තුත්තිරි ගහත් ගෙදර ගෙනියන ඉන්දීය කච්ච­තිවු භක්තිකයෝ | Page 4 | සිළුමිණ

තුත්තිරි ගහත් ගෙදර ගෙනියන ඉන්දීය කච්ච­තිවු භක්තිකයෝ

සියල්ල පොදි බැඳ­ගෙන වන්ද­නා­වට එමින්

(කච්ච­තිව් සංචා­ර­යෙන් පසු)

මීට වසර 111කට පමණ පෙර එනම් 1908 වසරේ දී ඉන්දි­යා­වෙන් මුහුදු ගිය ධීව­ර­යින් දෙදෙ­නෙක් තම ධීවර බෝට්ටුව සමඟ අන­තු­ර­කට පත් වූහ. මහ මුහුද මැද අත­ර­මංවූ ඔවුහු කර­කි­යා­ගත දෙයක් නොවූ තැන ශාන්ත අන්තෝනි මුනිඳු පිහිට පැතූහ. කෙසේ හෝ ගොඩ­බි­ම­කට තමන් ආර­ක්ෂි­තව ගෙන යන ලෙසත් එසේ යාමට ලද­හොත් ගොඩ­බිම අසල ශාන්ත අන්තෝනි මුණි­ඳුන්ට පල්ලි­යක් සාදා දෙන බව­ටත් ඔවුහු මුණි­ඳුන්ට බාර වූහ.

පෙර­ළුණු ඔරුව බදා ගෙන සිටි මේ ධීව­ර­යන් දෙදෙනා පාවී ගොස් දූප­ත­කට සේන්දු වූහ. ඒ ඉන්දි­යා­වත් ශ්‍රී ලංකා­වත් අතර හරි මැදින්ම මෙන් පිහිටා ඇති මේ කච්ච­තිව් දූප­ත­ටය. ආපසු සිය­රට ගිය මේ ධීව­රයෝ ධීව­ර­යි­න්ටත් සියලු ඥාතී­න්ටත් මේ විස්ත­රය පැව­සූහ. තම ජීවිත ගැල­වුණේ ශාන්ත අන්තෝනි මුනි­ඳුන් නිසා බව ඇදහූ ඔවුහු තම ඥාති මිත්‍රා­දීන්ද හවුල් කර­ගෙන යළි දූප­තට පැමිණ ඔවුහු මුනි­දුන් උදෙසා දේව­ස්ථා­න­යක් ඉදි කළහ. කච්ච­තිව් ශාන්ත අන්තෝනි මුනි­ඳුන්ගේ දේව­ස්ථා­නය යනු­වෙන් හඳුන්වා එදා සිට මහත් භක්ති­යෙන් යුක්තව කිතුණු බැති­ම­තුන්ගේ වන්ද­න­යට පත් වූයේ ඒ දේව­ස්ථා­න­යයි.

මේ දූපත ඉන්දි­යාවේ සිට පැමිණි ධීව­ර­යින් විවේක ගන්නා ස්ථාන­යක් ලෙස භාවිත කිරීම හැරෙ­න්නට ඉන් එහාට ඒ ගැන කතා­වක් ඇති නොවීය. එහෙත් බ්‍රිතාන්‍ය පාලන සමයේ ලද නිද­හස් බවක් නිසා උතුරේ ධීව­ර­යින්ට තම දැල් ආම්පන්න සකසා ගැනී­මට මෙන්ම විවේක ගන්නට මේ දූපත උප­කාරී විය.

‘කච්ච­තිවු‘ යන නමින් හැඳින්වූ එම දූපත හරහා මාධ්‍ය­යට පුවත් මැවෙ­න්නට වූයේ එම දූපතේ පව­ත්ව­න්නට යෙදුණු ආග­මික මංග­ල්‍යය නිසාය.

මේ දූපත සම්බන්ධ ශත වර්ෂ­යක අතීත කතාව එසේ වුවත් මෑත කාලීන කතා­වක් ගැනද අපට පව­ස­න්නට තිබේ.

