වැව් ගම් දිනූ කර්මාන්ත | Page 5 | සිළුමිණ

වැව් ගම් දිනූ කර්මාන්ත

ගම්බද ප්‍රදේශවල ගොවිතැන් දියුණු කළ යුතුය. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. ඊට අමතරව කෘෂිකාර්මික නොවන ඉහත සඳහන් කළ ආකාරයේ ආදායම් වැඩි කරන රැකියා උත්පාදන මාර්ගද ගමට ගෙන යා යුතුය. සිදුවෙමින් පවත්නා දේශගුණ විපර්යාස දෙස බලන විට කෘෂිකර්මාන්තයට රක්ෂණයක් වශයෙන් කෘෂිකාර්මික නොවන ආදායම් මාර්ගවලට ගැමි ජනයාට අවතීර්ණ වීමේ අවස්ථා තිබිය යුතුය. 

 

සිදු වෙමින් පවත්නා දේශ­ගුණ විච­ල්‍යතා හේතු කොට­ගෙන වියළි කලා­පීය ගම් වැව්වල රැ‍ඳෙන වතුර ප්‍රමා­ණය අඩු වීම නිසා ජල සම්පා­ද­නය සහි­තව වගා කළ හැකි බිම් ප්‍රමා­ණය තව-තවත් වැඩි කිරීම අසීරු කරු­ණකි. වැව්වල රොන්මඩ පිරීම නිසා ඒවායේ ජල ධාරි­තාව අඩු වීමත්, එනි­සාම වගා කළ හැකි බිම් සීමා වීම නිසාත් ගම් වැසි­යන්ගේ කෘෂි ආදා­යම අද වාණිජ ලෝක­යට ගැළ­පෙන පරිදි වේග­වත්ව වැඩි කිරීමේ දුෂ්ක­රතා ඇත. එබැ­වින් ග්‍රාම සංව­ර්ධ­න­යේදී ගොවි­තැන කෙරෙ­හිම පූර්ණ විශ්වා­සය තබනු වෙනු­වට කෘෂි නොවන විකල්ප ආදා­යම් මාර්ග කෙරෙහි අව­ධා­ර­ණය කළ යුතුය.  
 
වර්ෂ 2015-2017 දක්වා පැවති නියං සමය තුළ ගොවි­තැ­නට අම­ත­රව විකල්ප ආදා­යම් තිබූ ගම්බද පවු­ල්ව­ලට ඒ නිය­ඟ­යට ඔරොත්තු දී සිටී­මට හැකි විණි. රජ­ය­කට තනි­වම මේ විකල්ප ආදා­යම් මාර්ග ප්‍රව­ර්ධ­නය කළ නොහැ­කිය. එහෙත් ගම්බද ප්‍රදේ­ශ­වල විකල්ප ආදා­යම් මාර්ග ඇති කිරී­මට පෞද්ග­ලික අංශ­යට ආරා­ධනා කළ හැකිය; ඇති කළ හැකි ආදා­යම් මාර්ග ගැන විද්‍යා­ත්මක දැනුම සපයා දිය හැකිය; පෞද්ග­ලික අංශය විසින් ග්‍රාමීය ප්‍රදේ­ශ­වල ආදා­යම් උත්පා­දන කිරීම සඳහා බදු සහන සැල­සිය හැකිය. ගම්වල ඇති සම්පත් ගැන නිවැ­රදි තොර­තුරු සපයා දිය හැකිය.  
මේ ලිපි­යෙන් අද­හස් කර­නුයේ පෞද්ග­ලික ආයෝ­ජ­ක­යන්ගේ ධනෝ­පා­යන ශක්තිය වැඩි කරන අත­රම ගම්බද තරුණ-තරු­ණි­යන්ට විවිධ ශ්‍රේණි­වල ආදා­යම් උත්පා­දිත රැකියා බිහි කර­දුන් අවස්ථා දෙක-තුනක් ගැන සාකච්ඡා කිරී­ම­ටත්, එම­ඟින් ඒ ඒ කර්මාන්ත නිසා අවට ගම්වල වූ ආර්ථික සහ සමා­ජීය වෙන­ස්කම් හඳුන්ව‍ා දීම­ටත්ය.  
 
