ළහිරු මඬල | සිළුමිණ

ළහිරු මඬල

අපේ නිදහස් උත්සවය

අපේ රට 1815 වසරේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත්ව තිබී, 1948 වසරේ පෙබරවාරි 4 වැනිදා නිදහස ලබා ගන්නා ලදි. අපේ රටට නිදහස ලබා ගැනීම සඳහා බොහෝ විරුවෝ සටන් කළහ. ලබාගත් නිදහස සැමරීම සඳහා සෑම වර්ෂයකම පෙබරවාරි 4 වැනි දින නිදහස් උත්සවය පැවැත්වේ. නිදහස් උත්සවය අපේ රටේ ජාතික උත්සවයකි. නිදහස් දින අපේ රටේ සෑම රජයේ ආයතනයකම, පෞද්ගලික ආයතනයකම, සෑම නි‍ෙවසකම ජාතික කොඩිය ඔසවනු ලැබේ.

ආර්.කේ.ඩී. ලක්දින අභිලාෂ්

5 ශ්‍රේණිය ‘ඊ’,

තිස්ස මධ්‍ය මහා විද්‍යාලය,

කළුතර.

 

------------

මල්

අපේ වත්තෙ මල්
සුවඳ හමන මල්
පුංචි පුංචි මල්
හරිම හැඩයි මල්..

සුදු පාටට මල්
සුවඳ හමන මල්
හරි ලස්සන මල්...

එහා ගෙදර මල්
මෙහා ගෙදර මල්
සුවඳ හමන මල්
හරිම හැඩයි මල්..

ඩොයිනි සෙනේෂා රාජපක්ෂ

3 ශ්‍රේණිය

බෝපේ රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය,

බෝපේ.

 

-------------

අප අවට පරිසරය රැකගනිමු

ගස්වැල් මගේ පණ වැනිය. මේ මිහිතලය මත සත්තු මාගේ මිතුරෝය. අප අවට පරිසරය ගස් වැල් හා සතා සිවුපාවුන්ගෙන් නිර්මාණය වූවකි. පරිසරයේ සුන්දරත්වය ඇති කිරීමට ගස්වැල් ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි. සතා සිවුපාවුන්ගේ වාසස්ථාන විනාශ ‍ෙනාවීමට වග බලා ගත යුතුය. ඇතැම් මිනිස්සුන්ගේ පොරෝ පහරින් පරිසරය විනාශ කිරීම නිසා ද, වාහනවලින් පිටවන දුම් හා කර්මාන්ත ශාලාවලින් පිටවන අහිතකර විස දුමෙන්ද වායු ගෝලය දූෂණය වේ. පුංචි අපිත් පරිසරය රැක ගැනීමට දායක වෙමු.

හිරුන්දි අමල්යා

4 ශ්‍රේණිය විශාඛා,

ජනාධිපති බාලිකා විද්‍යාලය,

නාවල

-----------

නියඟය ඇවිල්ලා

දිය සිඳුණු පොළොව ඉරි තළා ගොස් ඇත. කොළ හැලුණු ගස් වියළී දර ඉපල් වැනිය. වතුර සොයා යන සතුන් තැන තැන දක්න‍ට ලැබේ. සිඳුණු වැව් කුඩා දිය කඩිති වැනිය. විනාශ වූ කුඹුරු දෙස ගොවියෝ දුකින් බලා සිටිති. නියඟය නිසා මිනිස්සු පීඩාවට පත් වෙති.

ඊ.ජේ.එම්. ලිතුලි ලෙහන්සා

3 ශ්‍රේණිය ‘ඩී’

කීනදෙණිය ප්‍රාථමික

විදුහල,

අඹේපුස්ස.

---------

මගෙ ලොකේ රජු

හේනේ පැලේ නිදි මර මර පැල් රැකලා
අව්වේ වේළි වේළී වැඩපල කරලා
වැස්සේ තෙමී සීතලයට ගිනි තැපලා
අප රැකගත් පියා වඳිනෙමු දණ ගහලා...

ලෙඩ වූ විට දී අපෙ දුක සැප බැලුවා
ආදරයෙන් ඔවදන් දී හිස අතගෑවා
අප ජයගනු ලබා හැම විට තුටුවුවා
මගෙ ලෝකයේ රජු හැමදා ඔබ වේවා

පීගජී අපේක්ෂා විදූෂි චන්ද්‍රසිරි

5 ශ්‍රේණිය ‘ඒ‘,

අකුරම්බොඩ කනිෂ්ඨ විද්‍යාලය,

මාතලේ.

--------

ශ්‍රී පාද කන්ද

 

බුදුන් තෙවන වරට කැලණියට වැඩම කළ ගමනේදී සුමන සමන් දිව්‍යරාජයාගේ ඉල්ලීමකට අනුව සමනොළ කඳු මුදුනේ බුදුරදුන්ගේ වම් සිරි පා සලකුණ පිහිටුවූ බව විශ්වාස කෙරේ.

මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා ආරම්භ වන්නේ සමනොළ කන්දෙනි. මෙය ජල පෝෂක ප්‍රදේශයකි. සමනොළ කන්දේ උස මීටර් 2243කි. සමනොළ කන්ද ශ්‍රී ලංකාවේ 5 වන උසම කන්ද වෙයි.

ශ්‍රී පාදය අවට භූමිය දෙදහස් දහය වසරේදි අභය භූමියක් ලෙස නම් කරන ලදි.

දාවින්දි හංසිකා

5 ශ්‍රේණිය,

ගයිඩන්ස් ජාත්‍යන්තර විද්‍යාලය,

කැස්බෑව

------------

පාසල් මෑණි

ගස් වැල් පලබර ගොවිපළ මැද්දේ
අති සුන්දර වූ කෙත්බිම් අතරේ
ගුණ - නැණ සාදන ගුරුගෙදරයි මේ
මගෙ සිරිදම් පාසල් මෑණී

රටට දැය සමයට වැඩ සදනා
උත්තම සිරිදම් පාසල් මාතා
විසිපස් වසරක් අබිමන් දැල්වූ
සිරිදම් පාසල් මෑණී

පඬිවරු ඉපදුණු රෝහණ දේසේ
කෙළිබිම - කරළිය සිරි මවනා
පින්බර සුවඳැති මල් පිපුණා වේ
මගේ ආදර පාසල් මෑණී

තිසර දහම් දිසානායක

7 ශ්‍රේණිය ‘ඊ’,

සිරිධම්ම විද්‍යාලය,

ගාල්ල.

 

 

 

‘ළහිරු මඬල’ට ඔබ එවන කවි රචනා ඒ4 කොළවල තනි පැත්තේ ලියා එවිය යුතු අතර චිත්‍ර නිර්මාණ ඒ4 කොළයේ හරස් අතට ඇඳ එවිය යුතුය. ඔබගේ සෑම නිර්මාණයක්ම පාසලේ විදුහල්පති හෝ පන්තිභාර ගුරුතුමිය සහතික කළ යුතුය.

ඔබේ නිර්මාණය ජයග්‍රහණය කර ඇත්නම් ඒ බව සඳහන් පත්‍ර කොටස සමඟ ඔබේ පෞද්ගලික ලිපිනය සහ දුරකථන අංකය අනිවාර්යෙන්ම අප වෙත දන්වා එවිය යුතු බව කරුණාවෙන් සලකන්න.

- ඉසවි නැන්දා

 

නිර්මාණ ‍ෙයාමු කළ යුතු ලිපිනය-:

‘ළහිරු මඬල,, සිළුමිණ, ලේක් හවුස්, කොළඹ 10.

දුරකථන -: 011-2429265

 

Comments