සුනිල් සරත් පෙරේරා නම් මහා ගීත රච­කයා | සිළුමිණ

සුනිල් සරත් පෙරේරා නම් මහා ගීත රච­කයා

සුනිල් සරත් පෙරේරා වඩාත් නැඹුරු වන්නේත් ඔහුගේ විශිෂ්ටත්වය ප්‍රදීප්ත ව දක්වන්නේත් දර්ශනාත්මක ගීත රචනා බව සුවිශද ව පෙනේ. එය කාලය, අනිත්‍යතාව හා සුන්දරත්වය යන කරුණු පදනම් කොට ගත් දාර්ශනික භාවයන් සේ හඳුනාගත හැකි ය. මෙහි ලා ඔහුට බෞද්ධ දර්ශනය මෙන් ම, ඕමාර් ඛයියාම් වැනි කවීන් ගේ දර්ශනය ද ඉරාන කවීන් ගේ අදහස් ද බලපා ඇති බව ඔහු විසින් රචිත ‘ගීත පද රචනා විමර්ශන’ නම් ග්‍රන්ථයෙන් පෙනේ.

 

සුනිල් සරත් පෙරේරා අනෙක් මහා ගීත රචනයන් ඉක්මවාලන කරුණෙකුදු වෙයි. එ නම් ඔහු ගීත රචනා ක්ෂේත්‍රයට නව අලංකාරයක් හඳුන්වා දීමෙන් කරන ලද උත්කෘෂ්ට සම්ප්‍රදානය යි. රූපකය පෙරදිගු කවියන් විසින් බොහෝ සේ යොදන ලද අලංකරයක් වුව ද එය සිංහල ගීත ක්ෂේත්‍රයෙහි ලා අතිභාවිතයට පත් කරන ලද්දේ ඔහු විසිනැ යි යනු විචාරකයන් එක හෙළා දක්වන කරුණෙකි. නිදසුන් නො දැක්විය යුතු තරමට එය ඔහු ගේ ගීත රචනා මුළුල්ලෙහි සුවිශද වැ පෙනේ.

ගීතය කාව්‍යයේ ප්‍රභේදයෙකැයි කියැවේ. ඒ වුව මේ කල්හි නම් වඩාත් ජනප්‍රිය වනුයේ ගීතය යි එය රසඥතා පරිහානියේ ලකුණෙකැ යි ද ඇතැම්හු පවසත් ඒ කෙසේ වතුදු ගීත‍යත් කාව්‍යයත් දෙකම රසෝත්පාදනය මුඛ්‍ය පරමාර්ථ කැරගත් මාධ්‍යය යි කාව්‍යයෙහි විශේෂයෙන් පද්‍ය කාව්‍යයේ අර්ථ - ශබ්ද රස දෙකම යෙදෙතුදු එහිලා අර්ථය ම ප්‍රධාන සේ ගැනේ. සංගීතය ශබ්ද රසය මුඛ්‍ය කැරගත් මාධ්‍යයක් වන නමුදු ගීතය - මනා ගීතය - අර්ථ ශබ්ද දෙකෙහි ම අවියෝජනීය සංකලනයක් වේ. ගීත රචනය අර්ථ රස උත්පාදනය ද තාලය ( තනුව) හා සංගීතය හා ශබ්ද රස උත්පාදනය ද සිදු කරයි. මේ නයින් බලන කල්හි ගීත රචනය කාව්‍යයකුත් ගීත රචකයා කවියකුත් වන බව පැහැදිලි වැ පෙනේ.

වර්තමාන ස්වරූපයෙන් පවත්නා සිංහල ගීතයට උඩත් පිරිසෙයින් ඇත්තේ සියවසකට නොවැඩි අතීතයෙකි. මේ කාලාවධියේ දී දැකිය හැක්කේ විශිෂ්ට ගීත රචක කවීන් ඉතා ටික දෙනකු පමණෙකි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝත් මහගම සේකරයෝත් එහි ලා මනා නිදසුන් වෙති. අද්‍යතනයේ ජීවමාන වැ සිටින එ බඳු විශිෂ්ටයෝත් ඉතා ටික දෙනෙකි සුනිල් සරත් පෙරේරා ඒ අතර අති ප්‍රමුඛයකු කොට බොහෝ විචාරකයෝ සලකති.

