සරල මැති­ව­රණ ක්‍රම­යක් සඳහා පුර­වැසි යෝජනා | Page 13 | සිළුමිණ

සරල මැති­ව­රණ ක්‍රම­යක් සඳහා පුර­වැසි යෝජනා

වත්මන් මැතිවරණ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත හරහා යහපාලනය ශක්තිමත් කරන්නාවූ වඩාත් ඵලදායි මෙන්ම සරල මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් වී නැති බව පුරවැසියකු වශයෙන් ප්‍රථමයෙන් අවධාරණය කරමි. මනාප ක්‍රමය අහෝසි කිරීමේ මුවාවෙන්, නැවතත් පවතින විමධ්‍යගත දේශපාලන පරිපාලනයට (Decentralised Political Administration System)නොගැලපෙන මෙන්ම විද්‍යානුකූල නොවූ, කොට්ඨාස ක්‍රමයට ආපසු යාම සඳහා, අනවශ්‍ය, සංකීර්ණ, අධි -වියදම් සහිත මිශ්‍ර ක්‍රමයක් යෝජනා කර ඇත. මේ තුළ පළාත් පාලන සභිකයන් සංඛාව පමණක් දළ වශයෙන් 3500 කින් වැඩිවේ. එම ක්‍රමයම පළාත් සභා සහ මහා මැතිවරණය සඳහාද යොදා ගැනීමට යෝජනා වන බැවින් වැඩිවන දේශපාලකයන්ගේ සංක්‍යාව කොපමණද යන්න සිතා ගත හැක. මේ මිශ්‍ර ක්‍රමය දැනට ක්‍රියාත්මක වන්නේ රටවල් 213 කින් 30 ක පමණය. එයින් සිදුවන්නේ රටට ඵලදායී නොවන, අල්ලස හා දූෂණයට අතවනන දේශපාලකයන්ගේ ‘ගොඩ’ තවත් වැඩිවී, බදු ගෙවන පුරවැසියාට නාස්තිකාර බරක් එකතුවීම පමණකි. දැනට සිටින සමස්ත දේශපාලකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

 

පුද්ගලයන් තේරීමට ජනතාවට හැකිද ?

 

මෙහි ප්‍රථම නොමඟ යැවීම නම්, තම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කිරීම සඳහා තමා කැමති කෙනකු ජනතාවට තෝරා පත්කර ගැනීමේ ඇති ඊනියා හැකියාවක් උලුප්පා පෙන්වීමය. ප්‍රථමයෙන්ම එය රැවටීමක් වන්නේ, නාම යෝජනා ලැයිස්තු ඉදිරිපත් කරන්නේ, තව දුරටත් ජනතාව නොව පක්ෂයක් විසින් තමාට රිසි සම්මුඛ පරීක්ෂණයන්ගෙන් අනතුරුව නිසාය.

දෙවැන්න නම්, මහා මැතිවරණයකදී 225 ක් වැනි සංඛාවක් තේරීම සඳහා රටපුරා මිලියන 13 කට වැඩි ඡන්ද දායකයන්ට පැවරීම ප්‍රායෝගික නොවන බව මේ තාක් පැවැති මහා මැතිවරණවලින් මැනවින් ඔප්පුවී තිබීමය .

උදාහරණ වශයෙන් ප්‍රවීණ දේශපාලකයන් අභිබවා ටෙලිනාට්‍ය නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන්, කෝඩු කාරයන්, අත්අඩංගුවේ සිටින්නන් මෙන්ම ප්‍රසිද්ධ චෝදනා වලට ලක්වී සිටින දේශපාලකයන් ජනතාව තෝරා ගැනීම සඳහන් කළ හැකිය. දැනට ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින මන්ත්‍රී වරුන්ගේ වගතුග විග්‍රහ කිරීමෙන් එය තවත් ස්ඵුට වේ. මෙයින් පැහැදිලි වන කාරණය නම්, ජනතාව මහ මැතිවරණයකදී තම ඡන්දය තීරණය කරන්නේ හුදු වෙනසක් සඳහා හෝ තමා ලැබූ හුදු තාවකාලික වාසි හෝ නෑ මිත්‍ර කම් හෝ පුද්ගල ආකර්ෂණීයත්වය මත හෝ මිස පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය මත නොවන බවය.