ඒ හිටපු නාවික හමු­දා­පති වත්මන් ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී අද්මි­රාල් රවීන්ද්‍ර විජේ­ගු­ණ­රත්න මහතා හා සම්බන්ධ සිදු­වී­මක් ගැනය. මීට වසර 30කට පමණ පෙර ත්‍රස්ත­වාදී යුද සමයේ ඔහු ගමන් ගත් බෝට්ටුව මුහුද මැදදී පෙරැළී ගියේය. පැය 17ක් පමණ මහ සයුරේ දිවි සට­නක යෙදී ඔහුද පැමිණ ඇත්තේද කච්ච­තිව් දූප­ත­ටයි.

ඔහුද එදා තමන්ට දිවි රැක ගැන්මට උර­දුන් මේ දූප­තට දක්වන්නේ මහත් ගෞර­ව­යකි.

වර්ග කිලෝ­මී­ටර් 1.15ක කුඩා බිම් වප­ස­රි­යක් ඇති ශ්‍රී ලංකාවේ උතුරු කොනේ ඉන්දි­යාවේ රාමේ­ශ්ව­රම් හි ප්‍රදී­ප­ස්ථ­ම්භය පෙනෙන මාන­යක මේ දූපත පිහි­ටි­යේය. වසර පුරාම හුදෙ­ක­ලාවේ පසුවී සති­ය­කට ආසන්න කාල­සී­මා­වක් ලොව පුරා අව­ධා­න­යට යොමු වන්නේ දූපතේ පැවැ­ත්වෙන ශාන්ත අන්තෝනි මුනි­ඳුන්ගේ මංග­ල්‍යය නිසාය. කච්ච­තිවු දූපත ජන­ශූ­න්‍යය. එහෙත් වසරේ දින දෙක තුනක් තුළ එතැ­නට දස දහ­ස­කට ආසන්න පිරි­සක් පැමි­ණෙති.

යාපන අර්ධ­ද්වී­ප­යට ආසන්න ඩෙල්ෆ්ට් දූපතේ සිට කිලෝ­මී­ටර් 20ක් පමණ දුර­කින් පිහිටි එමෙන්ම කන්ක­ස­න්තු­රය වරායේ සිට කිලෝ­මී­ටර් 90ක් ඈතින් පිහිටි කච්ච­තිවු ඉති­හා­ස­යට එක්වන්නේ එහි ඇති දෙව්මැ­ඳුර කේන්ද්‍ර කොට­ගෙ­නය. ශාන්ත අන්තෝනි මුනි­ව­රයා වෙනු­වෙන් කැප කර ඉදි වූ දෙව්මැ­ඳුරු බිමේ ‍එම මුනි­ව­රයා සිහි­පත් කර­මින් වාර්ෂි­කව මංග­ල්‍යය උළෙ­ලක් පෙබ­ර­වාරි මස අග හෝ මාර්තු මස මුල් සති­වල සිදු කෙරේ. මේ මංග­ල්‍යය උත්ක­ර්ෂ­වත් උලෙ­ළක් බවට පත් කර­මින් වෙනත් දෙව්මැ­දු­රක සිදු කෙරෙන මංගල්‍ය උළෙ­ලක අසි­රි­යම ලබා­දී­මට වසර ගණ­නා­වක් පුරාම ඉදි­රි­පත්ව සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමු­දා­වයි.

මේ මංග­ල්‍ය­යට ඉන්දි­යා­වෙන්ද බැති­ම­තුන් පැමි­ණීම විශේ­ෂි­තය. මෙරට පැවැ­ත්වෙන ආග­මික උත්ස­ව­ය­කට ඉන්දි­යා­වෙන් බැති­ම­තුන් පැමි­ණෙන එකම අව­ස්ථාව වන්නේද කච්ච­තිව් මංග­ල්‍යයි. එසේ පැමි­ණෙන සියලු බැති­ම­තුන් වෙනු­වෙන් අවශ්‍ය සිය­ලුම පහ­සු­කම් සපයා දෙන්නට නාවික හමු­දාව කට­යුතු කරයි.

