
කෘතිය හැරුණු විට අද පාඨකයාත් වැදගත්
අපේ විශ්වවිද්‍යාලවලට යුතුකමක් තියෙනවා නව සාහිත්‍ය විචාර විධික්‍රම හඳුන්වා දෙන්නට
ඥානය කියන්නේ හැම විට ම බලය සමඟ බැඳී පවතින්නක්
පිටරටක ඉඳගෙන මා මේ කියන දෙය සාධාරණ නොවෙන්න පුළුවන්
මෙරටට ජන සන්නිවේදනය විෂය ක්ෂේත්‍රය හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ කවියකු, විචාරකයකු, ශාස්ත්‍රීය පර්යේෂකයකු ඈ නන්විධ ක්ෂේත්‍රවල එක සේ නිපුන් සාහිත්‍යවේදියකු වන මහැදුරු විමල් දිසානායකයෝ දැනට අමෙරිකාවේ හවායිහි ඊස්ට් වෙස්ට් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරති. මේ කීර්තිධර ශාස්ත්‍රඥයා මෙවර පුන්කලස හා සංලාපයකට හා එක්වෙමින් වත්මන් විචාර කලාවේ දිශානතිය හා එහි ප්‍රවර්ධනයට බලපෑ අතුරු බාධක පිළිබඳව සනිදර්ශිත විමර්ශනයක නිමග්න වේ. ලොව ප්‍රකට විචාරකයන් පිළිබඳ අප බොහෝ දෙනෙකු දන්නේ ඔවුන්ගේ මතවාද පිළිබඳ සවිඥානක වීමෙන් පමණි. එහෙත් මහැදුරු දිසානායකයන් මේ සුප්‍රකට විචාරකයන් රැසක් ඇසුරු කිරීමේ සුදුර්ලභ වාසනාව ලැබුවෙකි. ඊ. එම්. ෆෝස්ටර්, ෆෙඩ්රික් ජෙම්සන් වැනි විචාරකයන්ගේ ඇසුර ලද විමල් දිසානායක බහුවිධ විෂයයික විශේෂඥයකු වීම මෙරටට ආඩම්බරයට කරුණක් නොවේ ද?
වත්මන් විචාර කලාව හා විචාරකයන් පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
විචාර කලාව ලෝකයේ විශාල පරිවර්තනයකට භාජනය වී තිබෙනවා. බටහිර රටවල විචාර කලාව අද වර්ධනය වන්නේ අලුත් ම ආකාරයකට. මෙය බටහිර රටවලට පමණක් ම සීමා වී නැහැ. ඉන්දියාව, ජපානය, චීනය වැනි රටවලත් මේ බලපෑම දක්නට ලැබෙනවා. පසුගිය අවුරුදු විසිපහේ බටහිර රටවල විචාර කලාවේ දැඩි වෙනසක් ඇති වුණා. මේ වෙනස වන්නේ ලේඛකයාත්, කෘතියත්, පාඨකයාත්, පසුබිමත් අතර සම්බන්ධය අමුතු ආකාරයකට විවරණය කිරීමයි. දැන් සාම්ප්‍රදායික විචාර ක්‍රම අනුව අපේ සැලකිල්ල යොමු වන්නේ ලේඛකයා කෙරෙහි. ලේඛකයාගේ ස්වාධීනත්වය, ස්වතන්ත්‍රභාවය වැදගත්; අදත් එය වැදගත්. එහෙත් ඊට අමතර ව කෘතියේ තිබෙන සංකීර්ණත්වය අද වැදගත්කමක් දරනවා. සාහිත්‍ය කෘතියක නොයෙක් අභ්‍යන්තර ඝට්ටන තිබෙනවා. විශේෂයෙන් ම විසංයෝජනවාදය වැනි විචාර ක්‍රමවලින් මේ අංග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු වෙනවා. කෘතිය හැරුණු විට අද පාඨකයාත් වැදගත්. සාහිත්‍ය කෘතියකට අර්ථය ආරෝපණය කිරීමේදී ලේඛකයාට අමතර ව පාඨකයාගේ කාර්යභාරය කුමක් ද යන ප්‍රශ්නය මින් පෙර සාකච්ඡා නොවූ ආකාරයට සාකච්ඡා වෙනවා. කෘතියත්, පාඨකයාත් වැදගත්. මේ හැරුණු විට පසුබිමත් වැදගත්. පසුබිම නොවැදගත් තැනක තිබුණේ. නමුත් අද භාෂාත්මක පසුබිම, දේශපාලනික පසුබිම, ආයතනික පසුබිම ආදී මේ සියල්ල ම වැදගත් වෙලා තියෙනවා. මෙහි ප්‍රතිඵලය තමයි අද සාහිත්‍ය විචාරය අමුතු ම ආකාරයකට ගොඩනැඟීම.
