දෙයි­යනේ..! මොන පපු­ව­කින් මේ ගින්දර උහු­ල­න්නද | Page 5 | සිළුමිණ

දෙයි­යනේ..! මොන පපු­ව­කින් මේ ගින්දර උහු­ල­න්නද

කොහොම වුණත් තමාගේ මංග­ල්ල­යට විරුද්ධ වී වාව­ගනු නොහැ­කිව පිස්සු නැටූ අම්මා, තම මල්ලිගේ හදිසි පලා­යාම ගැන මේ විදිහේ මාන­සි­ක­ත්ව­ය­කට ආවේ කොහො­ම­දැයි ඇයට හිතා ගන්න­වත් බැරිය. පසු­ගිය කාලයේ ඇය නිතර පන්ස­ලට යන්න­ටත් බණ­ද­හම් අහ­න්න­ටත් පෙළ­ඹුණු නිසා ඇයගේ චිත්ත ධෛර්යය වැඩෙන්ට ඇත.

ශ්‍රී ජය වලව්වේ කල­බැ­ගෑ­නිය එක මොහො­ත­කින් විසිර පැතිර ගියේ සුළි සුළ­ඟක් ගාන­ටය. ඒ නොස­න්සු­න්තා­වය ප්‍රථ­ම­යෙන් ඇති වුණේ ජය­මාල් සිකු­රාදා රාත්‍රියේ ගෙදර ‍නොපැමි­ණීම නිසාය. දැනු­ම්දී­ම­කින් තොරව ඔහුගේ නොපැ­මි­ණීම රත්න­සේ­කර දෙමා­ල්ලන්ගේ මහත් විපි­ලි­ස­ර­යට හේතු­විය. ඔහුගේ ජංගම දුර­ක­ථ­නය ද ක්‍රියා විර­හිත කර තිබීම කුතු­හ­ල­ය­ටත් භීති­ය­ටත් තුඩු­දු­න්ණේය.

ඊළඟ වෙඩි­මු­රය පත්තු­වුණේ පස්සෙන්දා ප්‍රවෘත්ති වලින් කියැ­වුණු ආරං­චි­යක් නිසාය.

ප්‍රවෘ­ත්තියේ හැටි­යට තංගල්ල ප්‍රදේ­ශ­යේදී තරු­ණ­යෙක් ඉතා දරුණු මෝටර් සයි­කල් අන­තු­ර­කට භාජ­නය වෙලා ඇත. ඒ ප්‍රවෘ­ත්තිය දුටුව මොහොතේ සිට නිර්මලා මැණිකේ පපුවේ අත් ගස ගසා පොළවේ හැපෙ­මින් හඬ­න්නට පට­න්ග­ත්තේය.

ඇයව අස්ව­සන්ට පැමිණි සුදු මැණි­කෙව වැල­ඳ­ගෙන ඈ හැඬුවේ වැළ­හි­න්නක් ගාන­ටය. නෑනලා දෙන්නා එක පොදි­යට හඬා වැටෙන හැටි දුටු ගොඩ­ලි­යද්ද සහ රත්න­සේ­කර දෙම­ස්සි­නාලා හිටියේ තුෂ්ණි­ම්භූත වෙලාය.

“අනේ මොකක්ද අක්කේ අපි දෙන්නාට මේ වෙන්නේ මාරු­වෙන් මාරු­වට... දෙයි­යනේ මොන පපු­ව­කින් මේ ගින්දර උහු­ල­න්නද... එක පාරක් ද දෙකක් ද අපේ මහ­ත්තු­රුන්ගෙ හුට­පට ආරං­චි­වෙලා අඬලා දොඩලා ඉව­ර­ක­රලා ඉව­ර­යක් ද ඊළ­ඟට අපේ දරු­වන්ගෙ හුට­ප­ට­ව­ලට අඬලා දොඩලා ඉව­ර­යක්ද?...” නිර්මලා මැණිකේ එසේ ශබ්ද නගා කියද්දී සුදු­මැ­ණිකේ කෙළින්ම බැලුවේ හාමුලා දෙන්නා දිහාය. දෙන්නාම හොර බැල්මෙන් එකි­නෙකා දිහා බලා­ගෙන එතැ­නින් මාරු වුණේ එන පොට හොඳ නැති බව දැන­ගෙන වගේය. ඊට මොහො­ත­කට පස්සේ එතැ­නට කඩා බිඳ­ගෙන ආවේ ශ්‍රීමාල්ය. “ඔයා ලෙක්චර්ස් කට් වෙනවා කිය කියා හිත හිතා ළත­වෙවී ඉන්න එපා. කෙළින්ම ගෙදර ගිහිල්ලා බලන්න ජය­මාල් මල්ලිට මොකද වෙලා තියෙන්නෙ කියලා.. අනික බලන්න ඔයාගෙ දෙම­වු­පියො මොන ගින්ද­රෙන් ද ඇත්තෙ කියලා....” ශ්‍රීමාල්ව මෙහෙ­යෙව්වේ මේඛ­ලාගේ ඒ වදන්ය. ඒවා වදන් නොව ඔව­දන්ය!

