
* බෙහෙත් පැළෑටි මහ වනාන්තරයෙන්
* ලග්ගලට ආවේණික වසර 200ක් පැරණි වට්ටෝරුවක්
* දුම්බර මිතුරෝ සංවිධානය හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආධාර
* හෙළ වෙදකම හා දේශීය බෙහෙත් පැළෑටි රැකීම අරමුණයි
ලෝක උරුමයක් බවට පත්වු නකල්ස් රක්ෂිත කලාපයට අයත් ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පුරා විහිද ගිය අතීත සිදුවීම් හා වත්මනේ දක්නට හා අසන්නට ලැබෙන බොහෝ දෑ සැබැවින්ම ඇස් කන් අදහා ගත නොහැකි තරම්ය. ඉපැරැණි සිංහල වෙදකම පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යමින් අදටත් සිංහල වෙදකමේ විස්මිත හාස්කම් පාන ලග්ගල වෙද පරපුරේ තවත් අනගි භවනීය කටයුත්තක් දැකීමට අපි භාග්‍යවන්ත වීමු.
දේශිය වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිරුරේ සුව කළ නොහැකි රෝගයක් නැති තරම්ය. වසර පන්දහසකට වැඩි ඉතිහාසයකට නෑකම් කියන පරපුරක පුරුක්යැයි හඳුන්වන ලග්ගල පැරැන්නන් අතර හෙළ වෙදකමේ දක්ෂකම් දක්වන දේශිය වෛද්‍යවරු පනහක් පමණ තවමත් ලග්ගල ප්‍රදේශයේ විසිරී සිටිති. එම වෛද්‍යවරු ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන ලග්ගල ආයුර්වේද සංරක්ෂණ සභාව නියෝජනය කරමින් නිහඬ සේවයක නිරතව සිටිති. එම වෛද්‍යවරුන් අතරින් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා විවිධ දස්කම් දක්වන පිරිස් බොහෝය.
ප්‍රධාන අමුද්‍රව්‍යය නිල් ඇවරිය
දේශීය වෙදකමේදී ඔවුන්ට අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කෙරෙහි මේ වෛද්‍යවරුන්ට බලපාන ගැටලු රැසකි. එම ගැටලු හඳුනාගත් දුම්බර මිතුරෝ පරිසර සංවිධානය ලග්ගල දේශිය වෛද්‍යවරුන්ගේ ආයුර්වේද නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් ඖෂධ නිෂ්පාදනයේ දී බලපාන ගැටලු විසඳා දේශීය වෙදකම නඟා සිටුවීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා සංවිධාන කර තිබිණි.
එම වැඩ සටහන යටතේ පළමුවෙන්ම සිදු වූයේ ‘ලග්ගල නීල්‍යාදි තෛලය’ සිඳීමේ කටයුත්තය. දින ගණනක් තිස්සේ මහ වනයේ ඇවිදිමින් තෙල සිඳීම සඳහා අවශ්‍ය ඖෂධ සොයා රැගෙනවිත් මේ කටයුත්ත ආරම්භ වූයේ විවිධ පූජෝපහාර මධ්‍යයේය.
සිය ගණනක් වූ දේශිය ඖෂධ වර්ග වෙන්කර නිසි පිළිවෙත් පුරා නීල්‍යාදි තෛලය ළිප් තැබීමේ කටයුත්ත සිදු වූයේ ආයුර්වේද වෛද්‍ය (විශේෂ) ඩබ්ලිව්. එම්. කේ .එම්. ජී. කිරිබණ්ඩා වෙදමහතා අතිනි.
දින හතරක් මද ගින්නේ කැකෑරෙන මේ තෛලය සිඳෙන්නේ අඳුරු ස්ථානයකදීය. අනාදිමත් වෙද පරපුරක පස්වැනි පුරුක වන ආයුරේද වෛද්‍ය කිරිබණ්ඩා මහතා සිය වෙද පරම්පරාවේ තතු අප හා හෙළි කළේ මහත් අභිමානයෙනි.
“මේ තෙල හිඳිද්දි ගින්දර වැඩියෙන් දාන්නේ නැහැ. දින ගණනක් තෙල හිඳිනවා. පසුව තමයි ක්‍රමයෙන් ගින්දර වැඩිකරන්නේ.
