
මහාචාර්ය සුනිල් කාරියකරවන යනු, මෙරට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ තවත් විශිෂ්ටයෙකි; බුද්ධිමතෙකි. එහෙත් ඔහුගේ නම, ශ්‍රී ලාංකික අපට එතරම් හුරුපුරුදු නැත. එලිසබෙත් මහ රැජන, රාජකීය පවුලේ උදවිය සහ එංගලන්ත ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජකීය හමුදාවන්හි නිරත හාර පන්දහසක සෙබළ පිරිස, ශ්‍රී ලාංකික අපට වඩා හොඳින් ඔහු හඳුනයි. ඒ, තනතුරින් ඔහු මහ රැජනගේ සහ එංගලන්ත ත්‍රිවිධ හමුදාවේ බෞද්ධ කටයුතු පිළිබඳ අාධ්‍යාත්මික උපදේශකවරයා වන හෙයිනි. අපේ රටට අහිමි, එහෙත් එංගලන්තයට හිමි ඔහුගේ සේවාව ගරු කටයුතු එකකි. එංගලන්ත පුරවැසියකු වන නිසා, ඔහු දැන් ඔවුන්ගේ කෙනෙකි. මේ දිනවල මවු රට පැමිණ සිටින මහාචාර්යවරයා විමසා, අඩුම තරමේ සතුටු වීමු. මන්ද, ‘බුද්ධිගලනය’ට හසුව රට හැර ගිය ද ඔහු, ‘අපෙත් කෙනකු’ වන හෙයිනි.
• ඔබේ පසුබිම දැනගන්න කැමැතියි...
මං කැලණිය විශ්ව විද්‍යාලයෙන් බිහි වූ වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදියට අවුරුදු 18 ක් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගැන්වූවා. ඒ කාලය ඇතුළත, පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව, අධි ශිෂ්‍යත්ව සහ ෆුල් බ්‍රයිට් ඇතුළු ශිෂ්‍යත්ව හයක් මට ලැබුණා. මේ, ලංකාවේ එකම කෙනෙක් ලබා නොගත් ශිෂ්‍යත්ව ප්‍රමාණයක්.
• ‘වාග් විද්‍යාව’ සහ ඔබේ රාජකාරිය අතර තිබෙන සම්බන්ධතාව කුමක්ද...
වාග් විද්‍යාව කියන්නේ බොහොම දියුණු විෂය පරාසයක්. මගේ විශේෂඥ දැනුම තිබෙන්නේ, එහි එක් වැදගත් අංශයක් වන ‘සායනික වාග් විද්‍යාව’ සම්බන්ධයෙන්. ලෝක ජනගහනයෙන් සියයට හතක් කුමන හෝ භාෂා සන්නිවේදන අසඥතාවකින් (දුබලතාවකින්) පෙළෙනවා. එය ජානමය ප්‍රශ්න නිසා හෝ පසුකාලීනව ඇති විය හැකි කථන, ශ්‍රවණ, කම්පන තත්ත්ව හෝ මොළයට සිදුවිය හැකි හානිවීම් නිසා ඇති විය හැකි දුබලතාවක්. යුද්ධවලට සහභාගි වන සොල්දාදුවන් විශේෂයෙන් මෙවැනි කම්පන තත්ත්වයන්ට ගොදුරු වනවා. මෙවැනි ‘ඥානන අසඥතා’ විසඳීමට සායනික වාග් විද්‍යාව අත්‍යාවශ්‍යයයි.
• එතකොට බෞද්ධ කටයුතු පිළිබඳ ඔබේ අදාළත්වය කුමක්ද...
ඇමෙරිකාවේ කෝනල් විශ්ව විද්‍යාලයේ පී.එච්.ඩී. එක කරන කාලේ මං සැන්බෝර්න් පෝල් - මැසචුසෙට්ස් පළාතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයකදී ඇමෙරිකානු ජාතිකයකු යටතේ දවසට පැය තුන හතර ගානේ, අවුරුදු හතක් භාවනාව ප්‍රගුණ කළා. විෂයානුබද්ධ කාරණා සහ මා ප්‍රගුණ කළ බණ භාවනාවේ සුසංයෝගයක් ලෙසයි, මේ රාජකාරියේ නියැළෙන්නේ.
