මතක සුවඳ ගව් ගණ­නක් දැනේයා | සිළුමිණ

මතක සුවඳ ගව් ගණ­නක් දැනේයා

විභාගය යෙදී තිබුණේ උදාවන ආසන්න අඟහරුවාදාටය. අප දෙදෙනා ඉරිදා උදේ මුලතිව් බලා පිටත්ව ගියෙමු. පළමුව ඔහු මා කැටුව ගියේ සිය නිවෙසටය. එය තවත් අමුත්තෙකුට දින දෙකක් නවාතැන් ගත නොහැකි තරම් කුඩා නිවෙසකි. එහෙත් ඒ පුංචි නිවාස අත්දැකීම මට බෙහෙවින් සමීප එකක් විය. අපේ ගම්වල හුරුව, කලඑළිය සීදේවි පෙනුම ඒ ගමේද එසේම නොමඳව තිබිණි. කුකුළන්, ගවයන්, කුරුල්ලන් අපේ ගම්වල භාෂාවෙන්ම කතා කරනු මම අසා සිටියෙමි. එහෙත් ඒ ගමේ ජීව භාෂාව සිංහල නොව දෙමළ විය. ඔවුන් මා හා කතා කළේ සිනාසීමෙන් පමණකි. පසුව, රාමා මා මුලතිව් රජයේ තානායමට හැරලා සිය සුතනඹුවන් සොයා යන්ට ගියේය.

මුලතිව් වෙරළේ දී ආරක්‍ෂක හමුදා මානුෂීය මෙහෙයුම අවසන් කළේ සක්‍රිය බර යුද අවියක වියරු දැක්ම ප්‍රදර්ශනය කිරීමෙනි. මුළු මහත් රටම ඒ දර්ශනය ඒකාත්මිකව බලා සිටියාට සැක නැත. ඔවුන් එය නැරඹුවේ භීතියෙන් නම් නොවේ; සතුටු සිතිනි. හේතුව නැඟුණු පණිවිඩය ‘යුද්ධය අවසන්ය’ යන්න නිසාමය. එකෙණෙහි තිස් වසරක කුරිරු අමිහිරි අතීතය මැවී පෙනෙන්නට විය. එයින් කෙනකුගේ සිත්සතන්හි ඇති වන හැඟීම් වචනවලට ගැළපීම බෙහෙවින් දුෂ්කරය. හේතුව: හැඟීම් අකුරු වන්නට පෙර ඒ හැඟීම් මකා, නව කල්පනාවලින් සිත පිරීඉතිරී යන බැවිනි. ඒ කෝටි-ප්‍රකෝටි හැඟීම් සමඟ සිතට නැ‍ඟෙන මතක බොහෝ වෙති. මට පෞද්ගලිකව වන්නිය ගැන ඇත්තේ සදාදරණීය මතකයකි. ඒ රාජ්‍ය නිලධාරියකු ලෙස ලබන ලද අත්දැකීම් නිසාම නොවේ.

මට රාමචන්ද්‍රන් වහා සිහිපත් විය. ඔහු මගේ යාළුවෙකි. රාමා යාපනේ උපන්නෙකි. ඔහු විවාහ වී සිටියේ මුලතිව් ප්‍රදේශයේ තරුණියක සමඟය. උල්පත් වතුර හෝ උල්පත් ගම යන තේරුමක් සහිත ‘තන්නිවුක්කු’ හෝ ඊට සමගාමි උච්ඡාරණයකින් රාමාගේ බිරියගේ උපන්ගම හැඳින්විණි. මෑතක යුද ගැටුම් ගැන ලියවුණ වාර්තාවක රාමා බින්න බැස්ස ඒ ගමේ නමත් කිහිප විටෙක ලියැවිණ. ඒ සිද්ධිමය කාරණා නිසාය. එකී ගම්මානය හමු වන්නේ මුලතිව් නගරයට පිවිසීමට පෙරය.

රාමා, ඔහු වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. ඔහු මට හමු වුණේ මහවැලි සංවර්ධන මණ්ඩලයේ එප්පාවල මැඩියාවේ සේවය කරන අතරවාරයේය. එකම නිල නිවාසයක පදිංචි වීම නිසා රාමාගේත් මගේත් පයිරුපාසනය ආරම්භ විය. දවසේ වැඩ නිමා කළ අප සවස් කාලය ගෙවාදැමුවේ මැඩියාවේ හෝ වෙනත් අහලක පිහිටි වැවක ගිලී දිය නෑමෙනි. රාමා වතුරට තරමක් බියය. ඔහු තන මත්තක් දියෙහි ලැග මා වැව්දියෙහි කිමිදෙමින් දියබුං ගසනු සතුටින් බලා සිටියේය.