දින හතරක් විතර යනවා මේ තෙල හිඳගන්න. නිල් ඇවරිය පැළෑටිය ප්‍රධාන කරගත් ඖෂධ වට්ටෝරුවක් තමයි නීල්‍යාදි තෛලයේ තියෙන්නේ. නිල් ඇවරිය හිස කෙස් සඳහා බොහෝ ගුණදායක බෙහෙත් පැළෑටියක්. හිස කෙස් කළුවීමට, අකලට කෙස් වැටීම හා පැසීම වගේ දේවල් මේ තෙල භාවිතයෙන් නවත්වන්න පුළුවන්.
ඒ වගේම මේ තෙලට එක්කරන අනෙක් ඖෂධවලින් හිසේ සෙසු රෝග මෙන්ම වාත රෝගවලටත් ප්‍රතිකාර ලැබෙනවා. සෙම පිත වාගේ අවස්ථාවලදී පවා මේ තෙලට එක්කර තිබෙන ඖෂධ වලින් ගුණ ලැබෙනවා.
ඒ වගේම ඇදුම රෝගයට පිටතින් ගාන්න පුළුවන් තෙලක් මේක. වාත රෝග පවතින පුද්ගලයින්ටත් මේ තෙල භාවිතා කරන්න පුළුවන්. කැඩුම් බිඳුම් අංශයට අදාළ ඖෂධත් මේ තෙලට එකතු වෙනවා. ඒ නිසා තමයි යම් කෙනෙකුගේ හිසට පහරක් වැදුණහම මේ තෙල් ටිකක් ගාපුවහම අඩුවෙලා යන්නේ.
සිරුරේ තැලීම් සීරීම් මෙන්ම කුඩා කෘමි සතුන්ගෙන් සිරුරට සිදුවන හානිවලටත් මේ තෙල භාවිත කරනවා. පිලිස්සුම්වලදීත් මේ තෙල භාවිත කරනවා.
අපේ වෙද පරම්පරාවේ පස්වැනියා තමයි මම. මේ කියපු සේරම ප්‍රතිකාර විධි වගේම බෙහෙත් වට්ටෝරු අදටටත් පුස්කොළ පොත් වල ලියලා අපි සතුව තියෙනවා. වෙන කවුරුත් ගාව මේවා නැහැ.
ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා මේ තෙල අපෙන් ඉල්ලනවා. නමුත් වානිජ මට්ටමෙන් මේ තෙල හිඳින්න පහසුකම් අපිට නැහැ. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. මොකද මේ තෙල්වලින් සුවය ලබන්නේ අවට ජීවත්වන පිරිස්. ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් තමයි මේ තෙල හිඳින්නේ.
තෙල හිඳින්නේ විකුණන්න නෙවෙයි
අපේ මුත්තලා වසර 200 ක පමණ ඈත අතීතයේ වර්ෂ ගණනක් අත්හදා බලලාතමයි ලග්ගලටම ආවේණික මේ නීල්‍යාදි තෛලය සොයා ගෙන තියෙන්නේ. ඒ පුස්කොළ පොත්වල අපේ මුත්තලාගේ නම් පවා ලියැවිලා තියෙනවා.
මහ වනන්තරේ තියෙන ඖෂධ වර්ග ගෙනැල්ලා කොටලා ඒවගේ යුෂ වෙනම වෙන්කරලා සරක්කු වර්ග ඉතා සියුම් විදිහට කුඩු කරලා අරගෙන අඹරන්න තියෙන ඖෂධ වර්ග අඹරලා අරන් තමයි මේ තෙල සැකසෙන්නේ. මට වෙද සාස්තරේ ලැබුණේ මගේ පියතුමාගෙන්. එතුමා ඒ කාලේ මේ පළාතටම වෙදකම්කළා. මමත් මේ කටයුතු කරන්න අරන් වසර 30 පමණ වෙනවා. ”
පාරම්පරිකව අනාදිමත් කාලයක සිට පැවත එන ලග්ගල වෙද පරපුර වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන නැවත පණ ගැන්වීමට අතදෙන දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා පවසන්නේ අභාවයට යන දේශිය වෙදකමට ජීවයක් ලබා දී දේශීය ඖෂධ පැළෑටිවලින් ප්‍රයෝජනය ගැනීම තම සංවිධානයේ අරමුණ බවයි.