සුනිල් සරත් පෙරේරා තවත් අතෙකින් හැඳින්විය හැක්කේ මහා ගීත රචකයකු වශයෙනි. මහා කවීන් මෙන්ම මහා ගීත රචකයෝද සිටිති. මෙහි ‘මහා’ යන විශේෂණයෙන් හඳුන්වන්නේ විශිෂ්ටත්වය මත ම නොවේ. විශිෂ්ටයන් සුලභ නොවන බව සැබැවෙකි.

මහා ගීත රචකයෝ එයටත් වඩා ඉතා දුර්ලභ වෙති. විශිෂ්ටත්වය ද මහාත්වයෙහි එක් සාධකයෙකි ඒ වුවද එකම සාධකය නොවේ. (අමරදේවයන් ගයන) ‘ඔබ සුමුදු නෙත්’ ගීතය විශිෂ්ට රචනයෙකි. ඒ හෙයින් එය ලියු කේ. එන්. ඕ. ධර්මදාස විශිෂ්ට ගීත රචකයෙක් වෙයි. ඒ නමුදු හෙතෙමේ මහා ගීත රචකයෙක් නොවේ.

මහා ගීත රචකයකු ගේ එක් ලක්ෂණයක් නම් ප්‍රමාණයෙනුදු විශාල සංඛ්‍යාවක් රචනා කිරීමයි තවත් ලක්ෂණයක් නම් විවිධ අනුභූති පදනම් කැරගෙන විවිධ ආකාරයේ ගීත ලිවීමයි පැහැදිලි වැ කිවහොත් ඒකාකාර නොවීම යි.

අනුභූතිය අතින් වෙන්ම ආකෘතිය අතිනුදු විවිධ තාවත් ඒ බන්දකු ගේ රචනාවල දැක්ක හැකි වෙයි. නොඑක් තලයේ රසඥනා ඇත්තවුනට ඒ බන්දකුගේ ගීත රස විඳිය හැකි වෙයි. මේ කල්හි ගීතය පිළිබඳ වැ ඇති එක් ප්‍රභේද කාරණයක් නම් ජන, ජනප්‍රිය, සුභාවිත යනු යි (මෙය අමරදේවයන් විසින් බහු ප්‍රචාරයට පත් කරන ලද්දෙකි) ඒ තරම් සියුම්, නිවැරැදි බෙදුමක් නුවුව ද ගීත විචාරණයෙහි ලා ප්‍ර‍යෝජනවත් වන්නකි. (මෙහි සුභාවික ගීත යනු art song යන්න උදෙසා යෙදේ. කලාත්මක ගීත වැන්නත් වඩා මැනැවැයි හැගේ.) මහා ගීත රචකයකු අතින් මෙ බඳු හැම වගෙකම ගී ලියැවේ. එයින් කිහිපයක් හෝ ජන හදවත්හි කා වැදී පවතිනු ඇති.

මහා ගීත රචකයකු ගේ තවත් ලකුණක් නම් ස්වායත්ත භාවය හෙවත් ස්වකීය අනන්‍යතාව යි එය රීතිය, ශෛලිය ආදි වශයෙන් හඳුන්වන සාධකය නිසා ඇති වන්නෙකි. ගීතයට සුදුසු වදන් තෝරාගැනීම, ඒ වදන් එක් කොට යොදන පිළිවෙළ එයට තුඩු දෙයි එමඟින්, මේ කා ගේ රචනයක් දැයි ගීත ශ්‍රවණයෙහි හසළ ශ්‍රාවකයාට මනා වැ දැනගත හැකි වේ.