• කොහොමද ඔබට මේ තනතුර ලැබෙන්නේ....
ඒ දවස්වල මං හිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයීය අධිශිෂ්‍යත්වයක් ලබලා, යුනිවර්සිටි කොලේජ් ඔෆ් ලන්ඩන්වලට අනුබද්ධ, ‘ග්‍රේට් ඕමන් ස්ට්‍රීට්’ රෝහලේ පර්යේෂණයක් සිදු කරමින්. ‘සංස්කෘතික වශයෙන් වෙනස් වෙනස් පරිසරවල මේ අසඥතා විවිධ වෙන්නේ කොහොමද..., කියන කාරණයයි, මගේ පර්යේෂණය වුණේ. මීට කලින් එය පර්යේෂණයකට බඳුන් නොවූ පරාසයක්. ඒ නිසා, ඔවුන් ඒ ගැන හුඟක් උනන්දු වුණා. ඔය කාලෙ තමයි, රැජනගේ යටතේ තිබෙන එංගලන්ත ආරක්ෂක අමාත්‍යාංශයට, ‘බෞද්ධ උපදේශකවරයෙක් ඕනෑ...!’ කියන දැන්වීම ගාඩියන් පුවත්පතේ පළ කර තිබුණේ. මං ඒ තනතුරට ඉල්ලුම්පතක් දැම්මා. ෆුල් කර්නල්වරු, ජෙනරල්වරු ඇතුළු විශාල සංඛ්‍යාවක් බෞද්ධයෝ මේ රාජකීය හමුදාවල ඉන්නා බව මං දැනගත්තා.. තනතුර සමාන වෙන්නෙ කර්නල් නිලයට. ආරම්භක වැටුප රුපියල් ලක්ෂ දහයක්. ආතතියකදි ගැටලුවකදී ඔවුන්ට පෞද්ගලිකව කතා කරන්න කෙනෙක්වීම, භාවනාව මඟින් මානසික වර්ධනය නඟා සිටුවීම... ඔය වගේ කාරණා හුඟක් මේ තනතුරේ වගකීම්. අවසානයේ රටවල් 18 ක එංගලන්ත පුරවැසිභාවය ඇති ඉල්ලුම්කරුවන් අතරින් මට ඒ අවස්ථාව ලැබුණා. ඔවුන් පළමුවතාවට එවැනි තනතුරක් පිහිටුවා තිබුණේ තමන්ගේ රටේ සෙබළුන්ගේ මානසික සෞඛ්‍යය ඉතා වැදගත්කොට සලකපු නිසා.
• එංගලන්තයේ හමුදාවට, කොහෙන්ද ඔය තරම් මානසික පීඩා...
බ්‍රිතාන්‍ය හමුදා ලෝකෙ රටවල් ගණනාවක යුද කටයුතුවලට සහභාගි වෙනවා. ඉබෝලා වගේ වසංගත ආවත් ඒ රටවල උදව්වට බ්‍රිතාන්‍ය හමුදා යනවා. එහෙම ගිහින් ආපු, බොහෝ අයගේ මානසිකත්වය වෙනස්. බෞද්ධ, අබෞද්ධ බොහෝ සෙබළු නිතර මා මුණ ගැහෙනවා. එය ඔවුන්ගේ වෛද්‍යවරු නිර්දේශ කරන ප්‍රතිකාර වට්ටෝරුවෙම කොටසක්. මොකද පශ්චාත් විශාදය කියන දේ සොල්දාදුවෙකුගේ මනසට ප්රබලව බලපානවා. දිවි නසා ගැනීම්, පවුල් කඩා ඉහිරීම්, ආතතිය ඇතුළු මානසික පීඩා රැසකින් සොල්දාදුවන් පීඩා විඳිනවා.
• හාර දාහක පමණ බ්‍රිතාන්‍ය සෙබළ පිරිසකට කොහොමද ඔබ වෙලාවන් දෙන්නේ...