“ලග්ගල කියන්නේ ‘ජන කොෂ්ඨාගාරයක්’.සිංහල වෙදකමේ අක්මුල් තිබුණු ස්ථානයක්. මේ ප්‍රදේශයේ මහා වනාන්තරේ අප අපට පරිසරයේ ඉතාම පැරණි මෙන්ම අත්දුටු ඖෂධ වර්ග ගණනාවක් අදටත් ඉතිරිවෙලා තියෙනවා. ඉතාමත් රහස්‍ය බෙහෙත් වර්ග පිළිබඳ දැනසිටි බොහෝ වෛද්‍යවරුන් මේ වෙද්දී ජීවතුන් අතර නොසිටීම ගැන අප කනගාටු වෙන්න ඕනේ. මේ වෙදමහත්වරු ජාතික සම්පතක් වගේම ලෝකයටම සම්පතක්. ඒ නිසාම තමයි අපි උත්සාහ කළේ ලෝකේ මිනිසුන්ට සෙත ශාන්තිය සලසන්න පුළුවන් මේ ප්‍රතිකාර ක්‍රම ඉදිරියට ගෙනියන්න.
ඉදිරියට තවත් බෙහෙත් හදනවා
හිසේ රෝග සුවකරනවා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේම ගොඩ දැමීමක්නේ. ඒ නිසා තමයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානය විදිහට තෙල් වර්ග නිෂ්පාදනය කරන්න අපි උත්සාහ කරන්නේ. අප මේ ව්‍යාපෘතිය කරන්නේ මේ නිෂ්පාදන රටපුරා බෙදන්න හෝ ලාභ උපයන්න හෝ නොවෙයි. බෙහෙත් ගන්න එන සාමාන්‍ය ජනතාවට ප්‍රතිකාර කරන්නයි. මේ වෙදමහත්වරු සමඟ එකතුවෙලා අතීතයේ භාවිතයට ගැනුණු ප්‍රතිකාර ක්‍රමවලට ජීවයක් ලබාදෙන එකත් අපේ අරමුණක්. මේ කටයුතු සාර්ථක කරන්න අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජීඊපී පරිසර වැඩසටහන උදව් කරනවා. මේ වෙද මහත්වරුන්ගේ තවත් වට්ටෝරු කිහිපයක් අත්හදා බලන්න වගේම ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්න අප ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා”
කිරිබණ්ඩා වෙද මහතා පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන එනු ලබන පුස් කොළ පොත් සියල්ල අප ඉදිරියේ දිග හැරියේ මහා අතීතයක සිය උරුමය නිර්ලෝභීව අන් අයට පෙන්වමිනි. ඇසේ කටුවක් ඇනුණු කල ඇසට හානියක් නොමැතිව ඉවත් කරන විශ්මිත වෛද්‍ය ක්‍රම මෙන්ම මිනිස් සිරුරේ සියලු ලෙඩ රෝගවලට ප්‍රත්‍යක්ෂ මෙන්ම අත්දුටු බව සඳහන් වටිනා බෙහෙත් වට්ටෝරු රැගත් පුස්කොළ පොත් රැසක් තවමත් මේ වෙද මහතා සතුව පවතී.
පුස්කොළ පොත් ලියැවුණු වර්ෂය ලෙස සටහන්ව ඇත්තේ 1904 යි. සිංහල ආකාරාධි පිළිවෙළට මෙම පුස්කොළ පොත් ලියා ඇත.
මෙහි අංකනය කිරීම් මෙන්ම වැරදුණු තැනක් වේද පුස්කොළපොතේ අවසානයේ එවා නිවැරැදි කර නැවත ලියා ඇත්තේය.
එපමණක්ද නොව කිරිබණ්ඩා වෙද මහතාගේ පරම්පරාවේ අතීත මුතුන්මුත්තන් විසින් අත්හදා බලා සාර්ථක වූ බෙහෙත් වට්ටෝරු ගැන පුස්කොළ පොත්වල විවිධ ක්‍රම ඔස්සේ සලකුණු තබා ඇති අන්දම අපට පෙන්නා දුන්නේ කිරිබණ්ඩා වෙද මහතාය.
