් කාලය මත්පැන් නිසාම ඉතාමත් කනගාටුදායක අන්දමින් වූවත්, ඒ සියල්ල එතුමාට රිසි අන්දමින් පැවැති බවත්, එම මැතිනිය එතුමා කැමති අන්දමින් සියල්ල සිදුවීමට ඉඩ හැරි බවත් අසා තිබෙනවා.

එතුමාගේ බිරිය එතුමාගේ ගුරුවරයාගේ දියණිය බවත් (එය එකල සිරිතක් වශයෙන් සිදුවී ඇති පරිදි, දක්ශතම ශිෂ්‍යයාට දුවණිය සරණ පාවා දීම) අසා තිබෙනවා.

Comments