කෝටි එකහමාරක වංචාවට මාට්ටු වූ ගන්නෝරුවේ කැෂියර් නෝනා | සිළුමිණ

කෝටි එකහමාරක වංචාවට මාට්ටු වූ ගන්නෝරුවේ කැෂියර් නෝනා

ගන්නෝරුවේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු පර්යේෂණ ආයතනය

වංචාවක් දූෂණයක් පිළිබඳ තොරතුරක් කන වැකුණ සැණින් අප කාගේත් මතකයට එන්නේ දේශපාලනඥයන් ය. නිදහසින් පසු රට අද වැටී තිබෙන තැනට ඇද වැටීම සම්බන්ධයෙන් ජනතා ඇඟිල්ල දිගු වන්නේ එදා මෙදා තුර රට පාලනය කළ දේශපාලකයන්ට ය. වැරදි සියල්ල දේශපාලනඥයන් පිට පැටවීම සාධාරණ ද යන්න සම්බන්ධව ප්‍රශ්නාර්ථ මතුවන මහා පරිමාණ වංචා හා දූෂණ සම්බන්ධ චෝදනා රාජ්‍ය නිලධාරීන්ට එල්ල වූ අවස්ථා ගණනාවක් පසුගිය දශක කිහිපය පුරාම අපි අසා ඇත්තෙමු. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ එවැනි බරපතළ ගණයේ වංචා කිහිපයක් ම පසුගිය මාස කිහිපයේ දී මධ්‍යම පළාතින් වාර්තා විය. හඟුරන්කෙත අධ්‍යාපන කාර්යාලයේ ගුරු වැටුප් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියකු රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර තිබෙන බව අනාවරණය වූයේ ඔහු එම වංචාවට මුලපුරා වසර ගණනක් ගිය පසු ය. සිද්ධිය අනාවරණය වීමෙන් පසු අදාළ රාජ්‍ය සේවකයා තමන් අයුතු ලෙස ඉපැයූ බව කියන මුදලින් ලක්ෂ 80ක් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ගෙනවිත් බාර දීමට කටයුතු කළේ සියල්ලෝ මවිත කරමිනි. 

ඒ සමඟ පළාත් සෞඛ්‍ය සේවයේ නිරත රාජ්‍ය නිලධාරිනියකට චෝදනා එල්ල වූයේ වෛද්‍යවරුන්ගේ අතිකාල ගෙවීමේ දී කෝටි ගණනක මුදලක් පෞද්ගලික ගිණුම් කිහිපයකට දමා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි. මෙම වංචාව සම්බන්ධව පරීක්ෂණ මේ වන විට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙමින් පවතී. කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවට කූට ලේඛන සකස් කරමින් ළමුන් ඇතුළත් කළ බව කියන සිද්ධියේ දී ද මහා පරිමාණ අත යට මුදල් ගනුදෙනු සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් මේ වනවිට අනාවරණය වී තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමිවරිය සිදු කළ මුදල් වංචාවක් සම්බන්ධව අසන්නට ලැබෙන්නේ මේ අතරවාරයේ ය. දැන ගන්නට තිබෙන පරිදි ඇය 2018 වසරේ සිට මේ දක්වා මෙම වංචාව සිදුකර තිබේ. ඒ ඔස්සේ දෙපාර්තමේන්තුවට අහිමි කරමින් ඇය අයුතු ලෙස ලබා ගෙන තිබෙන මුදල රුපියල් කෝටි 1 1/2 ක් ද ඉක්මවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ පශු සම්පත් ව්‍යාපාරය හා එහි කොටස්කරුවන් වෙත තාක්ෂණික වශයෙන් නායකත්වය ලබා දීමට කටයුතු කරන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 1978 සැප්තැම්බර් මාසයේ දී ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යට‍තේ ස්ථාපිත කෙරුණකි. වර්තමානය වන විට මෙම දෙපාර්තමේන්තුව සත්ත්ව සෞඛ්‍ය, සත්ත්ව අභිජනන, පශු පර්යේෂණ, මානව සම්පත් සංවර්ධනය, පශු සම්පත් සැලසුම් හා ආර්ථික යන තාක්ෂණික අංශ 05 ක් සහ ආධාරක සේවා අංශ 02 ක් (පාලන සහ මූල්‍ය) යටතේ ක්‍රියාත්මක වේ. තාක්ෂණ විශේෂඥ සේවයට අමතරව මෙම දෙපාර්තමේන්තුව පශු සම්පත් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අණපනත් මාලාවක් ක්‍රියාත්මක කරයි. මේ අතරින් පශු විද්‍යා පර්යේෂණ ආයතනය සතු කාර්යභාරය අතිවිශාල ය. විදේශ රටවලින් සතුන් මෙන්ම සත්ත්ව ආහාර ආනයනය කිරීමේ දී මෙරටට ආගන්තුක ලෙඩ රෝග ඒ ඔස්සේ රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා අදාළ සාම්පල පරීක්ෂා කර නිරෝධායන සහතික නිකුත් කිරීම මෙම අංශයේ කාර්යභාරයකි.