ලග්ගල පුරාණය පිළිබඳ ගවේෂකයෙකුට හමුවන ලිඛිත මෙන්ම ප්‍රවාද ඔස්සේ ගමන් කළ විට අතීත රාවණා යුගය පිළිබඳ බොහෝ දේ සොයාගත හැකිය.
මේ හදන්නේ රාවණාගේ බේත්ද?
රාවණාගේ ඖෂධ උයනක් ලකේගල සමීපයේ පැවතීම හා ඒ ආශ්‍රිතව ජීවත්වූ උදවිය මේ උයනේ ඖෂධ විවිධ ප්‍රතිකාර සඳහා යොදා ගත් බවට සාක්ෂි මේ පරිසරයේ කොතෙකුත් හමුවේ. විශේෂයෙන් ළිං හෑරීමේ දී ලග්ගල වැසියන්ට හමුවී ඇති විවිධ ආයුධ කොටස් රාවණා යුගයේ පැවැති අවි ආයුධ කොටස් විය හැකි බව පැවසේ. ආචාර්ය සූරිය ගුණසේකරයන්ට අනුව මේවා ‘ශර’ ලෙස හැඳින්වෙයි. ඒවා රාවණා යුගයේ අවි ආයුධවල කොටස් බව පවසන සූරිය ගුණසේකරයන් පවසන්නේ එවැනි අවි පැවැති සමාජයක ඒවායින් සිදුවන තුවාල සඳහා ප්‍රතිකාර විධික්රම ද ලග්ගල පරිසරයේම පැවති බවයි.
ලග්ගල, රූමස්සල, සීතාඑළිය හා හග්ගල පවතින පැරණි ඔසු උයන් ද රාවණා යුගය දක්වා දිවයන බවත් ලග්ගල නොහොත් ඉලක්කගල රාවණාගේ ජ්‍යෝතිෂ විද්‍යාවේ අංශක බිංදුවේ අංශකය වූ බව ලග්ගල වැසියන් සඳහන් කරන බවත් සූරිය ගුණසේකර මහතා පවසයි.
ලග්ගල දී හමුවන රාවණගේ මල් උයන මෙන්ම එම පරිසරයේ පමණක් හමුවන විවිධ පැළෑටි වර්ග අදටත් කුතුහලයක් ඉතිරි කර තිබේ. මේ පැළෑටිවලින් අතීතයේ ලබාගත් මහඟු ප්‍රතිඑල වර්තමානයේ තාක්ෂණය විසින් උදුරාගෙන තිබේ.
එවැනි වකවානුවක අපේ දේශීය බෙහෙත් පැළෑටි සුරකිමින් අපේ උරුමය රැකීමට දුම්බර මිතුරෝ පරිසර සංවිධානය දරනා මේ වෑයමට ලග්ගල ජනතාවගේ මෙන්ම ලක්වාසී ජනතාවගේ කෘතඥතාව හිමිවිය යුතුය. නොමැතිනම් වසර දහස් ගණනක අතීතයේ සිට දිවි හිමියෙන් ආරක්ෂා කර ගෙන එනු ලබන මේ වටිනා බෙහොත් වට්ටෝරු කාලයේ වැලිතලාවෙන්ම වැළලී යනු නොඅනුමානය.
ලග්ගල රණමුරේ, නාරංගමුව, පල්ලේසිය සහ උඩසිය ආදී ප්‍රදේශවලට මෙන්ම ඇටැන්වල හා රඹුක්ඔළුව ආදී ඉපැරැණි ගම්මාන වල මේ වෙද පරපුරේ ඇත්තෝ වෙසෙති. ගෙඩිවෙදකම, ඇස් වෙදකමට පමණක් නොව කැඩුම් බිඳුම්, සර්වාංග වෙදකම හා සර්ප වෙදකම ඇතුළු බොහෝ ප්‍රතිකාර ක්‍රම භාවිත කරන වෛද්‍යවරු මේ ගම්මානවල තවමත් ජීවත් වෙති. එම වෙදැදුරන් ආරක්ෂා කිරීමෙන් නොනැවතී ඔවුන් දන්නා වෙදහෙදකම් හා ශාස්ත්‍රය මතුවටත් ආරක්ෂා කිරීම වගකීමකි.
ඡායාරූප - නාඋල සමූහ