
ගම්බද ප්‍රදේශවල ගොවිතැන් දියුණු කළ යුතුය. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. ඊට අමතරව කෘෂිකාර්මික නොවන ඉහත සඳහන් කළ ආකාරයේ ආදායම් වැඩි කරන රැකියා උත්පාදන මාර්ගද ගමට ගෙන යා යුතුය. සිදුවෙමින් පවත්නා දේශගුණ විපර්යාස දෙස බලන විට කෘෂිකර්මාන්තයට රක්ෂණයක් වශයෙන් කෘෂිකාර්මික නොවන ආදායම් මාර්ගවලට ගැමි ජනයාට අවතීර්ණ වීමේ අවස්ථා තිබිය යුතුය.
සිදු වෙමින් පවත්නා දේශගුණ විචල්‍යතා හේතු කොටගෙන වියළි කලාපීය ගම් වැව්වල රැඳෙන වතුර ප්‍රමාණය අඩු වීම නිසා ජල සම්පාදනය සහිතව වගා කළ හැකි බිම් ප්‍රමාණය තව-තවත් වැඩි කිරීම අසීරු කරුණකි. වැව්වල රොන්මඩ පිරීම නිසා ඒවායේ ජල ධාරිතාව අඩු වීමත්, එනිසාම වගා කළ හැකි බිම් සීමා වීම නිසාත් ගම් වැසියන්ගේ කෘෂි ආදායම අද වාණිජ ලෝකයට ගැළපෙන පරිදි වේගවත්ව වැඩි කිරීමේ දුෂ්කරතා ඇත. එබැවින් ග්‍රාම සංවර්ධනයේදී ගොවිතැන කෙරෙහිම පූර්ණ විශ්වාසය තබනු වෙනුවට කෘෂි නොවන විකල්ප ආදායම් මාර්ග කෙරෙහි අවධාරණය කළ යුතුය.
වර්ෂ 2015-2017 දක්වා පැවති නියං සමය තුළ ගොවිතැනට අමතරව විකල්ප ආදායම් තිබූ ගම්බද පවුල්වලට ඒ නියඟයට ඔරොත්තු දී සිටීමට හැකි විණි. රජයකට තනිවම මේ විකල්ප ආදායම් මාර්ග ප්‍රවර්ධනය කළ නොහැකිය. එහෙත් ගම්බද ප්‍රදේශවල විකල්ප ආදායම් මාර්ග ඇති කිරීමට පෞද්ගලික අංශයට ආරාධනා කළ හැකිය; ඇති කළ හැකි ආදායම් මාර්ග ගැන විද්‍යාත්මක දැනුම සපයා දිය හැකිය; පෞද්ගලික අංශය විසින් ග්‍රාමීය ප්‍රදේශවල ආදායම් උත්පාදන කිරීම සඳහා බදු සහන සැලසිය හැකිය. ගම්වල ඇති සම්පත් ගැන නිවැරදි තොරතුරු සපයා දිය හැකිය.
මේ ලිපියෙන් අදහස් කරනුයේ පෞද්ගලික ආයෝජකයන්ගේ ධනෝපායන ශක්තිය වැඩි කරන අතරම ගම්බද තරුණ-තරුණියන්ට විවිධ ශ්‍රේණිවල ආදායම් උත්පාදිත රැකියා බිහි කරදුන් අවස්ථා දෙක-තුනක් ගැන සාකච්ඡා කිරීමටත්, එමඟින් ඒ ඒ කර්මාන්ත නිසා අවට ගම්වල වූ ආර්ථික සහ සමාජීය වෙනස්කම් හඳුන්වා දීමටත්ය.
