වන අලි කැලයේ අපි සැන­සිල්ලේ | Page 4 | සිළුමිණ

වන අලි කැලයේ අපි සැන­සිල්ලේ

* ගම්මු රජ­යට පින්දෙති
* විය­දමකෝටි 8.7

කැලයේ සිටින අ‍ලියෙක් සාමා­න්‍ය­යෙන් දින­කට පැය 18 ක් 19 ක් ඇවිද යයි. දින­කට එක් අලි­යෙ­කුට සාමා­න්‍ය­යෙන් ජලය ලීටර් 200 ක් ආහාර කිලෝ­ග්‍රෑම් 250 ක් පමණ අව­ශ්‍යවේ. අලියා මෙප­මණ දුරක් දින­කදී ඇවිද යන්නේ මේ ආහාර කිලෝ­ග්‍රෑම් 250 ක් සොයා ගැනීමේ අර­මු­ණිනි. සංක්‍ර­මණ රටා­වට අනුව අලි­යෙ­කුට හෙක්ට­යාර 5000 සිට 40000 දක්වා භූමි ප්‍රමා­ණ­යක් අවශ්‍ය වේ. පාර­ම්ප­රික මාර්ග රටාවේ ගමන් කරන වල් අලි ගමන් ගන්නා පුරුදු මාර්ගයේ බාධක පැව­තු­ණ­හොත් එම බාධක බිඳ­ගෙන ඉදි­රි­යට යෑම සිරි­තය.

ලංකාවේ වන ජීවීන් සඳහා සුර­ක්ෂිත වාස­භූමි ප්‍රමා­ණය මුළු බිමෙන් සිය­යට 22 කි. වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙම භූමි­යෙන් සිය­යට 14 ක් ද වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට සිය­යට 8 ක් ද අයිති වේ. අව­සන් වරට 2011 දී සිදු කරන ලද සමී­ක්ෂ­ණ­යට අනුව වල් අලි 5879 කි. 2010 වසරේ සිට 2018 වසර දක්වා මිනිස් ජීවිත 657 ක් හා අලි 2219 ක් මිය ගොස් තිබේ.

මෙරට දිස්ත්‍රික්ක 17 ක අලි මිනිස් ගැටුම පව­තින අතර උග්‍රම දිස්ත්‍රි­ක්කය කුරු­ණෑ­ග­ලයි‍. කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යේත් ගල්ග­මුව වන­ජීවී කලා­පයේ මෙම ගැට­ලුව උග්‍රව පවතී. කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ පව­තින්නේ කහල්ල පල්ලෙ­කැලේ අභය භූමිය පමණි. මෙහි වනා­න්තර ප්‍රති­ශ­තය මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා ශීඝ්‍ර­යෙන් අඩු වී ඇත. ආහාර හා ජලය සොයා යන අලි කැලෑ නොමැති හෙයින් ගම්මාන වෙත කඩා වදිති. මේ හේතු­වෙන් ගල්ග­මුව වන­ජීවී කලා­පයේ උග්‍ර අලි මිනිස් ගැටු­මක් කලක් සිටම පැව­තිණ.

මෙයට පිළි­යම් ලෙස ගල්ග­මුව වන­ජීවී කලා­පයේ වල් අලි ගැටුම උග්‍ර ගම්මාන වටා විදු­ලිය වැට ඉදි­කි­රීම ආරම්භ කර ක්‍රියා­ත්ම­කව පවතී. විදුලි වැට නිසා මේ වන­විට අලි මිනිස් ගැටුම අවම වෙමින් පව­තින අතර ඒ නිසා ම මෙම ගම්මා­න­වල ජන­තා­වට බියෙන් සැකෙන් තොරව දිවි ගෙවී­මට පරි­ස­රය උදාවී තිබේ.

ලෙඩ අලින්ට ප්‍රති­කාර

ගල්ග­මුව වන­ජීවී කලා­ප­යට ගල්ග­මුව, ඇහැ­ටු­වැව, මහව සහ අඹ­න්පොල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස හතර (4) අයත්වේ. මේවායේ ග්‍රාම නිල­ධාරී වසම් 193 ක් ආව­ර­ණය කර­මින් අලි මිනිස් ගැටු­මට විස­ඳුම් දෙන ගල්ග­මුව වන­ජීවී කාර්යා­ලය ගනේ­වත්ත, පොල්පි­ති­ගම, ඉබ්බා­ග­මුව, මාව­ත­ගම, රිදී­ගම, වාරි­ය­පොළ හා ගිරි­බාව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­වල අස­නීප සත්තුන්ට ප්‍රති­කාර කිරීමේ සේවයේ ද යෙදෙයි.

