නූතන සිංහල කවියේ ඇරැ­ඹුම! | සිළුමිණ

නූතන සිංහල කවියේ ඇරැ­ඹුම!

සිංහල පද්‍ය සාහිත්‍යයේ ආරම්භය අනුරාධපුර යුගය දක්වා දුරාතීතයට දිවයයි. එම යුගයේ දී දොළොස් මහා කවීන් පිළිබඳව ද අපට අසන්නට ලැබේ. අනුරාධපුර යුගේ රජ කළ පළමුවැනි සේන රජු විසින් දණ්ඩීන්ගේ සංස්කෘත කාව්‍යාදර්ශය “සියබස්ලකර”නමින් සිංහලට පරිවර්තනය කරන ලදි. එය සිංහල පද්‍ය සාහිත යේ එක් සුවිශේෂි කඩ ඉමකි. පසුකාලීනව බිහි වන කවියන් තම නිර්මාණ කරන ලද්දේ මෙකී කෘතියට අනුගතව බව පෙනේ. එම කාරණය නිදසුන් සහිතව අපි විමසා බලමු.

“පෙදෙන් බුදු සිරිතැ

බසින්වත් සිරිත් ඈ

පද යුතු බසින් නළු ඈ

අනතුරු ලකුණු දක්වම්”

“පද්‍යයෙන් බුද්ධ චරිතය රචනා කළ යුතු ය. ගද්‍යයෙන් ව්‍රත චාරිත්‍ර හා බැදුණු සාමාජික ජීවිතය ද ගද්‍ය පද්‍ය මිශ්‍ර (චම්පු) භාවිතයෙන් නාට්‍යාදිය ද රචනා කළ යුතු ය. එහි ලක්ෂණ මතු ප්‍රකාශ කරමි.” – (සියබස්ලකර)

මෙකී රීතියට අනුව පසුකාලීනව අපගේ සිංහල පද්‍ය හා ගද්‍ය සාහිත්‍යය ගොඩනැගුණි. බුත්සරණ, දම්සරණ, සඟසරණ, මුවදෙව්දාවත, සසදාවත වැනි කෘති ඒ සඳහා නිදර්ශන ලෙස දැක්විය හැකි ය. ශිලා ලේඛනවලට අනුව අනුරාධපුර යුගය අවුරුදු 1300 ක කාලයක් රාජධානි ලෙස පැවතුණු බව තහවුරු වේ. ඉන් පසුව ඇති වූ විවිධ සතුරු කරදර නිසා පොලොන්නරුවට, දඹදෙණියට, කුරුණෑගලට ආදි වශයෙන් ර‍ාජධානි මාරු වූ විට ඒ හරහා සමාජ පරිවර්තනයක් සිදු වූ බව ‍නොපෙනේ. එම නිසා සමාජ දර්ශකයක් ලෙස විචාරකයන් විසින් හඳුන්වන ලද සාහිත්‍යයේ ද වෙනසක් සිදු නොවුණු බව පෙන්වා දිය හැකි ය.

අපේ සමාජය පැහැදිලි වෙනසක් සිදු වූ කාල වකවානුව ලෙස මහනුවර යුගය දැක්විය හැක. එබැවින් සාහිත්‍යය ද මෙම යුගයේ දී නුතන ධාරාවක් ඔස්සේ නව මඟක ගමන් කළ බව පෙනේ. මහනුවර යුගයේ දී සිදු වු සමාජ පරිවර්තනයට මුල බීජය සැපයෙන්නේ සීතාවක යුගයේ දී ය. සීතාවන රජ කළ මායාදුන්න රජුගේ පුත්‍රයා වන ටිකිරි කුමරු ඔහුව මරා දමා පළමුවැනි රාජසිංහ නමින් රජ වූ බව වංශකතාවෙහි සඳහන් වේ. මේ වකවානුවේ දී අරිට්ඨ නම් අයෙක් ශිව ආගම මෙරට ප්‍රචලිත කරමින් සිටියෝය. ඔහු කළ ආරාධනාවකට අනුව පළමුවැනි රාජසිංහ රජු ශිව ආගම වැලඳ භික්ෂුන්ව ඝාතනය කිරීමටත්, බෞද්ධ පොත් පත් හා වෙහෙර විහාර ගිනි තැබීමටත් පෙලඹිණි. මෙයින් කලකිරීමට පත් භික්ෂුන්ගෙන් කණ්ඩායමක් ඉන්දියාවට ගිය අතර තවත් පිරිසක් කන්ද උඩරටට පළා ගියහ. මේ අවධිය වන විට කන්ද උඩරට වික්‍රමබාහු නම් ප්‍රාදේශීය රජෙක් විය. කන්ද උඩරටට පලාගිය භික්ෂුන් උපැවිදි වී මෙකී ප්‍ර‍ාදේශීය නායකයා ‍යටතේ සාහිත්‍ය නිර්මාණකරණය ආරම්භ කළහ. එය මහනුවර සාහිත්‍යයේ ආරම්භය ලෙස සැලකිය හැකි ය. ඒ තුළින් අපට පෙනී යන්නේ සිවුරුහළ ගිහි ලේඛකයෝ කන්ද උඩරට රාජ්‍යයේ සාහිත්‍ය බිහි කළ බවයි. සාහිත්‍යය වෙනස් වන පළමු ලකුණ ලෙස ද පැවිදි ලේඛකයන් අතින් ගිහි ‍ලේඛකයන් සාහිත්‍ය ලබාගැනීම බව සඳහන් කළ හැකි ය.

