
මොනර හඬින් වැරදුණු කොටි කුරුමානමක්
වනාන්තරය යනු නිශ්චිත වු සිදුවීම් පෙළක් යළි යළිත් සිදු වෙතැයි යනුවෙන් නිවැරදි වු අර්ථකථනයක් සැපයිය නොහැකි ස්ථානයක් බව මා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් ලද ප්‍රායෝගික වු අත්දැකීම්ද අනුසාරයෙනි. ගහ - කොළ සතා සීපාවා නියෝජනය කරනා වනපෙතෙහි නිරන්තරයෙන්ම සිදු වන්නේ දුබලයා බලවතාට යටත් වීමය. දිනයක උදාවේ සිට අවසානය දක්වා සහ රාත්‍රිය පුරාවටත් සිදුවන්නේ එවන් සිදුවීම් සමුදායකි. කුසට අහරක් මූලික කර ගත් මෙකී සංග්රාමයන් අවසන්වන්නේ එක් පාර්ශ්වයක් පරාජය වීමෙන් පසුවය. ගසක් පසු පස සිට මානම ගෙන එක් වනම කඩා පනිමින් යකඩ කොකු හා සමැවූ දත් අතරේ සිර කර ගන්නා ගොදුරු සතාගේ සුසුම්ලෑම් අවසන් කරමියි සිතමින් තම ග්‍රහණය තද කරනා රුදුරු සතුන් වෙතත් කරුණාව දයාව ඇතැයි සඳහන් කළොත් ඇතැමෙක් ඊට එකඟ නොවීමටද පුළුවන.
වනාන්තරයේ භයංකරත්වය කොටියා යැයි යළිත්කිවයුතුමද? අපේ රටේ වෙසෙනා බිළාල පවුලට අයත් මාංශ භක්ෂක දැවැන්තයා කොටියාය. තම ආහාර දාමයට අයත් සියලු සත්වයින් අතරේ ආධිපත්‍ය පතුරුවා ගෙන ජීවත් වන කොටියාගේ දැකුමින් මුළු මහත් වනවාසීහුම භීතියට පත්වෙති. කොටි රුවක් වනයේ ඇදී යන අයුරු ඇස ගැටුණු ඇසිල්ලේ මොනරකු නඟනා ‘ක්වෑක් පී’ හෝන් නාදයෙන් කලබලයට පත්වන මුවන්ගේ ‘කෝව්’ ගෑමත්, ගෝනාගේ ‘ටං’ ගෑමත්, කුඩා වසු පැටවුන් පෙරටු කර ගත් කුළු මී මව්වරුන්ගේ ඈගිරීයත්, වඳුරු - රිළා බුකු බුකුවත් මුසු වූ ගාලගෝට්ටියෙන් වනය පිරී ඉතිරී යන්නේ නිමේෂයකිනි. එසේ වුවත් ඒ බවක් කනකට හෝ ගන්නේ කොටියා නොවේ. තම සුපුරුදු ගමනින්ම දිය වළක් වෙත ඇදී ගොස් දිය පිපාසාව අහවර කර ගෙන නැවත ගස් හෙවණකට වැදී විවේකීව පසු වන්නේ එළැඹෙන රාත්‍රියේ වනය පුරා තම ආධිපත්‍යය පතුරුවා හරින අටියෙනි.
පැටවුන් සිටිනා කොටි දෙනක නම් නඟනා හීන් ගෙරවිලි හඬකින් තම පොඩි වුන් ඒ ආසන්නයේම රඳවා තැබූ සැඟවුම් පොළින් තමන් සමීපයට ගෙන්වා ගැනීමය. මෙතෙක් දෙනෙතේ රැඳුණු රුදුරු පෙනුම ක්‍රමානුකූලව සෙනෙහේ බරිත බැල්මෙන් පිරී ඉතිරී යාමට ගත වෙන්නේ සුළු වේලාවකි. පුංචි වුන්ගේ දරු සුරතල් අභිමුව ගල් හිත මෙළෙක් කර ගනිමින් කුඩාවුන් දිවෙන් ලෙව කමින්, කිරි පොවමින් ගත කරනා ඒ හෝරාවේ අහල පහළ දඩයම් සතකු ගැවසුණද කොටි මවට නම් ඒ ගැන වගේ වගක් නැතිතරම්ය. මොකද බොහෝ අවස්ථාවන් වළදී කුස ගිනි නිවා ගත් මොහොතක මෙලෙස සැනසිල්ලේ කල්ගත කළද සෑම විටකදීම කොටින් මේ ආකාරයේ සුවදායි වටපිටාවක පසුවනු දැකීම දුර්ලභය. ජීවිතයේ සියල්ලම තීරණය වන්නේ කුසගිනි නිවා ගැනීමේ හැකියාව හෝ නොහැකියාව මතයි. ඇතැම් අවස්ථාවලදී රිසි ගොදුරක් සොයා ගත නොහී දින ගණනක් කුස ගින්නේ ගත කරද්දී කොටියා වෙතින් පළවනුයේ නොරිස්සුම්සහගත බවකි. එවැනි අවස්ථාවකදී මවක වෙතින් පැටවුන් කෙරෙහිද එල්ල වන්නේ රුවුම් ගෙරවුම් සහිත නොරිස්සුම් සහගතවූ හැසිරීමකි. පැටවුන් මව අසලක වෙයි නම් සුලභව කරන්නේ මවගේ නගුට හා සෙල්ලම් කිරීමයි. නමුත් මව රුදුරු වු කල ඒ බව වටහා ගන්නා පැටවු එවැනි කෙළිකවටකම්වලට යොමු නොවෙති.