වල් අලි තර්ජන උග්‍ර ගම්මාන වටා විදුලිය වැට ඉදි­ක­රන අතර ඒ සඳහා කිලෝ­මී­ට­ර­ය­කට රුපි­යල් ලක්ෂ පහක පමණ මුද­ලක් වැයවේ. ඇහැ­ටු­වැව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ අලු­ත්වැව, මහ­ඇ­බෝ­ගම, ඉහළ ඇබෝ­ගම, මඩ­දෙ­නි­ගම, උඩ­කො­ටුව, කැලේ­ගම, කොත­ල­වැ­ටිය, හේනේ­ගෙ­දර, හුනු­ග­ල්ලෑව, මහ­මේ­රුව, හද­පා­න්දෙ­නි­ගම නිවාස 20, අත්ත­න­පොල දික්යාය, නාකො­ල­ගනේ, ආඩි­ගම හා කදු­රු­වැව ගම්මාන වටා විදු­ලිය වැට ඉදි­කර ඇති අතර එහි දුර කිලෝ­මී­ටර් 76.5 කි.

ගල්ග­මුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මහ­වැව, අතු­කෝ­ර­ල­යා­ගම, පහ­ළ­කො­ක්වැව, දෙම­ටෑව, බුල්නෑ­ගොඩ, ව‍ෑගෙ­දර, ඉහ­ළ­ගම සහ ගනේ­දි­වුල් වැව, ගම්මාන වටා විදුලිය වැට ඉදි­කර ඇති අතර එම දුර ප්‍රමා­ණය කිලෝ­මී­ටර් 39 කි.

මහව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පහ­ළ­ගම ගම්මා­නය වටා කිලෝ­මී­ටර් හයක (06) දුරට විදු­ලිය වැට ඉදි­කර ඇත.

ආදර්ශ වැට 2016 දී

වල් අලි ගම් වැදී­මට පිළි­යම් ලෙස ගම්මාන වටා අලි වැට ඉදි­කි­රීම ආරම්භ කළේ 2016 වස‍රේදී ය. ඒ මුල්ම ආදර්ශ ග්‍රාමීය විදු­ලි­වැට එරි­යාව, දිග්පි­ටි­ය­වත්ත විදුලි වැටය. ගල්ග­මුව වැව­ගෙ­දර විදු­ලි­වැට කොටස් තුන­කට ඉදි­කර තිබේ. ඒ අලි සංක්‍ර­ම­ණික මාර්ග අව­හිර නොවන සේ ය.

ගල්ග­මුව වන­ජීවී කලා­පයේ අලි රංචු දෙකක් ගැව­සෙති‍. ඉන් එක් රංචු­වක් හේන්ව­ල­ගම, බිම්පො­කුණ, 5 කණුව, මඩ­දොඹේ, මහ­ග­ල්ග­මුව, පාලු­ක­ඩ­වල, අත­ර­ගල්ල, එරි­යාව, හුනු­ග­ල්ලෑව, අගු­රු­වැල්ල, ඉහ­ළ­ගම, පහ­ළ­ගම, මොර­ග­ස්වැව ගම්මා­න­වල සැරි­ස­රති. මෙහි අලි 200 කට අධි­කව ගැව­සෙති. අනෙක් රංචුවේ අලි 250 කට අධි­කව ගැව­සෙන අතර එම අලි ඉගි­ණි­මි­ටිය, තබ්බෝව සිට කාසි­කොටේ, යද්දෙ­ස්සාව හා අත­ර­ගල්ල ප්‍රදේ­ශ­වල ගැව­සෙති. තවද කහල්ල පල්ලෙ­කැලේ සිට පැමි­ණෙන අලි රංචුව විතා­දෙ­නි­ගම, මුදි­ය­න්නෑ­ගම, දිවු­ල්ගනේ, කදු­රු­වැව, ඇඹෝ­ගම, වල­ත්තෑව, ගාල­වැව, මොර­ග­ස්වැව ගම්මා­න­ව­ලට කඩා වදිති.

