තෘණ සංර­ක්ෂ­ණය කිරි ගොවි­යාට නිය­ඟය සඳහා පෙර සූදා­න­මක්... | Page 3 | සිළුමිණ

තෘණ සංර­ක්ෂ­ණය කිරි ගොවි­යාට නිය­ඟය සඳහා පෙර සූදා­න­මක්...

නියඟ තත්ත්වවලදී කිරි ගොවීන් බහුලවම මුහුණදෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ සතුන්ට ප්‍රමාණවත් තරම් ගුණාත්මක හා පෝෂ්‍යදායී තණකොළ සොයා ගැනීමට නොහැකි වීමයි. මේ අභියෝගය සාර්ථකව ජයගැනීමට අගනා පිළියමක් වශයෙන් වියළි සමයේදී ප්‍රයෝජනයට ගැනීම උදෙසා තෘණ සංරක්ෂණ ක්‍රම මඟින් සත්ත්ව ආහාර හා තණකොළ කල් තබා ගැනීම හඳුන්වාදිය හැකිය. මෙසේ පහසුවෙන් අනුගමනය කළ හැකි තෘණ සංරක්ෂණ ක්‍රම වන්නේ "සයිලේජ්" හා "හේ" නිෂ්පාදනයයි.

ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඈත අතීතයේ පටන්ම සත්ත්ව පාලනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරින් බොහොමයක් ගොවීහු කිරි ගව පාලනයට වැඩි නැඹුරුතාවයක් දක්වති.සාර්ථක කිරි ගව පාලනයකින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් අවධානය යොමු කළ යුතු කරුණු බොහොමයක් පවතී. එම කරුණු අතර සතුන්ට නිසි පෝෂණයක් ලබාදීමට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

කිරි දෙනුන්ට ලබා දිය හැකි වඩාත්ම සාරවත් ආහාරය වන්නේ අවශ්‍ය තරම් ගුණාත්මක හා නැවුම් තණකොළ බව අපි කවුරුත් හොඳින් දන්නා කරුණකි. තණකොළ මෙන්ම කිරි දෙනුන්ට ඇති තරම් ජලය ලබාදීමද අත්‍යවශ්‍ය වේ. මෙසේ ආහාර හා ජලය ලබාදීම සාර්ථකව සිදුකළහොත් අඛණ්ඩව සාර්ථක කිරි නිෂ්පාදනයක් පවත්වාගෙන යා හැකිය. හොඳින් වැසි ලැබෙන කාලවලදී ඉතා සරු ලෙස තණකොළ වැඩෙන බැවින් කිරි දෙනුන්ට ආහාර සපයා ගැනීම අසීරු කටයුත්තක් නොවේ. එහෙත් වියළි කලායේ හා වැසි නොමැති දිගු නියඟ තත්ත්වවලදී කිරි ගොවීන් බහුලවම මුහුණදෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ සතුන්ට ප්‍රමාණවත් තරම් ගුණාත්මක හා පෝෂ්‍යදායී තණකොළ සොයා ගැනීමට නොහැකිවීමයි.

මේ අභියෝගය සාර්ථකව ජයගැනීමට අගනා පිළියමක් වශයෙන් වියළි සමයේදී ප්‍රයෝජනයට ගැනීම උදෙසා තෘණ සංරක්ෂණ ක්‍රම මඟින් සත්ත්ව ආහාර හා තණකොළ කල් තබා ගැනීම හඳුන්වාදිය හැකිය. මෙසේ පහසුවෙන් අනුගමනය කළ හැකි තෘණ සංරක්ෂණ ක්‍රම වන්නේ "සයිලේජ්" හා "හේ" නිෂ්පාදනයයි. තණකොළ අතිරික්ත වශයෙන් පවතින කාලවලදී පෝෂණ තත්ත්වය ප්‍රශස්ත අන්දමින් පවතින, මල් පිපීමට පෙර අවස්ථාවේ පවතින තෘණ කපා වියළා ගැනීමෙන් මේ සංරක්ෂිත සත්ව ආහාර සකස් කරගත හැකිය.

සංරක්ෂිත සත්ත්ව ආහාරයක් වශයෙන් "හේ" ( Hay ) නිෂ්පාදනය

තණකොළ වැඩිපුර වැවී ඇති කාලවලදී ක්ෂේත්‍රයේ ඇති තෘණ කපාගෙනවිත් හොඳින් තුනී කර හෝ කම්බි රාමුවක වැලක අතුරා දින 3ක් පමණ වියළා ගත යුතුය. නිසි ලෙස වියළාගත් තෘණ මිටක් දෙපසින් අල්ලා ඇඹරීමේදී පහසුවෙන් කැඩීමට ලක් නොවන අතර ජලය වෑස්සීමක්ද සිදු නොවිය යුතුයි. එනම් වැඩි කලක් ගබඩා කරගැනීම සඳහා තෙතමනය 15% පමණ මට්ටමක තිබිය යුතුයි. මෙලෙස වියළා ගත් තෘණ මිටි ( හේ) වශයෙන් බැඳ නිසි ලෙස ගබඩා කරගතහොත් මාස 6 - 8 අතර කාලයක් දක්වා තබා ගත හැකිවනු ඇත.

