වැඳිරිය දැරියක් | සිළුමිණ

වැඳිරිය දැරියක්

රුසියාවේ කිර්ගීසියාවේ සිට මොස්කව් නුවර සතුන් වත්ත බලන්න ආ යහපත් අක්කා මලෝ දෙදෙනෙක් ශා‍පයක් නිසා වැඳිරියක වී සිටින මේ දැරිය දැක්කා. මේ දෙදෙනාට හොඳින් ඉංග්‍රිසි කතා කරන්න පුළුවන්. තමන් දිහා බලා ඉන්න මේ දෙදෙනා සමඟ වැඳිරිය එක පාරටම කතා කළා. කතා කරන වැඳිරියක් ගැන ඒ දෙදෙනාට පුදුමයි . වැඳිරිය තමන්ගේ කතාව මේ දෙදෙනාට පැවසුවා. ඔවුන් කළේ එදා ගෙදර ගොස් දෙමවුපියන්ට මේ කතාව කීමයි. ඒ අනුව ඒ පවුලේ මවත් පියාත් දරු දෙදෙනාත් එක්වී වැඳිරිය සත්ව උද්‍යානයෙන් ගලවා ගැනීමට ක්‍රමයක් යොදා ගත්තා.

පසුදා සිය මෝටර් රියෙන් සත්ව උද්‍යානයට ආ ඔවුන් සතුන්ට කෑම දෙන වෙලාව එන තෙක් බලා සිටියා. කෑම දුන් පසු අනෙක් සතුන් කෑමට පොර කන අතරවාරයේ වඳුරු දැරිය හෙමිහිට කූඩුවෙන් පැන ගත්තා. අක්කයි මල්ලියි දැරියගේ අතින් අල්ලා ගෙන එළියට දුවගෙන ගියා. හැබැයි ඔවුන්ට කාටත් නොපෙනී යන්න නම් බැරිවුණා.

“මෙන්න වඳුරෙක් හොරෙන් අරන් යනෝ ” කියමින් සතුන් වත්ත නැරැඹීමට පැමිණ සිටි අය කෑ ගැසුවා. ඒත් ඔවුන් නොවෙයි නැවතුණේ. ඔවුන් නතර වුණේ මෝටර් රථයට නැග ගත් පසුයි. දැන් මෝටර් රිය හැල්මේ යනවා. සත්ව උද්‍යානයේ දැනුම් දීම මත පැමිණි පොලිස් රියක් ඔවුන් පසුපස හඹා යනවා. මෙහෙම වේගයෙන් ගිය ඔවුන් කෙසේ හෝ ඔවුන්ගේ නිවෙස පිහිටි මහල් නිවාසයට ගියා. දැන් දැරිය ඉන්නේ මොස්කව් නුවර තට්ටු නිවාසයේ අර පවුලේ අයත් සමඟයි. ඇය ඒ අතරෙ රුසියානු භාෂාවත් ඉගෙන ගත්තා.

‍මේ පවුලේ පියා කිර්ගීසි‍යාවේ මානාස් ගැන කියැවෙන වීර කාව්‍ය හොඳින් දැන සිටි කෙනෙක්. කවුරුන් හෝ මේ මුළු කවියම කටපාඩමින් කියා පිහිට ඉල්ලා සිටියහොත් මානාස් වීරයා පිහිටට එනවා. වඳුරු දැරිය ගැන සිහිපත් කරමින් පවුලේ පියා කවිය කියමින් යාච්ඤා කළා.

ඒ සමඟම මානාස් වීරයා අසු පිට නැඟී එතැන පහළ වුණා. ඉන් රැකවරණ ලැබූ අර පවුලේ උදවිය වහාම කිර්ගීසියාව බලා ගියා. ඒ ගිය මොහොතේ සිට ඔවුන් කළේ දැරිය වැඳිරියක් කරද්දී මායාකාරිය කී මායා වචන සෙවීමයි. මොකද වැඳිරිය නැවත දැරියක කරන්න ඒ මායා වචන කියන්න ඕනෑ. අන්තිමේ පොතක තිබී මේ දරුවන් තිදෙනා ඒ මායා වචන සොයා ගත්තා. ඒ වචන කී පමණින් වැඳිරිය පෙරසිටි ලස්සන දැරිය බවට පත් වුණා. ඉන්පසු දැරියගේ පවුලත් කිර්ගීසියානු පවුලත් එකට එක්වී

සතුටින් හිටියා.

 

සිතුවම - කුමුදු

 

Comments