ශ්‍රීමාල් දුටුව ගමන් නිර්මලා මැණිගේ ගේ කෑගැ­හිල්ල දෙගුණ තෙගුණ වෙද්දී ඇයව අස්ව­සන ගමන් ඔහු හැරුණේ අප්පච්චි දෙස­ටය.

“මට ආරං­චියි අප්පච්චි ඔක්කොම... අර ටවුමෙ ඔක්කො­මලා කතා වෙන්නෙ මේ සිද්ධිය ගැන. ඒත් අර ඇක්සි­ඩන්ට් එකට සම්බන්ධ ළමයා අපේ මල්ලි කියලා අනු­මාන කරන්නෙ මොන පද­න­මක් උඩද? ආ... ඔයා­ලට කල්ප­නාව නැද්ද...”

ශ්‍රීමාල් එහා මෙහා ඇවිද්දේ ආලි­න්දයේ දිග පළල මනි­න්නට වගේය. මාලි­කාට ඇම­තු­මක් දී බල­න්නට ඔහුගේ යටි­හිත කියයි.

“කොහොම හොයා­ග­න්නද අප්පා ජය­මාල් බේබි හාමුගෙ වය­සෙම ළම­යෙක් ඇක්සි­ඩන්ට් වෙලා තියෙන්නෙ... බොහොම දරුණු විදි­යට... ඇ‍ඟේ කෑලිත් නෑලු...”

ජන්තුට එහෙම කීවේ කරු­ණා­දා­සය.

ශ්‍රීමාල් හිත දැඩි කර­ගෙන එළි­යට බැස්සේය.

“කරු­ණා­දාස... අපි යං තංග­ල්ලට...!”

කරු­ණා­දාස ගැස්සී ගිහින් හාම්පුතා දිහා බැලුවේ ඔහු විරු­ද්ධ­ත්ව­යක් පායිද කියා බය­ටය. නමුත් විරු­ද්ධ­ත්ව­යක් නැති තැන කරු­ණා­දාස, සිය හාම්පු­තාගේ - පුතගේ අණට කීක­රුවී වාහ­න­යට නැංගේය.

*******

සමන්ති, දරුවා නළ­වන ගමන් කල්පනා කර­න්නට වුණේ ජය­මාල් මල්ලි, මලින්ද මල්ලිලා ගේ ගෙද­ර­වත් ගිහින්ද කියන සැකය ඇති­වය. දෙවි­යනේ එහෙම නම් කොච්චර එකක්ද?

කොහොම වුණත් තමාගේ මංග­ල්ල­යට විරුද්ධ වී වාව­ගනු නොහැ­කිව පිස්සු නැටූ අම්මා, තම මල්ලිගේ හදිසි පලා­යාම ගැන මේ විදිහේ මාන­සි­ක­ත්ව­ය­කට ආවේ කොහො­ම­දැයි ඇයට හිතා ගන්න­වත් බැරිය. පසු­ගිය කාලයේ ඇය නිතර පන්ස­ලට යන්න­ටත් බණ­ද­හම් අහ­න්න­ටත් පෙළ­ඹුණු නිසා ඇයගේ චිත්ත ධෛර්යය වැඩෙන්ට ඇත. ඊටත් දැන් ඈ නිර්මලා නැන්දාට උප­දෙස් දෙන්න­ටත් පෙළ­ඹිලා ඇත. එය ඇගේ ජය­ග්‍ර­හ­ණ­යක් නොවේද?

අප්ප­ච්චිගේ රහස එළි­වීම උපේක්ෂා සහ­ග­තව විඳ දරා ගත්තේ කොහො­මද? ඊළ­ඟට මලින්ද මල්ලිගේ පලා යාම...! ඇය ඒකත් විඳ­දරා ගත්තාය. මේ සිය­ල්ල­ටම පන්න­රය ලබා­ග­න්නට ඇත්තේ තමාගේ හදිසි විවා­හ­යෙන් වන්නට ඇත. ඒ වුණත් තමා තම අම්මාගේ කඳුළු සොලවා ඇත! කඳුළු සෙල­වී­මට අම­ත­රව ඇයව උන්ම­ත්තක තත්ව­ය­ටත් පත්කර ඇත. සම­න්තිට ඇඬු‍ම් ආවේ ඒ අතී­තය මතක් වෙලාය. ජයේන්ද්‍ර ජීප් රියෙන් බැස ආලි­න්ද­යට ගොඩ­වෙද්දී දුටුවේ හඬ­මින් සිටින සම­න්තිය.