"සයිලේජ්" ( Silage ) නිෂ්පාදනය

කිරි ගවයින් ආහාරයට ගන්නා තෘණ වර්ග ( උදා: ගිනි තණකොළ,බඩ ඉරිඟු හෝ සෝගම් ආදිය) රනිල වර්ග ( උදා: ග්ලිරිසීඩියා, ඉපිල් ඉපිල්) හා අනෙකුත් ශාක කොටස් වාතය රහිත ( නිර්වායු ) තත්ත්ව යටතේ පැසවීමට ලක් කිරීමෙන් සයිලේජ් නිෂ්පාදනය සිදුකරනු ලබයි.

"හේ" නිෂ්පාදනයේදී මෙන් නොව ගුණාත්මක බව වැඩි කිරීම සඳහා අමතර ද්‍රව්‍ය එක්කිරීමට හැකිවීම සයිලේජ් නිෂ්පාදනයේ වාසියකි. පළමුවෙන්ම වැඩිපුර වැවී ඇති තණකොළ කපාගෙන මඳ පවනේ වියළා ගැනීම කල යුතුය.

ඉන්පසු යන්ත්‍රානුසාරයෙන් හෝ කුඩා පරිමානයේ නිෂ්පාදනයෙදී නම් පිහියක් භාවිතයෙන් වියලා ගත් තණකොළ කුඩා කැබලිවලට කපා ගත යුතුය. ඉන්පසු සයිලේජ් හදන භාජනයට හෝ සයිලෝවට ( silo ) එලෙස කැපු තෘණ තට්ටු වශයෙන් ඇසිරිය යුතුය. එම එක් එක් තට්ටුව දමා වාතය ඉවත් වෙන පරිදි හොඳින් තද කිරීම කළයුතුය. සිමෙන්තිවලින් තැනූ සයිලෝවක් හෝ ලීටර 200 ප්ලාස්ටික් බැරලයක් එසේත් නැතිනම් පොලි බෑගයක් මේ සඳහා යොදාගත හැකිය. තෘණ තට්ටු අසුරන අතරින් පතර සීනි හෝ මොලෑසස් ද්‍රාවණයක් සහ ඛණිජ මිශ්‍රණය ආදිය එක් කිරීමද කළ හැකිය. අමු තෘණ කිලෝ 100 කට සීනි කිලෝ 1ක් , ඛනිජ මිශ්‍රණය ග්‍රෑම් 500 ක් වශයෙන් සෑහේ. මෙමඟින් සතුන්ගේ ආහාර රුචිය වැඩි කරවනසුලු මනා සුවඳක් නිෂ්පාදනයට එක්වන අතර ගුණාත්මක බවද ඉහළ නංවයි. අවසානයේදී සෑම තට්ටුවක්ම අසුරා ඉතා හොඳින් තද කොට භාජනය සහ සයිලෝව හෝ බෑගය, මනා පැසීමකට ඉඩ සැලැසීම සඳහා වාතය ඇතුළු නොවන පරිදි වැසිය යුතුය.මෙලෙස සකස් කරගත් සයිලේජ් දින 45 - 60 ක පමණ කාලයකට පසු සතුන්ට ආහාරයට ලබාදීමට හැකිය. මනාව ගබඩා කළහොත් භාජනය සහ සයිලෝව විවෘත නොකොට ඊට වඩා දිගු කලක් වුවද තබා භාවිතයට ගත හැකිය.

තෘණ සංරක්ෂණයේ ඇති වාසි

මෙහි අරමුණ වන්නේ අතිරික්තව ඇති තෘණ සතුන්ට ආහාර හිඟ කාලවලදී ලබා දීම සඳහා නිසි ලෙස කල් තබා ගැනීමයි. එපමණක් නොව අමතරව ඇති තණකොළ අපතේ යාමද මෙමඟින් වළක්වා ගත හැකිය. එමෙන්ම වියළි කාලවලදී කිරි දෙනුන්ට ගුණාත්මක හා ආහාර රුචිය වැඩිකරවන ආහාර ප්‍රභවයක් ලෙස සයිලේජ් භාවිතා කළහැකිය. මීට අමතරව අඩු බරකින් වැඩි වියළි ද්‍රව්‍ය ප්‍රමාණයක් සතුන්ට ලබා දීමේ හැකියාවද ඇත. ( උදා: හේ) එපමණක් නොව තෘණ සංරක්ෂණය වාණිජ මට්ටමින් සිදු කිරීම කිරි ගොවීන්ට ආර්ථික මට්ටමින් ද වාසිදායක වේ. සත්ව ආහාර විවිධාංගීකරණය මගින් නියඟ කාලවලදී අර්බුදයකට මුහුණ නොපා වර්ෂය පුරා අඛණ්ඩව ඉහළ කිරි අස්වැන්නක් ලබා ගැනීමට සැලැසුම් කරන උද්යෝගිමත් ගොවි මහතුන්ට මෙය මහඟු පිළියමක් වනු ඇත.

කෘෂි­කර්ම පීඨය   
පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලය. 
කුමුදු ආරියවංශ 

Comments