සමු­නො­ගත් මිත්‍ර ඇරැ­ව්වල නන්දි­මිත්‍ර | සිළුමිණ

සමු­නො­ගත් මිත්‍ර ඇරැ­ව්වල නන්දි­මිත්‍ර

මම සමුනොගනිමියි සාහිත්‍යය නිබද්ධයකට නම් තැබූ ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍රයන් පසුගිය ඉරුදින (04) අලුයම මෙලොවින් සමුගත්තේ සිය සාහිත්‍ය කලා නිර්මාණ හා සුහද ඇසුර පිළිබඳ මතකයන් පමණක් අපට ඉතිරි කර තබමිණි. ඒ අරුතින් නම් ඔහු අපෙන් සමුගෙන නැත. ප්‍රකට සම්මානනීය ලේඛකයකු වුවත් ඔහු හැමදාම ඇරව්වල ගමේ විසූ ගැමියෙක්ම විය. ඒ අරුතින් ද ඔහු සමුගෙන නැත. ප්‍රවීණ, ආධුනික භේදයකින් හෝ වෙනත් කවර ගුරුකුල භේදයකින් හෝ තොරව ලේඛක ප්‍රජාව සමඟ ඔහු සහෘදව විසීය. ඒ අරුතින් ද ඔහු අපෙන් සමුගෙන නැත. විවිධ සමාජ රැළි අතර සාමකාමී එහෙත් අදීන පුරවැසියාගේ භූමිකාව ඔහු හැමදාමත් ඉටු කළ හෙයින් ද ඔහු අපෙන් සමුගෙන නැත.

සාහිත්‍ය හා කලාව පිළිබඳ විචාරාත්මක හෝ සෞන්දර්ය විද්‍යාත්මක ලේඛන සැපයූ විද්වත්හු එතෙර මෙන්ම මෙතෙර ද වූහ. අදත් සිටිති. නන්දිමිත්‍රයන් වූකලී එලෙස ශාස්ත්‍රීය ලේඛනයට නැඹුරු වූ ලේඛකයකු නොවන නිර්මාණශීලී ලේඛකයෙකි. ඔහු තමා ගැනම සඳහන් කර ඇත්තේ ”මහලූ වුවද තවම නිර්මාණ ක්‍ෂෙත්‍රයේ ”අ” යන්න ”ආ” යන්න කියවන්නකු පමණි” කියාය. ලියන්නට කැමති නිසා ලියන බවය (නන්දිමිත්‍ර 2001-7). මේ ප්‍රකාශයෙන් වසර දාහතකට පසුව ද ඔහු එලෙසම කියනවාට සැක නැත. ඊට හේතුව මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ප්‍රකාශයෙන් පෙනී යයි. ”ඔහුගේ ජීවිතයේත්, කලාවේත්, බොරු අඟවුම්කාරක නැත. විවිධ ජීවිත හා නන්දිමිත්‍ර සම්බන්ධ වන්නේ ජීවිතයේ කොටස්කාරයකු සේය”. (අමරකීර්ති -2009).

