
කොරල් පර අතර තැනින් තැන රැඳී ඇති අපද්‍රව්‍ය දුටු විට නෙත නැඟෙන්නේ කඳුළකි. යන එන්නන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මුදා හරින ලද අපද්‍රව්‍ය හේතුවෙන් ඒ සුන්දර පරිසරය කෙමෙන් විනාශය කරා ළඟා මින් තිබේ. පරෙවි දුපතට පැමිණෙන සංචාරකයන් සෘජුවම මුදාහරින අපද්‍රව්‍ය මෙන්ම ගංඟා ඇළ දොළ ආදියෙන් ගලාගෙන විත් මුහුදේ රැඳෙන අපද්‍රව්‍ය දැන් මේ පරිසරයට මහත් තර්ජනයක් වී ඇත.
උදෑසන හත හතහමාර වන විටත් පරිසරය උණුසුම්ය. දාහයෙන් මිදීමටත්, පැමිණි ගමන සම්පුර්ණ කරගැනීමටත් සිතා නිල් රැලි නඟන සයුරු දියට පැන්නෙමි. එය අපූරු මුහුදු තීරයකි. ඒ අපූරු බව වඩ වඩාත් අපූරු වන්නේ මුහුද යට කිලෝමීටර ගණනාවක් දක්වා දිව යන නෙක පාටින් හැඩ වූ ගල්මල් යාය නිසාය. එය නෙක වර්ණයෙන් සිත්තම් කළ වනාන්තරයක සොඳුරු දසුනක් සිහි ගන්වයි. ඒ අතර එහෙ මෙහෙ පිහිනා යන නොයෙක් හැඩයෙන් , නොයෙක් වර්ණයෙන් යුත් මත්ස්‍යයන් ඒ සොඳුරු බව වඩාත් ස්මතු කර පෙන්වයි.
අප දෑස් ඉදිරියේ අපූරු සොඳුරු බවක් මවා පෙන්වන ඒ මුහුදු තීරය අපට හමුවන්නේ ත්‍රිකුණාමලයේය. ත්‍රිකුණාමලයේ පරෙවි දූපත අවට කොරල් පර පද්ධතියකින් සමන්විත මුහුදු ප්‍රදේශයේ සුන්දර බව යට කරමින් දැන් අසුන්දරත්වය, පමණක් නොව විනාශයද ළඟා වෙමින් තිබේ.
ලෝකයේ බොහෝ සංචාරකයන්ගේ සිත් සොරාගත් ත්‍රිකුණාමලයේ නිලාවැලි වෙරළේ සිට මුහුදු සැතපුම් එකහමාරක් පමණ දුරින් පිහිටි පරෙවි දූපත pigon Island නමින් ප්‍රසිද්ධ වී තබේ. අපේ රටට ආභරණයක් වු එම පරිසර කලාපය (1963 දී වන සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක පනත යටතේ) 2003 වසරේදී අභය භූමියක් ලෙස නම් කර ඇත. හෙක්ටයාර් 471.429 භූමියක් එම උද්‍යානය සතුව පවතින අතර ගල්පරවලින් යුතු දුපත් දෙකක් වේ.
අතීතයේදි පරෙවියන් ආධාරයෙන් පණිවුඩ හුවමාරු කරගත් මධ්‍යස්ථානයක් ලෙස යොදාගත් නිසා එය පරෙවි දූපත නමින් හැඳින්වේ. කොරල් ජීවීන් විශේෂ 100ක්, මත්ස්‍ය විශේෂ 178ක් එම පරිසර පද්ධතිය තුළ වෙසේ. එතරම් විශේෂත්වයක් ඇති සුන්දරත්වයෙන් අනූන පරිසරය ගැන අද ඔබට කීමට ඇත්තේ දුක්බර කතාවකි.