අපිට ලොකු ටීම් එකක් ඉන්නවා. මට පහළින් ඉන්න ඒ අයත් හොඳ පුහුණුවක් ඇති අය. කාට හරි මාවම මුණගැහෙන්න ඕනෙ නම් ඒකටත් කිසිම බාධාවක් නැහැ. මට ඕනෙ නම් වේල්ස් යන්න... ස්කොට්ලන්ඩ් යන්න.... අයර්ලන්ඩ් යන්න, නැත්නම් ලෝකෙ වෙන රටකට යන්න, විනාඩි ගණනක් ඇතුළත, මගේ ෆ්ලයිට් එකයි කෲ එකයි ලෑස්තියි.
• ඔබ ඉන්නෙත් බකිංහැම් මාලිගයේමද...
මාලිගය පරිශ්රයේමයි අපේ කාර්යාලය තිබෙන්නේ. බොහෝ විට සතිපතා මහ රැජන අපේ බැරැක්කයට එනවා. මේක බෞද්ධ දර්ශනයත් එක්ක යන රාජකාරියක් නිසා මං කර්නල් යුනිෆෝම් අඳින්නෑ. ඔවුන් ඒකට මට ඉඩ දුන්නා. ආමි, රෝයල් නේවි, රෝයල් එයාර් ෆෝස් සහ රෝයල් මරීන්ස් කියන ආරක්ෂක සේවා අංශ හතරටම මගේ සේවාව ලබාදිය යුතුයි.
• එලිසබෙත් මහ රැජින එක්ක තිබෙන සබඳතාව කොහොම එකක්ද...
ඉස්සර ඔවුන්ට තිබුණෙ ක්‍රිස්තියානි හමුදාවක්. දැන් ඔවුන්ට අවශ්‍ය විවිධ ආගමික, විවිධ ජාතීන් ලෙස සිය හමුදා විවිධාංගීකරණය කරන්න. ඒ නිසා රාජකීය පවුලේ උදවිය ඉතාමත් උනන්දුවෙන් අප වැනි විදේශිකයන්ට සලකනවා. පසුගිය දාක යෙදුණු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ 100 වැනි සංවත්සරයේ රාජකීය උත්සවයේදී පවුලේ උදවිය අසුන්ගත් පළමු පෙළේමයි, මටත් ආසනයක් වෙන්කොට තිබුණේ. හමුදාව සහ බැඳුණු රාජකීය උත්සවවලදී ඔවුන් සලකන්නේ මං, රැජනගේ නියෝජිතයෙක් හැටියටයි.
• මහ රැජනගේ අාධ්‍යාත්මික උපදේශක වරයා වෙලා මොනවද ඔබ ඇයට දෙන උපදෙස්...
ඇය බෞද්ධ රටකට යන්න සූදානම් වෙනවා නම් ඇය මා මාලිගයට කැඳවනවා. ඒ රටේ බෞද්ධ ආචාර විධි, බොදු හමුවීමකදී අඳින පලඳින විධි හෝ අඩුම තරමේ බෞද්ධ සංස්කෘතියේ මූලිකාංග ටික ගැනවත් ඈ මගෙන් විමසනවා. දැනුම්වත් වෙනවා.
• ඇය ඔබට ආමන්ත්‍රණය කරන්නෙ ‘කර්නල්’ තනතුරින්ද...
නැහැ. ‘චැප්ලන්’ නමින්. මම ඔවුන්ගේ, ‘බුඩිස්ට් චැප්ලන්’. ක්‍රිස්තියානි පූජකවරයකුට හමුදාවේ ආමන්ත්‍රණය ‘පාඩ් රේ’. නැත්නම් චැප්ලන්. මම, බෞද්ධ කටයුතු පිළිබඳ නිසා තමයි බුඩිස්ට් චැප්ලන්, වෙන්නේ.
• එතකොට ඔබ ඇයට ආචාර කරන්නේ...
අතට අත දීලා, ‘යෝර් මැජස්ට්...!’ ගෞරව නාමයෙන්. ඇය බොහොම නිහතමානියි. අවුරුදු 86 ක් වුණාට ඉතාම ප්‍රියමනාපයි. කොහොම ආඩම්බර වෙන්න පුළුවන්ද. ඒත් අනෙක් අයට ගරුත්වයෙන් සලකන එකයි, ඇගේ විදිය. වැදගත්ම දේ ඒ තරම් වයසට ගියත් ඇයට හොඳ තියුණු මතකයක් තිබෙනවා. ලෝකෙ යටත් කරගෙන හිටපු ‘පර සුද්දෝ’ කියලා මිනිස්සු බැන්නට, ඒ මත වෙනස් වෙන්න ඕනෙ කාලෙ ඇවිත්.