උළු කර්මාන්තය
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඥානිකුලමෙහි DSI සමාගම දැන් වසර ගණනාවක් තිස්සේම වැඩි දියුණු කොට පවත්වාගෙන යන උළු කර්මාන්ත ශාලාවක් ඇත. මේ සමාගම තම නිෂ්පාදන ප්‍රධාන වශයෙන් විදේශ වෙළෙඳපොළවලට යවන්නකි. මේ සඳහා යොදාගනු ලබන්නේ වැව්වල රොන්මඩය. එක එල්ලේම පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවකට රැකියා සපයන මෙම කර්මාන්තයට වක්‍රව සම්බන්ධ අය ඊටත් වඩා අධිකය. රජයේ ඇරයුමක් නොමැතිව සිය කැමැත්තෙන්ම ගොස් ඥාණිකුලමේ උළු කර්මාන්ත ශාලාවක් පිහිටවූ DSI සමාගමෙන් රටටත් ගැමි ප්‍රජාවටත් ඉටු වෙමින් පවත්නා වැදගත් සේවා කිහිපයකි.
ඉන් පළමුවැන්න කාටත් එපා වූ කොයි-කවුරුත් අඳෝනා සහගතව කථා කරන වැව්වල රොන්මඩ අමුද්‍රව්‍ය වශයෙන් පරිහරණය කිරීමය. දෙවැන්න ඥානිකුලම සහ ඒ අවට ගම් කිහිපයකින් පැමිණ උළු කම්හලේ විවිධ කාර්යයන්හි යෙදෙන්නවුනට තිරසර ආදායම් මාර්ග ඇතිවීම නිසා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආර්ථාකය වර්ධනය වීමය. තෙවැන්න ආදායම් වැඩිවීම නිසා ඔවුන්ගේ සමාජ තත්ත්ව සෙස්සන්ගේ සමාජ තත්ත්වයනට වඩා වැඩි වී තිබීමය. සිව්වැන්න විශේෂයෙන්ම රැකියා මාර්ග බෙහෙවින්ම සීමිතව සිටි ගම්බද කාන්තාවන්ට රැකියා අවස්ථා ඇති වීමය. අවසාන වශයෙන් කීමට ඇත්තේ රැකියා සොයා නොයෙකුත් දුක් කරදර මැද නගරවලට ඇදී යෑම අවම වීමය. ඇත්ත වශයෙන්ම මෙය සමාගම් ලාබ ලැබීමට වඩා ඉතා අගය කළ යුතු සමාජ මෙහෙවරක් පමණක් නොව, පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එක්ව මහජනයාට සෙත සලසන අතරම ඔවුන්ගේ මෙන්ම රටේ ආර්ථිකය නංවාලීමට කර ඇති, එමෙන්ම අනුකරණය කළ යුතු සංවර්ධන ක්රමවේදයකි. මෙහි ඇත්තේ ගම සූරා කෑමක් නොව ගම ස්ථාවරව පෝෂණය කිරීමකි.
විල් උයන සංචාරක හෝටලය
සීගිරිය අසල කිඹිස්සට නුදුරින් මේ සංචාරක හෝටලය ඉදි කර ඇත්තේ Jetwing ගුවන් සහ සංචාරක සේවා සමාගම විසිනුයි. මීට අවුරුදු 30කට පෙර අක්කර 12ක් පමණවූ මේ 'විල් උයන' පැවතියේ කටු පඳුරු සහිත කැලෑ කුට්ටියක් වශයෙනි. එහි කලින් පැවතියේ පාළු වී වනගත වූ වැවක වෑකන්දේ සේයාවක් පමණි. මේ විල් උයන අතිශයින් සංචාරක හිතකාමී ආකර්ෂණීය හෝටල් සංකීර්ණයක් කිරීමේ වැඩි ගෞරවය හිමි විය යුත්තේ සුනෙලා විජේසිංහ ගෘහ නිර්මාණ ශිල්පිනියටය. එහි ගෘහ නිර්මාණ ශිල්පය බෙහෙවින්ම පරිසර හිතකාමීය. එය ඇත්ත වශයෙන්ම කිසිම පරිසර දූෂණයක් නැති, දේශීය ගස්-කොළන් මෙන්ම ඒ ආශ්‍රිත සතා සිව්පාවුනට හිතකර වූ, පරිසරහිතකාමී සංචාරකයන්ගේ මනදොළ පුරවන හරිත සංචාරක භවනකි. ඇත්තවශයෙන්ම, විල්උයන සංචාරක හෝටල් පරිසරය දෙස බලනවිට පෙනී යන්නේ වියලි කලාපයේ වැව්-වෙල්-ඇළ-දොළ අසබඩ ඕනෑම තැනක් පරිසරහිතකාමී සංචාරකයින් වශී කරන සංචාරක නිවාස බවට පත් කළ හැකි බවය.
