සමාගම්වල බොරු මත පරදවා ලංකාව දුම්වැටි පාලනයෙන් ඉදිරියට! | Page 10 | සිළුමිණ

සමාගම්වල බොරු මත පරදවා ලංකාව දුම්වැටි පාලනයෙන් ඉදිරියට!

 ලොව පුරා දුම්වැටි භාවිතය නිසා දෙදෙනකුගෙන් එක් අයකු දුම්කොළ ආශ්‍රිත රෝගවලින් මිය යන බව සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වී තිබේ. පසුගිය වසරේ මෙරට සිගරැට් සඳහා රජය විසින් පනවන ලද බදු වැඩි කිරීමත් සමඟ සිගරැට් සමාගම් විසින් නොයෙක් සාවද්‍ය මතයන් ජනගත කරමින් සිගරැට් පරිභෝජනයට ජනතාව තවදුරටත් පෙලඹවීමේ ප්‍රයත්නයක යෙදෙන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමන‍සේකර මහතා පවසයි. මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය, දුම්කොළ කර්මාන්ත අධ්‍යයන මධ්‍යස්ථානය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කරන සමීක්ෂණ අනුව මේ තොරතුරු හෙළිදරවු වී තිබේ.

ලෝකයේම රජයන් සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය WHO වැනි ආයතන සිගරැට් භාවිතය අවම කිරීමට සහ සිගරට් සම්පූර්ණයෙන් නතර කිරීමේ ප්‍රයත්නය කඩිනම් කිරීමේ මහත් වෑයමක නිරත වෙමින් සිටියි. සිගරැට් ඕනෑම රටක සෞඛ්‍යයට හා ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල කරයි. සෞඛ්‍යයට හා ආර්ථිකයට පමණක් නොව සදාචාරාත්මකබව යන සියලු අංශවලින් ගත් විට අවාසිදායක නිෂ්පාදනයක් ලෙස මෙය හැඳින්විය හැකිය. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙමගින් වැඩි වශයෙන් අවාසිදායක බලපෑම් ඇති කරන බව ද සොයාගෙන තිබේ. ලෝකයේ දුම්කොළ නිෂ්පාදන අධිකාරිය රැඳී ඇත්තේ, ධනවත් රටවලට අයත් සමාගම් කීපයකය. එමගින් සිදු වන්නේ, දිළිඳු රටවල්වලින් ධනවත් රටවලට මුදල් ඇ දී යෑම මඟින් එම අදාළ දිළිඳු රටවලට විශාල ආර්ථිකමය පාඩුවක් ද සිදු වේ. උදාහරණයක් ලෙස, මෙරටේ ඇතැම් දුම්කොල සමාගම් ‘ලංකා’නමින් පෙනී සිටියද කොටස් අයිතියෙන් 92% කටත් වඩා අයත් වන්නේ, ඇමෙරිකානු දුම්කොළ සමාගමක් වන( BATය) නම් සමාගමටයි. මෙහි අවසන් ප්‍රතිපලය වන්නේ මෙරට මිනිසුන් රෝගීන් බවට පත් කොට අවසානයේ, සිගරැට් විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් රජයට බදු ලෙස ගෙවා ඉතිරි කොටස එම ධනපති රට‍වලට ඇදීයෑමට ඉඩ සලසා දීමකි. මේ වන විට හඳුනාගෙන ඇති පරිදි, සිගරැට් භාවිතය හේතුවෙන් සිදු වන ආර්ථික අවාසි අතරම රටේ ආර්ථිකයට දායකත්වය සපයන ශ්‍රම බළකාය අකාලයේ මිය යෑමද, අඩු රැකියා ප්‍රමාණයක් ජනිත වීමද, වැඩ කරන පිරිස්වල කාර්යක්ෂමතාව අඩු වීමද, පවුලේ හා රටේ සෞඛ්‍ය වියදම ඉහළ යෑමද ගෘහ මූලිකයා මිය යෑම නිසා පවුල් සහ විශේෂයෙන් දරුවන් අසරණ වීමද, සිගරැට් නිෂ්පාදනයට අවශ්‍ය දුම්කොළ වගා කිරීම හේතුවෙන් පස නිසරු වීමද ආදි වශයෙන් අහිතකර බලපෑම් රැසක් ඇතිවෙයි.