ඒ බඳු අනන්‍යතාවක් සමඟ ම, යම් කිසි රසයන්ගේ සංකල්පයක් හෝ ධර්මතාවක් හෝ කෙරෙහි නැඹුරුවක් ද මහා ගීත රචකයන් කෙරෙන් දැකිය හැකි යි නිදසුනක් ලෙසින් ඇතැමකු ප්‍රේම ගීත කෙරෙහි නැඹුරවක් දක්වන අතරෙහි අනෙකකු දර්ශානාත්මක ගීත රචනයෙහි නැඹුරුවක් දැක්විය හැකියි.

යට කියු ලකුණු මෙන් ම තවත් ලකුණු ද මහා ගීත රචකයන් කෙරෙන් විද්‍යමාන විය හැකි යි ඒ සියල්ලට ද වඩා මුඛ්‍ය ලක්ෂණයක් නම් මහා ගීත රචකයකු එක්තරා අවධියක් - කාලච්ඡේදයක් - හොබවාලන්නකු වීම යි ඒ කල දී ගීත රචනා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා හෙතෙමේ යි මෙසේ බලන කල මහා ගීත රචකයකු ගේ පහළ වීම ද ඉතා දුර්ලභ කාරණයෙකි.

මේ පසුබිමෙහි ලා සුනිල් සරත් පෙරේරා ගීත රචකයකු වශයෙන් අගය කිරීම මෙහි අරමුණ යි.

ප්‍රමාණාත්මක වශයෙන් ගත් කල්හි ඔහු විසින් ලියනු ලැබ ගායනා කොට ඇති ගීත ගණන පන්සියයකට ආසන්න වෙයි. නොගැයුණු ගීත ද බොහෝ ගණනක් වෙයි. මේ සියල්ල විවිධ අනුභූති පාදක කොට ලියනු ලැබ ඇත. විවිධත්වය ඔහු ගේ ගීතයේ මුඛ්‍ය ලක්ෂණයකි.

‘මගේ රටට දළදා හිමි සෙවණයි’වැනි අතිශය ජනප්‍රිය ජාතික ගීත, ‘පෙරදිනයෙක මා’, ‘ඔබ මා සමඟ’වැනි දර්ශානාත්මක ගීත, ‘උඩහ ගෙදර රන් එතනා’, නැළැවිලි ගී ගයන්නියා’ වැනි ජන වහර පදනම් කැර ගත් ගීත ද ‘මනකල් හද විල් තලයෙහි’ වැනි ළමා ගීත ද ඔහු ලියු ගී අතර දැකිය හැකි ය.

මෙහි ලා දැක්විය යුතු විශේෂ කාරණය නම් මේ කවර ගණයේ ගීතයක් වුවද රචනයේ දී ඔහු දක්වන සුවි‍ශිෂ්ට නෛපුණ්‍යය යි. එමෙන් ම, මේ කවර ගණයකට වත් ඔහු සීමා කළ නොහැකි වීම යි. අෂ්ට වෘත මාණික්‍යයක් මෙන් ඔහු ද කවර අංශයෙන් වුව ද ඉහළ ම ගණයේ ගීත ලියා ඇත. මේ වනාහි මානවසිංහ වැනි මහා ගීත රචකයකු කෙරේ විනා දක්නා නොලැබෙන කෞශල්‍යයෙකි.