නමුත් වත්මන් අපේ විශ්වවිද්‍යාලවල මේ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැහැ. මේ වෙනස්වීම්වලින් සමහරෙක් විලාසිතා වෙන්න පුළුවන්. තාවකාලික දේවල් වෙන්න පුළුවන්. ඒත් සමහර ඒවා කල්පවතින ඒවා. අපේ සාහිත්‍ය විචාරය නැවත ගොඩනැඟිය යුතුව තිබෙනවා.
අද ලෝකයේ වඩාත් ප්‍රචලිත විචාරවාදය කුමක් කියා ද ඔබ සිතන්නේ?
වැදගත් විචාරවාද කිහිපයක් තිබෙනවා. එකක් සංස්කෘතික අධ්‍යයනය කියන විචාරවාදය. 1980 - 2000 පමණ කාලයේ බටහිර රටවල විශ්වවිද්‍යාලවල සාහිත්‍ය අංශවල බහුල වශයෙන් උගන්වනු ලැබුවේ විසංයෝජනවාදය. අද ක්‍රමක්‍රමයෙන් එහි බලය අඩු වී ගොස් සංස්කෘතික අධ්‍යයනය කියන විෂය සංකල්පය වැදගත් වී තිබෙනවා. ඉන්දියාව, ජපානය වැනි රටවලත් ප්‍රචලිත විචාර ධාරාවක් ලෙස සංස්කෘතික අධ්‍යයනය හැඳින්විය හැකියි.
ඊළඟ විචාර ක්‍රමය තමයි, බොහෝදුරට අපේ රටවලත් බලපාපු පශ්චාත් යටත්විජිතවාදී විචාරය. මෙය ඇත්ත වශයෙන් ම ඇතිවුණේ ඉන්දියාවේ. ලෝකයේ රටවල් 85% ක් පමණ යම්කිසි ආකාරයක යටත්විජිතවාදයකට ලක්වී තිබෙනවා. බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංසය, අමෙරිකාව ආදී රටවල් යටත්විජිත බලපෑම්වලට ලක් වී තිබුණා. අනුක්‍රමයෙන් නිදහස ලැබුණත් ඒ යටත් විජිතවාදී සෙවණැලි තාමත් තිබෙනවා. දෙවැන්න එයයි.
තුන්වැන්න කාන්තාවාදය. එය ඉතාමත් වැදගත් සංකීර්ණ විචාර සංකල්පයක්. බටහිර රටවල මතුවුණු මෙය අද තුන්වැනි ලෝකයේ කාන්තාවන් වෙනස් ම ආකාරයකට විග්‍රහ කර තිබෙනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව වැනි රටවල මෙය අමුතු ම ආකාරයකට වර්ධනය වුණේ.
හතරවැන්න නව ඉතිහාසවාදයයි. නව ඉතිහාසවාදී විචාරය කියන්නේ බලයත්, දැනුමත් අතර තිබෙන සම්බන්ධය මුල්කරගෙන ඒ අනුව ඉතිහාසය විවරණය කිරීමයි. මේ අනුව සංස්කෘතික අධ්‍යයනය, පශ්චාත් යටත්විජිතවාදී විචාරය, කාන්තාවාදය සහ නව ඉතිහාසවාදය කියන විචාරවාද හතර ඉතා වැදගත්. අභාග්‍යයකට වගේ අපේ රටවල මේ විචාර ක්‍රම දක්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් ම අපේ විශ්වවිද්‍යාලවලට යුතුකමක් තියෙනවා. නව සාහිත්‍ය විචාර විධික්‍රම පිළිබඳ අවධානයක් යොමු කිරීමට.