1950 ගණන්වල මෙරට ඉස්මතු වූ ජාතිකත්වවාදී ආකල්ප මඟින් නන්දිමිත්‍රයන් පෝෂණය වූ අයුරු ඔහුගේ ”කතන්දර කරුවකුගේ සටහන්” (2007) කෘතියෙන් ප්‍රකාශ වුවත් ඔහු කිසිවිටෙක දේශපාලන පක්‍ෂයකට හෝ කණ්ඩායමක සාමාජිකයෙක් නොවීය. ඔහුගේ මිතුරන් විවිධ තනතුරු සොයා යද් දී ඔහු රජයේ ලිපිකරු සේවයේ නියුක්තව සිටියේය. එයින් තෘප්තිමත් නොවූ විට රජයේ සේවයෙන් කලින්ම විශ්‍රාම ගෙන දිගටම ලේඛන කලාවේ යෙදී සිටියේය. 1990 ගණන්වල රටේ ඇති වූ විනාශකාරී වාතාවරණය සියැසින් දුටු ඔහු ඒ කම්පාව පිට කළේ නිර්මාණාත්මක සාහිත්‍යයට වැඩි වැඩියෙන් නැඹුරු වීමෙන් හා ගමේ ක්‍රියාත්මක සුහද සමාජය සමඟ එක්ව වැඩි වැඩියෙන් සමාජ සේවාවන්හි නියුක්ත වීමෙනි. ඔහුගේ සාහිත්‍යය හා කලාව කෙරෙහි 1970 ගණන්වල මෙරට පැතිර ගිය සමාජසත්තා යථාර්ථවාදී සංකල්පවල වක්‍ර බලපෑමක් පෙනී ගියත්, ඔහුගේ සාහිත්‍යය දේශපාලනය විසින් යට කර නොගත්තේය. එමෙන්ම ඔහු සාහිත්‍ය ගුරුකුලයකට අයත් වූයේද නැත. ඒ නිසා ඔහුගේ සාහිත්‍යය කලා ආකල්ප ප්‍රචාරකවාදී හෝ ගුරුකුලවාදී හෝ නොවීය. තමා කතන්දරකරුවකු බව පිළිගත් ඔහු මහා න්‍යායවාදවල හෝ ජනප්‍රියවාදයේ ගොදුරක් නොවීය. ඔහුට ඔහුගේම මාර්ගයක් විය.

විවිධ කලා හා සාහිත්‍ය ක්ෂේත්‍ර ද ඒවායේ නියුක්ත වූ අයද නිරතුරුව ඇසුරු කළ නන්දිමිත්‍ර දැනුම් පිපාසයෙන් යුක්ත වූ සදාකාලික ශිෂ්‍යයෙක් බඳුය. 1939 ජුනි 05 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇරැව්වල ග්‍රාමයේ සාමාන්‍ය ගැමි පවුලක උපත ලද ඔහු පාසල් අධ්‍යාපනය ලැබූවේ ඇරැව්වල විද්‍යාලෝක විද්‍යාලය නම් වූ ගමේ පාසලෙනි. එකල ඔහු භාවිත කළ නාමය වැලිවත්තගේ දොන් නන්දිමිත්‍ර යන්න ය. අද ඔහුගේ පාසල මහා විද්‍යාලයකි. ගම කැස්බෑව නගර සභාවේ නාගරික කොට්ඨාසයකි. ඔහු ඇරැව්වල නන්දිමිත්‍ර බවට පත් වූයේ සාහිත්‍යකරණයට පිවිසීමත් සමඟය. පාසල් අධ්‍යාපනය අවසන් කළ ඔහු වැඩිදුර අධ්‍යාපනයට යොමු නොවුණ මුත් ස්වෝත්සහයෙන් බොහෝ දේ උගත්තේය.

රජයේ ලිපිකරුවකු ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරමින් ලද අත්දැකීම් ද, උපන් ගමේ දී හා විවිධ සංචාරයන්හි දී ලද අත්දැකීම්ද, පොතපත පරිශීලනයෙන් ලද ශික්‍ෂණයෙන් ද ඔහුගේ ජීවිතාවබෝධත්වය පුළුල් කෙරිණි. ඔහු සාහිත්‍යය කලාව කෙරේ නැඹුරු වන ප්‍රධාන අභිප්‍රේරණය උක්ත පසුබිමයි. ප්‍රතිභාවෙන් සෑහීමට පත් නොවු ඔහු ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය ලැබීම මඟින් බොහෝ ජයග්‍රහණ හිමි කර ගත්තේය. සැබවින්ම ඒවා හුදු ඔහු ලද ජයග්‍රහණයන්ම නොව මෙරට රසික ප්‍රජාව ලද ජයග්‍රහණයන් වන්නේය. විශ්වවිද්‍යාලයීය හෝ වෙනත් අධ්‍යාපනික අත්වැලක් නොතිබූ ඔහුට තිබුණේ ඉගෙනුමට ඇති කැමැත්ත හා උට්ඨාන වීර්යයයි.