“අඬන්න එපා සමන්ති... අර මරණෙ ගැන සැක­යක් විත­ර­යිනෙ තියෙන්නෙ. ජය­මාල් මල්ලි වෙන කොහේ හරි ඇති කිය­ලයි මගේ හිත කියන්නෙ...”

ඔහු කුඩා දරුවා වඩා ගනි­මින් සම­න්තිගේ හිස මත අත තැබුවේ කරු­ණා­වෙන්ය.

මේ වලව් දෙකේ මාරු­වෙන් මාරු­වට කල­බැ­ගෑනි ඇති වන්නේ කවු­රුන් හෝ කොඩි­වි­න­යක් කර ඇති නිසා යයි කියා සිටියේ චන්ද්‍ර­ල­තාය. චන්ද්‍ර­ලතා මුලින්ම එය කීවේ තම සැමියා ජය­ති­ස්ස­ටය.

“මොන විකාර කතා­වක්ද චන්ද්‍ර­ලතා.. මේ වල­ව්ව­ලට මොන කොඩි­වි­නද? ඔක්කොම කොඩි­වින වදින්නෙ නැති - බැරි දුප්පත් එවුන්ට මිසක්කා ඇති හැකි එවුන්ට නෙමේනෙ...”

ජය­තිස්ස එසේ කීවේ සාවද්‍ය හිනා­ව­කින් කට ඇද­ක­ර­ගෙ­නය. කොතැන ගියත් කොහේදි වුණත් නැති බැරි එකා තමා හැඳි ගෑවිලා යන්නේ කොඩි විනේ­කින් වුණත්.. මේ ලෝකේ හැදිලා තියෙන්නේ ඒ විදි­ය­ටනේ...”

“අනේ... අනේ තමු­න්ලට කියන කට හොඳයි බිම උලා­ගන්න.. හහ්.. ඉන්නකො මං අපේ සුදු­මැ­ණිකෙ හාමුට කියලා ඔය කොඩි­විනේ කප්පන්න ලෑස්ති කර­න්නම්කො..” චන්ද්‍ර­ලතා පාරම් බෑවාය.

ජය­තිස්ස එවර නම් එබ­සින් ගැස්සී ගියේය.

“හැබෑට ඔහෙ­ලට පිස්සුද චන්ද්‍ර­ලතා? මේ වෙලා තියෙන විල­ම්බෑසි මදි­වට.. ඒ උන්දැ ගත්ක­ටට ම කිව්වොත් මේ වල­ව්ව­ලට තියෙන කොඩි­විනේ වෙන කවු­රු­වත් නෙමේ ‘උඹ’..! කියලා...”

චන්ද්‍ර­ලතා කට වහ­ගෙන එතැ­නින් මෑත් වුණේ ඒ කතාව හරි­ය­ටම අව­බෝධ කර­ගෙන හිතේ උපන් අමු­තුම තැවු­ල­කිනි.

*******

මේඛ­ලා­ගෙන් ඇම­තුම ලැබෙද්දී ශ්‍රීමාල් කරු­ණා­දා­සත් සමඟ තංග­ල්ලට යමින් සිටි­යේය.

“මම ට්‍රයි කළා මේඛලා, ජය­මාල් මල්ලිගෙ ගර්ල් මාලි­කාට ගන්න. ඒත් ආන­්සර් කරන්නෙ නෑනේ... මට හිතා­ගන්න බෑ මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. දෙන්නත් එක්ක කොහේ හරි ගම­නක් ගිහිල්ලා මගදි කර­ද­ර­යක් වෙලාද... මට තේරෙන්නේ නෑ මේඛලා..”

“අර මලින්ද අයි­යගෙ ගර්ල් ගෙ ගෙද­රට තර්ජ­නය කළා වගේම මාලි­කා­ලගෙ ගෙද­ර­ටත් මොකක් හරි කරන්න ඇති කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද... ඔයා­ලගෙ අප්ප­ච්චිත් කරන්නෙ ම රත්න­පුර වලව්වෙ කරන වැඩ‍මනේ...”

“ඒක­නම් සහ­තික ඇත්ත මේඛලා.. ඒ මස්සි­නාලා දෙන්නා නම් තකට... තක තමා....!”

ශ්‍රීමාල් බේබි හාමු කී ඒ වද­නට කරු­ණා­දා­සට ගියේ හීන් හිනා­වකි. ඇම­තුම අව­සන ශ්‍රීමාල් කරු­ණා­දාස දිහා බලයි.

“කරු­ණා­දා­ස­ලාට හිනා නේද මේ වල­ව්වල කෙරෙන වැඩ­ව­ලට.. හතර හිනා වැඩනේ ඉතිං මේ ඉලව් වල­ව්වල සිද්ධ වෙන්නෙ එහෙම නේද?...”