කැලණිය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය අධ්‍යයනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් පසුගිය වකවානුවේ ආරම්භ කළා. එ්ත් මේ වැනි දේ සාකච්ඡා වේ යැයි බලාපොරොත්තු තබා ගත හැකිද?
එහි විෂය නිර්දේශය සකස් කිරීමේදී මගෙනුත් උපදෙස් ගත්තා. එය ක්‍රමානුකූලව වර්ධනය විය යුතු වෙනවා. ප්‍රවේශය ඉතා වැදගත්.
අපේ රටේ තවමත් විචාර සිද්ධාන්ත වශයෙන් පිළිගැනෙන පශ්චාත් නව්‍යවාදී විචාර ක්‍රමය එක්තරා කාලවකවානුවකදී රැල්ලක් තරම් වර්ධනය වුණා. රැල්ලක් වීම හේතුවෙන් ම පශ්චාත් නව්‍යවාදයේ සාධනීය පාර්ශ්වය යටපත් වීමක් සිදුවූවා යැයි කිවහොත්?
පශ්චාත් නව්‍යවාදය කියන්නේ ඉතාමත් ගැඹුරු සංකල්පයක්. එහි විලාසිතාත්මක ලක්ෂණත් තිබෙනවා. අපේ රටේ ප්‍රචලිත වුණේ ඒ විලාසිතාමය ලක්ෂණ පමණයි. එහි දාර්ශනික පැත්ත මතු වුණේ නැහැ.
ජර්මන් ජාතික දාර්ශනිකයකු වුණු නිට්ෂේගේ බොහෝ සිතුවිලි පශ්චාත් නව්‍යවාදී ලක්ෂණවලින් සමන්විතයි. තවත් චින්තකයෙක් හිටියා හයිඩැගර් කියලා. මේ දෙන්නගේ චින්තනය තමයි බොහෝ දෙනෙකුට බලපාලා තියෙන්නේ.
මෙහි සාධනීය ලක්ෂණ රැසක් තිබෙනවා. එකක් තමයි පුද්ගලත්වය නිර්මාණය කිරීමට භාෂාව හේතුවනවා ය යන්න. පුද්ගලයා භාෂාත්මක නිර්මාණයක් ය කියලා පශ්චාත් නූතනවාදීන් කියනවා. මෙහි වැදගත්කමක් තිබෙනවා. අපි උපදින්නේ, හැදී වැඩෙන්නේ භාෂාත්මක සමාජය මත. ඒ නිසා ඒ සමාජයේ බලපෑම් අනිවාර්යයෙන් ම අප මනසේ ඇතිවෙනවා.
තවත් සාධනීය ලක්ෂණයක් තමයි බලයත්, ඥානයත් අතර පවතින සම්බන්ධය. මෙය පශ්චාත් නව්‍යවාදීන් ඉතා ගැඹුරින් විග්‍රහ කර තිබෙනාව. ඥානය කියන්නේ හැම විට ම බලය සමඟ බැඳී පවතින්නක්. ඥානය යන්නට කවුද නිර්වචනය දෙන්නේ, විග්‍රහ කරන්නේ. බලය තියෙන අයනේ. ඉතිහාස ලියන්නේ කවුද? ඉතිහාසය හැම තිස්සේ ම ලියන්නේ ජයග්‍රාහී කොට්ඨාස මිසක් පරාජිත කොට්ඨාස නෙවෙයි. මේ දෙක තියෙනවා. මේවා හොඳ ලක්ෂණ. මේ ලක්ෂණවලින් අපි මීට වඩා ප්‍රයෝන ගන්න ඕන.
ඔබ ම වරක් පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා පශ්චාත් නව්‍යවාදය කියා වල්පල් දොඩවන්න එපා කියලත්...
