රටවල් 17ක කණ්ඩායම් 685ක් පරදා හොඳම ප්‍රජා බලපෑම් සම්මානය ලැබූ කැබිතිගොල්ලෑවේ වීරයෝ | සිළුමිණ

රටවල් 17ක කණ්ඩායම් 685ක් පරදා හොඳම ප්‍රජා බලපෑම් සම්මානය ලැබූ කැබිතිගොල්ලෑවේ වීරයෝ

කොළඹට කිරි - ගමට කැකිරි‘ කතාව මීට දශක කිහිපයකට කලින් කරළියට ආවේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කොළඹ පාසල්වලින් ආරම්භ කරපු කිරි පැකට් ලබාදීමේ ව්‍යාපෘතියක් හේතුවෙනි. ගම්බඳ පාසල්වලට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පමා වූයේ එම ගම්මානවල හා පාසල්වල ශීතකරණ පහසුකම් නොමැති වූ හෙයිනි.

එහෙත් කාලාන්තරයක් තිස්සේ ගමට කැකිරි බෙදමින් තිබුණු සංකල්පය දැන් තුරන් වී ගොසිනි. දැන් හොඳම දේ ගමේ දරුවන්ට ද ලැබෙමින් පවතී. එම නිසා ඔවුන්ගේ දස්කම් එළිදක්වන්නටද හැකියාව ලැබී ඇත. කුප්පි ලාම්පු එළියෙන් අකුරු කළ ගම්වල දූ දරුවෝ දැන් පරිගණකවලින් වැඩ උගනිති.

එය ඔවුන්ට බාහිරින් පහසුකම් ලබා ගැනීමේදී අධ්‍යාපනයට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට මෙන්ම අධ්‍යාපනයේ දැනුම වර්ධනයට ද පිටිවහලක් වන්නේය. මේ සංවර්ධනයේ අරුණලු කොළඹින් කිලෝමීටර් 300කට ආසන්න දුරකින් පිහිටි කැබිතිගොල්ලෑවට ද වැටී ඇත. 

දශක ගණනාවක් කුරිරු යුද්ධයේ ශාපලත් කුඩා නගරයක් වූ කැබිතිගොල්ලෑව එදා මරබියෙන් ජීවත් වූ වැසියන්ගෙන් සමන්විත විය. අර්ධ නාගරික සීමාවෙන් ඔබ්බට ගිය සැණින් ත්‍රස්තවාදීන්ගේ තර්ජනය, කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය අපට තවමත් හොඳින් මතකය.

එමෙන්ම වසරේ වැඩි කාලයක් නියං හා දැඩි රශ්මියෙන් පීඩාවිඳින වියළි කලාපයේ තවත් එක් කර්කශ පෙදෙසක් වන කැබිතිගොල්ලෑවේ දරුවන්ට දශකයකට දෙකකට පෙර අකුරු කරන්නට පවා නිසි අයුරින් පහසුකම් නොතිබුණි. ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබන්නට නම් කිලෝමීටර් 54කට අධික දුරක් ගෙවා අනුරාධපුරයට යා යුතුව තිබුණි.

බහුතරයක් ගොවිතැනින් ජීවත් වන කැබිතිගොල්ලෑව අවට මවුපියන්ට එවැනි ආර්ථික ශක්තියක්ද නැත. එහෙයින් ඔවුන් සියලු දෙනාම තම දූ දරුවන් යොමු කළේ කැබිතිගොල්ලෑවේ පාසලක් කරාය.

එයින්ද කැබිතිගොල්ලෑවේ මධ්‍ය මහා විද්‍යාලයට හොඳ ඉල්ලුමක් තිබුණි. කැබිතිගොල්ලෑව මැදි විදුහලට පහසුකම් ලැබෙන්නට පටන් ගත්තේ දූ දරුවන් දහස් ගණනක් එහි අධ්‍යාපනය ලබන්නට පටත් ගත් නිසාය. පරිගණකයක් කිසිදා නොදුටු දරුවන්ට පරිගණක විද්‍යාගාර පවා හිමිවිය.