මෙවර කච්ච­තිවු මංග­ල්‍යය පැවැ­ත්වුණේ පසු­ගිය 16 වැනිදා පෙර­ව­රු­වේය. දිව්‍ය යාගය පැවැත්වූ යාප­නය පදවි අනු­නා­යක ජස්ටින් ඥාන­ප්‍ර­භා­සම් හිමි­පා­ණන් පවසා සිටියේ මෙය වස­ර­කට එක්ව­රක් හිමි­වෙන දුර්ලභ අව­ස්ථා­වක් බවයි. එමෙන්ම ජාති, ආගම්, භාෂා භේද නොමැ­තිව එකා­වන්ව දහස් ගණ­නක දේශීය ජන සහ­භා­ගී­ත්වය අගය කරන බව හා ඔවු­නට දේවා­සිරි සමඟ කෘත­ඥ­තාව පිරි­න­මන බවයි.

කච්ච­තිවු දූප­තට යන ගම­නද ලෙහෙසි පහසු නොවේ. කච්ච­තිවු දූපතේ ජල පොදක් හෝ නැත. යාප­නය අර්ධ­ද්වී­පයේ සිට වතුර බෝත­ලයේ පටන් ආහා­ර­පාන කොට්ට මෙට්ට ඇඳ ඇති­රිලි මෙන්ම මඩු, කූඩා­රම්, වැසි­කිළි නොඅ­ඩු­ව­මත් නොමි­ලේත් සප­ය­මින් නාවික හමු­දාව ඉටු කරන්නේ අනු­ප­මේය මෙහෙ­ව­රකි.

උදෑ­සන සිටම ශබ්ද විකා­ශන හරහා ගීතිකා හඬ දූපත පුරා සැරි­ස­රයි. පෙර­වරු 7.00ට පමණ දේව මෙහෙය ඇර­ඹිණි. සියලු වතා­වත් සමඟ පැය දෙකක් පුරා මෙහෙය ඉටු කෙරුණේ යාපන පදවි අනු­නා­හිමි ප්‍රධාන ඩෙල්ෆ්ට් දුපත හා යාප­නයේ විවිධ ප්‍රදේ­ශ­වල මීස­ම්ප­ති­ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙනි.

දේව­ස්ථා­නයේ දෙවි­යන් ඉඳි­රියේ වැඳ වැටුණු දහස් ගණන් බැති­මත්තු ප්‍රති­උ­ත්තර දීමෙන් පූජා­වට හවුල් වූහ. ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී රවීන්ද්‍ර විජේ­ගු­ණ­රත්න, නාවික වයිස් අද්මි­රාල් පියල් ද සිල්වා, උතුරු පළාත් භාර නාවික ආඥා­පති රියර් අද්මි­රාල් මෙරිල් වික්‍ර­ම­සිංහ ඇතුළු නිල­ධා­රීහු රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

යුද්ධය නිසා අඩ­ප­ණව තිබූ නමුත් 2009 වසරේ සුළු­වෙන් ආරම්භ කළ මේ මංග­ල්‍යය 2010 වසරේ සිට ජාතික උත්ස­ව­ය­කට සමාන ආකා­ර­යෙන් පව­ත්වනු ලැබේ. මුහුද මැද තිබෙන දූප­තක පැවැ­ත්වෙන මංග­ල්‍ය­යක් වන හෙයින් එහි ගමන් කිරීම පහසු නොවේ. ඒ සඳහා මුහුදු මාර්ග­යම භාවිත කළ යුතුය. නාවික හමු­දාව ඒ සඳහා සියලු උප­කාර සල­සනු ලැබේ. එප­ම­ණක් නොව වසර සිය­ය­ක­ටත් අධික පැරැණි පල්ලිය වෙනු­වට නව පල්ලි­යක් තැනී­ම­ටත් නාවික හමු­දාව කට­යුතු යෙදීය. ඒ පසු­ගිය 2017 වස­රේ­දීය. නාවික හමුදා ශ්‍රම දාය­ක­ත්ව­යෙන් නාවික හමුදා බෞද්ධ සංග­මයේ ප්‍රති­පා­දන මත එම පල්ලිය ගොඩ නංවා තිබේ.