අනුරාධපුර යුගයේ සිට පැවති යති සාහිත්‍යය බිඳ වැටීමට ද ආරම්භ වන්නේ මෙතැන් සිටයි. විචාරකයන් පෙන්වා දෙන ආකාරයට සාහිත්‍ය අරඹයා පැවති භික්ෂුන්ගේ ඒකාධිකාරය බිඳ වැටීමත් එය ගිහි ලේඛකයන් අතට පත්වීමත් සිදු වන්නේ මේ අවධියේ දී ය. පසුව මෙකී නිර්මාණකරුවෝ අතින් ලෞකික සාහිත්‍යයක් බිහි වෙති. ඔවුහු ශෘංගාරය අන්තර්ගත ඉතා ලස්සන කාව්‍ය නිර්මාණය කළහ. ඒ හරහා ඕලාරික ශෘංගාරය ද නිර්මාණ සාහිත්‍යයට ප්‍රවිෂ්ට විය. වියොවගරත්න මාලය, සුරා මාලය වැනි මාල කාව්‍ය බිහි වන්නේ ද මේ අවධියේ දී ය. සුරාමාලය වැනි කාව්‍ය කෘතිවලදී පුරාතන සාහිත්‍යය යුගයේ නිර්මාණකරුවන් කිසි විටෙකත් වර්ණනා නොකළ “සුරාව” වැනි ප්‍රස්තූතයක් පවා වර්ණනා කිරිමට පෙලඹුණි.

“සුරාවේ රසයත්

සරා එහි ඇති ගුණයත්

බොන අය වෙන මිසක්

නොබොන අනුවණ දනෝ නොදනිත්...” (සුරාමාලය)

මේ යුගයේදී කවීන් ස්වාධීනව තම නිර්මාණ සඳහා වස්තු විෂයන් තෝරා ගත් බව පෙනේ. ඒ සඳහා ඔවුන් බොහෝ විට පෞද්ගලික අත්දැකීම් වස්තු විෂය කර ගත් බව ගජමන් නෝනා, රංචාගොඩ ළමයා වැනි කිවිදියන්ගේ නිර්මාණවලින් පෙනේ. පුරාතන කවීන් බොහෝ විට සිදු කෙළේ තිබු අච්චුවකට දෙන ලද වස්තු විෂයකට අනුව රචනා කළ නිර්මාණ එබ්බවීමයි.

නමුත් මහනුවර යුගය වන විට මේ තත්ත්වය බොහෝ සෙයින් ම වෙනස් විය. තම පියාගේ මරණය, දෙනිපිටියේ නුගරුක ආදී ප්‍රස්තූතයන් තම නිර්මාණය සඳහා අනුභූතීන් කර ගැනීම‍ට ගජමන් නෝනා වැනි කිවිදියන් සමත් වූ බව පෙනේ. ඒ තුළින් පෞද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් විය.

නුතන කවිය ප්‍රක‍ටව පෙනුණේ මහනුවර යුගයේ වුව ද ඊට පෙර යුගවල එහි බීජ අවස්ථාව පැවතුණු බව පෙනේ. කෝට්ටේ යුගයේ සන්දේශ කාව්‍යවල එන පරිසර වර්ණනා අව්‍යාජය. එමෙන්ම සීතාවක යුගයේ අලගියවන්න මුකවෙටිතුමාගේ සුභාෂිතය, කුස ජාතක කාව්‍යය, සැවුල් සන්දේශය වැනි නිර්මාණවල නුතන කාව්‍ය ලක්ෂණ දක්නට ලැබේ. සිංහල පද්‍ය සාහිත්‍යය වෙනස් වන පළමු ලකුණ පැවිදි ලේඛකයන් අතින් ගිහි ලේඛකයන් සාහිත්‍ය ලබා ගැනීම බවත්, එය පුරාතන අවධියෙන් නූතන යුගය වෙන් වන කඩඉම් කාල පරිච්ඡේදය ලෙස පොදුවේ සැලකුව ද ගී කාව්‍ය ආකෘතියෙන් ලියැවී තිබෙන සීගිරි කුරුටු ගීවල ද නුතන කාව්‍ය ලක්ෂණ අන්තර්ගත වේ.

 

Comments