ඒ හා ම සබැඳි තවත් කරුණක් නම් ස්වකීය රචනාවල අන්තර්ගතයට උචිත පරිද්දෙන් විවිධ ආකෘති, නොයෙක් විරිත් යෙදුම පිණිස සුනිල් සරත් පෙරේරා දක්නා සාමර්ථ්‍යය යි. මෙය අරිසෙන් අහුබුදු වැනි රචකයන් කෙරෙහි වෙසෙසින් දක්නා ලද්දෙකි. සාමාන්‍යයෙන්, සොළොස් මතින් යුතු විරිත කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන සුනිල් සරත් පෙරේරා ‘නාග සලඹ’ ගීතයේ දී යොදාගන්නේ තෙ මතින් තෙ මතට කැඩෙන අග දෙ මතෙකින් යුතු තෙ විසිමත් විරිතෙකි. කාවඩි නැටුමෙක තාලය එ මඟින් ඉබේ ම බිහි වේ ‘අනෝතත්ත විල’ ගීතය ගැමි කවි ආරට නැඹුරු වූවක් බැවින් (ගැමි කවියට බෙහෙවින් හුරු) අටළොස් මත් විරිත යොදාගෙන ඇත. ඔහු ගේ ගී අතර තවද මෙ බඳු නිදසුන් බොහෝ වෙයි.

සාමාන්‍යයෙන් සුනිල් සරත් පෙරේරා ලියූ බොහෝ ගීත වැටෙනුයේ කලාත්මක ගීත ගණයටයි. ඉහළ රසඥතාවෙකින් යුක්ත වූවන්ගේ වින්දනයට ඒ ගෝචර වෙයි. එ වුව ද, ‘මගේ රටට දළදා හිමි සෙවණයි’ වැන්නක් මුළු මහත් ජාතියට ම එක සේ වින්දනය කළ හැකි ය. ‘අම්මේ පෙම්බරා’ වැනි ගී සාමාන්‍ය රසිකයනට වුව ද රස විඳිය හැකි ය.

සුනිල් සරත් පෙරේරා ස්වායත්ත රචන රීතියක් හෙවත් ශෛලියක් ඇති රචකයන් අතර ප්‍රමුඛතමයෙකි.

සිංහල ගීත පිළිබඳ හසළ දැනුමක් ඇතියකුට ඉතා පහසුවෙන් ඔහුගේ රචනා හඳුනාගත හැකියි.

ඔහුගේ වචන කෝෂය පටු වූවත් නොවතුදු හොඳින් හැඳිනිය හැකි ය. වදන් ඇමිණීමෙන් රසවත් කාව්‍යෝත්ති නිර්මාණය කරන ආකාරය, බෙහෙවින් ස්වභාවෝත්තියෙන් යුක්ත රචන විලාසය, ශ්‍රාවකයා සමඟ හෘදය සංවාදයෙක යෙදීමේ ශක්‍යතාව, දාර්ශනිකත්වයේ සුවඳ වහනය වන බව වැනි කරුණු කියා ඔහුගේ ගීත රචනා ප්‍රබල ස්වායත්ත භාවයෙකින් යුක්ත වේ. තවද විශේෂ ලක්ෂණයක් නම් (මෙහි මතු විමැයෙන) රූපකය මුල් කොටගත් අලංකාර ඉතා උචිත අන්දමින් භාවිත කිරීමට ඔහු දක්වන ශක්‍යතාව යි.

ඔහුගේ ගීතවල සුවිශේෂ අනන්‍ය ලක්ෂණය නම් ඒ බොහෝ ගීත විවිධ ආකාරයෙන් අර්ථකථනය කිරීමේ හැකියාව යි. ඒ සඳහා ඔහු රචනය මඟින් ම ඉඩ දී තිබේ‍‍. එය රසිකයාගේ නොහොත් විචාරකයාගේ පරිකල්පන ශක්තිය අනුව සිදු කළ හැකි ය.

නිශ්චිතාර්ථවත් බව නොවීම කාව්‍ය රස වින්දනය හෘදයාංගම කාර්යයන් බවට පත් කරයි. ඔහුගේ විශිෂ්ටතම රචනය සේ බොහෝ විචාරකයන් සලකන ‘පෙර දිනයෙක මා පෙම් කළ යුවතිය’ මෙන් ම ‘මේ මහ කන්ද’, ‘සැන්දෑ අහසේ’ වැනි ගීත එහි ලා මනා උදාහරණ යි. එක්තරා විචාරකයකු විසින් ‘පෙරදිනයෙක’ මා ගීතය සම්ප‍‍ූර්ණයෙන් ම බෞද්ධ ධර්මය සංකේතවත් කරන්නක් ලෙස මෑත දී විචාරණයට ලක් කරනු ලැබ තිබිණ. එය අතිමාත්‍රයෙන් කරන ලද්දකැයි ඇතැමකුට පෙනී යා හැකි නමුදු එවැන්නකට පවා එහි රචනයෙන් ඉඩ කඩ ලැබේ. කෙසේ අර්ථකථනය කළ ද රසයට බාධාවක් නොවීම මෙහි සැලැකිය යුතු කරුණකි.