මේ අවාසිදායක භාණ්ඩය භාවිතය පාලනය කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ රටවල් එකතු වී ගිවිසුමක් ඇති කරගත් අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්ති ව්‍යුහය FCTC ලෙස මෙය හඳුන්වා දෙයි. මෙය දුම්කොළ පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ ඇති කරගත් ගිවිසුමකි. 2003 වර්ෂයේ මැයි මස පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 56 වන ලෝක සෞඛ්‍ය සම්මේලනයේ දී සම්මත කරගන්නා ලද අතර, මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්මත කරන ලද ප්‍රථම ගෝලීය මහජන සෞඛ්‍ය ගිවිසුමයි.

මේ ගිවිසුම 2005 පෙබරවාරි සිට බලාත්මක වූ අතර, 2017 වසර වන විට මේ ගිවිසුමට නීත්‍යනුකූලව එකඟ වී ඇති රටවල් ගණන 180කි. මේ ගිවිසුම වර්තමාන හා අනාගත පරපුර දුම්කොළ ව්‍යසනය නිසා ඇති වන සෞඛ්‍යමය, සමාජමය හා ආර්ථිකමය ව්‍යසනයන්ගෙන් රැකගනුවස් ඉතා වැදගත් වනු ඇති අතර, මෙය එක්සත් ජාතීන්ගේ ගිවිසුම් අතරින් ඉතා ඉක්මනින් අවසර දුන් ගිවිසුම්වලින් එකකි. ශ්‍රී ලංකාව මේ ගිවිසුමට අස්සන් තැබූ ලොව සිව් වන රට වන අතර, ප්‍රථම ආසියාතික රටද වීම ආඩම්බරයට කරුණකි.

අපේ රටේ සිගරැට් කර්මාන්තය පාලනය කරන්නේ කෙසේද? යන ගැටලුවේ දී ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් සිගරැට් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ සහ ප්‍රජා මට්ටමින් සිදු කරන ක්‍රියාකාරකම් අතිනුත් ඉදිරියෙන් සිටින රටකි. ඒ හේතුව නිසාම දුම්කොළ සමාගම් විසින් මේ තීන්දු තීරණ ගෙන ඒමට පටහැනිව සහ ප්‍රජා ක්‍රියාකාරකම්වලට එරෙහිව විවිධ මට්ටමින් ඉතාමත් සූක්ෂ්ම අන්දමින් කටයුතු කරගෙන යනු දක්නට ලැබේ. එයට හේතුව අපේ රට සිගරැට් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග, අනෙකුත් කලාපීය රටවල් ආදර්ශයක් ලෙස ගෙන කටයුතු කිරීමට උත්සාහ දැරීමයි. එය ලෝකයේ දුම්කොළ සමාගම්වලට විශාල තර්ජනයක් වන අතර එබැවින් ඔවුන් විවිධ අන්දමින් ඒවා මැඬ පැවැත්වීම උදෙසා කටයුතු කරමින් සිටී. එහි දී අපේ රට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥප්ති ව්‍යූහයට (FCTC) අස්සන් තැබීම සහ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (NATA) ප්‍රතිස්ථාපනය කිරීම සන්ධිස්ථානයක් ලෙස නම් කළ හැකිය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (NATA) ට අනුව, ප්‍රධාන වශයෙන්ම ලෝකයේ දුම්කොළ පාලනය කිරීම සඳහා ගත හැකි ඵලදායක පියවර වන මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවල ඍජු දැන්වීම් පළ කිරීම තහනම් කිරීම, අවුරුදු 21ට අඩු අයට දුම්වැටි අලෙවිය තහනම් කිරීම, කී‍්‍රඩා කලා ඉසව් සඳහා අනුග්‍රාහක දායත්වය ආදිය තහනම් කිරීම, නොමිලේ බෙදාදීම තහනම් කිරීම වැනි දෑ අඩංගු කර තිබේ.