 

එකම විකල්පය

 

මෙයට සරල විසඳුම නම් ‘මනාප ඡන්ද ක්‍රමය’ අහෝසි කිරීමට සමගාමීව, පක්‍ෂ විසින් දිස්ත්‍රික් කුසලතා නාම ලැයිස්තු ක්‍රමය (District merit list) නැවත හඳුන්වා දීම හා පක්‍ෂ මැතිවරණ ප්‍රකාශනයන් බොරු පොරොන්දු දීමට නොහැකි වනසේ නිත්‍යානුකූල ලේඛනයන් බවට පත් කිරීමය. මෑතක් වන තෙක් ජ.වි.පෙ පවා අනුගමනය කළේ මේ පක්‍ෂ ලැයිස්තු ක්‍රමයමය. වර්තමානයේ මේ ලැයිස්තුව දිස්ත්‍රික් මට්ටමේ ආසන 196 ක් සඳහා සැදී ඇත්තේ සිංහල හෝඩිය අනුවය.

'ජාතික ලැයිස්තුව' (29) ද අහෝසි කර ආසන 225 ම සඳහා නාම යෝජනා පත්‍ර බාර දීමෙන් ක්‍රමය තවත් සරල කර ගත හැකිය.

කාන්තාව සහ යෞවනය නියෝජනය කිරීම සඳහා වූ සැබෑ ඉලක්කයන්, ව්‍යුගත(Structured) සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් යටතේ ‘ඉහළ බර තැබීම’ මඟින් ඉටු කර ගත හැකිය. ඉල්ලා අස්වීම් / මරණ / නෙරපා හැරීම් වෙනුවෙන් අමතර නම් 3 ක් හෝ 4 ක් එක් එක් දිස්ත්‍රික් කුසලතා නාම යෝජනා ලැයිස්තුවේ පහතට එකතු කළ හැකිය.

මේ අනුව, දේශපාලන වෘත්තීකයන් තෝරා ගැනීමේ වගකීඡන්දදායකයා මත නොව අදාළ පක්ෂයන්ට / සන්ධානවලට පමණක් පැවැරේ. ඒ අනුව නාම යෝජනා තෝරා ගැනීමේ කාර්යය සඳහා, ආයතනික (Corporate) සංවිධාන ලෙස, රාජ්‍යය විසින් නියම කරනු ලබන මූලික සුදුසුකම් හා සම්මුඛ පරීක්ෂණ නිර්ණායකයන්ට යටත්ව, තමන්ගේ ම අනිකුත් නිර්ණායකයන්ද මත පදනම්ව, අපක්ෂපාත, විනිවිද පෙනෙන, තේරීමේ හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් පක්‍ෂ විසින් සකස් කළ යුතුය. එවිට සැම පක්ෂයක්ම තමාගේ දක්ෂතම ‘ක්‍රීඩක කණ්ඩායම’ඡන්ද පිටියට යවනවා නොඅනුමානය.

ඡන්දදායකයා විසින් පක්‍ෂ මැතිවරණ ප්‍රකාශනයට අමතරව මෙම කුසලතා ලැයිස්තු උපයෝගී කර ගනිමින් තමා නියෝජනය කිරීමට ඉඩ ඇති පුද්ගලයින්ගේ විශ්වසනීයත්වය, ගුණාත්මකභාවය හා කාර්යක්ෂමභාවය පිළිබඳ අදහසක්ද ලබා ගනිමින් තම ඡන්දය පක්ෂයකට පමණක් ප්‍රකාශ කරනු ඇත .

මෙවැනි පරිසරයක් තුළ ලැබෙන වාසි බොහෝය. පාලක පිරමීඩයේ ඉහළම ස්ථරයට අයත් මන්ත්‍රී අපේක්ෂකයන්ට, සදාචාර විරෝධී, ගැටුම්කාරී හා නාස්තිකාර වියදම් තුළින් ‘ඡන්ද ගැරීම’ අවශ්‍ය නොවේ. එනිසා , විශාල ලෙස මුදල් වියදම් කළ නොහැකි අවංක, වෘත්තීය අපේක්ෂකයන්ට දොර ඇරේ.

 

විමධ්‍ය ගත පරිපාලනය කොයි බටද ?

 

‘පක්‍ෂ මාරු’ ක්‍රමයට තිත තැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මරණය / ඉල්ලා අස්වීම / අහෝසි කිරීම වෙනුවෙන්, අතුරු මැතිවරණ අවශ්‍ය නොවේ. කුසලතා ලැයිස්තු තුළින් මන්ත්‍රීන් තෝරන නිසා, ඡන්ද පත්‍රිකාවේ පක්ෂ / සන්ධාන සංකේත පමණක් සඳහන් වන බැවින්, මැතිවරණ දෙපාර්තමේන්තුවට ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය, විශාල ලෙස කාලය හා මුදල් ඉතිරි කරන පහසු කාර්යයක් වනු ඇත.