මේ නිසා දස්කමින් ඉහළ දරු පරපුරක් බිහි කරන්නට පාසලට හැකි විය. පාසලේ මේ ඉහළ මට්ටමේ අධ්‍යාපනය හා ක්‍රියාශීලීත්වය කෙරෙහි බහුතර ආයතන සංවිධානවල ඇස පවා යොමු විය.

ඒ අනුව ගුඩ් නේබර්ස් ශ්‍රී ලංකා ආයතනය ද පාසලේ දූ දරුවන් අන්තර්ජාතික තරගයක් කරා යොමු කරන ලදී.

ඒ රටවල් 17ක සුපිරි පාසල් 685ක් සම්බන්ධ වන තරගාවලියකටය.

කොටි කටේ ගම් ලෙස එකල හැඳින්වූ මේ දරුවන් බහුතරයක් දිවි ගෙවන කනුගහවැව, පිහිඹියගොල්ලෑව, තඹලගොල්ලෑව වැනි ගම්වල මවුපියෝ එදා නොවිඳින දුක් වින්දාහ. ඔවුහු මේ කිරි කැටි දරුවන් හංගා ගෙන රෑ එළිවෙන තුරු බංකර්වල මදුරුවන් තැලූහ. කැලෑවල ගස් මුදුන්වල සැඟගව සිටියහ. කිසිදු පහසුකම් නොමැතිව එම මවුපියන් ලද අධ්‍යාපනය ප්‍රාථමික අවදියෙන්ම ඇනහිට තිබුණි.

එවන් පසුබිමක් තුළ පාසල් යන මේ දූ දරුවන් රටවල් 17ක සුපිරි පහසුකම් යටතේ හැදුණු වැඩුණු සිසු දරු දැරියන් සමඟ තරග කරන්නේ කෙසේද?

එහෙත් සියල්ල උඩු යටිකුරු කරමින් කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දූ දරුවෝ එම රටවල් 17ම අබිබවා කණ්ඩායම් 685 අතුරින් ප්‍රථම ස්ථානය දිනා ගත්හ. එය එදා මෙදා තුර කැබිතිගොල්ලෑව පළාතටම ලබා ඇති සුවිසල් ජයග්‍රහණයකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේම පාසලක සිසු පිරිසක් මෙවන් ජයක් ලද ප්‍රථම අවස්ථාවය.

කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති යූ. බී. කුමාරසිංහ පැවසුවේ "ගෝලීය තිරසාර සංවර්ධනය හා දේශගුණික විපර්යාස" තරගාවලියට ඉදිරිපත්වූ රටවල් 17ක කණ්ඩායම් 685ක් පරදා "හොඳම ප්‍රජා බලපෑම් සම්මානය" (Best Community Impact Award) දිනාගැනීමට කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ දරුවන් සමත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් වඩාත් කැපවීමෙන් කටයුතු කළේ එහි නියොජ්‍ය විදුහල්පති ඉරෝෂන් ශ්‍රී ඩයස් බවද ඔහු පැවසුවේය.

මෙවන් අන්තර්ජාතික ජයග්‍රහණයක් කරා ගෙන යන්නට සිසු දරුවන් මෙහෙයවූ නියෝජ්‍ය විදුහල්පති ඉරෝෂන් ශ්‍රී ඩයස්ගෙන් අපි කරුණු විමසුවෙමු.

‘‘අපට මේ සඳහා මඟ පෙන්වීම ලැබුණේ ගුඩ් නේබර්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉසුරු සොහාන් මහතාගෙන්. දූ දරුවන් මෙවන් තරගයකට ඉදිරිපත් කිරීම ගැන ආරම්භයේදී පොඩි චකිතයක් තිබුණත් උත්සාහය වගේම ඉදිරිපත් වීම මත බොහෝ ජයග්‍රහණ ලබන්නට පුළුවන් බව මම දැන හිටියා. ඒ වෙනුවෙන් ඉසරු මහතාගෙන් ලොකු ධෛර්යයක් ලැබුණා. දූ දරුවන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් හා දූ දරුවන් මෙවන් කාර්යයක් වෙනුවෙන් මෙහෙයවීමට අප එය අගය කරනවා. විදුහල්පතිතුමා මේ වැඩසටහන සම්බන්ධයෙන් පාසලට වාර්තා වූ විගස මා දැනුවත් කළා අවශ්‍ය පියවර ගන්නා ලෙස. ඒ දිරිමත් කිරීම මත අපට මේ ජයග්‍රහණය කරා යන්නට හැකි වුණා‘

අපි මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලුවේ මේ වැඩසටහනේ පාසලේ කණ්ඩායම් නායක වූ කවිෂ්ක දුල්ශාන් සිසුවාගෙනි.