විල් උයන ධනවත් සංචාරකයන්ගේ තෝතැන්නක් මෙන්ම ආයෝජක සමාගමේ ධන ආකාරයකැයි සමහර විට ඔබට සිතෙනු ඇත.
ඇත්ත වශයෙන් එය සම්පූර්ණම සත්‍යය නොවේ. විල් උයන පරිසරය මෙන්ම ජෛව විවිධත්වය සුරැකීමේ මහඟු කාර්යය ඉටු කරන අතරම ඉන් අවට ගම්වලට කර ඇති එහෙත් ඇහැට නොපෙනෙන සේවාවන් බොහෝය. දශක දෙක තුනකට ඉහතදී විල් උයනට යාබදව පිහිටි රංගිරිගම, අලි-මිනිස් ගැටුම් බහුල හේන් ගොවිතැනින් බඩ වියත රැකගත් දිළිඳු කුඩා ගම්මානයකි. එහෙත් අද විල් උයන නිසාම රංගිරිගම යහපත් ආර්ථික මෙන්ම සමාජ පරිවර්තනයකට පත්වෙමින් පවතී. අතලොස්සක් හැරුණුවිට විල් උයන සංචාරක සංකීර්ණයේම රැකියා දී ඇත්තේ රංගිරිගම පදිංචි විශේෂයෙන්ම තරුණ තරුණියන්ටය.
මොවුන් සමග කිහිපවරක්ම සුහද සංවාදවල යෙදුණු මට පෙනී-ගියේ විල් උයන ඔවුන්ගේ වස්තුවක් වශයෙන් සලකන බවත් එය රැකීමට ඔවුහු නිරන්තරවමව ඇප කැපවී සිටින බවත්ය. තවත් අන්දමකින් කිවහොත් රංගිරිගම රැකෙන්නේ විල් උයන නිසාය; විල් උයන රැකෙන්නේ රංගිරිගම නිසාය. රංගිරිගමත් විල්උයනත් සෙනෙහසින්ම එකට බැඳී පවතී. වත්කම් අතින් කෙසේවෙතත් මිනිස්කම් අතින් ගම් නගර අතර ඇති වෙනස්කම් සීමාකර තිබීමම, ඉදිරි ග්‍රාම සංවර්ධනයට යහපත් දොරක් විවෘත කර තිබීම සහ එහිදී පෞද්ගලික අංශයට විශාල මෙහෙවරක් ඉටු කළ හැකි බැව් මෙහිදී විද්‍යමාන වේ.
මෙවැනි සාර්ථක අත්හදා බැලීම් වියළි කලාපීය ගම්බද පෙදෙස්වල තවත් තිබෙන්නට පිළිවනි. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නිරන්තරවම පාහේ පිඹුරුපත් අදින ඒ පිඹුරුපත් ගැන නිරන්තරවම ලියන කියන බොහෝ පුද්ගලයින් මෙරට ඇත. මේ කටින් බතලකොළ සිටුවන්නවුන් විසින් විල් උයන වැනි තවත් ආදර්ශ මැනවින් අධ්‍යයනය කොට ඒවා ලෝකයටත් රටටත් හඳුන්වාදී ඒවායින් උගත හැකි පාඩම් උගෙන වියළි කලාපීය ගම් ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උත්සාහ කිරීම ඉතා වැදගත්ය. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක මෙන්ම ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාර නෂ්ටාවශේෂ වියළි කලාපයේ බහුල වීමද වියළි කලාපීය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බෙහෙවින්ම ඉවහල් වන බැව් සිහි කට යුතුය. අතිසුන්දර වර්ණවත් ඡායාරූප, මිල අධික කඩදාසිවලින් නිර්මිත සඟරාවල ඵලකිරීමෙන් පමණක්ම මෙරට සංචාරක කර්මාන්තය දියුණු කල නොහැකිය.