උළු කර්මා­න්තය  
 
තිර­ප්පනේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ඥානි­කු­ල­මෙහි DSI සමා­ගම දැන් වසර ගණ­නා­වක් තිස්සේම වැඩි දියුණු කොට පව­ත්වා­ගෙන යන උළු කර්මාන්ත ශාලා­වක් ඇත. මේ සමා­ගම තම නිෂ්පා­දන ප්‍රධාන වශ­යෙන් විදේශ වෙළෙ­ඳ­පො­ළ­ව­ලට යව­න්නකි. මේ සඳහා යොදා­ගනු ලබන්නේ වැව්වල රොන්ම­ඩය. එක එල්ලේම පුද්ග­ල­යින් සිය­ය­කට අධික සංඛ්‍යා­ව­කට රැකියා සප­යන මෙම කර්මා­න්ත­යට වක්‍රව සම්බන්ධ අය ඊටත් වඩා අධි­කය. රජයේ ඇර­යු­මක් නොමැ­තිව සිය කැමැ­ත්තෙන්ම ගොස් ඥාණි­කු­ලමේ උළු කර්මාන්ත ශාලා­වක් පිහි­ටවූ DSI සමා­ග­මෙන් රට­ටත් ගැමි ප්‍රජා­ව­ටත් ඉටු වෙමින් පවත්නා වැද­ගත් සේවා කිහි­ප­යකි.
 
ඉන් පළ­මු­වැන්න කාටත් එපා වූ කොයි-කවු­රුත් අඳෝනා සහ­ග­තව කථා කරන වැව්වල රොන්මඩ අමු­ද්‍රව්‍ය වශ­යෙන් පරි­හ­ර­ණය කිරී­මය. දෙවැන්න ඥානි­කු­ලම සහ ඒ අවට ගම් කිහි­ප­ය­කින් පැමිණ උළු කම්හලේ විවිධ කාර්ය­යන්හි යෙදෙ­න්න­වු­නට තිර­සර ආදා­යම් මාර්ග ඇති­වීම නිසා ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන්ගේ ආර්ථා­කය වර්ධ­නය වීමය. තෙවැන්න ආදා­යම් වැඩි­වීම නිසා ඔවුන්ගේ සමාජ තත්ත්ව සෙස්සන්ගේ සමාජ තත්ත්ව­ය­නට වඩා වැඩි වී තිබී­මය. සිව්වැන්න විශේ­ෂ­යෙන්ම රැකියා මාර්ග බෙහෙ­වින්ම සීමි­තව සිටි ගම්බද කාන්තා­වන්ට රැකියා අවස්ථා ඇති වීමය. අව­සාන වශ­යෙන් කීමට ඇත්තේ රැකියා සොයා නොයෙ­කුත් දුක් කර­දර මැද නග­ර­ව­ලට ඇදී යෑම අවම වීමය. ඇත්ත වශ­යෙන්ම මෙය සමා­ගම් ලාබ ලැබී­මට වඩා ඉතා අගය කළ යුතු සමාජ මෙහෙ­ව­රක් පම­ණක් නොව, පෞද්ග­ලික අංශ­යත් රාජ්‍ය අංශ­යත් එක්ව මහ­ජ­න­යාට සෙත සල­සන අත­රම ඔවුන්ගේ මෙන්ම රටේ ආර්ථි­කය නංවා­ලී­මට කර ඇති, එමෙන්ම අනු­ක­ර­ණය කළ යුතු සංව­ර්ධන ක්‍රම­වේ­ද­යකි. මෙහි ඇත්තේ ගම සූරා කෑමක් නොව ගම ස්ථාව­රව පෝෂ­ණය කිරී­මකි.  
 