‘‘ මගේ ගම පිහිඹියගොල්ලෑව අම්ම තාත්තටත් ගොඩක් සතුටුයි අපි ලබපු මේ ජයග්‍රහණය ගැන. අපිට ඇත්තටම මේ ජයග්‍රහණය ලොකු අත්දැකීමක්. ඒ වගේම අපේ සාමූහික ජයග්‍රහණයක්.

අපේ ඉස්කෝලෙ තියෙනවා පරිසර කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුල අය අතුරෙන් 28 දෙනෙක් තමයි මේ තරගාවලියට තෝර ගත්තෙ.

අපිට තිබුණෙ තිරසර සංවර්ධනය ගැන වගේම දේශගුණික විපර්යාස ගැන හඳුනාගෙන ඒ සම්බන්ධව අපට කලාපීය වශයෙන් බලපාන ගැටලුවක් හඳුනා ගැනීමයි. ඒ ගැටලුවට විසඳුම් ලබා දීමයි.

අපි 28 දෙනා කණ්ඩායම් 4ක් වශයෙන් අපට බලපාන ප්‍රශ්නයක් හඳුනාගෙන ඒ වෙනුවෙන් විසඳුම් යෝජනා කළා.

අප හඳුනාගත් ප්‍රශ්නය වුණේ අපේ සහෝදරියන් ඒ කියන්නෙ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා බැහැර කිරීමේදී ඒවා වැසිකිළිවලට යෙදීමෙන් වන අවහිරවීම් ගැටලුව හා ඒ වෙනුවෙන් විසඳුමක් ලබාදීමේ ක්‍රමවේදයක් සම්බන්ධවයි.

අපි ගැහැනු පිරිමි සියලු දෙනා එකතු වෙලා හඳුනාගත් මේ ගැටලුවට විසඳුමක් ලෙස නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා හඳුන්වාදීමක් කළා.

එය ඉහළ පිළිගැනීමකට ලක්වුණා. අපට මේ සම්මානය ලැබුණේ ඒ වෙනුවෙන්. මෙහිදී අපි අත්දැකීම් රැසක් ගත්තා. පිටරට අයත් එක්ක කතා කළා. තරග කළා. කණ්ඩායම් හැඟීමෙන් බොහෝ දේ කරන්න පුරුදු වුණා. අපේ දැනුම වගේම භාෂා දියුණුවටත් මේ තරගය ඉවහල් වුණා. ඇත්තටම අපට මේ අලුත් අත්දැකීම ආයෙත් ජීවිතේටවත් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ අවස්ථාව උදා කරල දීපු විදුහල්පතිතුමාටයි, නියෝජ්‍ය විදුහල්පතිතුමාටයි, සම්බන්ධීකරණය කරපු ඉසුරු ෂෙහාන් මහතාටත් අපේ ස්තුතිය පුද කරනවා.‘‘

කණ්ඩායම් නායිකා ප්‍රාර්ථනා හේෂානි යාපා පවසන්නේ පාසලට ලබා දුන් ගෞරවය තම දිවියේ අමරණීය සටහනක් බවයි.

‘‘ අපි බහුතරයක් මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න ඉන්න අය. ඒ වුණත් මේ වැඩසහහන ගැන කිව්වහම ඇත්තෙන්ම අපි බොහොම සතුටින් ඉදිරිපත් වුණේ. මොකද අපටම බලපාන පාරිසරික ගැටලුවක් ගැන ඉදිරිපත් කරන්න අපට ලැබුණු අවස්ථාවක්. ඒ වගේම අපටම එයට විසඳුමක් ඉදිරිපත් කරන්න ලැබුණා. අපට මේ ජයග්‍රහණය කරා යන ගමනට.