විශේෂයෙන් කුරුලු උණ වැනි රෝග තත්ත්වයන් රටට ඇතුළු වීම වැළැක්වීම පිණිස කළ යුතු පරීක්ෂණවල දී මූලික වගකීම ඇත්තේ මෙම ආයතනයට ය. ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට යාමේ දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය ලබා ගැනීම අවශ්‍ය වූ අතර එහි දී අදාළ සාම්පල යොමු කරනු ලැබුවේ ද පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයට ය. සතුන් අපනයනය කිරීමේදී ද නිරෝධායන සහතිකයක් මෙම ආයතනයෙන් ලබා ගැනීම අනිවාර්ය ය. මෙයට අමතරව කරඳගොල්ල මධ්‍යම කුකුළු පර්යේෂණායතනයෙන් දිනක් වයසැති කුකුළු පැටවුන් මිල දී ගන්නා ගැනුම්කරුවන් ඒ සඳහා මුදල් ගෙවීම් සිදුකළ යුතු වන්නේ පශු පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමි වෙත ය. කුකුළු පැටවුන් අදාළ ස්ථානයෙන් ගැනුම්කරු වෙත නිකුත් කරනු ලබන්නේ මුදල් ගෙවූ බවට මුදල් අයකැමි නිකුත් කළ රිසිට් පත පෙන්වීමෙන් පසුව ය. තවද විවිධ රෝග හේතුවෙන් මරණයට පත්වන වන සතුන්, සුරතල් සතුන් සම්බන්ධ පරීක්ෂණ වාර්තා ද නිකුත් කරනු ලබන්නේ මෙම ස්ථානයෙනි.

මෙම පසුබිම තුළ දෛනිකව මෙම ආයතනයෙන් සේවා ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන අතර එනිසාම මුදල් කවුන්ටරය වෙත දිනපතා සැලකිය යුතු මුදලක් ද එකතු වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම ආයතනයෙන් පර්යේෂණ වාර්තාවක් ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයා වෙත ඒ සඳහා වැයවන මුදල සඳහන් කර රිසිට් පතක් නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියයි. සේවා දායකයා වෙත නිකුත් කරන රිසිට් පතේ පිටපතක් ආයතනික කටයුතු සඳහා තබා ගනිමින් පස්වරුවේ ඒවා ගිණුම් ගතකර ගණන් පියවීම සිදු වන්නේ ද මුදල් අයකැමිගේ මූලිකත්වයෙනි. වසර පහක පමණ කාලයක් තිස්සේ ඉතා සීරුවට සිදුවෙමින් තිබූ මෙම ක්‍රියාවලිය තුළ මහා පරිමාණ මුදල් සොරකමක් සිදුවන බව කිසිවකුත් දැන නොසිටිහ. දෙපාර්තමේන්තුවෙන් ලබන වැටුපෙන් නවීන පන්නයේ මෝටර් රථයක් මිලට ගනිමින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් අදාළ නිලධාරිනිය ගත කරන්නේ කෙසේද යන්න සම්බන්ධව යම් කසුකුසුවක් ආයතනය ඇතුළත සාමාන්‍ය සේවකයන් අතර ඇතිව තිබුණත් ඔවුන් ඒ ගැන වැඩිදුර විමසීම් නොකළේ මෙවැනි වංචාවක් ඇය විසින් කරනු ඇතැයි සිහිනයෙන්වත් නොසිතූ බැවිනි. 

මෙයට මාස කිහිපයකට පමණ ඉහත දී සුනඛයකුගේ අභ්‍යන්තර ඉන්ද්‍රීය පරීක්ෂාවක් ඇතුළු තවත් පර්යේෂණ කිහිපයක් සිදුකර ගැනීමට පශු වෛද්‍යවරයකු පැමිණ තිබේ. නිසි ලෙස ආයතනය මඟින් ලබා ගත් සේවාවට අනුව අදාළ සහතික ලබා ගත් වෛද්‍යවරයා අදාළ පර්යේෂණ වාර්තා විදේශීය ආයතනයකට යැවීම සඳහා පරීක්ෂා කිරීමේ දී ඒවා අස්ථානගතව ඇති බව දැන යළිත් එහි පිටපත් ලබා ගැනීම සඳහා පශු වෛද්‍ය පර්යේෂණායතනයට පැමිණ ඇත. දිනපතා සේවයට පැමිණීමට අමතක නොකරන මුදල් අයකැමිවරිය එදින සේවයට වාර්තා නොකර තිබීම හේතුවෙන් අදාළ නව පිටපතක් නිකුත් කිරීම සඳහා රිසිට් පත පරීක්ෂා කරනු ලැබ ඇත්තේ වෙනත් සේවකයකු විසිනි. මුදල් ගෙවීම් කළ බව තහවුරු කර ගැනීමට ආයතනයේ ඇති ලේඛන පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරයා ඉදිරිපත් කළ රිසිට් පතේ තිබූ රුපියල් 90000.00 කට ආසන්න මුදලට සමාන ගෙවීමක් එහි සටහන්ව නොතිබීමෙන් නිලධාරියා පත්ව ඇත්තේ මහත් අසීරුතාවකට ය. ඒ වෙනුවට එහි සඳහන්ව තිබී ඇත්තේ රුපියල් 9000.00 කි.