මහා ගීත රචකයකු ගේ ලක්ෂණයක් ලෙස යම් සාධකයක් කෙරෙහි නැඹුරු වීම මෙහි යට දැක්විණි.

සුනිල් සරත් පෙරේරා වඩාත් නැඹුරු වන්නේත් ඔහුගේ විශිෂ්ටත්වය ප්‍රදීප්ත ව දක්වන්නේත් දර්ශනාත්මක ගීත රචනා බව සුවිශද ව පෙනේ. එය කාලය, අනිත්‍යතාව හා සුන්දරත්වය යන කරුණු පදනම් කොටගත් දාර්ශනික භාවයන් සේ හඳුනාගත හැකි ය. මෙහි ලා ඔහුට බෞද්ධ දර්ශනය මෙන් ම, ඕමාර් ඛයියාම් වැනි කවීන් ගේ දර්ශනය ද ඉරාන කවීන් ගේ අදහස් ද බලපා ඇති බව ඔහු විසින් රචිත ‘ගීත පද රචනා විමර්ශන’ නම් ග්‍රන්ථයෙන් පෙනේ.

කෙසේ වතුදු ඉතා සංවේදී ව, සහෘදයාගේ රස මනස ආලෝලනය වන පරිදි එ බඳු පසුබිමෙකින් යුත් ගීත රාශියක් සුනිල් සරත් පෙරේරා විසින් ලියනු ලැබ ඇත. එහි ලා ඉතා ප්‍රකට උදාහරණ ලෙස යට දක්වන ලද ‘පෙර දිනයෙක මා’, ‘ඔබ මා සමඟ’, ‘සැන්දෑ අහසේ’ වැනි ගීත දැක්විය හැකිය. එහෙත් එ මතු නොව, ‘ගඟ දිය රැල නළවා’, ‘ඈත එපිට ගම්මානෙන්’, ‘අද එතැයි ඔබ’, ‘නවාතැනින් ඇය යනවා’ වැනි ගීත රාශියක් ම මෙ බඳු දාර්ශනික පසුබිමෙකින් යුක්ත ය. සිංහල ගීත රචනයෙහි ලා සුනිල් සරත් පෙරේරා සතු අනන්‍යතාව ද එය ම සේ හැඳින්විය හැකි ය.

සුනිල් සරත් පෙරේරා දර්ශනාත්මක ගීත රචනා කළ ද ගීතය දාර්ශනික ප්‍රහේලිකාවක් නො කළ බව ඉතා පැහැදිලිය. එ මෙන් ම එය ව්‍යාජ, කෘත්‍රිම දර්ශනයක් ද නො වීය. තවත් මහා ගීත රචකයකු වන මහගම සේකරයන් ගේ ‘මා මළ පසු සොහොන් කොතේ’, ‘මළ හිරු බසිනා සැන්දෑ යාමේ’ වැනි ගී සමඟ ඔහු ගේ ‘සොඳුරු නිසල ගිරි අරණෙක’ ගීතය සැසඳීමෙන් සුනිල් සරත් පෙරේරා දක්වන නිර්ව්‍යාජත්වය මැනැවින් වටහාගත හැකි ය.