අපේ පාසලේ දූ දරුවන් මේ වගේ සංකල්පයක් වෙනුවෙන් කටයුතු කළේත්, ඒ වගේ තරගයකට ඉදිරිපත් වුණෙත් පළමු වතාවට, අපට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා. අනෙක් කරුණ අපට ගෝලීය වශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. අපිට කිසිම හැකියාවක් තිබුණෙ නැහැ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ වගේ තරගයක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒත් අපේ සහෝදර සහෝදරියො හිටියා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවා විදෙස් තරගකරුවන් එක්ක සාකච්ඡා කරපු.

මම දන්න තරමින් මේ වගේ ජයග්‍රහණයක් ලබන්න මීට පෙර හැකිවෙලා නැහැ. අපේ ඉදිරි ගමනට මේ ජයග්‍රහණය ලොකු රුකුලක් වෙනවා. මේ වෙනුවෙන් අතහිත දීපු සියලු දෙනාටම අපි ස්තුතිය පුද කරනවා‘‘

අපි මේ සම්බන්ධයෙන් ගුඩ් නේබර්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉසුරු සොහාන්ගෙන් කරුණු විමසුවෙමු.

‘‘ ගෝලීය පුරවැසි අධ්‍යාපනය යටතේ අපේ රටේ දූ දරුවන්ටත් ඒ සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දුන්නා. ඒ වැඩසටහන ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක වුවත් ලංකාවේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ යටතේ මෙවර තිරසර සංවර්ධනය හා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමක් තිබුණේ.

ඒ වෙනුවෙන් අපි තෝරා ගත්තේ කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයයි. ඒ පාසල අනුරාධපුර දුෂ්කර පෙදෙසක පිහිටා තිබීමත්, ඒ වගේම දූ දරුවන් 2400ක් පමණ අධ්‍යාපනය ලබන පාසලක් වීමත් ඒ සඳහා මුල් වුණා. ඒ වගේ පාසලක තිරසාර සංවර්ධනය සඳහා වන යෝජනා රැසක් තියෙන්න පුළුවන්. ඒ වගේම පාරිසරික ගැටලු හඳුනා ගැනීමත් පහසු වෙනවා.

ඒ යටතේ අපි රටවල් 17ක පාසල් කණ්ඩායම් 685ක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ යටතේ තිරසාර සංවර්ධනය හා දේශගුණික විපර්යාස සම්බන්ධ ගැටලුවක් ඉදිරිපත් කර ඒ සඳහා විසඳුමක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒ සම්බන්ධව කෙටි වීඩියෝවක් ඉදිරිපත් කිරීමත් මේ වැඩසටහනට ඇතුළත් වුණා.

අපි පාසල හා සම්බන්ධ වෙලා දූ දරුවන් 28 දෙනාගෙන් කණ්ඩායම් 4ක් හැදුවා. කණ්ඩායම් 4ම ගැටලු 4ක් විසඳුම් 4ක් ඉදිරිපත් කළ යුතුව තිබුණා. එහිදී මේ දූ දරුවන් ඉදිරිපත් කළ ගැටලු අතුරින් ප්‍රමුඛස්ථානයට ගනු ලැබුවේ ඔවුන් ඉදිරිපත් කළ කාන්තා සනීපාරක්ෂක තුවා ගැටලුවයි. දැරියන් සනීපාරක්ෂක තුවා වැසිකිළි තුළට දැමීමෙන් එම වැසිකිළි මලපවාහන පද්ධතිය අවහිරවීම් නිරතුරුවම වාර්තා වන බව පෙනුණා. එවිට සෙසු දැරියන් වැසිකිළි නොගොස් මුත්‍රා කිරීමට නොගොස් ඒවා අවහිර කරගෙන නිවෙසට යන තුරු සිටින බවත් වාර්තා වුණා. එය ශරීර සෞඛ්‍යයට දැඩි සේ අහිතකර ලෙස බලපානවා.

ඒ නිසා මේ දූ දරුවන් විසින්ම ඒ වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. ඒ නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවායක් සම්බන්ධයෙන්. ඒ සඳහා වන සංකල්පය ඉහළ ප්‍රමිතියකින් යුක්ත බව අපටත් පෙනී ගියා.