මුහුදු දිය යටින් පිහිනා යමින් අපි සුන්දර කොරල් පර නරඹන්ට වීමු. නමුදු ඒ කොරල් පර අතර තැනින් තැන රැඳී ඇති අපද්‍රව්‍ය දුටු විට නෙත නැඟෙන්නේ කඳුළකි. යන එන්නන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මුදා හරින ලද අපද්‍රව්‍ය හේතුවෙන් ඒ සුන්දර පරිසරය කෙමෙන් විනාශය කරා ළඟා වෙමින් තිබේ. පරෙවි දුපතට පැමිණෙන සංචාරකයන් සෘජුවම මුදාහරින අපද්‍රව්‍ය මෙන්ම ගංඟා ඇළ දොළ ආදියෙන් ගලාගෙන විත් මුහුදේ රැඳෙන අපද්‍රව්‍ය දැන් මේ පරිසරයට මහත් තර්ජනයක් වී ඇත.
සාගරය රැක බලාගැනීමේදි ප්‍රධාන කරුණු කිහිපයක් වෙත අපේ අවධානය යොමු කළ යුතුව ඇත. සාගරය වටා ඇති වෙරළ තීරය මෙනම සාගරය තුළ ඇති පිහිටා ඇති කොරල්පරද , ඒවාට විශේෂ වූ ජීවීන් ආරක්ෂා කිරීමද අනිවාර්යයෙන්ම කළ යුතුය.
මුහුදු ජලයට දිනෙන් දින එකතු වන අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික්, සහ නොයෙක් තෙල් වර්ග, නිසා සාගර ජීවින් මෙන්ම එහි ජෛව පද්ධතියට ද හානි සිද්ධ වෙයි. පරිසර විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව සාරගරය සහ වෙරළ දුෂණය වන්නේ ප්ලාස්ටික් මඟිනි.
අද වන විට සාගර සම්පත රැකගැනීම සඳහා ලෝකයේ රටවල් රැසක් අත්වැල් බැඳගෙන සිටී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් 2017 පෙබරවාරි මාසයේදි , පිරිසුදු වෙරළක් සහ සාගාරයක් පවත්වාගෙන යෑමේ අරමුණ ඇතිව ප්ලාස්ටික් දුෂණයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් “පිවිතුරු සයුර සංග්‍රාමය “ ලෝක ය පුරා ක්‍රියාත්මක කරනු ලැබීය.
කොහොම වුණත් අපේ රට තුළ සමුද්‍ර දුෂණය නතර කිරීමේ අරමුණ සහ සාගරය රැකගැනීමේ අරමුණින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) වෙත පැවරි ඇත.
පරිසරවේදින් පවසන ආකාරයට ලෝකය පුරා ඇති සාගර, විල්, ඇළ දොළ ගංගා මෙන්ම ගොඩබිම ප්ලාස්ටික් අඩංග අපද්‍රව්‍ය බිලියන ගණනින් ආක්‍රමණය කරමින් සිටී. දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 8ක් සාගාරයට එක්වන අතර ඒවා අතරින් ටොන් 236000ක් මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු අපද්‍රව්‍ය ලෙස හඳුනාගෙන ඇත.
සාගරයේ ප්ලාස්ටික් තැන්පත් වීම නිසා කොරල් ආශ්‍රිත රෝග සියයට හතරේ සිට සියයට අසූ නවය දක්වා මේ වන විට ඉහළ ගොස් ඇත. එමෙන්ම දැන් දැන් සාගරයේ මතුපිට ආහාරවලට වඩා ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇති බැවින් සාගර ජීවින්ගේ පැවැත්මට එය විශාල තර්ජනයක් වී ඇත. පරිසරවේදින්ගේ සොයාගැනීම්වලට අනුව කැස්බෑවන්ගේ මිය යෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එයයි. එනම් එම සතුන් ප්ලාස්ටික් ආහාරයට ගැනීමයි.
සෑම වසරකම ජුනි මස 6,7,8 තෙදින සාගරය සුරැකීමේ දින ලෙස නම් කර ඇත. අපේ රටේ ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් එම දිනය සමරනු ලැබේ. එම ආයතන මඟින් ශ්‍රිලංකාව වටා ඇති මුහුදු කලාපය ආරක්ෂා කිරීමෙන් මහඟු සේවාවක් කරනු ලැබේ.