2012 අගෝස්තු මස හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 80%ක සිගරට් පැකට් මත රූපමය අවවාද ගෙන ඒම උදෙසා වන ගැසට් පත්‍රය නිකුත් කරන ලද අතර, ලංකා දුම්කොළ සමාගම ඊට විරුද්ධ නඩු මගට බැස්සේය. එහි ප්‍රතිඵලයක් ලෙස, සිගරැට් පැකට් මත රූපමය අවවාද 60%ක් දක්වා අඩු කරමින් තීරණයක් ලැබුණු අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු 2015 ජුනි මස දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනයකට ලක් කරමින් සිගරැට් පැකට් මත රූපමය අවවාද 80% දක්වා වැඩි කරන ලදී. ලංකා දුම් කොළ සමාගම වර්ෂ තුනකටත් අධික කාලයක් තිස්සේ විවිධ බාධා සිදු කරමින් මේ ක්‍රියාවලිය අඩපණ කිරීම උදෙසා උත්සාහ දැරුවේ අපේ කලාපයේ රටවල් අපේ රට ආදර්ශයට ගැනීම වැළැක්වීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය.

සදාචාරාත්මක නොවන, එහෙත් ආර්ථික හා දේශපාලන බලයකින් ක්‍රියා කරන මේ දුම්කොළ සමාගම්වල කූට උපක්‍රම ගැන පැහැදිලි අවබෝධයක් ප්‍රතිපත්ති සම්පාදකයන්ට, මහජනතාවට සහ දේශපාලකයන්ට ලබාදීම උදෙසා දුම් කොළ පාලන ප්‍රඥප්ති ව්‍යූහය (FCTCට) 5.3 වගන්තියට අඩංගු කර තිබේ. එය ප්‍රඥප්තියේ එන ඉතා වැදගත් වගන්තියකි. මේ ප්‍රඥප්තියේ 5.3 වන වගන්තිය මඟින් දුම්කොළ සමාගම් විසින් ඇති කරනු ලබන වාණිජමය හා අනිකුත් බලපෑම්වලින් මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම අරමුණු කෙරේ.

මෙහි අඩංගු කරුණු දුම්කොළ පාලන සම්බන්ධ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය හෝ ක්‍රියාත්මක කිරීමට දායක විය හැකි ඕනෑම රජයේ නිලධාරියකු, නියෝජිතයකු හෝ සේවකයකු සඳහා අදාළ වේ.

මේ ගිවිසුමට අදාළ පාර්ශ්වකරුවන් විසින් දුම්කොළ කර්මාන්තය විසින් ඇති කරනු ලබන බලපෑම්වලින් මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම පිණිස ක්‍රියාත්මක කළයුතු පියවර කිහිපයක් වෙයි. ඒ අනුව: රජය විසින් දුම්කොළ සමාගම සමඟ සහයෝගීතාවන් හා ගිවිසුම් ප්‍රතික්ෂේප කළ යුතුය, රජය විසින් දුම්කොළ පාලන නීති හෝ ප්‍රතිපත්ති සම්බන්ධ දුම්කොළ සමාගම විසින් දක්වනු ලබන සහයෝගීතාවන් ප්‍රතික්ෂේප කළ යුතුය, රජය විසින් තාරුණ්‍යය හා මහජන අධ්‍යාපනය සම්බන්ධ දුම්කොළ පාලන වැඩ සටහන්වල දී දුම්කොළ කර්මාන්තයේ බලපෑම සහ සහයෝගීතාවන් තහනම් කළ යුතුය, රාජ්‍ය ආයතන, නිලධාරීන් සහ සේවකයන්ට දුම්කොළ සමාගමේ මැදිහත් වීමෙන් ඇති වන මත ගැටුම් රජය විසින් වැළක්විය යුතුය, යන කරුණු ඒ පියවර අතර වෙයි. දුම්කොළ සමාගම විසින් 'සමාජ වගකීම්' යයි මවා පෙන්වන ක්‍රියාකාරකම් රජය මැදිහත් වීමෙන් නියාමනය කළ යුතුය. දුම්කොළ කර්මාන්තය සඳහා දිරිදීමනා වරප්‍රසාද හෝ ප්‍රතිලාභ ලබාදීම රජය විසින් තහනම් කළ යුතුය. මේ ප්‍රඥප්තියට සහාය දක්වන රටවල් විසින් දුම්කොළ සමාගම් නිරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීම මගින් ප්‍රඥප්තියේ 5.3 වගන්තිය ක්‍රියාත්මක කිරීමට සහාය දක්වනු ලබයි.