• මහාචාර්යතුමා රැජනගේ ගුණ වයනවා. කාට හරි එහෙම හිතුණොත්...
මං අතීතයේ ජීවත්වන මනුස්සයෙක් නෙවෙයි. යටත් කරගෙන හිටියට ඔවුන් අපිට හැදූ ආර්ථිකය සහ පාරවල් ටික මතක් කරන්න. ඔවුන් හැදුවට වඩා දුරක් උඩහා රේල් පාරවල් ටිකවත් හැදිලා තියෙනවද. අපිට රට බාරදීලා ඒ අය ගිහින් දැන් අවුරුදු 70 ක්. ඉතිහාසයට බැණ බැණ ඉන්නවා මිස අපි ඉස්සරහට ගිහින් තියෙනවද? අඩුම තරමේ අපේ ගැහැනු උදවිය දාසකමට මැදපෙරදිග යවන එකවත් නවත්වා ගන්න තවම අපිට පුළුවන් වෙලා තියෙනවද? අපේ රටේ මිනිස්සු පාරේ වාහන පදවද්දි, අනෙකාගේ ඇස් නිලංකාර වෙන්න ‘හෙඩ් ලයිට්’ ගහන්නෙ එන්න එපා! මට ඉඩ ඕනේ! කියන්න. නමුත් එංගලන්තෙ මිනිස්සු හෙඩ් ලයිට් ගහන්නෙ, ‘ඔබ යන්න!’ කියන්න. මේ ආකල්පමය වෙනසටයි අපි ගරු කරන්න ඕනේ. කොයි රටක් එක්ක වුණත් ජාත්‍යන්තර සබඳතා ඇති කරගැනීමයි, රටක් හැටියට අපිට වැදගත්.
• සුද්දා පාරවල් හැදුවෙ අපිට ආදරේට නෙවෙයි. අපේ තේ එංගලන්තෙ පටවන්න, වරායට ගේන එක පහසු කර ගන්න...
අතීත අරමුණ කුමක් වුණත් ඔවුන් ගියේ ඒවා විනාශ කරලා නෙවෙයි. අපි තවමත් භුක්ති විඳින්නේ ඒ සමහර පාරවල්. ඕනෑම නරක දෙයක හොඳ දේත් තිබෙනවා. අන්න ඒ දේ ගන්න. පරණ දේ ගැන හිතමින් ළතැවෙමින් බණිමින් හිටියොත් ඔබ ඉස්සරහට යන්නෙ කවදාද?
• එංගලන්තයට වෙලා ලංකාව දිහා බලන කොට මොනවද හිතන්නෙ...
උගතුන් සහ බුද්ධිමතුන්ගේ පරිකල්පන ශක්තිය උකහා ගන්න තරම් දියුණු නායකත්වයක් ලංකාවේ නැති එක ගැන කනගාටුයි. නූගතුන් විසින් උගතුන්ව පාලනය කරන රටක් ලෙසයි, ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ. SME හෙවත් ‘සබ්ජෙක්ට් මැටර් එක්ස්පර්ට්’ ඒ කියන්නෙ, විෂයට අදාළ විශිෂ්ටයා, අපේ රටේ කොතැනකවත් ඉන්නවද... හරි කෙනාද තනතුරේ ඉන්නෙ, වැඩ දන්නා මිනිහට තියෙන තැන මොකක්ද... මේවා සියල්ල අපේ රටේ දේශපාලන ක්‍රමය විසින් වෙනස් කරලා. රටක් පල්ලම් බහින්න ඊට වඩා දෙයක් නැහැ.
• රට හැර ගිහින් ඔය වගේ දේ කිව්වට, මේ රටේ ක්‍රියාත්මක මැටි දේශපාලනය වෙනස් වෙන්නෙ නැහැ...
