පුත්තලමේ අබ්දුල් කාදර් හසන්, 'දෙළුම් හසන්' බවට පත්ව දැන් අවුරුදු හත අටකි. ඔහුට ඒ නම පටබැඳුණේ, රතට රතේ බැබළෙන ලොකු දෙළුම් ගෙඩි පිරුණු වත්තක හිමිකරු නිසාම පමණක් නොව, ඉන්දියාවේ වවන 'සින්දූර් භගවා' නම් ඒ විසල් රත් පැහැ දෙළුම ලංකාවට හඳුන්වා දුන් පුද්ගලයා ද ඔහු වන නිසා ය.
2016 වසරේ පුත්තලම මදුරන්කුලියේ, බද්දට ගත් අක්කර අටක පොල් වත්තක අතුරු වගාවක් ලෙස ඔහු සින්දූර් භගවා දෙළුම් පැළ 1,500ක් සිටවූයේ, යහමින් දෙළුම් ගෙන්වූවාට ඒ දෙළුම් පීදෙන එක් පැළයක් හෝ ලංකාවේ නොතිබූ පසුබිමක ය.
ඔහුට අනුව,'සින්දූර් භගවා' හෙවත් ලංකාවේ අපි දන්නා 'රෙඩ් ඒන්ජල්' දෙළුම් ගසක් යනු, කෙනකුට ලක්ෂපතියෙක් වීමට හැකි ඉතා හොඳ ආර්ථික වගාවකි.
රට දෙළුම් ද ඇතුළුව, ආනයනික පලතුරු වෙනුවෙන් වසරකට ඩොලර් කෝටි ගණන් වැය කරන රටක, මේ රෙඩ් ඒන්ජල් පැළයක් මිදුලේ සිටවා ගන්නට හැකි නම් පිටරටවලට ඇදී යන ඩොලර් ප්‍රමාණය නවත්වා ගැනීම කෙසේවෙතත්, නැවුම් පලතුරක රස ගුණ දරුවන්ට දෙන්නට හැකි වනවා ඇත. මරණාසන්න රෝගියකුගේ අවසන් ශක්ති ජනක ආහාරය වන්නේ ද දෙළුම් යුෂ බිඳකි. අද දෙළුම් ගෙඩියක් මිල දී ගන්නට අඩුම තරමේ රුපියල් හත් අට සියයක්වත් වැය කරන්නට සිදු වේ.
දෑවුරද්දකින් ඵල දරන 'රෙඩ් ඒන්ජල්' දෙළුම් ගස, ඒ සියල්ලට හොඳ විසඳුමක් වන බැවින් ආර්ථික භෝගයක් ලෙස එය රට පුරා ව්‍යාප්ත කළ යුතු බව හසන් පවසයි.
" හැම තිස්සේම යමක් කරන්න බැහැ; නැහැ කියන අයට මේ දෙළුම් වගාව හොඳ උත්තරයක්. මම මේ දෙළුම්වල රස දැනගත්තේ කටාර්වල ඒ.සී.ටෙක්නීෂියන් කෙනෙක් විදියට වැඩ කරන කාලේ. කන බොන දේ ගන්න සුපර් මාර්කට්වලට ගියාම මම හරියට මේ දෙළුම් ගන්නවා. ලංකාවේ මුදලින් රුපියල් තුන් හාර සියයක් වත් වෙන්නෙ නැහැ කිලෝ එකක්. ඒ කියන්නේ, ලංකාවට වඩා පස් ගුණයකින් විතර මිල අඩුයි. එහේ වැඩිපුර ම තිබුණේ Wonderful කියන දෙළුම් ප්‍රභේදය. ඒවායේ ඇට ලොකුයි. ලස්සනයි. හැබැයි ඉන්දියන් ,'සින්දූර් භගවා' ප්‍රභේදය ඊට වඩා රසයෙන් වැඩියි. මම ඒ දෙළුම් කන ගානේ හිතුවේ ඇයි මේවා ලංකාවේ වවන්න බැරි කියලා. ලංකාවේ තරම් සාරවත් පසක් නැති ඊජිප්තුවෙන් සහ ඉන්දියාවෙන් තමයි මේවා කටාර්වලට ගෙන්නුවේ.
ඇත්තටම මේ ගැන මම ඉන්ටර්නෙට් එකේ හොයන්න ගත්තා. මම හොඳ වීඩියෝ එකක් දැක්කා. ඒ ඔස්සේ මාස ගණනක් තොරතුරු සොයමින් වෙහෙසුණා. අන්තිමේ මේ දෙළුම් පැළ හදන සමාගම ඉන්දියාවේ ජේන් ඉරිගේෂන් බව හොයා ගත්තා. කටාර්වල ඉන්න ගමන් මම ඉන්දියාවට ගියා. ඔවුන් හමුවුණා. හැදෑරිය යුතු දෑ බොහෝ බව තේරුණා. Agri Academia ආයතනයට බැඳුණා. අන්තිමේ කටාර් රස්සාව අත්හැරලා ලංකාවට ඇවිත් දෙළුම් වවන්න පටන් ගත්තා. ඒක හිතපු තරම් ලේසි වුණේ නැහැ. හැබැයි මම අත්හැරියෙත් නැහැ.