රටක භාණ්ඩවල මිල තීරණය කිරීම උදෙසා මිල සූත්‍රයක් තිබීම අත්‍යවශ්‍යය. සිගරැට් සඳහාද මිල සූත්‍රයක් තිබිය යුතු බවට රජය පිළිගත්තද එය තවමත් ක්‍රියාත්මක කර නැත. මෙයද දුම්කොළ සමාගම විසින් සිදු කරන බලපෑම්වල ප්‍රතිඵලයකි. බදු වැඩි කර මිල වැඩි කිරීමෙන් සමාගමට පාඩු සිදු වන බවට, බීඩි භාවිතය වැඩි විය හැකි බවට, හොර සිගරැට් ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බවට මුල සිටම දුම්කොළ සමාගම විසින් තර්ක ඉදිරිපත් කරන ලදී.

දුම්කොළ සමාගම් විසින් ඉදිරිපත් කරන පදනම් විරහිත තර්ක ලෝකයේ මෙන්ම අපේ රටේද දුම්කොළ සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක අතර බදු වැඩි කිරීමෙන් සහ මිල වැඩි කිරීමෙන් හොර සිගරැට් හා බීඩි භාවිතය වැඩි වන බවට ව්‍යාජ මත ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන නමුත් කිසි දිනක ඒවා විද්‍යාත්මක සමීක්ෂණයක් මඟින් පෙන්නුම් කිරීමට සමත් වී නැත.

සිගරට් මිල වැඩි වීම නිසා සිගරැට් භාවිතයේ සිටි පිරිස මේ වන විට බීඩි භාවිතයට යොමුව ඇති බව සිගරැට් සමාගම විසින් සාවද්‍ය මතයක් ජනගත කරමින් පවතින බව මුල දී සදහන් කළ අතර, සිගරැට් කර්මාන්තය බොහෝ කාලයක් මුළුල්ලේ සිදු කරන මේ ප්‍රකාශය පසුගිය මිල සංශෝධනයෙන් අනතුරුව වැඩි වශයෙන් ජනගත කිරීම සිදු කළත් මෙහි සත්‍යතාවක් නොමැති බව පෙන්වා දිය හැකි වන්නේ බීඩි නිෂ්පාදනය සඳහා ආනයනය කරනු ලබන තෙන්දු කොළ ආනයනය විශාල ලෙස ඉහළ ගොස් නොමැති බව රේගු වාර්තා පෙන්වා දෙන බැවිනි. එසේ තිබිය දී සිගරැට් බදු වැඩි කිරීමට රජය සාකච්ඡා කරමින් සිටිය දී සිගරැට් සමාගමට වාසි වන පරිදි තෙන්දු කොළ ආනයනය කිරීමේ ප්‍රමාණයන්හි දත්ත වසර කිහිපයක් මග හරිමින් ප්‍රත්පත්ති සම්පාදකයන්ට ඉදිරිපත් කිරීම සිදු විය. එමගින් මුදල්අමාත්‍යංශය පවා නොමග යැවීමට හැකි වූ අතර, මුදල් ආමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට දුන් වාර්තාවේද ඒ සාවද්‍ය තොරතුරු අඩංගු විය. මේ නිසා සිගරැට් සමාගම විසින් සිය ව්‍යාපාරය සඳහා ඇති වන පාලනයන් සූක්ෂ්ම ලෙස අඩපණ කිරීම සඳහා බීඩි කර්මාන්තය හුවා දැක්වීම සිදු කරයි.