ජගත් සාගර දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් අප රටේද ක්‍රියාත්මක කෙරිණි. එම ආයතනයේ ශාඛා එක්ව තරුණ තරුණියන්ගේ සහ ප්‍රජා සේවා ආයතනවල සහයෝගයෙන් මුහුදු වෙරළේ ප්ලාස්ටික් ආදි අපද්‍රව්‍ය, හා කොරල්පර ආශ්‍රිත අපද්‍රව්‍ය ඉවත් කිරීම ද සිදු කෙරිණි. ඊට අමතරව තෝරාගත් වෙරළ කිහිපයකම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්යයයේ තරුණ තරුණියෝ දෙසීයක් පමණ නිරත වී සිටිති. මුහුණු පොත භාවිතා කරමින් ස්වෙච්ඡා සංවිධාන සහ තරණ තරුණියෝ වෙරළ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිති.
ත්‍රිකුණාමල වෙරළේ කොරල් පරවල සුන්දරත්වය නරඹමින් සිටි අප බොහෝ කම්පා වුයෙමු . ඒ අද ඒ පරිසරයට උදා වෙමින් පවතින ව්‍යසනය දැකීමෙනි. අප සැම සහභාගි වූ එම වැඩසටහන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති රියද් අද්මිරාල් (විශ්‍රාමික) රෝහණ පෙරේරා මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරිණි. එමෙන්ම අද මේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර මහතා අදහස් දැක්වූයේය.
“අපේ රට සාගර පරිසර පද්ධතීන් රාශියකින් සමන්විත රටක්. අපේ රටට පරිසර විද්‍යාත්මක , ආර්ථික , හා සාමාජීය වශයෙන් ඉතා ඉහළ දායකත්වයක් හා සම්පත් සපයන ස්ථානයක් බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ කලාපය, නොගැඹුරු මුහුදේ ඇති සමුද්‍ර පරිසරයත් ඈත දියඹේ ඇති ජල තටාකයත්, ගැඹුරු මුහුදේ ඇති පතුලත් ප්‍රධාන අංගයන්ගෙන් සමන්විතයි. මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා අපට කරන්න පුළුවන් දේ බොහොමයි.
අපේ රටේ ගොඩබිම මෙන් හය ගුණයක් විශාල මුහුදු කලාපයක් තමයි අපට මීට පෙර තිබුණේ. නමුත් එය ඊටත් වඩා විශාල බව විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන්. කොහොම වුණත් මේ මුහුදු පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ වගකීම තිබෙන්නේ මිනිසුන්ගේ අතේමයි. කරුණාකර මේ පරිසරයට ප්ලාස්ටික්, අපද්‍රව්‍ය මුදාහරින්න එපා. අප කරන පළමු අවවාදය එයයි. ප්ලාස්ටික් මේ ලෝකයටම තර්ජනයක් වී හමාරයි. කොහොම වුණත් අපේ මේ පරිසර පද්ධතිය රැකගන්නට එක් වන ලෙස අප රටේ හැමගෙන් ඉල්ලනවා.” ඒ පරිසරවේදීන්ගේ ආරාධනයයි . ආයාචනයයි.
බැලු බැල්මට නිල්වන් මුහුදු තීරයට මෙතරම්ම පාරිසරික තර්ජනයක් එල්ල වී ඇති බව නොවැටහෙයි. නමුදු විසිතුරු කොරල්පර දකිමින් මුහුදේ පිහිනා යන විට මේ සම්පත රැක ගතයුතුය යන දැඩි අරමුණ සිතට ඒ. ඒ සිතුවිල්ල ඔබේ සිතටත් දැඩිව දැනෙන්නේ නම් මුහුද ආශිත පරිසර කලාපය පමණක් නොව රටේම පරිසරය සුරැකෙනු ඇත.