දිවා රාත්‍රි දෙකේම අලි පන්නා දම­මින් ජීවිත හා දේපළ රැක ගැනී­මට වෙහෙ­සුණු වැසි­ය­නට විදු­ලිය වැට මහත් අස්වැ­සි­ල්ලකි. මේ නිසා දැන් ගම්මු වන­අලි බියක් නැතිව තම කට­යුතු කර­ග­නිති. ඒ විදු­ලිය වැටේ පිහි­ටෙනි.

විදු­ලිය වැට ඉදි­කි­රීම නිසා ලැබූ සහ­නය වච­න­ව­ලින් කියා නිම කළ නොහැකි යැයි එම්.එල්. ගාමිණී ගුණ­ව­ර්ධන මහතා පව­සයි.

“අපේ ගම්මා­න­ව­ලට හවස පහ හය වන­විට අලි රංචු පිටින් එනවා. පාලු­ක­ඩ­වල වැවට වතුර බොන්ඩ එන අලි රංචු තමයි මේ විදි­හට මේ ගම් වදින්නෙ.”

වැට නඩ­ත්තු­වට සමි­ති­යක්

දවල් තිස්සෙ කුලී වැඩ කරලා මහ­න්සි­වෙලා ගෙද­රට එන අපට රාත්‍රි කාල­ය­ටත් නින්දක් තිබුණෙ නෑ. රෑ එළි­වෙන තුරු ඇහැ­රලා අලි පන්න­නවා. එක විනා­ඩි­යක් ඇහැ­පිය වුණොත් ඉතින් වගා සේරම ඉව­රයි‍. ඒ කර­දරේ දැන් ඉව­රයි‍. රජ­යට පිං සිද්ධ වෙන්ඩ විදුලිය වැට ගහලා දුන්නා. දැන් ඉතින් රාත්‍රි­යට අලි රකින්ඩ ඕනෙ නෑ. දවල්ට වැඩ කරලා ඇවිත් රෑට හොඳට නිදා­ග­න්නවා.”

ආඩි­ගම ඩබ්.ප්‍රේම­රත්න මහතා ද අලි­ගම් වැදීම නිසා පීඩ­න­යට පත්ව සිටි අයෙකි.

“අපේ ගම්මා­න­වල මිනිස් ජීවිත, වගා, දේපළ මේ සිය­ල්ලට අලි නිසා හානි වුණා. සියල්ල අත හැරලා කොහොම හරි ජීවත් වෙනවා කියලා අපි හිත හදා­ගෙන හිටියෙ. ඒ අතරෙ තමයි මේ විදු­ලිය වැට ඉදි­කි­රීම කළේ. අනේ ඉතින් මේ හැමෝ­ටම පිං සිද්ධ වෙන්ඩ දැන් ඉතින් අලි කර­ද­රෙන් අපි නිද­හස්. හිත හදා­ගෙන රාත්‍රි­යට ඇස් දෙක පිය­ව­ගන්න පුළු­වනි. අපට තියෙන්නෙ රජ­යෙන් හදලා දුන්න විදු­ලිය වැට හරි හැටි නඩත්තු කිරීම පම­ණයි. ඒ සඳහා අපි විදුලිය වැට සුරැකී‍මේ සමි­ති­යක් පිහි­ටු­වා­ගෙන තිබෙ­නවා. වන­ජීවී එකේ, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සහ­යෝ­ග­යෙන් අපි වැට නඩත්තු කර­ගෙන යනවා.”

අලි ගැන පැමි­ණිලි නෑ

විදු­ලිය වැට ඉදි­කි­රීමේ නාය­ක­ත්වය ගෙන කට­යුතු කරන මෙන් ම අලි පැන්නීමේ කාර්යයේ නියමු වන සත්ත්ව නියා­මක ආර්.එම්. වසන්ත අත­පත්තු මහතා අලි වැටේ නඩ­ත්තුව ගැන විස්තර කළේ ය.