මාහට මෙවන් අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවූයේ කොටින් ගැන අධ්‍යයනය සඳහා යාල වනෝද්‍යානයට වැදුණු යාමෙකය. රාජකාරි සඳහා කැලේ රිංගීම යනු වනජීවී සංරක්ෂණ නිලධාරියෙකුගේ වෘත්තීය ජීවිතයේ සාමාන්‍ය දෙයකි. වනය වූකලී දිනෙන් දින අලුත්වන සිදුවීම් හරි අපූරුවට තම දූ දරුවන් වෙත දායාද කරන මවක හා සමානය. එවැනි සිදුවීම් හරහා ඈ වනයේ ජිවත් විය යුත්තේ කෙබඳු ආකාරයෙන්දැයි වටහා දෙන්නීය.
කොටියා කියන්නේ කැලේ චණ්ඩියා වූවාට ඒ චණ්ඩියාත් අවතක්සේරුවට ලක්වෙන අවස්ථාඅනන්තවත් වනයේදි දැක බලා ගත හැකිය. කොටියාගේ කෑම ලැයිස්තුවේ හාවාට හිමි වන්නේ පහසුවෙන් ගොදුරු කර ගත හැකි සත්වයින්ගේ කාණ්ඩයයි. දිගු පිමි පැන පැන දිව යෑමට සමත් වුවද හාවාට ඉතා ඉක්මනින් හති වැටේ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හාවා ගොදුරු කර ගැනීමට කොටියා පුරුදුව සිටී. එසේම හාවකු වැනි සතකු ගොදුරු කර ගැනීමට කොටියා පෙලඹෙන්නේ ද නිසි ගොදුරක් නොලැබුණොත් පමණි. හෝර්ටන්තැන්නේ කොටින්ගේ ප්‍රධානතම ගොදුරු බවට පත් වන්නේ ගෝනුන්ය. එම පාරිසරික කලාපයේ ගෝනුන්ගේ ආහාර සුලභ නිසා ඔවුන්ගේ ගහනයද වැඩිය. හෝර්ටන්තැන්න ආශ්‍රිතව කොටියාගේ ව්‍යාප්තිය වැඩිවීමට ඒ කරුණ ද බෙහෙවින් බලපා ඇත. නමුත් තමන්ට සරිලන ආකාරයේ ගෝනකු දඩයම් කර ගන්න බැරි වුණු විටදී කොටියා හාවකු දඩයම් කර ගනී. හාවා පහසුවෙන් කොටියාට ගොදුරු වෙතැයි අප සිතා සිටියත් එය ඒ ආකාරයටම සිදු නොවන අවස්ථාද වනපෙතේ කළ සංචාරය අතරතුරදි අපට නිරීක්ෂණය වී ඇත.කුමන ජාතික උද්‍යානය ආශ්රිත පාරිසරික කලාපයේ රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී පසෙක වනලැහැබේ සිට විවෘත තණ බිමට දිව ආ හාවකු එක් වනම දෙපයින් සිට ගනිමින් වන ලැහැබ දෙස බලා සිටිනා ආකාරය දුටු මගේ සිතේ ඇතිවූයේ කුකුසකි.ඒ මොහොතේ සුළං අතද අපට වාසිදායක ලෙස, එනම් හාවා දෙස සිට අප සිටි දෙසට සුළඟ හැමීම නිසා නිසොල්මනේ පසු වූ අප ගැන කිසිම ආගන්තුක හැඟීමක් හාවාට ඇති නොවීම ද අපගේ වාසියට හේතුවිය.
