වැද­ග­ත්කම නැති­වෙන්න නැති­වෙන්න තමයි ඇමැ­ති­ක­මට වටින්නෙ | සිළුමිණ

වැද­ග­ත්කම නැති­වෙන්න නැති­වෙන්න තමයි ඇමැ­ති­ක­මට වටින්නෙ

අද සොකරි කණ්ඩායම් කිහිපයක් රට පුරා ඇත. කෝලම් නාට්‍ය කණ්ඩායම් ද කිහිපයක් ඇත. දහඅට සන්නි ශාන්ති කර්මය හා ගම්මඩු ද සාම්ප්‍රදායික නාට්‍ය ශිල්පීන් විසින් රඟ දක්වනු ලැබේ. මේ ජනනාටක සාම්ප්‍රදායට නූතනයේ දී එක්වී ඇත්තේ දෙබස් කථන මුද්‍රා නාට්‍ය ලෙස හැඳින්වෙනසාම්ප්‍රදාය බව කිව හැකිය.

‘මං අද මළත් එකයි එකයි

මං හෙට මළත් එකයි

මං මේ මලත් බුදුන්ට පූජාකරනවා’

මේ මා යූ ටියුබ් එකෙන් නැරඹූ‘ජහුටා’නාට්‍යයක ආ දෙබසකි. ‘දයාව, අනුකම්පාව, කරුණාව හන්දියේ ගුණදාස මුදලාලිගේ කඩේ විකුණන්න නෑ’මේ ගල්ගමුව ප්‍රදේශයේ ජහුටා නාට්‍යයක විකට චරිතය රඟ දක්වන්නා විසින් කියූ කතාවකි. එය මා නැරඹුවේ ද යූ ටියුබ් එකෙනි. ඔහු ම පෙනී සිටින තවත් යූ ටියුබ් ක්ලිප් එකක ඇමති කමට සුදුසු අය ගැන ප්‍රශ්නයක් මතු වන අවස්ථාවක දී ඔහු කියන්නේ මෙසේය.

‘වැදගත්කම නැතිවෙන්න නැතිවෙන්න තමයි ඇමතිකමට වටින්නේ’

මේ කියමන්වල වැදගත්කමක් පවතියි. මක් නිසාද යත් වැදගත් මිනිසුන් කියන කියමනක් බැවිනි. එනම් ගමේ ජීවත් වෙමින් කලාව සමඟජීවත් වෙමින් ගොවිතැන් බත් කරමින් ජීවත්වෙන ගමන් නාට්‍ය කරමින් ජනතාව ද සතුටු කරවන සැබවින්ම ජනතා කලා කරුවන් යැයි කිව හැකි පිරිසකගේ මුවින් කියැවෙන වදන් බැවිනි. නගරයේ නාට්‍ය වේදිකාවක නළුවෙකුගේ දෙබසකට නැති වැදගත්කමක් මටජහුටා නාට්‍ය නළුවෙකුගේ දෙබස් තුළ දැනේ. එළිමහනේ ‘ජහුටා’වේදිකාවේ නගරයේ නාට්‍ය වේදිකාවක නොපෙනෙන නොදැනෙන අව්‍යාජත්වයක් දැනේ. මේ නාට්‍ය කරන්නේ ‘මන්දාරමට උඩ ඉගිලෙන වැහිලේනී’ වැනි කවි කී ජනකවියන්ගේ පරපුරේ වර්තමාන පරපුර බව දැනේ.

සීගිරි කවි ලියූ පැල් කවි හේන් කවි කියූ සඳ කිඳුරු නැටූ ගැමි කලාකරුවා තවමත් ජීවත්වන බව ‘ජහුටා’නමින් හැඳින්වෙන නාට්‍ය නරඹද්දී මට සිතේ. දැනේ.