විල් උයන සංචා­රක හෝට­ලය  
 
සීගි­රිය අසල කිඹි­ස්සට නුදු­රින් මේ සංචා­රක හෝට­ලය ඉදි කර ඇත්තේ Jetwing ගුවන් සහ සංචා­රක සේවා සමා­ගම විසි­නුයි. මීට අවු­රුදු 30කට පෙර අක්කර 12ක් පම­ණවූ මේ 'විල් උයන' පැව­තියේ කටු පඳුරු සහිත කැලෑ කුට්ටි­යක් වශ­යෙනි. එහි කලින් පැව­තියේ පාළු වී වන­ගත වූ වැවක වෑකන්දේ සේයා­වක් පමණි. මේ විල් උයන අති­ශ­යින් සංචා­රක හිත­කාමී ආක­ර්ෂ­ණීය හෝටල් සංකී­ර්ණ­යක් කිරීමේ වැඩි ගෞර­වය හිමි විය යුත්තේ සුනෙලා විජේ­සිංහ ගෘහ නිර්මාණ ශිල්පි­නි­ය­ටය. එහි ගෘහ නිර්මාණ ශිල්පය බෙහෙ­වින්ම පරි­සර හිත­කා­මීය. එය ඇත්ත වශ­යෙන්ම කිසිම පරි­සර දූෂ­ණ­යක් නැති, දේශීය ගස්-කොළන් මෙන්ම ඒ ආශ්‍රිත සතා සිව්පා­වු­නට හිත­කර වූ, පරි­ස­ර­හි­ත­කාමී සංචා­ර­ක­යන්ගේ මන­දොළ පුර­වන හරිත සංචා­රක භව­නකි. ඇත්ත­ව­ශ­යෙන්ම, විල්උ­යන සංචා­රක හෝටල් පරි­ස­රය දෙස බල­න­විට පෙනී යන්නේ වියලි කලා­පයේ වැව්-වෙල්-ඇළ-දොළ අස­බඩ ඕනෑම තැනක් පරි­ස­ර­හි­ත­කාමී සංචා­ර­ක­යින් වශී කරන සංචා­රක නිවාස බවට පත් කළ හැකි බවය.  
විල් උයන ධන­වත් සංචා­ර­ක­යන්ගේ තෝතැ­න්නක් මෙන්ම ආයෝ­ජක සමා­ගමේ ධන ආකා­ර­ය­කැයි සම­හර විට ඔබට සිතෙනු ඇත.
ඇත්ත වශ­යෙන් එය සම්පූ­ර්ණම සත්‍යය නොවේ. විල් උයන පරි­ස­රය මෙන්ම ජෛව විවි­ධ­ත්වය සුරැ­කීමේ මහඟු කාර්යය ඉටු කරන අත­රම ඉන් අවට ගම්ව­ලට කර ඇති එහෙත් ඇහැට නොපෙ­නෙන සේවා­වන් බොහෝය. දශක දෙක තුන­කට ඉහ­තදී විල් උය­නට යාබ­දව පිහිටි රංගි­රි­ගම, අලි-මිනිස් ගැටුම් බහුල හේන් ගොවි­තැ­නින් බඩ වියත රැක­ගත් දිළිඳු කුඩා ගම්මා­න­යකි. එහෙත් අද විල් උයන නිසාම රංගි­රි­ගම යහ­පත් ආර්ථික මෙන්ම සමාජ පරි­ව­ර්ත­න­ය­කට පත්වෙ­මින් පවතී. අත­ලො­ස්සක් හැරු­ණු­විට විල් උයන සංචා­රක සංකී­ර්ණ­යේම රැකියා දී ඇත්තේ රංගි­රි­ගම පදිංචි විශේ­ෂ­යෙන්ම තරුණ තරු­ණි­ය­න්ටය.
 