නන්දිමිත්‍රයන්ට සිය සාහිත්‍යකරණය කෙරෙහි යොවුන් වියේ දී බලපෑ ප්‍රධාන සාධක තුනක් ගැන සඳහන් ය. එවකට ප්‍රකාශිත පුවත්පත් ද, පාසලේ විශිෂ්ටගුරුවරයකුද, රට තුළ උද්ගතව පැවැති තත්ත්වයන්ද එම සාධක බව ප්‍රකාශ කර තිබේ. (නන්දිමිත්‍ර 2007-14). මෙකල ඔහුට උගතුන්ගේ හෝ සාහිත්‍යධරයන්ගේ ඇසුරක් නොලැබුණ ද, ගැමි කලාකරුවන්ගේ ඇසුර නම් නොඅඩුව ලැබුණ බව පෙනෙයි. එයට හේතුව ඔහුගේ පියා ද ගමේ පිළිගත් කලාකරුවකු වීම ය. ඔහු එවකට නවගමුව කතරගම දේවාලයේ කපු මහතා විය. ඔහුගේ පිය පරපුරේ කිහිප දෙනෙක්ම ඊට පෙර ඒ ගෞරවණීය තනතුර දැරූහ. පන්තිනි ඇදහිල්ල හා සම්බන්ධ බොහෝ වත් පිළිවෙත් කළ ඔවුහු සූර නර්තන ශිල්පියෝ වූහ. ඔහුගේ වැඩිමහල් සොයුරා ද ප්‍රවීණ නර්තන ශිල්පියෙකි. සොයුරාගේ අභාවයෙන් පසු ඒ වගකීම ඔහුගේ පුත් මහී කපු මහතා විසින් දරනු ලැබේ. ඔහුගේ රැඟුම් නැරඹූ නන්දිමිත්‍රයෝ මහත් සතුටක් ලදහ. එය සෞන්දර්ය ආස්වාදයක් පමණක් නොව ශාන්තියක් ලෙස ගැමියෝ මෙන්ම නාගරිකයෝ ද විශ්වාස කරති.

වැලිවත්ත පරපුරේ නර්තන කලාවේ විශිෂ්ට රිද්ම ලක්‍ෂණ ලෙසම ඒ පරපුරේ නන්දිමිත්‍රයන්ගේ සාහිත්‍යයේ රිද්ම ලක්‍ෂණ ගැන ප්‍රශංසා හිමි වන්නා සේම ඒ මාධ්‍ය දෙකෙන්ම ශාන්තියක් ඉටු කිරීම ද ප්‍රශංසාත්මකය. නර්තනය අවසානයේ නර්ථන ශිල්පියා සැමට සෙත් පතන්නා සේ ‘යහපතක්ම වේවා’යි ආශිර්වාද කරති. එය චිරාගත සිංහල සාහිත්‍යය සම්ප්‍රදායේ එන හු දී ජන පහන් සංවේගය පිළිබඳ ප්‍රාර්ථනා සිහි කරයි. එක් අතකට එය ඔහු සාහිත්‍යය හා කලාවේ අරමුණු පිළිබඳ දරන ආකල්පය ප්‍රකට නොකරයි ද ?.ඔහුගේ බොහෝ ග්‍රන්ථවල ”යහපත්ම වේවා” යන ප්‍රාර්ථනා පාඨය දැක්වේ.