සංචාරක කර්මාන්තය නගරවලින් පිටත ගම්බද ප්රදේශවලටද ගෙන යා යුතුය. බහුජාතික සමාගම්වල ඉහළ පෙළේ රැකියා කරන රටවල ප්‍රධාන නගරයන්හි පිහිටි සුඛෝපභෝගී හෝටල් සංකීර්ණවල ටික දවසකට නවතින ධනකුවේරයන්ගේ ජෙට් යානා ගමන්-බිමන්වලින්ම රටක සංචාරක කර්මාන්තය දියුණු නොවේ. අද ලෝකයේ මධ්‍යම පන්තිවල පුද්ගලයන්ගේ සංචාරක ගමන් බිමන් විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මේ සංචාරක බළකායෙන් සංචාරක ආදායම් වැඩි කරගැනීමට නම් ඔවුන්ට ඉසිලිය හැකි අය කිරීමෙන් යුත් සංචාරක නිවහන් රට තුළ ග්‍රාමීය ප්‍රදේශවල ඇති කිරීමට පෞද්ගලික අංශයට රජය විසින් ආධාර උපකාර කළ යුතුව ඇත.
ගමට ගෙනගිය
නිමි ඇඳුම් කම්හල්
දිවංගත ජනාධිපති ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව බොහෝ නිමි ඇඳුම් කම්හල් ගම්බද ප්‍රදේශවල ඇරඹීමට පෞද්ගලික අංශයට ආරාධනා කළ අවස්ථාවේදී එය සාර්ථක වේද? අසාර්ථක වේද? යන කුතූහලය බොහෝ දෙනෙකු තුළ පැවතිණි. ඇතැම් කම්හල් අසාර්ථක වුවද එක් අවස්ථාවකදී නිමි ඇඳුම් ආනයනයෙන් විශාල ආදායමක් මෙරටට ලැබිණි. ඒ හා සමානව වැදගත් වූයේ නිමි ඇඳුම් පිළියෙල කිරීමේදී විශේෂයෙන්ම රැකියා විරහිත ගම්බද කාන්තාවන්ගේ ආදායම් වැඩි වීමය.
කාන්තාවන්ට එම කම්හල්වල රැකියා ලැබීමට අමතරව ගමනාගමන සේවය ඉඳුම්-හිටුම් සැපයීම ආහාරපාන සැපයීම ජන ජීවිතයේ වන එදිනෙදා අවශ්‍යතා සැපයෙන කඩපළ ඇරඹීමේ අවස්ථා ලැබීම ආදී ස්වයං සේවා උත්පාදනය වීම ආදිය නිසා නිමි ඇඳුම් කම්හල් අවට ඇති වීම ගැමි පරිසරයේ ඇතැම් ස්ථානවලදී සිදු විණි.
ගම්බද ප්‍රදේශවල ගොවිතැන් දියුණු කළ යුතුය. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. ඊට අමතරව කෘෂිකාර්මික නොවන ඉහත සඳහන් කළ ආකාරයේ ආදායම් වැඩි කරන රැකියා උත්පාදන මාර්ගද ගමට ගෙන යා යුතුය. සිදුවෙමින් පවත්නා දේශගුණ විපර්යාස දෙස බලන විට කෘෂිකර්මාන්තයට රක්ෂණයක් වශයෙන් කෘෂිකාර්මික නොවන ආදායම් මාර්ගවලට ගැමි ජනයාට අවතීර්ණ වීමේ අවස්ථා තිබිය යුතුය. විශේෂයෙන්ම ගම්බද තරුණ පිරිස් කෘෂිකර්මාන්තයට වඩා කෘෂිකර්මාන්තයෙන් බැහැර නව රැකියා ප්‍රිය කරන්නෝය. එය ඔවුන්ගේ අයිතියයි. ඒ නිසා ඔවුන්ට ඒ අවස්ථා සපයාගැනීමට ඉඩ තබන අතර, ගම්වල රැඳී සිටිනවුන්ට කෘෂිකාර්මික කටයුතු සාර්ථකව කරගෙන යෑමට ඔවුන්ගේද පූර්ණ දායකත්වය සහිත අවස්ථා සැලසිය යුතුය.
ආචාර්ය එම්.යූ.ඒ.තෙන්නකෝන්