මොවුන් සමග කිහි­ප­ව­රක්ම සුහද සංවා­ද­වල යෙදුණු මට පෙනී-ගියේ විල් උයන ඔවුන්ගේ වස්තු­වක් වශ­යෙන් සල­කන බවත් එය රැකී­මට ඔවුහු නිර­න්ත­ර­ව­මව ඇප කැපවී සිටින බවත්ය. තවත් අන්ද­ම­කින් කිව­හොත් රංගි­රි­ගම රැකෙන්නේ විල් උයන නිසාය; විල් උයන රැකෙන්නේ රංගි­රි­ගම නිසාය. රංගි­රි­ග­මත් විල්උ­ය­නත් සෙනෙ­හ­සින්ම එකට බැඳී පවතී. වත්කම් අතින් කෙසේ­වෙ­තත් මිනි­ස්කම් අතින් ගම් නගර අතර ඇති වෙන­ස්කම් සීමා­කර තිබී­මම, ඉදිරි ග්‍රාම සංව­ර්ධ­න­යට යහ­පත් දොරක් විවෘත කර තිබීම සහ එහිදී පෞද්ග­ලික අංශ­යට විශාල මෙහෙ­ව­රක් ඉටු කළ හැකි බැව් මෙහිදී විද්‍ය­මාන වේ.  
 
මෙවැනි සාර්ථක අත්හදා බැලීම් වියළි කලා­පීය ගම්බද පෙදෙ­ස්වල තවත් තිබෙ­න්නට පිළි­වනි. සංචා­රක කර්මා­න්තය දියුණු කිරී­මට නිර­න්ත­ර­වම පාහේ පිඹු­රු­පත් අදින ඒ පිඹු­රු­පත් ගැන නිර­න්ත­ර­වම ලියන කියන බොහෝ පුද්ග­ල­යින් මෙරට ඇත. මේ කටින් බත­ල­කොළ සිටු­ව­න්න­වුන් විසින් විල් උයන වැනි තවත් ආදර්ශ මැන­වින් අධ්‍ය­ය­නය කොට ඒවා ලෝක­ය­ටත් රට­ටත් හඳු­න්වාදී ඒවා­යින් උගත හැකි පාඩම් උගෙන වියළි කලා­පීය ගම් ආශ්‍රි­තව සංචා­රක කර්මා­න්තය දියුණු කිරී­මට උත්සාහ කිරීම ඉතා වැද­ගත්ය. ඓති­හා­සික සහ පුරා­වි­ද්‍යා­ත්මක මෙන්ම ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටා­චාර නෂ්ටා­ව­ශේෂ වියළි කලා­පයේ බහුල වීමද වියළි කලා­පීය සංචා­රක කර්මා­න්තයේ ප්‍රව­ර්ධ­න­යට බෙහෙ­වින්ම ඉව­හල් වන බැව් සිහි කට යුතුය. අති­සු­න්දර වර්ණ­වත් ඡායා­රූප, මිල අධික කඩ­දා­සි­ව­ලින් නිර්මිත සඟ­රා­වල ඵල­කි­රී­මෙන් පම­ණක්ම මෙරට සංචා­රක කර්මා­න්තය දියුණු කල නොහැ­කිය.   
 
සංචා­රක කර්මා­න්තය නග­ර­ව­ලින් පිටත ගම්බද ප්‍රදේ­ශ­ව­ල­ටද ගෙන යා යුතුය. බහු­ජා­තික සමා­ග­ම්වල ඉහළ පෙළේ රැකියා කරන රට­වල ප්‍රධාන නග­ර­යන්හි පිහිටි සුඛෝ­ප­භෝගී හෝටල් සංකී­ර්ණ­වල ටික දව­ස­කට නව­තින ධන­කු­වේ­ර­යන්ගේ ජෙට් යානා ගමන්-බිම­න්ව­ලින්ම රටක සංචා­රක කර්මා­න්තය දියුණු නොවේ. අද ලෝකයේ මධ්‍යම පන්ති­වල පුද්ග­ල­යන්ගේ සංචා­රක ගමන් බිමන් විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මේ සංචා­රක බළ­කා­යෙන් සංචා­රක ආදා­යම් වැඩි කර­ගැ­නී­මට නම් ඔවුන්ට ඉසි­ලිය හැකි අය කිරී­මෙන් යුත් සංචා­රක නිව­හන් රට තුළ ග්‍රාමීය ප්‍රදේ­ශ­වල ඇති කිරී­මට පෞද්ග­ලික අංශ­යට රජය විසින් ආධාර උප­කාර කළ යුතුව ඇත.  
ගමට ගෙන­ගිය 
 