‘ජහුටා’ යන නම කෙසේ හැදුණේ ද පැමිණියේ ද යන්න මම නොදනිමි. මා දැනට දන්නේ වාරියපොළ කැඩපත්වෙහෙර ප්‍රදේශයේ දිගු කලක සිට පැවතෙන නාට්‍යක ණ්ඩායමක් කණ්ඩායම් විසින් රෑ එළිවෙන තුරා රඟ දක්වනු ලබන දෙබස් කථන මුද්‍රා නාට්‍ය ‘ජහුටා’ නමින් ද හැඳින්වෙන බවකි. (මා වැරදි විය හැකිය. වැරදි නම් දැනුවත් කරන්න.) මේ නාට්‍යය පිළිබඳ මගේ දැනුවත්කම විද්‍යාල හංදිය ප්‍රදේශයේ දී ආරච්චිකට්ටුව නාට්‍ය කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද දෙබස් කථන මුද්‍රානාට්‍යයත් යූ ටියුබ් එකේ දැනට ඉතා ජනප්‍රියව පවතින ගල්ගමුව ප්‍රදේශයේ නාට්‍ය කණ්ඩායමක රැඟුම් දැක්වෙන වීඩියෝ ක්ලිප්ස් මගින් ලද දැනුමටත් සීමාවේ. එයට අමතරව පොඩි කාලයේ සල්පිල් ආදියට විවිධ නාට්‍ය කණ්ඩායම් පැමිණ කරන ලද රඟ දැක්වීම් ගැන මතකයක් ද ඇත).

අද සොකරි කණ්ඩායම් කිහිපයක් රටපුරා ඇත. කෝලම් නාට්‍ය කණ්ඩායම් ද කිහිපයක් ඇත. දහඅට සන්නි ශාන්ති කර්මය හා ගම්මඩු ද සම්ප්‍රදායික නාට්‍ය ශිල්පීන් විසින් රඟ දක්වනු ලැබේ.

මේ ජනනාටක සම්ප‍්‍රදායට නූතනයේ දී එක්වී ඇත්තේ දෙබස් කථන මුද්‍රා නාට්‍ය ලෙස හැඳින්වෙන සම්ප්‍රදාය බව කිව හැකිය. මේ සම්බන්ධයෙන් තාක්ෂණයේ ද බලපෑමක් ඇත. එනම් මයික්‍ර ෆෝන හා ස්පීකරයේ ආගමනය මේ නාට්‍ය සම්ප්‍රදාය බිහි වීමට හේතු වී තිබේ. එනම් මෙහිදී දෙබස් කියන්නේ රඟපාන අය විසින් නොවේ. රඟපාන අය විසින් කට හෙලවීම හෝ හෙමින් දෙබස් කීම පමණක් සිදු කෙරේ.

සියලුම නළු නිළියන් වෙනුවෙන් ම පාහේ දෙබස් කියනු ලබන්නේ මයික් දෙකක් ඉදිරියේ සිටින කථන ශිල්පියෙකු හා ශිල්පිනියක විසිනි.

පිටපත බලාගෙන විවිධ චරිතවලට අදාළව කටහඬ මාරුකරමින් ඔවුන් දෙදෙනා විසින් දෙබස් කියනු ලැබේ. සමහරවිට ඔවුන් එම නාට්‍යයේ රචකයා/අධ්‍යක්ෂවරයා ද විය හැකිය.

ස්පීකරයේ හඬ නිසා නළුවන් දෙබස් කීව ද නොඇසෙන අතර කථන ශිල්පියා විසින් කියන දෙබස් කිසිදු වෙනසකින් තොරව නළුවා කියන දෙබස් මෙන් ම ප්‍රේක්ෂකයන්ට හැඟේ. මේ සම්ප්‍රදාය වෙනස් වන්නේ ප‍්‍රධාන විකට ශිල්පියා සම්බන්ධයෙන් පමණි. ඔහුගේ දෙබස්නම් කියනු ලබනුනේ ඔහු විසිනි. ඔහුට ක්ලිපෝන් මයික් එකක සම්බන්ධය ලබාදී ඇතැයි සිතමි.

කථන ශිල්පීන් කරන්නේ නළු නිළියන්ට හඬ දීම පමණක් නොවේ. පසුබිම් ශබ්ද ද ඔවුන් විසින් ම ඇතිකරනු ලැබේ. එනම් සිනමා පටවල අසා හුරුපුරුදු ශබ්ද ප්‍රයෝග ඔවුන් විසින් නාට්‍ය සඳහා ද උචිත පරිදි යොදාගනු ලැබේ.

මේ ක්‍රමයේ ඇති වාසියක් නම් නළු නිළියන් දෙබස් සියල්ලම කටපාඩම් කරගැනීම අවශ්‍ය නොවීමයි. කතාව හා දෙබස් නියම පිළිවෙළට ගළපා ගැනීම සඳහා වේදිකා නාට්‍යවල දී රිහසල් හෙවත් පුහුණුවීම් වෙනුවෙන් දරන්නට සිදුවන‘මාරාන්තික’ වෙහෙස මේ නිසා දරන්නට සිදු නොවේ.