ගීත රචනය භාෂාව මාධ්‍යය කොටගත්තෙකි. ගීතය කවිය මෙන් නො ව කෙටි වේලාවක් තුළ දී ශ්‍රවණයෙන් ඈත් වී යන්නෙකි. එ හෙයින් ගීත රචනයෙහි ලා භාෂාව උපයුක්ත කොට ගැනීම ඉතා පරිස්සමින් කළ යුතු දුෂ්කර වූවෙකි. එහි ලා සුනිල් සරත් පෙරේරා දක්වන්නේ අතුල්‍ය කෞශල්‍යයෙකි.

විශේෂයෙන් ම ගීතයට උචිත වචන තෝරා ගැන්මේ දී එහි ව්‍යඤ්ජනා ශක්තිය, ධ්වනිය අන්තර්ඥානයෙන් මෙන් හඳුනාගැන්මට ඔහු විස්මයජනක සාමර්ථ්‍යයක් දක්වන අයුරු පෙනී යයි. මෙය කවියකුට මෙන් ම ගීත රචකයකුට අත්‍යවශ්‍ය දක්ෂතාවෙකි.

එහි ලා ව්‍යුත්පත්තියට ද වඩා ප්‍රතිභාණය ඔහුට ඉවහල් ව ඇතැ යි කීම නිවැරැදි ය. මහා කවියකු ගේ යෙදුමක් මෙන් ම ශ්‍රේෂ්ඨ ගීත රචකයකු ගේ යෙදුමක් ද වෙනස් කිරීම දුෂ්කර ය. ‘දවස’ යන්න දිනයට සමාන වුව ද ‘තරුණිය’ යුවතියට සමාන වුව ද ‘පෙර දවසක මා පෙම් කළ තරුණිය’ යන යෙදුම ඉඳුරා රස භංගයක් වෙයි.

සුනිල් සරත් පෙරේරා අනෙක් මහා ගීත රචනයන් ඉක්මවාලන කරුණෙකුදු වෙයි. එ නම් ඔහු ගීත රචනා ක්ෂේත්‍රයට නව අලංකාරයක් හඳුන්වා දීමෙන් කරන ලද උත්කෘෂ්ට සම්ප්‍රදානය යි. රූපකය පෙරදිගු කවියන් විසින් බොහෝ සේ යොදන ලද අලංකරයක් වුව ද එය සිංහල ගීත ක්ෂේත්‍රයෙහි ලා අතිභාවිතයට පත් කරන ලද්දේ ඔහු විසිනැ යි යනු විචාරකයන් එක හෙළා දක්වන කරුණෙකි. නිදසුන් නො දැක්විය යුතු තරමට එය ඔහු ගේ ගීත රචනා මුළුල්ලෙහි සුවිශද වැ පෙනේ. එහි දු විශේෂයක් වන්නේ ප්‍රාචීන කාව්‍ය ලෝකයෙහි දුර්ලභ නාම - ක්‍රියා සංයෝජනයෙන් නිමැවෙන රූපක ඔහු විසින් ඉතා සාර්ථක ව යොදනු ලැබ ඇත. ‘මහ වරුසාවට’ වැනි ගීතයෙත් රූපක සමුදායයක් ඉතා මනහර ලෙස යොදා ඇති අයුරු විචාරකයෝ පෙන්වා දෙති.

සැබැවින් ම මෙය සාම්ප්‍රදායික රූපක අලංකාරය ඉක්මවා ගිය අපූර්ව අලංකාරයක් ලෙස මෑතකදි විචාරකයකු විසින් පෙන්වා දෙනු ලැබිණි සුනිල් සරත් පෙරේරා සූරීන් ගේ ගී පද නිර්මාණ මඟින් හෙළි වන කාව්‍ය විචාර වාදය’ - රුවන් ඒකනායක).

මෙ තෙක් දැක්වූ කරුණු සමස්ත වශයෙන් විමර්ශනය කරන කල්හි සුනිල් සරත් පෙරේරා වත්මන හොබවන මහා ගීත රචකයකු කොට දැක්ම අතිශයින් යුක්ති යුක්ත බව ඉඳුරා පෙනී යයි.

 

Comments