බීඩි වැනි මිල අඩු සිගරැට් නිෂ්පාදන සඳහා යොමු වීම සිදු වන්නේ සිගරට් මිල දී ගැනීමේ හැකියාව අවම වීම නිසායැයි සිගරැට් සමාගම පැවසුවත්, සිගරැට් පාරිභෝගිකයකු එක්වරම සිගරැට් භාවිතයේ සිට බීඩි භාවිතයට යොමු වීම සිදු නොවේ. සිගරට් භාවිත කරන්නන් හට ඉහළ යන මිල ආර්ථිකයට බලපෑම්ක් සිදු වන්නේ නම් සිගරැට් සමාගම් විසින්ම නිෂ්පාදනය කරන මිල අඩු සිගරැට් වර්ග සඳහා යොමු විය හැකිය. එහෙත් පසුගිය වසර 20 පුරා දත්ත සංසන්දනය කිරීමෙන් එම අඩු-මිල සිගරට් භාවිතය දිරිමත් වීමක් පාරිභෝගිකයන් තුළ සිදුවී නැති බව පෙනෙන්නට තිබේ.

සිගරට් මිල වැඩි වීම සමඟ බීඩි සඳහා මිනිසුන් යොමු වන්නේ නම් සිගරැට් සමාගමට අඩු මිල සිගරැට් වැඩි වශයෙන් වෙළඳපොළ සඳහා යොමු කිරීම අවස්ථාවක් නිරායාසයෙන් පැවතිණ. ආසන්නතම සිගරැට් මිල වැඩි වීමේ දී සිගරැට් සමාගමේ අඩුම මිල සහිත සිගරැට් මිල කිසිම ආකාරයකින් ඉහළ නොගිය අතර, පාරිිභෝගිකයන්ට ඒවාට යොමු වී මේ හැකියාව තිබිණි. ඉහත ප්‍රස්තාරය අනුව මිල අඩු සිගරැට් භාවිතයේ සුව්ශේෂ වැඩිවීමක් පෙන්නුම් නොකරයි. එසේ නම් බීඩි භාවිතය වැඩි වීම සඳහා ද සිගරට් මිල ඉහළ යෑම හේතුවක් බව සිදු කෙරෙන ප්‍රකාශයන් පදනමක් නොමැති සාවද්‍ය ඒවා බව සනාථකරයි.

බීඩිවලට අමතරව මේ වන විට හොර සිගරැට් ගෙන්වීම හා භාවිතය ඉහළ ගොස් ඇති බව සිදු කෙරෙන ප්‍රකාශයන් මගින් සිගරට් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගැනීමට නියමිත පාලන ප්‍රතිපත්තීන් අධෛර්යවත් කිරීමට උත්සහ කරන ආකාරයක් පෙනේ.

මේවන විට අපේ රටේ ද නොයෙක් ප්‍රදේශවලින් වාර්තා වන හොර සිගරැට් සම්බන්ධ සිද්ධි වඩාත් උළුප්පා පෙන්වීම, ප්‍රතිපත්තී සම්පාදකයන් නොමග යැවීමට සිගරට් සමාගම් විසින් සිදු කරන එක් උපක්‍රමයකි. සිගරැට් බදු මිල ඉහළ අගයක පවත්වා ගෙන යෑම සාධනීය සිගරැට් පාලන ක්‍රමවේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබේ. එම නිර්ණායක හොඳින් ක්‍රියාත්මක කරන රටවලට සිගරැට් ගෙන ඒම පිටුපස ඇත්තේ ද බහුජාතික සිගරට් සමාගම් බව විවිධ අවස්ථාහි දී හෙළි වී තිබේ.