පරිපාලන ව්‍යුවහයේ දෙවන ස්ථරය බවට පත්වූ පළාත් සභා 1988 සිට පැවතියත්, අද වනවිට ඒවා උප -පාර්ලිමේන්තු ගොඩනැඟිලි 9 ක් ද සහිතව මහජන මුදල් කා දමන සුදු අලියන් බවට පත්වී ඇත. පළාත් සභා මන්ත්‍රී වරුන් හා ඇමතිවරුන් විශාල සංඛ්‍යාවක් සිටියත් ඔවුන්ගේ නම් හෝ කාර්ය භාරය හෝ කාර්යාලය හෝ දැන ගැනීමට ජනතාව පෙළඹෙන්නේ නැත. මන්දයත්, මාධ්‍යය විසින් ජනතාවගේ එකම ගැලවුම් කරුවා හැටියට නිරතුරුවම හුවා දක්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිසාය. ඒ අනුව, පළාත් සභා මැතිවරණ ජනතාවට එතරම් තීරණාත්මක නැත. කෙසේ වෙතත්, පළාත් සභා ජාත්‍යන්තර වශයෙන් අත්නොහැරිය හැකි ආයතන බවට පත්වී ඇති නිසා ඒවාට නිශ්චිත බලතල ලබාදී කාර්යක්ෂම කර මෙම විපරිත තත්ත්වය දුරු කළ යුතුය.

මෙවන් පරිසරයක ,වඩාත් ප්‍රායෝගික හා තාර්කික වනුයේ ජනතාවට වඩාත් සමීප පළාත් පාලන මැතිවරණය නිර්දේශපාලනය කර, ‘ග්‍රාම රාජ්‍යය’ සංකල්පය අනුව රජය විසින් පනවනු ලබන සාධනීය උපමානයන්ට යටත්ව ස්වකැමැත්තෙන් ගමෙන්ම ඉදිරිපත්වන ස්වාධීන ජනතා ‘සංවර්ධන පහසුකම් සපයන්නන්’ හෙවත් ‘ඕම්බුඩ්ස්මන්වරුන්’ තේරීම පමණක් මහජනතාවට පැවරීමයි.

අපගේ මතය අනුව මේ කාර්යය සඳහා දේශපාලකයන් තවදුරටත් පත්කළ හොත් තම ඡන්ද ප්‍රචාරණ වියදම් අයකර ගැනීමට හා පාක්ෂිකයන්ට පමණක් උදව් කිරීමට ඔවුන් යොමුවනු ඇත.

තවද, අල්ලස හා දූෂණයට ඔවුන් බොහෝ සේ නතුවන අතර අහිංසක ජනතාවද පීඩාවට පත් වනුවා නොඅනුමානය. මහ ජනතාව තමන්ගේ ප්‍රාදේශීය ගැටළු විසඳා ගැනීම සඳහා ජාතික මට්ටමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යාම නොකළ යුතුය. මේ ප්‍රශ්නයට ස්ථීර විසඳුම නම් මහ ජනතාව පෙලන්නාවූ සියලුම රාජ්‍ය ආයතනවල සේවාව, පොලිස් සේවය හා අධිකරණ සේවාව කාර්යක්ෂම කිරීම සඳහා යහපත් ක්‍රම වේදයන් හඳුන්වා දීමය.

සුවිශේෂ තත්ත්වයන් යටතේ, ඡන්දදායකයන්ට පරිපාලනමය ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා පමණක් ස්වාධීන ප්‍රාදේශීය නියෝජිතයන් හෝ පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත යා හැකිය. යහපාලනයක් යටතේ දේශපාලනික මැදිහත්වීම් සිදු නොවිය යුතු බව ද සැලකිල්ලට ගත යුතු කරුණකි.

 

සරල හා පලදායී පුරවැසි යෝජනා

 

ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා , "ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන කමිටුව" හා මැතිවරණ කොමිසම වෙත මා කළ සරල නිර්දේශයන් ආශ්‍රිතව, ජනමත විචාරණයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි සරල මෙන්ම වඩාත් ඵලදායී සර්වග්‍රාහී යෝජනා වලියක් ඉදිරිපත් කරමි.

(ඉතිරි කොටස ලබන සතියේ)

Comments

මෙවැනි පුරවැසි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් දේශපාලකයන්ට අවාසි වූවත් රටට මහත් වාසි ගෙන එන බව පැහැදිලිය.එබැවින් සිවිල් සංවිධාන අපක්ෂපාතීව ඉදිරිපත්විය යුතුය. තවද, මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සඳහා පුරවැසි අනුමැතියක් ලබා ගත්තේ කවදාද?

පිටු