මගේ රට වෙනස් කරන්න තනිව පුළුවන් වුණා නම් මම ඒක කරලා. නමුත් සාමූහිකත්වය තුළ එය කරන්න බැරි දේකුත් නෙවෙයි. අපේ දේශපාලකයො කට ඇරියොත් කතා කරන්නෙ පක්ෂෙ පාට ගැන. මේ රටේ මිනිස්සු දේශපාලනයට එන්නේ තමන්ට වැඩ කරගන්න. තමන් හැදෙන්න. අර පැත්තට මේ පැත්තට පනිනවා. බලය රැකගන්න ඕනෙ දෙයක්. මේ දේවල් වෙනස් නොවන තැන, රටේ අධ්යාපනයේවත් ආර්ථිකයේවත් වෙන කොතැනකවත් සිස්ටම්ස් හරියට හැදෙන්නෑ. තිබුණත් ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. එතකොට අපි අපේ බුද්ධිය දැනුම පරිකල්පනය ක්‍රියාත්මක කරන්නෙ කොතැනකටද... බුද්ධිය දැනුම හිර කරගෙන මේ රටේ ම මැරිලා යනවද... එය ලෝකෙට විවර කරනවද.... මට හිතන්න වුණේ ඒ දේ. කවුරු මොන දේ කිව්වත්, අපිට වටිනාකමක් හැදුණේ විශාල මූල්‍යමය ශක්තියක් ලැබුණේ එහෙම තීරණයක් අරන් ගිය නිසා.
• රට වෙනුවෙන් මොනවද ඔබ කර තිබෙන්නේ...
රට ඇතුළේ ඉඳන් වගේ ම පිට ඉඳගෙනත් ඕන කෙනකුට පුළුවන් තමන්ගෙ රටට වැඩ කරන්න. මං රජයට යමක් යෝජනා කරනවා, ලෝකෙ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය බුද්ධිය ඒකරාශි කරන, ‘පර්සන්ස් ඔෆ් ශ්‍රී ලන්කන් ඔරිජින්’ ලෙස බුද්ධි මණ්ඩලයක් හදන්න කියලා. එය මේ රටේ නායකයන්ට කරන්න පුළුවන් දෙයක්. ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකේය වියතුන් කවදාවත් බැහැ කියන්නෙ නැහැ. රටින් පිට ඉන්න කොටයි රට ගැන අගය වැඩි. මම පෞද්ගලිකව වරින් වර ලංකාවට ඇවිත් විශ්වවිද්‍යාලවල උගන්වනවා. ඉකෝ ටුවරිසම්වලට අදාළව විදේශිකයන්ට සිංහරාජය ආශ්‍රිතව භාවනා වැඩසටහන් කරනවා. මගේ යෝජනාව ක්‍රියාත්මක වුණොත් දීර්ඝකාලීනව අපිටත් මේ රටට වැඩ කරන්න පුළුවන්.
• කොහොම වුණත් ඔබ අපට ආඩම්බර- යක්. ඔබේ ගම් පළාත කොහෙද...
ගාල්ලෙ සිංහරාජ මායිමේ ලේල්වල කියන හද්ද පිටිසර ගමේ මං උපන්නේ. කූඩැල්ලො විමානෙ. ලේල්වල කනිෂ්ඨයෙන් ශිෂ්‍යත්වය පාස්වෙලා ගාල්ල ඇලෝෂියස් විදුහලට ආවා. ඇලෝෂියස් විදුහලෙන් කලා විෂයන් කරලා, මං කැලණියෙ විශ්වවිද්‍යාලයට තේරෙන්නේ ඒ වසරේ උසස් පෙළට මුළු රටෙන්ම වැඩිම ලකුණු අරන්, 1978 ‘මාකන් මාකාර්’ ශිෂ්‍යත්වයත් දිනාගෙන. මං තෝරා ගත්තෙ වාග් විද්‍යාව. මට තියෙන්නෙ ෆස්ට් ක්ලාස් එකක්. කලා විෂයන් කරලා වැඩක් නැහැ කියල හිතන අයට මං හිතන්නෙ මං හොඳ පූර්වාදර්ශයක්.
ඡායාරූප - විමල් කරුණාතිලක