පශ්චාත් නූතනවාදය වැදගත් විචාරවාදයක්. එහි සාධනීය ලක්ෂණ, නිෂේධනීය ලක්ෂණ කියන දෙක ම තියෙනවා. එහෙත් ඒවා තෝරා බේරාගත යුතු වන්නේ විවේක බුද්ධියෙන්. අපි එය හරියට ගත්තේ නැහැ. ඒක අපේ අභාග්‍ය ය.
මහාචාර්ය ඒ. වී. සුරවීරයන් පැවසූයේ අපට විධිමත් විචාර කලාවක් ගොඩනැංවීම සඳහා පෙර අපරදිග ද්විත්වයේ ම සංකලනයක් කිරීම අවශ්‍ය බවයි. මේ පිළිබඳ ව ඔබේ අදහස?
එය ඉතා වැදගත්. විශේෂයෙන් මෙහිදී පෙරදිග කියන්නේ අපේත් උරුමයක් වන භාරතීය විචාර කලාවට නේ. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර කියන දෙන්නම උත්සාහ කළේ බටහිර ප්‍රායෝගික විචාරයත්, ඉන්දියාවේ ධ්වනිවාදය, ඖචිත්‍යවාදය වැනි විචාරවාදත් එක්කර සංකලනය කිරීමටයි. ඒ ප්‍රයත්නය වැදගත්. ඒ ප්‍රයත්නය හුදෙක් ඖචිත්‍යවාදයටත්, රසවාදයටත්, ධ්වනිවාදයටත් සීමා විය යුතු නැහැ. එය තවත් පුළුල් කරන්න ඕන. විශේෂයෙන් ම පශ්චාත් නව්‍යවාදය ගත්තොත් රසවාදයටත්, ධ්වනිවාදයටත් වඩා එය සම්බන්ධ වෙන්නේ ඇතැම් දාර්ශනික චින්තාවන්ට. උදාහරණයක් වශයෙන් නාගර්ජුනගේ ඇතැම් සිද්ධාන්ත ඊට ඉතාමත් සමීපයි. ඒ නිසා කිසියම් ආකාරයකට සම්බන්ධතාවක් ඇතිකළ හැකියි. නමුත් අනෙක් අතට බටහිර විචාර කලාව මතු වුණේ එක්තරා බුද්ධිමය පරිසරයක. සංස්කෘතිය හා දර්ශනය මතු වුණේ තවත් දාර්ශනික පසුබිමක. ඒ වෙනසත් අපේ සිත්හි තබාගන්න ඕන. එය අමතක කරලා මේ සම්බන්ධය ඇතිකරන්න බැහැ.
වික්‍රමසිංහයන් දේශීය විචාර කලාවක් ගොඩනංවා ගැනීමේ අවශ්‍යතාව දැඩි ලෙස මතු කරනවා. එහෙත් අදටත් අපට අනන්‍ය වූ විචාර කලාවක් ගොඩනංවා ගැනීමට නොහැකි වී තිබෙනවා. එයට හේතුව ඔබ පවසන බුද්ධිමය පරිසරය අපේ රටේ ඇති නොවීම ද?