මේ දෙළුම් ගහක ආයු කාලය අවුරුදු 25ක්. ඉන්දියාවේ ජේන් ඉරිගේෂන් සමාගමට අනුව නම් ඒවා Tissue Culture හෙවත් පටක රෝපණ ක්‍රමවේදයට අනුව බෝ කර තිබෙන නිසා, තනිකරම කාබනිකව වගා කරනවා නම් ආයු කාලය අවුරුදු 35ක්.
නමුත් අපේ මේ භගවා ප්‍රභේදය ලංකාවේ වඩාත් හොඳින් ඵල දරන්නේ 70%ක් කාබනික සහ 30%ක් රසායනික පොහොර යෙදූ විටයි. මම දන්න විදියට භගවා ප්‍රභේදය ලංකාවේ තිබෙන්නේ මගේ ළඟ විතරයි. මම 2016 ගෙනා මව් පැළ 1,500න් ඵලදාව ගන්න ගස් දෙසීයක් විතර ඉතුරු කළා. ඉතිරි මව් පැළ පාවිච්චි කරලා තමයි මම මේ second generation පැළ හදන්නේ. මව් ශාකයේ අත්තක් තෝරාගෙන, එහි පොත්ත කපා කොහුබත් සහ මුල් අදින හෝමෝන එක් කර, ගහේදී ම තවත් ගහක් ලෙස මුල් අද්දවා ගන්නා ක්‍රමවේදයක් මේක. එය හඳුන්වන්නේ Air Layering System නමින්.
දෙවැනි පරම්පරාවෙන් ගන්නා පැළවල වර්ධන වේගය වැඩියි. ඵලදාවක් වැඩියි. අවුරුදු දෙකෙන් අස්වනු ගන්න පුළුවන්.
පැලය හිටවලා මාස තුනෙන් මල් පිපෙන්න පටන් ගන්නවා. ගෙඩි හැදෙන්න නොදී ඒ මල් කඩා දාන්න ඕනේ. නැත්නම් ගහ බාල වෙනවා. මාස දාසයක් යන කල් ගහ හොඳින් හැදිය යුතුයි. අවුරුදු දෙක වෙද්දි තමයි සාර්ථක අස්වැන්නක් ලැබෙන්නේ. එවිට, කිලෝ 10 සිට 25 දක්වා පළමු අස්වැන්න ගන්න පුළුවන්. දෙවැනි අස්වැන්න ඊටත් වඩා වැඩියි. තුන හතර ඊටත් වඩා වැඩියි. ගහ ලොකු වෙන්න ලොකු වෙන්න ඵලදාව වැඩියි.
අපි නිර්දේශ කරන්නේ අවුරුදු පහකින් පස්සේ, ගහකින් උපරිම දෙළුම් කිලෝ 50ක් ගත්තම ඇතියි කියලයි. අවුරුද්දට තුන් පාරක් මල් පිපුණත් රසින් වැඩි දෙළුම් අස්වැන්නක් ගන්න නම් මැයි සිට නොවැම්බර් දක්වා ඵලදාව තමයි සුදුසු. දෙළුම් කිලෝවක් අද වන විට මාකට් එකේ රුපියල් 4,000යි. අපිට පුළුවන් 1,800-2,000 අතර මිලට දෙන්න.
යාපනෙන් පටන් ගත්තාම දකුණට යන කල් දැන් අපේ දෙළුම් ව්‍යාප්ත කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ මේ වන විට අක්කර 250ක ව්‍යාපෘතියක් කරගෙන යනවා. වියළි කලාපය තමයි දෙළුම්වලට හොඳම. නමුත් මේ භගවා වර්ගය දැන් නුවරඑළියෙත් වවා තිබෙනවා.
මගේ දෙළුම් වත්තේ වැඩ කරන්නේ, වැඩිමනක් මේ ගමේ උදවිය. ඒ අයටත් මම මේ අතු බඳින ක්‍රමවේදය කියා දී තිබෙනවා. ඒ නිසා ඒ අයටත් රැකියා අවස්ථාවක් බිහි වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මමත් ලොකු ගෙයක් හැදුවා. වාහන දෙක තුනක් ගත්තා. මේ හැම දෙයක්ම කළේ දෙළුම් වගාවෙන්.