නිමි ඇඳුම් කම්හල්  
 
දිවං­ගත ජනා­ධි­පති ප්‍රේම­දාස මහ­තාගේ සංක­ල්ප­යක් අනුව බොහෝ නිමි ඇඳුම් කම්­හල් ගම්බද ප්‍රදේ­ශ­වල ඇර­ඹී­මට පෞද්ග­ලික අංශ­යට ආරා­ධනා කළ අව­ස්ථා­වේදී එය සාර්ථක වේද? අසා­ර්ථක වේද? යන කුතූ­හ­ලය බොහෝ දෙනෙකු තුළ පැව­තිණි. ඇතැම් කම්හල් අසා­ර්ථක වුවද එක් අව­ස්ථා­ව­කදී නිමි ඇඳුම් ආන­ය­න­යෙන් විශාල ආදා­ය­මක් මෙර­ටට ලැබිණි. ඒ හා සමා­නව වැද­ගත් වූයේ නිමි ඇඳුම් පිළි­යෙල කිරී­මේදී විශේ­ෂ­යෙන්ම රැකියා විර­හිත ගම්බද කාන්තා­වන්ගේ ආදා­යම් වැඩි වීමය. 
කාන්තා­වන්ට එම කම්හ­ල්වල රැකියා ලැබී­මට අම­ත­රව ගම­නා­ග­මන සේවය ඉඳුම්-හිටුම් සැප­යීම ආහා­ර­පාන සැප­යීම ජන ජීවි­තයේ වන එදි­නෙදා අව­ශ්‍යතා සැප­යෙන කඩ­පළ ඇර­ඹීමේ අවස්ථා ලැබීම ආදී ස්වයං සේවා උත්පා­ද­නය වීම ආදිය නිසා නිමි ඇඳුම් කම්හල් අවට ඇති වීම ගැමි පරි­ස­රයේ ඇතැම් ස්ථාන­ව­ලදී සිදු විණි.  
 
ගම්බද ප්‍රදේ­ශ­වල ගොවි­තැන් දියුණු කළ යුතුය. ඒ ගැන විවා­ද­යක් තිබිය නොහැ­කිය. ඊට අම­ත­රව කෘෂි­කා­ර්මික නොවන ඉහත සඳ­හන් කළ ආකා­රයේ ආදා­යම් වැඩි කරන රැකියා උත්පා­දන මාර්ගද ගමට ගෙන යා යුතුය. සිදුවෙමින් පවත්නා දේශ­ගුණ විප­ර්යාස දෙස බලන විට කෘෂි­ක­ර්මා­න්ත­යට රක්ෂ­ණ­යක් වශ­යෙන් කෘෂි­කා­ර්මික නොවන ආදා­යම් මාර්ග­ව­ලට ගැමි ජන­යාට අව­තීර්ණ වීමේ අවස්ථා තිබිය යුතුය. විශේ­ෂ­යෙන්ම ගම්බද තරුණ පිරිස් කෘෂි­ක­ර්මා­න්ත­යට වඩා කෘෂි­ක­ර්මා­න්ත­යෙන් බැහැර නව රැකියා ප්‍රිය කර­න්නෝය. එය ඔවුන්ගේ අයි­ති­යයි. ඒ නිසා ඔවුන්ට ඒ අවස්ථා සප­යා­ගැ­නී­මට ඉඩ තබන අතර, ගම්වල රැඳී සිටි­න­වුන්ට කෘෂි­කා­ර්මික කට­යුතු සාර්ථ­කව කර­ගෙන යෑමට ඔවු­න්ගේද පූර්ණ දාය­ක­ත්වය සහිත අවස්ථා සැල­සිය යුතුය. 
 
ආචාර්ය එම්.යූ.ඒ.තෙන්න­කෝන්
 

Comments