එසේ ම එළිවෙනතුරා රඟදැක්වෙන නාට්‍යයක් එසේ පුහුණුවීම ද කළ නොහැක. කෙසේ වුවත් මේ නිසා ලැබෙන අමතර නිර්මාණාත්මක වාසියක් ද ඇත. සියලු නාට්‍ය එකම ක්‍රමයේ වියයුතු නැත. එනම් මෙහිදී දෙබස් කියන්නාට අභිනය ගැන මහන්සි නොවේ. ස්වකීය සම්පූර්ණ ජවය හඬට නොඑසේනම් දෙබසට ලබාදිය හැකිය. එසේම රඟපාන්නාට දෙබස් හා කතාව මතක තබා ගැනීම හිතට බරක් කර නොගෙන එම මොහොතට අවශ්‍ය රඟපෑම ‘රිලැක්ස්ව’ නිදහසේ ලබා දිය හැකිය. වේදිකා නාට්‍යයක දී මේ ක‍්‍රමය වැරදි විය හැකි වුවත්බොහෝ විට පාන්දර වන තුරු රඟ දැක්වෙන ගැමි නාට්‍යවල දී මේ ක්‍රමයේ වරදක් නැත.

අනෙක් අතට සොකරි ආදී ජන නාට්‍යවලද ඇත්තේ කතාවකට වඩා අවස්ථාවන්ය. කතාවට වඩා විවිධ ආකර්ෂණීය ජවනිකා ඉදිරිපත් කිරීම මෙහිදී වැදගත් වේ. ‘මධුර ජවනිකා’යන්න ද මේ නාට්‍යවලට උචිත නමකි. කෙසේ හෝ මෙය තවමත් ගම තුළ ඉතිරිව ඇති නිදහසට ස්වාධීනත්වයට උචිත ඕනෑ විදිහට ඕනෑ තැනට වෙනස් කරගත හැකි නාට්‍ය කලාවක් යැයි කියමි. මේ නාට්‍යය සාගරයේ රළ සේ ද අහසේ සුළං සේ ද නිදහස් යැයි කියන්නට කැමැත්තෙමි. ඒ නිසා ම සයුර ඉදිරිපිට සිටින්නා සේ ම සිටිමින් මේ නාට්‍යය නැරඹිය හැකිය.

අහස පොළොව සිඳලමින් අරුත් විවර කරගන්නට මහන්සි විය යුතු නැත. එහෙත් අර්ථවත්ය. අපේ ජීවිතයේ අපට අමතක වන දේ මතක් කරමින් මේ නාට්‍යය ගලා යන ආකාරය යූ ටියුබ් එකේ මේ නාට්‍යවල ක්ලිප් නැරඹීමෙන් පමණක් වුව ද වටහා ගත හැකිය.

එසේ වුවත් මේ නාට්‍ය නිර්මාණය කිරීම සඳහා එක් අනිවාර්ය සුදුසුකමක් ඇත. එනම් ගැමියන් විය යුතු වීමයි. එහෙත් එවැන්නන් අද දවසේ මේ රටෙන් අතුරුදහන් වෙමින් යන බවක් මට හැඟේ. ඒ නිසා ම මේ නාට්‍ය කලාවේ අනාගතය ගැන මට ඇත්තේ බයකි. ගැමි රහ ඇඟේ නැති අයට මේ නාට්‍ය නිර්මාණය කිරීමට නොහැක. ගැමි රහ යන්තමින් ඇත්නම් රසවිඳීමට හැකි වුවත් මෙවන් නාට්‍ය නිර්මාණය කිරීමට නම් ගැමි රහ හොඳටම ඇඟේ තිබිය යුතුය.

එය අදට අහිමි වෙමින් පවතින උරුමයකි. නටබුන් වෙමින් පවතින දෙයකි. ඒ උරුමය නටබුන්වීම වැළැක්වීමට මේ නාට්‍යවලට කළ හැකි කාර්යයනම් ඉමහත් බව මට සිතේ. ඒ නිසා ම මේ ජන නාට්‍ය රඟ දක්වන අය එසේ මෙසේ කලා කරුවන් නොවේ යැයි කියන්නට මම කැමැත්තෙමි. අහිමිවෙමින් යන හදවතට දැනෙන කලා රිද්මයක් අනන්‍යතාවක් අදට ද පවත්වා ගෙන යන අය අතරට අයත් වන ඔවුන් උදාර කලා කරුවන් යැයි හැඳින්වීමට හැකිය. ඒ උදාරත්වය හෙටත් අපේ සංස්කෘතිය තුළ පැවතිය යුතුය.

 

Comments