කරු­ණා­දාස එබ­සට ශ්‍රීමාල් බේබි දෙස බැලුවේ අහිං­සක විදි­ය­ටය.

“අනේ හීනෙ­කි­න්වත් හිතන්න එපා දෙයියො.. අම්මා­පල්ලා මට නම් කව­දා­වත් ම එහෙම හිනා­වෙන්න බෑ! වලව්ව කියන්නෙ අපි එදා පටන්ම කාලා ඇඳලා ජීව­ත්වෙන තැන්... අපි වගේම අපේ දරු පවුල් රැකෙ­න්නෙත් මේව­යින්... ඉතිං මේවායෙ සිද්ධ වෙන කර­දර ඔක්කොම හරි­යට අප­ටම වුණා වගේ තමා බේබි හාමු...”

ශ්‍රීමාල්ට කරු­ණා­දාස ගැන ඇති වුණේ පැහැ­දී­ම­කට වඩා කන­ගා­ටු­වකි. ඒ එක්කම මල්ලී ගැන මතක්වී ඔහුගේ හිත පත්තු වී ගියේය. තංගල්ලේ ගිහින් මේ දැන­ග­න්නට යන්නේ කුමක් ද? කුමක් ගැනද? ඔහු‍ගේ හිත හිරි වැටී ගියේය.

*******

ගොඩ­ලි­යද්ද හාමු ආලි­න්ද­යට වී ඔහේ බලා­ගත් අත බලා­ගෙන සිටියේ තම මස්සිනා ගැන සිත­මින්ය. ඒ එක්කම තම බිරිය වන සුදු මැණිකේ හාමු... තමාට කළ අභි­යෝ­ගය - දෝෂා­රෝ­ප­ණය ඔහුගේ මුළු හිතම හිරි­වට්ටා දමයි. මලින්ද පුතා පෙත්තරේ කෙල්ලක හා පැන­යන්ට මූලික හේතුව තමාගේ කල්කි­රි­යාව බව ඇය පුන පුනා කී හැටි... ඇය තමාට වගේම රත්න­සේ­කර මස්සි­නා­ටත් හොඳට ම දෙස් දෙවොල් තැබූ හැටි.. ඒ එක්කම ආපු අලුත්ම ආරං­චිය ජය­මාල් පුතාගේ අතු­රු­ද­හ­න්වීම... මේ සිය­ල්ලම හරි­යට වෙස්ව­ලා­ගෙන එන ගිනි­ගෙඩි සේමය. මේවා උහු­ල­න්නට නම් ඇත්තට ම යකඩ පපු­වක් ම තිබිය යුතුය. නමුත් ගැහැ­නුන් හිතන්නේ අප්ප­ච්චි­ලාට දරු දුක දැනෙන්නේ නැහැ කියාය. දරු­වන් වෙනු­වෙන් විඳ­වන තර­මක් විඳ­වන්නේ අප්ප­ච්චි­ලා­මය.

“හාමු මහ­ත්තයා රත්න­සේ­කර හාමුට ආයෙ පාරක් කතා කරලා බැලු­වොත් හොඳයි නේද?”

ජය­තිස්ස එසේ කීවේ වැඩ ඉවර කර වල­ව්වට එද්දිත් ආලි­න්දයේ සිටින හාමු මහ­ත්තයා දැකලා ඇතිවූ ශෝක­යෙනි.

ගොඩ­ලි­යද්ද අඩ­වන්ව තිබූ දෑස් හැර ජය­තිස්ස දෙස බලයි. හාමු කියා කතා කළත් දැන් ඔහු තමාගේ මස්සි­නාය.! එකෙ­ණෙ­හිම උමතු හිනා­ව­කින් ඔහුගේ දෙතොල පළ­ල්වෙයි. ඔහු මහ හඬින්ම සිනා­සෙයි... දැන් මලින්ද පුතා වලව්වේ නැත! ශ්‍රී ජය වලව්වේ ජය­මාල් පුතාත් වලව්වේ නැත..!

ඒත් තමා වල­ව්වේය. රත්න­සේ­කර මස්සි­නාත් නිර්මලා මැණිකෙ නංගිත් වල­ව්වේය. සුදු මැණි­කෙත් තාම වල­ව්වේය. ඔහු වලව්ව දෙක වෙන්න මහා වියරු හිනා­වක් පෑවේය! ජය­තිස්ස විලාප තබ­මින් සුදු­මැ­ණිකෙ හාමු සොයා­ගෙන වලව්ව තුළට දිව්වේ මහා හඬින් කෑ ගස­මින්ය. “අයියෝ අපේ හාමුට පිස්සු හැදිලා!!”

ලබන සතියට‍...

Comments