මේ කාලයේ මම දෙසතිය සඟරාවට මහවැලි ලිපිය ලියමින් සිටියෙමි. කවදත් මගේ අත්අකුරු නොපිළිවෙළය. අපැහැදිලිය. මම කන්තෝරුවෙන් යතුරුලියනයක් ගෙනැවිත් රාත්‍රියේ මහවැලි ලිපිය ලියා ටයිප් කරන්නෙමි. එවන් මොහොතක රාමචන්ද්‍රන් මගේ කාමරයට ඇතුළු වූයේය.

‘‘Office work?’’

‘‘No it’s an Article for a Sinhalese Magazine...’’ රාමා තම සුවිශාල දුඹුරු දෑස මා වෙත එල්ල කර මොහොතක් බලා සිටියේය. ඔහු මගේ යතුරු ලියන වේගය නිරීක්‍ෂණය කරමින් සිටියායයි මම කල්පනා කළෙමි.

‘‘මචං...’’ ඔහු කැඩුණු සිංහලෙන් මා ඇමතීය.

‘‘මගේ ඉන්ක්‍රිමන්ට් නවත්තලා...’’ ඔහු හේතුව ලෙස කීවේ කඩයිම් පරීක්‍ෂණයෙන් සිංහල භාෂාව අසමත් වීමය.

‘‘මම උඹට සිංහල උගන්වන්නම්. දවසට පැයයි. මාසයක් කළාම ඇති!’’ මම සිනා සෙමින් කීවෙමි. ඉන් පසු, කිහිප දිනක් මා වරින් වර සිංහල පාඩම ගැන මතක් කළද, කිසි දවසක ඒ සිංහල පාඩම පටන් ගැනුණේ නැත. එහෙත් හැමදාම හවසට කෑමට පෙර ප්‍රතිවාප ගැනීම නම් මටත් පළමුව ඔහුට සිහිපත් විය!

කාලයකට පසු ඔහු හවසක මගේ කාමරයට එබී බලා සිටියේය. එදින ඔහු හිටියේ තරමක නොයිවසිල්ලෙනි.

‘‘මොකද?’’

‘‘මචං සිංහල...’’

‘‘හෙට පටන් ගනිමු.’’ මම වහා පිළිතුරු දුනිමි. සත්තකින්ම ඒ වන විට මම ඔහු සඳහා අවශ්‍ය උපකාරක පොතපත පවා සූදානම් කරගෙන සිටියෙමි.

‘‘විභාගෙ ලබන සඳුදා...’’ එසේ කී ඔහු පැමිණ මගේ ඇඳ කෙළවරෙහි වාඩි විය.

‘‘තව දවස් පහයි...’’ එසේ කී මම ඔහුට ‘සොරි’ නොකියා, බැරෑරුම් මුහුණක් ආරෝපණය කරගතිමි.

‘‘Help me...’’

‘‘ෂුවර්...’’ මම ශපථ කළෙමි. රාමා අනම්මනම් කතා කරමින් සිට යන්ට ගියේය. පසුදින සිංහල පාඩම ගැන ඔහුට මතක් කළෙමි. එදින ඔහු

මා වෙත පැමිණ කීවේ වෙනත් කතාවකි. ඔහු වෙනුවන් ගමේ ගොස් විභාගයට පිළිතුරු ලියා දෙන ලෙසය. නිවාඩු ගෙන සිටි යකා පැමිණ වැඩ භාර ගත්තා සේ මගේ කෝපය ඉහවහා ගියේය. එහෙත් රාමා කෙරෙහි පැවැති ළෙන්ගතුකම නිසා එය පිටතට පැන්නේ නැත. මම එහි නීතිවිරෝධිභාවය සහ විපාක විස්තර කළෙමි.

‘‘අපේ පැත්තේ එහෙම වෙන්නේ නෑ. අමතක වෙන්නෙ නැති උදවුවක්...’’ අමු තිත්ත සිංහල වචනයක් කියා මම ඔහුව එළවාගතිමි.

‘‘Not only the Increment, Promotion too... මචං, ’’ (වැටුප්වර්ධක විතරක් නොවෙයි, උසස් වීමත් නතර වෙලා) ඔහු ඒ ටික මට කීවේ බෙහෙවින් කඩාවැටුණ ස්වරයකිනි. ඉන් පසුව අපි සිංහල ප්‍රශ්නය හැර වෙනත් බොහෝ දේ ගැන කතා කළෙමු. ඒ විරාමයෙහි ඔහු නැවත අර ඉල්ලීම කළේම නැත.

රාත්‍රියෙහි නින්දට ගිය මට රාමාගේ මුහුණ තුළින් කිසි දිනෙක දැක නැති කෝඬේස්වරන්ගේ යයි සිතිය හැකි මුහුණක් පෙනෙන්නට විය. කෝඬේස්වරන් යනු අධිකරණ තීන්දුවක් නිසා ඉතිහාසගත වූ පැරණි රාජ්‍ය සේවකයෙකි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හේතුවෙන් රැකියාව අහිමි වූ හෙතෙම රජයට එරෙහිව උසාවි යෑමෙන් කෝඬේස්වරන් නඩු තීන්දුව බිහි විය. උදේ නින්දෙන් පිබිදුණු මට රාමාව දැනුණේ රට දෙකඩ කළ භාෂා ප්‍රශ්නයේ කොටසක් හැටියටය.