නර්තන කලාව වනාහී ගායනය හා වාදනය සමඟ ඒකාබද්ධව පැවැතීම අපේ සම්ප්‍රාදායේ ලක්‍ෂණයකි. පිය පාර්ශ්වයේ බලපෑමෙන් මේ කවි ඔහුට හුරුපුරුදු විය. එ මෙන්ම එ කළ ප්‍රදේශයේ කවිමඩු සංස්කෘතිය ව්‍යාප්තව තිබූ අතර, අවට ප්‍රසිද්ධ කවීහු කිහිප දෙනෙක් පදිංචිව සිටියහ. මීමන ප්‍රේමතිලක කලක් ඔහුගේ නි‍ෙවසට නැගෙනහිර දෙසින් ද, සෝමවීර චන්ද්‍රසිරි බටහිර දෙසින් ද පදිංචිව සිටියහ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ද, ජී. එච්. පෙරේරා හා විමලසිරි පෙරේරා ද පදිංචිව සිටියේ ආසන්න බොරලැස්ගමුව ග්‍රාමයේ ය. මෙකල මුද්‍රිත මාධ්‍යයෙන් ද ගුවන් විදුලි මාධ්‍යයෙන් ද කවිය ජනප්‍රියව පැවතුණි. කවියේ බලපෑම නන්දිමිත්‍රයන්ගේ ප්‍රබන්ධ සාහිත්‍යයට ද එක් වූයේ නිතැතිණි. ඔහුගේ සම්මානනීයය ‘ගිනි’ නව කතාවේ මෙය පැහැදිලිව දැකිය හැකි අතර, අනෙක් ග්‍රන්ථවලින් ද වරින් වර එය ප්‍රකාශ විණි. ඔහු ඇසුරු කළ කවීන් ගැන ‘කතන්දරකරුවෙකුගේ සටහන් ’හි සැලකිය යුතු විස්තරයක් එයි.

චිත්‍ර කලාව ඇතුළු දෘශ්‍ය කලාවන් කෙරෙහි ද ඔහුගේ නැඹුරුව පරිසරයෙන්ම ලබන්නට ඇත. නර්තන කලාව හා සම්බන්ධ බලි කර්මවල චිත්‍ර කලාවේ ද, මූර්ති කලාවේ ද, කැටයම් කලාවේ ද, අංග මිශ්‍රව පවතී. ඒ බලපෑම නන්දිමිත්‍ර දෘශ්‍ය කලාකරුවකු නොකළ ද, උක්ත කලා රසිකයකු කළේ ය. ඔහු තම නිර්මාණවල චරිත අවස්ථා සහ පරිසරය නිර්මාණය කළේ චිත්‍ර ශිල්පියකු ලෙස මැනවින් ඒවා චිත්‍රණය කරමිනි. තම පොත්වල කවර නිර්මාණයේ දී ඔහු උසස් චිත්‍ර හෝ සැලසුම් ශිල්පීන්ගේ උපකාරය ලබා ගත්තේ ද එම රසිකත්වයේ බලපෑම නිසා විය හැකිය. සෝමසිරි හේරත්, සීවලී ඉලංගසිංහ, හර්බට් රංජිත් පීරිස්, ඒ. ඩී. රංජිත් කුමාර, කේ. එම්. අයි. ස්වර්ණසිංහ, ගුණසිරි කොළඹගේ ආදී ප්‍රවීණ චිත්‍ර ශිල්පීහු ඒ අතර වුහ. හෙන්රි රාජකරුණා, චන්ද්‍රසේන පෙරේරා, ශිව බණ්ඩාර, ප්‍රියංජන් සුරේෂ්, හේමන්ත අරුණසිරි, ශ්‍රී ලාල් ගෝමස් ඔහු ඇසුරු කළ ඡායාරූප ශිල්පීන් අතුරින් කිහිප දෙනෙකි. ඔහු ‘ඉසුර’සඟරාවට අනුයුක්තව සිටි සමයේ ගාමිණී මෙන්ඩිස්, චන්ද්‍රගුප්ත තේනුවර, කිංස්ලි ගුණතිලක, උපාලි එම්. හේරත්, එස්. එච්. සරත් ආදී ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ ඇසුර ලැබී ය.