ලබන අවුරුද්දේ මම තව අලුත් පලතුරක් ලංකාවට හඳුන්වා දෙනවා. ඒ, හයිබ්‍ර්ඩ් රතු ඇපල් වර්ගයක්. කොහොමටත් මම ලංකාවට හඳුන්වා දෙන්නේ රතුපාට පලතුරු විතරයි. ඒක මගේ ආසාව. ඒ ව්‍යාපෘතිය මම හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ, zero budget සංකල්පයට. ඒ අනුව, ඕනෑම දුප්පත් කෙනකුට වුණත් වගා කරලා අඩුම ගාණේ අවුරුද්දකට රුපියල් ලක්ෂ දහයක් හොයාගන්න පුළුවන්. පැළ, පොහොර සහ කෘෂි රසායන අපිම දීලා වගා කරවන ක්‍රමවේදයක් ඒ. මේ වෙනකොට මම අක්කර 1,000කට වැඩිය දෙළුම් වවන්න දායක වී තිබෙනවා. ඒ වගාකරුවන් ගේ වතුවලට යනවා. අක්කර 2000ක් වැවීමයි මගේ ඉලක්කය. මොකද, දෙළුම් වගාව වැඩි වන තරමට, ව්‍යාප්ත වන තරමට මිල අඩුවෙන් ජනතාවට එය ගන්න පුළුවන්. ලකාවේ තවම පළමු සහ දෙවැනි අස්වනු විතරයි ගනිමින් පවතින්නේ. නැත්නම් ඊටත් වඩා අඩුවට දෙන්න පුළුවන්. වගාව ව්‍යාප්ත කළාම තරගය ඇති වනවා. වෙළෙඳපොළට වැඩිපුර අස්වනු එනවා. එවිට මිල තවත් පහළට යනවා.
මගේ මේ වගාවට ආයෝජනය කරන්න කැමැත්තෙන් දැන් පිට රටවලිනුත් එක එක අය කතා කරනවා. මං ඒ අවදානම ගන්න කැමති නැහැ. වැඩි දේවල් ඕනේ නැහැ. මගේ ධාරිතාව අනුව කළාම මට ඇති. භගවා දෙළුම් කියන්නේ මට ජීවත් වෙන්න ලැබුණ දිව්‍ය ලෝකයක්. මං කැමතියි ඒ සම්පත ලංකාවේ අනික් මිනිස්සු අතරත් බෙදා ගන්න.
අදටත් මාස හයකට සැරයක් මම ඉන්දියාවේ Agri Academia ආයතනයේ සූම් පන්තිවලට සහභාගී වනවා. ඒ හරහා දෙළුම් වගාව පිළිබඳ අප්ඩේට් වනවා. එයාලා කියා දෙන්නේ දෙළුම් ගැනම පමණයි. ඒ මඟින් අලුත් අලුත් ක්‍රමවේද මම ඉගෙන ගන්නවා.
කොයිතරම් හොඳ වුණත්, කොයිතරම් වාසි වුණත් මට විතරක් මේක තනියම කරන්න බැහැ. තව අය මේ වගාවට එන්න ඕනේ. මට හින්දි, උර්දු, මලයාලම්, ඉංග්‍රීසි, දෙමළ භාෂා කිහිපයක් ම පුළුවන්. ඒ හින්දා ඉන්දියාවේ Agri Academia එකේ ඉගෙන ගන්න කාලේ මම ඒ දෙළුම් ෆාම්වල ගොවීන් ළඟට ගිහින් සෘජුව කතා කරලා බොහෝ දැනුම ලබා ගත්තා. භාෂාව පුළුවන්කම ලොකු රුකුලක් වුණා. දැන් මට ඕනෑම කෙනකුට මේ වගාව කරන හැටි පහදා දෙන්න පුළුවන්.
රතට රතේ දිළිසෙන මේ ලස්සන දෙළුම් ඇට මොන තරම් ප්‍රණීත පලතුරක් ද... මගේ දෙළුම් වගාව මේ විදියට දකිනකොට හිතට හරි සතුටක් දැනෙනවා. නමුත් මම පහු කළ ජීවිතය අතිශය දුක් කරදරවලින් පිරුණු එකක්. දෙළුම් වගාව නැත්තටම නැති වුණු අවස්ථා තිබුණා. දෙවියෙක් වගේ මට උදව් කළ මහත්මයෙක් හිටියා. ඔහු නොවෙන්න, අද මට මේ තැනට එන්න ලැබෙන්නේ නැහැ. ඔහුගේ අත දීමත්, මගේ අත්නොහරින ගතියත් එකතු වෙලා ආ ගමනක් මේක.
එච්චර අමාරුවෙන් මම හදපු මේ දිව්‍ය සම්පත මේ රටේ අනෙක් අයත් වගා කරලා පෝසතුන් වෙනවා දකින්නයි මට ඕනේ..."