
එච්.කේ.ජී.ඉන්ද්‍රානි මැණිකේ - මිහින්තලේ කන්නට්ටිය
අපේ ගෙදරට පැමිණෙන ඕනෑම අයෙකු අපේ ගෙවත්තට එක්කරගෙන ගිහිල්ලා මොනවද කන්න කැමැති කියලා අහලා ගෙවත්තෙන් එවෙලේම නෙළා ගත් නැවුම් එළවළු උයලා කෑම වේලක් දෙන එක තමයි එකම බලාපොරොත්තුව. මම අවුරුදු හයකට අධික කාලයක් ගෙවත්ත කර ගෙන යනවා. මට ගොඩාක්ම මගේ මහත්තයා ඒ ආනන්ද සමරසිංහ, මගේ දුව චතුරි හේමන්සිකා උදව් කරනවා. කෙසෙල් ,ගස් ලබු ,දෙළුම්, අලිපේර,පේර, කටු අනෝදා, අඹ, බෙහෙත් නෙල්ලි රඹුටන්, මිදි පලතුරු හැටියට තිබෙනවා. කොස්, වැනි දේ සමග මාළු මිරිස් ,දඹල, කොච්චි මිරිස්, ගොටුකොළ, ඇඹරැල්ලා, කැකිරි, තක්කාලි, එළබටු, කංකුං, නයි මිරිස් වැනි දේද තිබෙනවා. පොල් පැළ 20 ක් තිබෙනවා. ගම්මිරිස් , දෙහි, කුරුදු ගොරකා වාගේ මේ පළාතේ නොවැවෙන දේවල් ද මම පැළ කර ගෙන ඉතා සතුටක් ලබනවා.
මට ඉතින් ජල පහසුකම නම් මදි. මගේ ගෙවත්ත සාර්ථකව ඉදිරියට ගෙන යන්න නම් නළ ළිඳක් ගහගන්න ඕන. ඒ සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැයවනවා. අපේ ඉඩමේ අඩි 6-8 ක් පමණ යට කළු ගල. ගෙවත්ත කරගෙන යන විට මානසික සුවයක් ඇති වනවා. මම හැමදාම උදේම ගෙවත්ට යනවා. හරිම සතුටක් තියෙන්නේ. මගේ දුව චතුරිට දැන් අවුරුදු 07 යි . එයා හැම වේලාවෙම මට උදව් කරනවා. අනාගත දරු පරපුර නිරෝගී මත් කරන්න නම් හැම කෙනෙක්ම ගෙදර වස විස නැති ගෙවත්තක් හදා ගන්න ඕන. ගෙවත්තක් නැති ගෙදර ලෙඩ රෝග වැඩියි. අපි ලංකාවේ සියළුම දෙනා තම ගෙවත්ත තුලින් එළවලු ටික පලතුරු ටික පාවිච්චි කරනවානම් මොන තරම් අපූරුද?
ඉන්ද්‍රානි මැණිකේ ගේ ස්වාමිපුරුෂයා වන ඒ .ආනන්ද සමරසිංහ මහතා අප සමග මෙසේ පැවසුවා. මගේ නෝනා ගෙවත්ත හදා ගන්න ගොඩාක්ම මහන්සි වුණා.
හැම වේලෙම බැලුවත් ගෙවත්තේ.මම වැඩ ඇරිලා ආවාම උදව්වට යනවා. මම ඉතිං බුලත් වගාවට කැමති නිසා බුලත් වගා කර තිබෙනවා. අපේ ගෙවත්තේ දෙහි ගහේ පල හට ගත්තේ නැතිව තිබුණා. මෙම ගෙවත්ත බලන්න ආපු මහත්මයෙක් කීවා ,දෙහි ගහ වටේට කානුවක් කපලා ඒ කානුවට වීදුරු කටු දමා වහන්න කියලා . ඒ දේ මම කලා.ඉතාම සාර්ථක වැඩක් .දැන් බලන්න කොපමණ දෙහි හැදෙනවාද ?මේ වන විට නම් දෙහිවලට මිලක් නැහැ. මම හිතාගෙන ඉන්නවා දෙහි ටික කඩලා හතරට පළලා ලුණු,මිරිස් .සහ සීනි දමා වෙෙළද පොළට යවන්න. හොද රසවත් කෑමක් වේවි.මගේ දෛනික පඩියෙන් එළවලු ගේන්නේ නැහැ. අපට ඉතිං නල ළිද ගහ ගන්න කවුරු හරි උදව් කරනවානම් හරිම වටිනවා. අපේ රටේ අය තමන්ට කන්න ඕන එළවලු ටික වත් හදා ගන්නේ නැහැ. අපේ ගෙවත්තේ එළවළු, පලතුරු, අල වර්ග, වගේම ලස්සන මල් පැළත් තිබෙනවා. මේ ගස් වල ඵලදාව හට ගන්න කොට අපට වගේම සතුන්ටත් හරිම සතුටුයි. කවරදාවත් දැක නැති සතුන් වත්තට එනවා. ලෙඩ දුක් අඩුයි. හිතට හරිම සතුටුයි. පවුලේ සතුට සමගිය තිබෙනවා.ගෙවත්තක වටිනාකම කියලා නිම කරන්න බැහැ.
චිත්‍රාරත්න කළුආරච්චි