යොවුන් වියේ දී නන්දිමිත්‍රයන් ගමේ ප්‍රකට නාට්‍යකරුවෙකුව සිටි බව ඔහුගේ සමකාලීනයෝ කියති. ඔහු ලියා අධ්‍යක්‍ෂණය කළ නාට්‍ය සම වයස් කණ්ඩායම් සමඟ එක්ව ගමේ එළිමහන් රංග භූමියකදී රංගගත කිරීම සිරිතක් ව තිබුණි. නොමිලේ ප්‍රදර්ශනය කළ එම නාට්‍ය සඳහා අනුග්‍රහය දැක්වූවෝ ගැමියෝ ය. පසු කලෙක ගුවන් විදුලි නාට්‍යයෙන් ඔහු බොහෝ දේ උගත්තේ ය. ‘ඉසුර’ රාජකාරී සමයේ ඔහුට ආචාර්ය ජයලත් මනෝරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ප්‍රසන්න විතානගේ, ඊ. එම්. ඩී. උපාලි ආදී ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ ඇසුර ලැබුණේය. ඊට පෙර සිට ඔහු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, දයාන්නද ගුණවර්ධන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ආදීන් නිපදවූ නාට්‍යවල හොඳ රසිකයකු වී සිටියේය. මහවැලි අමාත්‍යාංශයේ සේවය කරමින් සිටිය දී ඔහුට බොහෝ ලේඛකයින් සහ පුවත්පත් කලාවේදීන්ගේ ඇසුර ලැබිණි. ආනන්ද ධර්මප්‍රිය, බී. එච්. හේමප්‍රිය, නිහාල් පී. ජයතුංග ගාමිණී පුංචිහේවා, ජිනදාස අබේගුණවර්ධන, චන්ද්‍රසිරි සෙ‍ෙනවිරත්න එයින් කිහිප දෙනෙකි. නිතර මහවැලි කලාපවල සංචාරයට ප්‍රිය වූ ඔහු එයින් ලද අත්දැකීම් ප්‍රචාරකවාදයෙන් තොරව නිර්මාණකරණයට යොදා ගත්තේය. ඔහුට, රජයේ නිලධාරීන්ට වඩා ගැමියන් වැදගත් විය.

නන්දිමිත්‍රයන්ගේ මල්දෙණියේ සිමියොන් නවකතාවද, ස්ත්‍රී කෙටිකතාවද, පිළිවෙලින් ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ හා ආචාර්ය මාලනී ෆොන්සේකා විසින් සිනමාවට නඟා තිබුණි. ඊට පෙර ඔහු දෙස් විදෙස් උසස් සිනමා කෘති නැරඹු හා ඒ විෂය පිළිබඳ කියවූ රසිකයෙක් විය. කලක් එකට සේවය කළ විජය ධර්ම ශ්‍රී හා සනත් ගුණතිලක යන ප්‍රවීණ කලාකරුවෝ ඔහුගේ මිතුරෝ වූහ. ඉසුර ලේඛකයකු වූ පසුව සිනමාවට පිවිසි ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ඒ අතර විය. ඇරැව්වල ගමට උසස් සිනමා කෘති හදුන්වා දීමට තරුණ වියේදීම නන්දිමිත්‍රයන් මැදිහත් වූයේ ඔහු තුළ පැවැති උසස් රසිකත්වය නිසාය. කවියට ඇති හැකියාව දුටු සුනිල් එදිරිසිංහයන් නන්දිමිත්‍රයන් ලවා ගීතයක් ද රචනා කර ගත් අතර, ඊට පෙරත් ඔහු ගමේ විවිධ වැඩසටහන් සඳහා ගීත රචනා කර තිබුණේය.

මහවැලි ජනපදිකයන්ගේ රසිකත්වය වර්ධනය කිරීමේ වැඩසටහනක් ”ඉසුර” මගින් ඇරඹූ සමයේ ඊට නන්දිමිත්‍රයන්ගේ ද සහය ලැබිණි. මහාචාර්ය ජේ. බී. දිසානායක, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව, මඩවල එස්. රත්නායක, සෝමවීර සේනානායක, රෝහණ බැද්දගේ, ජයතිලක කම්මැල්ලවීර, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, සුනිල් සරත් පෙරේරා ආදී ප්‍රවීණයන් සමඟ එක් වූ ඔහු නවක හැකියා දුටු තැන ඇගයුවේය.