ඒ වන විටත් සිරිත් පරිදි රාමාගේ කාමරයේ දොර විවෘතව තිබිණි. අපේ තනිකඩ නිවහනේ රාමා නිදහස් ඉරියවුවකින් නිඳා සිටියේය. ‘Companion sleep’ නම් මතකයේ රැඳුණු ළමා පද්‍ය ඛණ්ඩය මහ හඩින් කියා මම ඔහුව අවදි කළෙමි.

‘‘රාමා, මම එනවා උඹත් එක්ක ගමේ යන්න.’’ ඔහු මා දෙස බලා සිටියේ පුදුමයෙනි. ඔහුගේ නෙත් තුළ පැවතියේ කියවිය නොහැකි කවියකි. ‘මේ උඹලා අපද’ එහි අර්ථය වුණාට සැක ඇත.

විභාගය යෙදී තිබුණේ උදා වන ආසන්න අඟහරුවාදාටය. අපි දෙදෙනා ඉරිදා උදේ මුලතිව් බලා පිටත්ව ගියෙමු. පළමුව ඔහු මා කැටුව ගියේ සිය නිවෙසටය. එය තවත් අමුත්තකුට දින දෙකක් නවාතැන්

ගත නොහැකි තරම් කුඩා නිවෙසකි. එහෙත් ඒ පුංචි නිවාස අත්දැකීම මට බෙහෙවින් සමීප එකක් විය. අපේ ගම්වල හුරුව, කලඑළිය සීදේවි පෙනුම ඒ ගමේද එසේම නොමඳව තිබිණි. කුකුළන්, ගවයන්, කුරුල්ලන් අපේ ගම්වල භාෂාවෙන්ම කතා කරනු මම අසා සිටියෙමි. එහෙත් ඒ ගමේ ජීව භාෂාව සිංහල නොව, දෙමළ විය. ඔවුන් මා හා කතා කළේ සිනා සීමෙන් පමණකි. පසුව, රාමා මා මුලතිව් රජයේ තානායමට හැර ලා සිය සුතනඹුවන් සොයා යන්ට ගියේය.

තනි වුණු මම හවස්කරයේ මිදුලට බැස, එහෙ-මෙහෙ ඇවිද ගියෙමි. එය මනරම් සන්සුන් හවසක් විය. මේ ගත වෙමින් තිබුණේ 1978 වසරෙහි දිනයකි. සුවිසල් සාගරය සුදු පෙණ නඟමින් මා සමඟ සිනා සුණාය. එක් පසකින් මුලතිව් කච්චේරි ගොඩනැඟිල්ල විය. පටු වීදියක් දිග මුහුද දෙසට ඇවිද යමින් සිටි මට, ‘වැලිගම බේකරිය’ දිස් විය. කුඩා තේවතුර කඩයක් වූ වැලිගම හෝටලය විශේෂයෙන් මතක හිටියේ එහි ‘දිනමිණ’ පත්‍රයක් විකිණීම පිණිස එල්ලා තිබුණු නිසාය.

විභාගයට පෙර දින සවස රාමා විභාග ශාලාධිපතිවරයා සමඟ මා නතරව සිටි තානායමට පැමිණියේය. නොබියව ශාලාවට පැමිණ උත්තර ලියන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

විභාග දෙපාර්තමේන්තුවේ කඩාපනින කණ්ඩායම ගැන සිහිපත් කළ පසු ඔහු හීලෑ වී ගියේය. පසුදින විභාග ශාලාව අසල නිවෙසක සිටි මට සිංහල ප්‍රශ්න පත්‍රය ලැබිණි. මා වමතින් ලියූ පිළිතුරු කරදාසි විභාග ශාලාවට ආපසු ගෙන ගියේද, රාමචන්ද්‍රන්ය. තමාට සම්මාන සාමර්ථ්‍යයක් ලැබුණු බව පසුකලෙක රාමා මට කීය. මෙය තක්කඩි වැඩකි. මා වැන්නකු විසින් නොකළ යුත්තකි. මෑතක කිසියම් පුත්‍රයකු තම පියාගේ අනියම් බිරියට වෙඩි තබා ඇය මරාදැමීය. ඒ මොහොතෙහි අනියම් බිරිය සමඟ සිටි නියම ඝාතකයාගේ පියා එකී ඝාතනයේ වගකීම භාරගෙන එල්ලුම් ගහට නියම විය. ඒ මිනිසා එසේ කළේ දරු සෙනෙහස සලකාය. මම මුල්ලතිව් ගියේ කිසිදු ආමිස ලාභයක් තකා නොවේ. හුදු මනුස්සකම ඉහවහා ගිය මනසකිනි. මගේ මනුස්සකමට විවිධ අර්ථ සැපයිය හැකි ලෙස එය විවෘතව තැබීමට මම කැමැත්තෙමි.

 

Comments