මිල වැඩි කිරීමෙන් අනතුරුව සිගරැට් භාවිතය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස රජයට උපයාගත හැකිව තිබූ සුරාබදු ආදායම විශාල ලෙස අහිමි වන බව තවත් සාවද්‍ය මතයක් ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරයි. මේ පුරෝකථනය සිදු කිරීමේ දී සිගරැට් මිල වැඩි වීම නිසා භාවිතයෙන් ඉවත් වීම සිදුවන බැවින් ඉන් රජයට එක්කරගත හැකිව තිබූ බදු නොලැබී බව පෙන්වා දුන්නත්, මෙතෙත් කල් සිගරට් සඳහා නොතිබූ වැට් බද්ද පැනවීම මගින් රජයට ලැබෙන ආදායම පිළිබඳ සඳහන් කිරීමට සමාගම උත්සුක නොවේ. සිගරට් සඳහා පාලන නියාමනයන් ඇති කිරීම මගින් කර්මාන්තය බිඳ වැටෙන බව හා ඒ ආශ්‍රිත රුකියා අහිමි වන බව වැනි නොයෙක් ප්‍රකාශ මේ වන විට ජනගත කරමින් පවතී.

කෙසේ වෙතත් සිගරැට් භාවිතය ක්‍රමිකව අවම වීම සිදු වීමට නම් රාජ්‍ය ප්‍රතිපත්ති නිසි ලෙස සැකසීම මෙන්ම ඒවාට ඇති වටිනාකම් ඉවත් වීමද ක්‍රමිකව සිදු විය යුතුයි. ඒ වටිනාකම් ඇති වන අවස්ථා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙන්ද ඇහිරීම සිදු වන අතර, ඉන් ඔබ්බට ගිය සමාජ වෙනසක් මගින් සුවිශේෂ කාර්යභාරයන් සිදු වේ. වර්තමානය වන විට සිගරැට් බොන පිරිස පවා ආයාසයකින් තොරව පිළිගන්නා සත්‍යයක් වන්නේ මේ භාවිතය අවාසිදායක බවත්, හැකි ඉක්මනින් නැවැත්විය යුතු බවත්ය.

එසේ නම් මෙය පවත්වාගෙන යන්නේ සිගරැට් කර්මාන්තය හා ඊට හිතවත් කිහිප දෙනකුගේ වුවමනාව පරිදිය. සිංගප්පූරු රජය සිය සිගරැට් පාලන වැඩසටහනේ අරමුණ කොටගෙන ඇත්තේ නව සහස‍්‍රයේ ජන්මය ලද කිසිම දරුවකුට සිගරැට්ටුවක් භාවිත නොකිරීමට අවශ්‍ය වටපිටාව සැකසීමය. එහි දී රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම මෙන්ම භාවිත කරන්නවුන් අතර ඇති සිගරැට් පිළිබඳ සමාජ ආකල්පය වෙනස් කිරීමද සිදු විය යුතුය. අපේ රටේද මේ ක්‍රම දෙකම හොඳින් ක්‍රියාත්මක වන අතර, අද වන විට සිගරැට් භාවිතය සම්බන්ධයෙන් ඇති සමාජ ආකල්පය ඊට හොඳ උදාහරණයකි. එමෙන්ම සිගරැට් නිෂ්පාදනය සිගරැට් මිලියන 800ක් පමණ අඩු වීමට මේ වැඩපිළිවෙළ හේතු වී ඇත. විශේෂයෙන් දුම්කොළ නිවාරණයට මැදිහත් වීමට, දුම්කොළ කර්මාන්තය සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටීමට සහ අද වන විට සාමාන්‍ය ජනතාව සිගරැට් භාවිත කරන්නාගේ සිට කොම්පැනියේ උපාය දක්වා ඕනෑම අවදියක් හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමට තරම් දියුණු වීතිබේ. එවන් වටපිටාවක තවදුරටත් මේ කර්මාන්තය සක්‍රීය තත්ත්වයෙන් පැවතීමට නොදැනුවත්ව හෝ සහාය වීම සමාජ අපරාධයකි.

සුභද්‍රා දේශප්‍රිය 

Comments

සම්පූර්ණයෙන් ඇත්ත ... ඌරුබොක්ක නගරය තුළ දුම්වැටි නිවාරණ වැඩසටහන මඟින් මේ වන විට ඉහත කරුණු මනාව ඔප්පු වි ඇත .

පිටු