ඔහුගේ ප්‍රථම මුද්‍රිත ග්‍රන්ථය ‘කය මිස සිත නැති දන’ (1965) මුද්‍රණයෙන් නිකුත් වී මේ වන විට අවුරුදු 53ක් සපිරෙයි. ඔහු තම ජීවිත කාලය තුළ කෙටිකතා නිර්මාණ සඳහා හත් වරක් ද, නවකතා නිර්මාණ සඳහා සිව් වරක් ද, යොවුන් සාහිත්‍යය නිර්මාණ සඳහා එක් වරක් ද සම්මාන ලැබීය. 1983 ‘සුදු කොඩි’ කෙටි කතා සංග්‍රහය සඳහා රාජ්‍ය සම්මාන ලැබීමෙන් ඇරඹී සම්මාන ගලා ඒම 2006 වර්ෂය දක්වා දිගටම සිදු විය. සෞඛ්‍ය හේතු නිසා ලිවීමේ දුෂ්කරතා මතු වුවත් ඔහු සාහිත්‍ය ප්‍රමුඛ කලා ක්ෂේත්‍ර කෙරෙහි නිරතුරුව උනන්දු වූණේය. මහලු වියේ දී පවා ඒ උනන්දුව අඩු නොවීය.

ඔහු මහලු වියට පත් වූයේ අපට මහා සාහිත්‍ය අස්වැන්නක් දායාද කරමින් බව ඔහුගේ නිර්මාණවලියෙන් මොනවට ප්‍රකට වෙයි. අවුරුදු 52ක් තුළ කෙටිකතා සංග්‍රහ දොළසක්, නවකතා දාහතක්, (විශ්මය ප්‍රබන්ධ දෙකක් ඇතුළු) යොවුන් සාහිත්‍ය කෘති තුනක්, ළමා සාහිත්‍ය කෘති දෙකක් හා තම සාහිත්‍ය ලෝකයේ අත්දැකීම් ප්‍රකාශිත කෘතියක් ද ඊට අයත් වේ. ගුවන් විදුලිය සඳහා ඔහු නාට්‍ය හා කෙටිකතා රචනා කළේ සුගතපාල ද සිල්වා, පී. වැලිකළ ආදීන්ගේ මඟ පෙන්වීම්ද ලබමිනි. රූපවාහිනිය, සිනමාව ආදී විවිධ ක්ෂේත්‍රවලට ඔහුගෙන් වූ දායකත්වය ඒ ලෙසම වැදගත් ය. පස්සේ ගෙනා මනමාලී ඔහුගේ ප්‍රථම ප්‍රාසංගික රූපවාහිනී තිර රචනාය. අනතුරුව ඔහු ප්‍රාසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයක්ම රචනා කළේය. ඔහු තිරනාටක කලාව උගත්තේ තිස්ස අබේසේකරයන්ගෙනි. ඔහු බොහෝ සාහිත්‍ය උත්සවවල දී ද, ගමේ සමිති සමාගම්වල දී ද, සම්පත් දායකයෙක් විය. සෞඛ්‍යමය හේතු මත ජීවිතයේ අවසන් වසරේ දී ඔහු බොහෝ සාහිත්‍ය, කලා ඇතුළු සමාජීය කටයුතුවලින් විරාමයක් ලබා සිටියේය. ඒ කාලය තුළ ඔහුට ලීවීමට තරම් ශක්තියක් නොවීම ගැන ඔහු තුළ කම්පාවක් විය. එහෙයින් ඔහුගේ දැනට අප්‍රකට ලේඛන යළි මුද්‍රණයෙන් පළ කිරීම ජාතික අවශ්‍යතාවකි. ඒ සියලූ ලේඛනවලින් අපට සාහිත්‍යය හා කලාව පිළිබඳව ඔහුගේ ආකල්ප උකහා ගැනීමට උපකාරයක් ලැබේ.