විවෘත බිමේ සිට වන ලැහැබ දෙස එක එල්ලේම නොසෙල් වී බලා සිටි හාවා හිටි වනම සිටියා විනා බිඳකුදු නොසෙල්වී සිටියේ සෙල්මුවා ප්‍රතිමාවක් හා සමානවය. එසේ ටික වේලාවක් පසු වූ හාවා එක් වරම පිමි දෙකක් ඉදිරියට පනිමින් යළිත් වනය දෙස බලා සිටියේ අපේ අවධානයද එදෙස යොමු කරවමිනි. තණපත්වල වූ සියුම් සෙලවීමක් මෙහිදී අපගේ විමසුම් දෙනෙතට හසුවිය. ඒ දෙස හොඳින් බලා සිටි අපට පසක් වූයේ මොකෙකු හෝ හීන් සීරුවේ හාවා වෙත ඇදෙමින් ඇති ආකාරයකි. පොළොවේ සිට අඩි දෙකක් - දෙකහමාරක් පමණ වු පරතරය අතරේ දිගටි කහ පසුබිමේ කළු පුල්ලි රටාව අනුව මේනම් ඒකාන්තයෙන්ම හාවාට කුරුමානම් ගනිමින් පෙරට ඇදෙන කොටියකු බව අවබෝවී ඉන්පසු සිදුවන්නේ කුමක්දැයි හොඳින් දැක ගන්නා අටියෙන් අපි නිසොල්මන් වීමු.
පොළොවට සමාන්තරව යටි බඩ ගෑවෙන නොගෑවෙන මට්ටමේ තබා ගනිමින් සහ දිගු නගුට ක්‍රමානුකූලව දෙපසට වනමින් එහි අගිස්සේ සිදු පැහැති තිත් ලකුණ විටෙක පෙන්වමින්, හංගමින් පියවරෙන් පියවර මේ ආකාරයට ළංවන්නේ හාවාට මානම ගෙන බව දැන් ඒකාන්තය. හාවාගේ බැල්ම කොටියා වෙත යොමු වන බව කොටියාට දැනුණු ඇසිල්ලේ කොටියාගේ ගමන නවතී. නමුත් නගුට නම් පොළොවට සමාන්තරව සෙලවීමේ අඩුවක් නම් නැත. ඔය ආකාරයට ටික වේලාවක් ගත කළ කොටියා යළිත් තම සුපුරුදු දඩයම් ගමන අරඹයි. දැන් නම් හාවාට ළංවීමට කොටියාට ඇත්තේ පියවර කිහිපයක් පමණි. මේ දැන්, කොටියා එක් වරම දිගු පිම්මක් හාවා මතට පනිනු ඇතැයි අපට සිතේ. නමුත්, කොටියා සුපුරුදු පරිදි බිමට සමාන්තරව බඩ හෝ බිම නොවදින පරිදි සිරුර බිමට පාත් කර ගත් වනම පසු වෙයි. හාවා පසුවන්නේ නොරිස්සුම් සහගතවය. එහෙත්, කොටියාගේ පැමිණිම නිශ්චිත කර ගත නොහැකිවාක් මෙන් කොටියා පැමිණෙන දෙසම බලා හිඳියි. කොටියාද එක් වරම ගමන නවතා ඉදිරි සහ පසු පස දෙපා යුගළ ළං කර ගත්තේ ලොකු පිම්මක් පැනීමට සිතාගෙන මෙනි. ඒත් සමඟම අවට නිහැඬියාව බිඳ හෙළමින් කොහේදෝ සිට නැඟුණේ මොනරකුගේ කඨෝර වූ ‘ක්වැක් පී‘ නාදයයි. හෝන් හඩක්ය. ඒ විමසුම් මොණරාගේ නෙතට දැන්නම් කල් මරා පලක් නැති බව වටහා ගත් කොටියා එක් වරම දිගු පිම්මක් හාවා වෙත පැන්නත්, ඊට සුදානමින් සිටි හාවාගේ දිගු පිම්ම කොටියාට වඩා ඉක්මන් වුයෙන් පිමි දෙක තුනෙන් වනයට පැන ගත් හාවාගේ ජීවත්වීමේ අයිතිය ඒ දවසට ඒ ආකාරයෙන් විසඳිණි. හා මසක හෝ රස බැලීමට පැය භාගයකට ආසන්න කාලයක් පුරා කල්මැරූ කොටියා අවසානයේ හාවා පැන සැඟව ගිය වන පෙත දෙස හිස් බැල්මෙන් බලා සිට තණ බිම මතින් ඇදී ගියේ ලොකු ඈනුමක් ද හරිමිනි. ලෙහෙසි ගොදුරක් අභිමුව ලද පරාජය බාර ගෙන දිය පොදකින් කුස පුරවා ගෙන යළිත් දඩයමක් සොයා ගනු විනා ඌ අන් කුමක් කරන්නද? මොනරාගේ කඨෝර නදින් අවදි වූ වනපෙත පුරා පැතිර යන මුව, මී, ගෝණ, රිළා, වඳුරු හඬ මුසු වු කචකචය අසමින් තණ බිම මත අඩි තබමින් වනයට වැදුණු කොටියා සැඟව ගියේ ලැජ්ජාවෙන් බව නම් නිසැකය.
සඳමල් රශ්මී ශ්‍රී බුද්ධික
සේයාරූ - රෝහිත ගුණවර්ධන