ඒ සනීපාරක්ෂක තුවා සකස් කර ගැනීම කළ හැකි ආකාරයත් ඔවුන් දක්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකින් පසුව තමයි මේ පාසලට "හොඳම ප්‍රජා බලපෑම් සම්මානය" (Best Community Impact Award) හිමි වුණේ. එවැනි සම්මාන 3ක් පමණයි ලෝකයේම ප්‍රදානය කරන්නේ. එයින් පළමු තැනයි මේ කණ්ඩායමට හිමිවුණේ. දෙවෙනි ස්ථානය දකුණු කොරියාවටත් තුන්වැනි සම්මානය ඉන්දුනීසියාවටත් හිමි වුණා.

සම්මාන උලෙළට සමගාමීම උගණ්ඩාවම හා සැම්බියාවේ දූ දරුවන් අතර මාර්ගගත (ඔන්ලයින්) අදහස් හුවාමාරු වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. එහිදී ආහාර, සංස්කෘතිය, අධ්‍යාපනය හා තිරසර සංවර්ධනය සම්බන්ධව අදහස් හුවමාරු කෙරුණා. එය තරගයක් ආකාරයෙන් පැවැත්වුණේ. එහිදී දේශගුණික විපර්යාස මෙන්ම තිරසර සංවර්ධනය ගැනත් විමසීම් කළා.

එම තරගයෙනුත් ප්‍රථම ස්ථානය දිනා ගැන්මට මේ දරුවන් සමත් වුණා. ඉදිරියේදී ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන අමුද්‍රව්‍යද යොදාගෙන නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා ලබා දීමට කටයුතු කෙරෙනවා‘‘

මාස දෙකක් පමණ කාලයක් මේ දු දරුවන් තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් දේශන මෙන්ම ඒ සම්බන්ධ කෙටි වැඩමුළුවලට සම්බන්ධ වී තිබේ. ඒ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ඉසුරු සොහාන් මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේය. සනීපාරක්ෂක තුවා සම්බන්ධ මේ සොයා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇත. රෙදි උපයෝගී කරගෙන අවස්ථා කිහිපයක් යළි භාවිත කළ හැකි ආකාරයෙන් සනීපාරක්ෂක තුවා මෙසේ නිර්මාණය කළ හැකි වීම විශේෂයෙන්ම එම මවුපියන්ටද මහඟු පිටිවහලකි. ඒ ආර්ථික අතින් ලැබෙන්නා වූ සහනය නිසාය. භාවිත කර අවස්ථා කිහිපයක් යළිත් භාවිත කළ හැකි නිසා ඉවත නොදමා සනීපාරක්ෂක තුවා රැගෙන යාම නිසා ඒවා වැසිකිළි තුළට දැමීමෙන් වන හානිය වැළකීමද සම්පූර්ණයෙන්ම මෙන් නවතිනු ඇත. මේ නව නිෂ්පාදනය මේ වන විට පාසලේ පංති මට්ටමෙන් හඳුන්වා දී ඇත. එමෙන්ම වෛද්‍යවරුන්ගේ නිර්දේශද ඒ වෙනුවෙන් ලැබී ඇති බවත් වාර්තා වේ.

මේ නව නිෂ්පානය හඳුන්වා දී සති දෙකක් පමණ කාලයක් වන අතර, ඉදිරියේදී ආනයනික අමුද්‍රව්‍ය ලැබීමෙන් පසුව නිවසේදීම ආරක්ෂිත ලෙසින් භාවිත කළ හැකි නිෂ්පාදනයක් ලෙස එය භාවිත කළ හැකි වනු ඇත.

ලෝකයේ හොඳම ප්‍රජා බලපෑම් සම්මානය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ කැබිතිගොල්ලෑව වැනි අතිදුෂ්කර යැයි සැලකෙන පාසලක දරුවන් ලබා ගැනීම ඉතා සුවිශේෂී මෙන්ම ඓතිහාසික අවස්ථාවකි. එම දරුවන්ගේ මේ ජයග්‍රහණය පිටුපස ඇති ආර්ථිකමය තත්ත්වය වටහාගෙන ඒ වෙනුවෙන් පිළියම් යෙදීමට කටයුතු කරන්නේ නම් එය බොහෝ මවුපියන්ට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවටද මහඟු අත්වැලක් වනු ඇත.

Comments