සමකාලීන අන්‍ය සාහිත්‍යකරුවන් හා කලාකරුවන් පිළිබඳ ඔහු දැරූවේ මිත්‍රශීලී එහෙත් ගෞරව සම්ප්‍රයුක්ත ආකල්පයකි. ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයන්ගේ නිර්මාණ පොතක අලවා තබා ගැනීමට තරම් උනන්දුවක් ඔහුට ළමා වියේ දී පවා විය. ඔහු මේ සාහිත්‍ය හා කලා ප්‍රවීණයන් සහභාගී වූ රැස්වීම්වලට පවා එකළ ඔහු ගියේ ඔවුන්ගේ ඇසුර ලබන්නට ය. ඔවුන් දැක ගැනීමට ලැබීම පවා භාග්‍යයක් වූ බව පසු කලෙක (2007) ප්‍රකාශ කර ඇත. මෙයින් ඇතැම් උගතුන් තම ගමේ රැස්වීම් සඳහා කැඳවා ගැනීමට නන්දිමිත්‍ර යෞවනයාට හැකි විය. 1957 බණ්ඩාරනායක රජය මගින් ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වූයේ කෝට්ටේ සිරිපැරකුම්බා පිරිවෙනේ දී හා පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනේ දී ය. ඒ උත්සවවලට යන්නට තරම් බස් ගාස්තු සොයා ගැනීමට බැරි වූ බැවින් මේ තරුණයා ඒවාට සහභාගී වන්නේ බයිසිකලයක නැ‍ඟී ගෙන ය. ශාලාවෙන් පිටත සිට උත්සව නැරඹු ඔහුට වැලිවිටියේ සෝරත, කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර, හේන්පිටගෙදර ඤානසීහ ආදී උගත් නාහිමිවරුනට සවන් දීමට තරම් වාසනාව හිමි වේ. මේ අවස්ථාව ගැන ඔහු කර ඇති සඳහන ඔහු අන්‍ය සාහිත්‍යකරුවන්, කලාකරුවන් ගැන දැක්වූ ගෞරවනීය ආකල්පය ප්‍රකට කරයි.

”මේ උත්සවයේ දී ප්‍රථම වරට මාර්ටින් වික්‍රමසිංහ මහතා දිටිමි. ඒ කීර්තිමත් ලේඛකයා දැක ගැනීමට ලැබීම පවා මට සතුටක් විය. එතුමා සමඟ කතා කිරීමට ද මා තුළ වූයේ ආසාවකි...... ඔහුගේ කතාවේ දී පැවසූ වචන කිහිපයක් සවන් අසල නතර නොවී හද පත්ලටම කිඳා බසින බව මට දැනිණ (නන්දිමිත්‍ර 2007- 50).

වික්‍රමසිංහයන් එදා කී වදන් නන්දිමිත්‍ර චරිතය කෙරෙහිත් සාහිත්‍ය හා කලාව කෙරෙහිත් තදින්ම බලපා ඇති බැවින් එය යළි උපුටා දැක්වීම අසාධාරණ නැත.

”කවි බව උපතින්ම ලබතියි කියති. එහෙත් ලේඛකයකු වන්නේ උපතින් නොව වැර වෑයෙමෙනි. පුවත්පතක හෝ සඟරාවක ලිපියක් පළ වූ පමණින් තමා ලේඛකයකු යැයි සිතතොත් මුළාවකි. පොතපත කියවා දැනුම ලියලවා ගන්නට තැත් නොකරන්නා කිසි කලෙක ලේඛකයෙන් නොවන්නේ ය”. (එම)