කච්ච­තිව් එක් දිනක් පම­ණක් පොලි­සිය, ආග­මන හා විග­මන දෙපා­ර්ත­මේ­න්තුව, බැංකු, රෝහල් මෙන්ම අධි­ක­ර­ණ­යක් වෙළෙද කුටි පව­තින ස්ථාන­යකි. එවන් වෙනත් ආග­මික ස්ථාන­යක් මෙරට කිසිදු ස්ථාන­යක නොමැත. ඉන්දි­යා­වෙන් පැමි­ණෙන බැති­ම­තුන් දූපතේ තුත්තිරි ගස් පවා ගල­වා­ගෙන යන්නේ ඉම­හත් වූ භක්ති­ය­කින් යුතු­වය.

කච්ච­තිවු මංග­ල්‍යය පැවැ­ත්වෙන දින­වල දිනක ජල අව­ශ්‍ය­තාව සඳහා ජලය ලීටර් ලක්ෂ පහක් නිර­තු­රුව දූපතේ රඳවා තබා ගන්නට කට­යුතු කරන බව නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් පියල් ද සිල්වා මහතා එහිදී පැව­සීය.

“බැති­ම­තුන් 8000ත් 10000ත් අතර පිරි­සක් පැමි­ණෙ­තැයි අපි අපේක්ෂා කළා. බැති­ම­තුන් 8500ක පමණ පිරි­සක් පැමි­ණියා. ඉන් 2500කට අධික පිරි­සක් ඉන්දි­යා­වෙන් පැමිණි අය. ඔවු­නට අවශ්‍ය සියලු පහ­සු­කම් අපි ලබා දුන්නා. 15 වැනිදා රාත්‍රී නවා­තැන් ගෙන සිටි අය වෙනු­වෙන් රාත්‍රී ආහාර, සහ 16 වැනිදා උදෑ­සන ආහා­ර­යත් අපි ලබා දුන්නා. එමෙන්ම සියලු සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් මෙන්ම ජල­ප­හ­සු­කම් ද සියලු අව­ශ්‍ය­තාද සැප­යුවා.

බැති­ම­තුන් 8000කට සරි­ලන ආහාර පාන සකස් කිරීම පහසු කාර්ය­යක් නෙමෙයි. ඒත් නාවික හමු­දාවේ නිල­ධා­රීන් හා සෙසු නිල­යන් 500ක් පමණ සති­ය­කට පමණ පෙර සිට මේ කාර්යයේ නියැළී සිටියා.”

යාප­නය දිසා­ප­ති­ව­රයා විසින් මිලි­යන 5ක මුද­ලක් මේ කට­යුතු වෙනු­වෙන් නාවික හමු­දා­වට ලබා දී තිබු­ණද නාවික හමු­දවේ යාත්‍රා හා කැප­වීම නොව­න්නට මේ කාර්ය­යන් සිදු කිරීම කිසි­සේත්ම කළ නොහැකි වනු ඇත.

ඉන්දු ලංකා සහෝ­ද­ර­ත්වය මෙන්ම ජාති ආගම් කුල භේද සියල්ල නොස­ලකා පව­ත්වනු ලබන කච්ච­තිවු මංග­ල්‍යය එක රටක පම­ණක් නොව රට­වල් දෙකක් අතර සුහ­තාව හා ජාතීන් හා ආගම් අතර සුහ­ද­තා­වත් වර්ධ­නය කරනු ලබන සංහි­ඳි­යාවේ තෝතැ­න්නකි.

සේයා රූ -ගයාන් පුෂ්පික

Comments