තුන් කෝරළයේ ජාතික සමගියේ සංකේතය යූ. එල්. එම්. ෆාරුක් | සිළුමිණ

තුන් කෝරළයේ ජාතික සමගියේ සංකේතය යූ. එල්. එම්. ෆාරුක්

වසර දෙකකට පෙර අප අතරින් වෙන් වූ තුන් කෝරළයේ දේශපාලන නායකයෙකු වූ යූ.එල්.එම්. ෆාරුක් රුවන්වැල්ල කන්නන්තොට මුස්ලිම් ගම්මානයේ පාරම්පරික වාමාංශික දේශපාලන පවුලක උපන්නෙකි. ගම්සභා මැතිවරණයෙන් දේශපාලනයට පිවිසි ෆාරුක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් වාර්තාවක් තබා ඇත. හිටපු අමාත්‍යවරයෙකු හා ආණ්ඩුකාරවරයෙකු වූ දිවංගත පී.සී. ඉඹුලානගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් දේශපාලන දිවිය ආරම්භ කළ ෆාරුක් ගම් සභා නියෝජිත, සංවර්ධන සභා මන්ත්‍රී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ද රාජ්‍ය ඇමැති, වැඩබලන ඇමැතිවරයා වශයෙන් ද පුරා දශක හයකට වැඩියෙන් සේවය කර 2021 අගෝස්තු මස 06 වෙනි දින අභාවප්‍රාප්ත විය.

ෆාරුක් මුනුස්ලෙබ්බේ පලීලාඅම්මා යන අයගේ දරුවා වශයෙන් උපන්නේ 1941 ජුනි මස 20 වැනිදාය. කන්නන්තොට සුලෙයිමානියා මහා විද­්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු රුවන්වැල්ල මූදුගමුව සිංහල මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්තේය.

1956 වමට බර වූ රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස තරග කළේය. එවකට වයස අවුරුදු 15ක් පමණ වූ ෆාරුක් හිටපු ජනාධිපතිවරයෙකු වූ ප්‍රේමදාසයන්ට සහයෝගය දැක්වීමට දේශපාලනයට පිවිසියේය. 1988 වසරේ පත්කළ මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූ ෆාරුක් 1989 වසරේ පැවැත්වූ මහ මැතිවරණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය. ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ රජයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔහු පත්විය.

ලංගම ජනතා සන්තකයට පත්වීමේ වැඩපිළිවෙළ මේ කාලය තුළ ක්‍රියාත්මක කරන ලදි. එවකට සභානායක හා ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ දිවංගත විජේපාල මෙන්ඩිස්ට මෙය භාර කර තිබුණි. ජනතා සන්තක ව්‍යාපාරය උතුරු නැඟෙනහිර පළාතේ ක්‍රියාත්මක කිරීම ෆාරුක්ට පවරා තිබුණි.

කොටි සංවිධානයේ තර්ජනය මැද උතුරු නැඟෙනහිර පළාතේ සෑම ප්‍රදේශයකටම සංචාරය කළ ෆාරුක් ජනතා සන්තක ව්‍යාපාරය ඉතා සාර්ථකව ඉටු කළේය. කොටි තර්ජන නිසා සේවයට වාර්තා නොකිරීමෙන් සේවය අහිමි වූ ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින් සිය ගණනකට නැවත ෆාරුක් විසින් රැකියා ලබාදීමට කටයුතු කළේය. කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ ෆාරුක් දිස්ත්‍රික්කයේ ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරයා වශයෙන් දිස්ත්‍රික්කයේ මුස්ලිම් හා දමිළ පාසල්වල සංවර්ධනය සඳහා කැපවීමෙන් කටයුතු කළේය. වරක් දිස්ත්‍රික්කයේ ගොඩනැඟිලි පහසුකම් නැති මුස්ලිම් පාසල් 19කට එවකට සබරගමු පළාත් මහ ඇමැතිවරයා වශයෙන් සිටි ජයතිලක පොඩිනිලමෙගේ ආශිර්වාදයෙන් මුදල් වෙන්කර දුන්නේය. කෑගල්ල දිසාවේ මුස්ලිම් අධ්‍යාපන සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මොහු මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට මධ්‍යම රජයෙන් හා සබරගමු පළාත් සභාවෙන් ආධාර උපකාර ලබාදීමට කටයුතු කළේය. ලංකාවේ ප්‍රධාන මුස්ලිම් සංවිධානයක් වූ සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ සංවිධාන සම්මේලනයේ උප සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

කොටි සංවිධානය විසින් උතුරු නැඟෙනහිර පළාත්වල ජීවත් වූ මුස්ලිම්වරුන් පැය විසිහතරෙන් පළවා හැර දකුණට පැමිණි අවස්ථාවල පුත්තලම, අනුරාධපුර, පොලොන්නරුව වැනි ප්‍රදේශවලට ගොස් එම ජනතාව නැවත පදිංචි කිරීමට ෆාරුක් නායකත්වය ලබා දුන්නේය. දක්ෂ සිංහල දෙමළ කථිකයෙකු වූ ෆාරුක් තුන්කෝරළයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය නිබඳවම හිමිකරගත් දේශපාලන නායකයෙකු විය. ෆාරුක් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත් පසු යූ.එල්.එම්. ෆාරුක් පදනම පිහිටුවා රුවන්වැල්ල ආසනයේ ජනතාවට විශේෂයෙන් දුප්පත් පාසල් දරුවන්ට ආධාර ලබාදීමට කටයුතු කළේය.

ඔහුට ගරු කිරීමක් වශයෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව කන්නත්තොට ඔහුගේ නිවස පිහිටි කන්නත්තොට ඉහළගම මාර්ගය යූ.එල්.එම්. ෆාරුක් මාවත යනුවෙන් නම් තබා ඇත.

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව පොදුජන පෙරමුණු බලය තිබූ අවස්ථාවක පක්ෂ බේදය නොසලකා විපක්ෂයේ සිටි මන්ත්‍රීවරයෙකු මෙසේ මාර්ගයට ෆාරුක්ගේ නම තැබීම ආදර්ශමත් ක්‍රියාවකි. වසර 80ක කාලයක් ජීවත් වූ යූ.එල්.එම්. ෆාරුක්ගේ දේශපාලන ජීවිතයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2014 අගෝස්තු 25 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ යුග පෙරළියක තුන්කෝරළයේ අභිමානය ග්‍රන්ථය එළිදැක්වීමේ උලෙළේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කළ රසවත් කියමන් සමඟ මෙම ලිපිය අවසන් කරමි.

“ෆාරුක් මහතා සියලු සංස්කෘතීන් සමඟ ජීවත් වූ අයෙකි. විශේෂයෙන් ම පන්සල සමඟ ඉතා හොඳ ඇසුරක් එතුමා පවත්වා තිබෙනවා.

ඊට අමතරව කෝවිල්වලටත් පල්ලිවලටත් එතුමා යනවා ඒවායේ වැඩ කරනවා. එතුමාගේ ජීවිතය දෙස බලන විට කරුණු ගණනාවක් පේනවා. එතුමා ලාංකික දේශපාලනඥයෙකු නිසයි මේ තැනට ආවේ.“ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එදා යූ.එල්.එම්. ෆාරුක් ගැන සඳහන් කළේ එසේය.

 

lඑන්. එම්. අමීන්

 

Comments