“වල් අලි හානි උග්‍ර ගම්මාන වටා විදු­ලිය වැට ඉදි­කි­රීම අපි කරලා දෙනවා. ප්‍රජා මූල සංවි­ධාන පිහි­ටු­වලා නඩත්තු අර­මු­ද­ලක් හදලා ප්‍රජා­වට වැට බාර දෙනවා. ප්‍රති­ලා­භීන් වැට නඩත්තු කළ යුතුයි. විශේෂ ආබා­ධ­ව­ලදී අපි ක්‍රියා­ත්මක වෙලා අවශ්‍ය කට­යුතු කරලා දෙනවා. හරි නඩ­ත්තු­වක් තිබෙ­නවා නම් මේ විදු­ලිය වැට ගම්ව­ලට ලොකු ආර­ක්ෂා­වක්. වගා භූමි ඇරලා තමයි මේ ඉදි­කි­රීම කරලා තියෙන්නෙ. වගා කරන කාලෙට අව­ශ්‍ය­තා­වය මත වගා වැට ඉදි­ක­ර­දීමේ හැකි­යාව පව­ති­නවා. මේ විදුලිය වැට හරි­යට නඩත්තු කර­ග­ත්තොත් දිවි පව­තින පුරා ජීවිත, දේපළ හා වගා ආරක්ෂා කර­ගන්න පුළු­වනි. ඕනෑම මොහො­තක ගම්වල මිනිස්සු වෙනු­වෙන් අපේ සහාය අපි ලබා­දෙ­නවා.”

ගල්ග­මුව අඩවි ආර­ක්ෂක ලක්ෂ්මන් රෝහිත මහතා ගල්ග­මුව වන­ජීවී කලා­ප­යට නාය­ක­ත්වය සප­යන අයෙකි.

“මේ කලා­පයේ වල් අලි තර්ජන උග්‍රයි. ගම්මාන වටා විදු­ලිය වැට ඉදි­කි­රී­මෙන් ඒ තර්ජ­නය සිය­යට අනූ­න­ව­යක්ම අඩු­වුණා‍. වැ‍ෙට් නඩ­ත්තුව තමයි නිසි පරිදි කළ යුත්තේ සම­හර ගම්මා­න­වල වැට නඩ­ත්තුව හරි හැටි කෙරෙන්නෙ නෑ. අපි ගම්මුන් දැනු­වත් කර තිබෙ­නවා. ගම්මු­න්ගෙන් මුදල් එකතු කර­ගෙන ගම්මාන සමිති පිහි­ටු­වා­ගෙන ගම්මු හරහා ම තමයි මේ ව‍ැටේ නඩත්තු කට­යුතු කෙරෙන්නෙ. මේ වන­විට අලි වෙඩි ලබා­දීම අඩු­වෙලා තිබෙ­නවා. දේපළ හා ජීවිත හානි ප්‍රමා­ණය අඩු­වෙලා තිබෙ­නවා. අපි අපේක්ෂා කළ ප්‍රති­ඵ­ල­යත් එයයි. විදු­ලිය වැට නිසා ඒ දේ සිදු­වීම ගැන සතු­ටුයි. සක්‍රීය දාය­ක­ත්වය අපි ලබා­දෙ­නවා.”

වයඹ වන­ජීවී සහ­කාර අධ්‍යක්ෂ ඩබ්.එච්. වේරගම මහතා විදුලි වැටේ ප්‍රති­ඵල මෙසේ පැහැ­දුවේ ය.

වැට­ව­ල්ව­ලට අම­ත­රව තමයි ගම්මාන වටා විදුලිය වැට ඉදි­කර තිබෙන්නෙ. වන අලි ගම් වැදී­ම­කට තිබෙන එකම විස­ඳුම මෙයයි‍. ඉල්ලීම් ලැබෙන විදි­හට අලි තර්ජන පිළි­බ­ඳව සොයා බලා අපි වන­ජීවී එකෙන් විදු­ලිය වැට හදලා දෙනවා‍. නඩ­ත්තුව හා නිසි අධී­ක්ෂ­ණය පිළි­බඳ ගැටලු මතු­වුණා. දැන් අපි ප්‍රාදේ­ශීය ලේකම් හරහා වස­මට ඉන්න නිල­ධා­රීන්ට විදුලිය වැටේ අධී­ක්ෂණ කට­යුතු භාර දී තිබෙ­නවා. ඒ අධී­ක්ෂණ කමි­ටුව ගමේ ප්‍රජාව සමඟ එක­තුවී නඩ­ත්තුව හා අධී­ක්ෂ­ණය හරි­හැටි කර­ගෙන යන නිසා සාර්ථක විස­ඳු­මක් මේ වන­විට ලැබී තිබෙ­නවා. අද අපට ලැබෙන පැමි­ණිලි අවම වී තිබෙ­නවා.”

ඡායාරූප අඹ­න්පොල සමූහ
අනිල් ගාමිණී විජේ­රත්න

Comments