මේ උපදෙස් නන්දිමිත්‍රයන් කෙරෙහි තදින්ම බලපෑ බව ඔහු පොතපතට දැක් වූ ඇල්මෙන් ම පැහැදිලි වේ. නිර්මාණාත්මත සාහිත්‍ය පමණක් නොව වෙනත් විවිධ විෂයන් ද ඔහු නොනිත් ආශාවෙන් කියවා ධාරණය කර ගත්තේ ය. අදත් ඔහුගේ නිදන කාමරය වටා ද, තවත් කාමරවල ද, පොත් පත්වලට වැදගත් ස්ථානයක් හිමි කර දී තිබේ. තම සිත් ගත් ලේඛකයකු හමුවීමෙන් ද ඔහු උගත්තේය. සතුටත් ලැබුවේ ය. මේ සියල්ල මෙන්ම තම ගමේ, කාර්යාලයේ හා වැඩ බිමේ සාමාන්‍ය ජනයා ඇසුරු කරමින් ද, ඔවුන්ගේ දුක සැප බෙදා ගනිමින් ද ඔහු අත්දැකීම් ලබා ගත්තේ ය. ඒ සියල්ල ඔහුගේ සාහිත්‍ය හා කලා ආකල්ප කෙරෙහි බලපාන්නට ඇතැයි සිතියහැකි ය.

සාහිත්‍ය හා කලාව කෙරෙහි ඔහු විශේෂ ඇල්මක් දැක්වූයේ සංසාරගත පුරුද්දට යැයි සිතෙන තරමට ඔහු ඊට නැඹුරුව සිටියේ ය. සාහිත්‍යවේදීන් හා වෙනත් කලාවේදීන් අතර සම්බන්ධතාවද එබඳු ය. එය ගෞරවනීය සම්බන්ධයකි. ඒ නිසා බොහෝ ලේඛක ලේඛිකාවෝ ඔහු හමුවන්නට පැමිණියහ. ජීවිතය අවසන් වසරවල දී පවත්නා අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහු සාහිත්‍යකරණයේ යෙදුනේ නැත. පොත පතට වඩා ඔහුට ළංව සිටියේ බේත්-හේත් ය. ඔහුගේ ආදර බිරිය හා ආදර දූ දරුවෝ මුනුබුරු මිනිපිරියෝ ඔහුට නිරතුරු උවටැන් කළහ. ඥාති මිත්‍රාදීන්ගේ ඇල්ම බැල්ම නිතර තිබුන ද, ඔහු ජීවිතයේ අනිත්‍යතාවය දැන සිටියේය.

මීට වසර 05කට පමණ පෙර ඔහු ලියා මුද්‍රා තැබූ ලිපියක් ගැන මට කියා තිබුණි. තමා මිය ගිය පසු ඒ විවෘත කර බලා ඒ අනුව කටයුතු කළ යුතු බවද, ඔහු පැවසුයේ සිනාමුසු මුහුණිනි. එවැන්නක් ගැන නොසිතා නිර්මාණකරනයේ යෙදෙන ලෙස මා ප්‍රකාශ කළ විට ඔහුගේ පිළිතුර මෙසේ විය. ”හැමදෙයක්ම දමා යන්න සිද්ධ වෙන දවසක් එනවා.” ඔහු තමා මැරෙන කෙනකු බව දැන සිටියා පමණක් නොව ඒ අනුව ජීවිතය ද හැඩගස්සවා ගෙන සිටියේය. කිසිවෙකුට හිරිහැරයක් නොවන්නට ජීවත් වූ ඔහු තම මරණයෙන් පසුද, කිසිවකුට හෝ හිරිහැරයක් නොවන ලෙස කටයුතු කරන ලෙස ලියා තිබුණි. සියලු කටයුතු චාම්විය යුතු බව කියා තිබුණේ එය ඔහුගේ ජීවන දර්ශනය නිසාය. ඔහුගේ මරණින් පසු බොහෝ ගැමියන්, සම්භාවනීය ලේඛකයන්, විවිධ මාධ්‍යවල කලාකරුවන්, ඔහු නිවසට දහස් ගණනින් රැස්වූයේ ඔහු ඒ හැමගේම මිත්‍රයකු වූ බැවිනි. සැබවින්ම ඔහු අපෙන් සමු නොගන්නා සැබෑ මිත්‍රයෙකි.

Comments