ඔහු තම දර්ශනය ඉතා පැහැදිලිව ඉදිරිපත් කරන්නේ 'සිංහල විචාර මඟ" කියන කෘතියේ. ඔහුගේ මතය වුණේ අපේ බෞද්ධ සංස්කෘතියේ, බෞද්ධ චින්තනයේ තියෙනවා යම් යම් විචාර විධි. ඒ විචාර විධි පදනම් කරගනිමින් සිංහල විචාර ක්‍රමයක් මා දන්නා තරමින් බිහි වී තිබුණේ නැහැ. ඒ අදහස වැදගත්. ඒත් එය කලානුරූප ව ප්‍රායෝගික ව වර්ධනය කරන්නේ කෙසේ ද? කියන එකයි මේ මඟින් මතුවෙන ප්‍රශ්නය. බුදු දහමේ ඇතැම් සිතිවිලි විචාර බුද්ධිය වර්ධනය කිරීමට ඉවහල් වන බව ඇත්ත. නමුත් එය සාහිත්‍ය විචාරය සඳහා, නවකතා විචාරය සඳහා,
නාට්‍ය විචාරය සඳහා යොදා ගන්නේ කෙසේ ද කියන එකයි ගැටලුව. වික්‍රමසිංහ මහතා ඒ මූලික අදහස ඉදිරිපත් කළා. අප සතු කාර්යය තමයි ඊළඟ පියවර එනම් ප්‍රායෝගිකව මෙය ඉටු කිරීමට උත්සාහ කිරීම. ඒ අතරේ වත්මන් ලෝකයේ ඇතිවන වෙනස්වීම් පිළිබඳවත් අවබෝධයක් තියෙන්න ඕන. ලෝකය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අන්තර්ජාලය හා වෙනත් තාක්ෂණික උපකරණ නිසා අද එකිනෙකා අතර සම්බන්ධය යුහුව සිදු වෙනවා. වෙන රටවල ඉන්න සිංහල ජනයා අන්තර්ජාලය මඟින් ලංකාවේ පුවත්පත් දෙක තුනක් දවසකට කියවනවා; රූපවාහිනියට, ගුවන් විදුලියට සවන් දෙනවා. අදහස් ක්ෂණිකව ගලා යනවා. මෙවැනි පරිසරයක නවීන ඥානයක් ඊට සම්බන්ධ කරන්න ඕන. මෙය ඉතාමත් ගැඹුරු ප්‍රශ්නයක්. බාධා බොහොමයක් තිබෙනවා.
බෞද්ධ විචාර කලාවක් ගොඩනංවා ගැනීම ආසියාතික අපට වැදගත් වේයැයි සිතනවද?
බෞද්ධ චින්තනය ගොඩනැංවෙන්නේ එක්තරා සමාජ පරිසරයක. එය කෘෂිකාර්මික සමාජයක් මත ගොඩනැංවුණු චින්තනයක්නේ. බුදු දහමේ විශ්වව්‍යාපී ලක්ෂණ තිබෙනවා. නමුත් එය සමකාලීන සමාජ ප්‍රයෝගවලට අනුකූලව සකස් වෙන්න ඕන. ඒ කාර්යය කෙරෙහි අපේ අවධානය යොමු වෙන්නට අවශ්‍යයි.
ලංකාවේ වත්මනෙහි සිටින විචාරකයන් තමන්ගේ භූමිකාව නිසි ලෙස වටහාගත් පිරිසක් කියලා ඔබ සිතනවා ද?
සිංහල විචාර කලාව ඒ තරම් දියුණු තත්ත්වයක තිබෙනවා කියලා කියන්න බැහැ. පිටරටක ඉඳගෙන මා මේ කියන දෙය සාධාරණ නොවෙන්න පුළුවන්. සාහිත්‍ය විචාරයෙහි ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් සාහිත්‍ය විචාරකයා, අනෙක් කෙනා සාහිත්‍යවේදියා. මම සාහිත්‍ය විචාරකයෙක් නොවෙයි. මොකද, මට දිනපතා පිට වන පොත්, පත්තර කියවන්න වෙන්නේ නැහැ. නමුත් මම සාහිත්‍යවේදියෙක්. මම සාහිත්‍ය පිළිබඳ හැදෑරීමක නියුතු වෙනවා. සාහිත්‍යවේදියා හා සාහිත්‍ය විචාරකයා කියන දෙදෙනා මෙහිදී එක්වන්න ඕන.
මෙහි සාහිත්‍ය විචාරකයන් ඉන්නවා. නමුත් ඔවුන්ට මාර්ගෝපදේශය දීමට සාහිත්‍යවේදීන් නැහැ. විශ්වවිද්‍යාලවලින් මේ කාර්යය ඉටු වී නැහැ. වෙන රටවල සාහිත්‍යවේදීන් අප්‍රමාණ ව ඉන්නවා. අපේ විචාර කලාව දුර්වලයි කියන එක නොවෙයි, සාහිත්‍යවේදීන්ගේ අවප්‍රමාණයයි තියෙන්නේ.