මෙම ආයතනයේ පරීක්ෂණ සඳහා සම්මත මිල ගණන් තිබේ. බොහෝ විට සේවාදායකයන් එහි යන්නේ පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු පිළිබඳ දැනුම්වත්ව ය. මේ අනුව අයකැමිවරිය පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු සම්බන්ධ නියම මිල ගණන් ඇතුළත් රිසිට් පතක් සෑම අවස්ථාවකදීම සේවාදායකයා වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. පරීක්ෂණ සඳහා අය කරන නියම ගාස්තුව වෙනුවට කාබන් පිටපතේ වෙනත් මුදලක් සටහන් කළ විට ඒ සම්බන්ධව නිසි සොයා බැලීමක් නොකෙරුණේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ආයතනය ඇතුළත මේ සඳහා තවත් අයගේ සහයෝගය ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් ද ඇත්තේ සැකයකි. සේවාදායකයන්ට නිකුත් කළ ඇතැම් රිසිට් පත්වලට අදාළ පිටපත් සොයා ගැනීමටවත් නොහැකි බව දැන ගන්නට තිබේ. වසර ගණනාවක් පුරා පශු විද්‍යා පර්යේෂණ ආයතනයේ සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධ තොරතුරු පිටතට පැමිණියේ මේ ඔස්සේ ය. මුදල් ගනුදෙනු සම්බන්ධව අධීක්ෂණය කිරීමට සිටි නිලධාරීන් නින්දෙන් අවදි වූවාසේ පරීක්ෂණ කරන්නට පටන් ගත්තේ මේ අනුව ය.

සතියක පමණ කාලයක් තිස්සේ සිදු කෙරුණු පරීක්ෂණවලින් දැනට අනාවරණය කරගෙන තිබෙන වංචාවේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 150 ක් පමණ බව දැන ගන්නට තිබේ. මේ සම්බන්ධව පශු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ හේමාල් කොතලාවලගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ තමන්ට ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. පසුව ඔහුගේ බිරිය වන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවලගෙන් කළ විමසීමක දී ඇය පැවසුවේ අදාළ සේවිකාවගේ සේවය ද අත්හිටුවා තිබෙන බවත් ඊට වඩා යමක් ප්‍රකාශ කළ නොහැකි බවත් ය. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ බලන ප්‍රධාන ගණකාධිකාරිවරයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පේරාදෙණිය පොලිසියට ගිය අවස්ථාවේ දැනුම් දී ඇත්තේ වංචාව රුපියල් ලක්ෂ 50 ක් ඉක්මවා තිබෙන බැවින් ඒ පිළිබඳ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසයි. ඒ අනුව අදාළ නිලධාරියා පසුගිය 27 දින මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

මෙම නිලධාරිනිය කලක් අදාළ ආයතනයේ ම කාර්යාල කාර්ය සහායිකාවක ලෙස සේවය කරමින් සිට රාජ්‍ය කළමනාකරණ සේවයට ඇතුළත් වීම සඳහා පවතින විභාගයට පෙනී සිට ඉන් සමත්ව තිබේ. සුළු සේවකයකු ලෙස සේවය කළ අයකු විභාග සමත්ව උසස් තනතුරක් සඳහා සුදුසුකම් සැපිරූවිට එම පුද්ගලයාට අදාළ සේවා ස්ථානයේම ඉහළ රැකියාවක් ලබා නොදෙන පසුබිමක් රාජ්‍ය සේවයේ ක්‍රියාත්මක ය. එසේ තිබිය දී මෙම සේවිකාව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ම කළමනාකාර සේවා පත්වීමක් ලැබීම ගැටලුවක් බව සේවකයෝ පවසති. කෙසේ වුවත් රාජ්‍ය කළමනාකරණ සේවයට අන්තර්ග්‍රහණය වීමෙන් අනතුරුව ඇය දිගටම මෙම ආයතනයේ අයකැමි තනතුරේ වැඩ කටයුතු කර තිබේ. 

පශු වෛද්‍ය පර්යේෂණායතනය යනු දෛනිකව අති විශාල මුදලක් සංසරණය වන ස්ථානයකි. එසේ වුවත් වසර ගණනාවක පටන් මෙම ස්ථානයේ සේවය සඳහා ස්ථිර ගණාකාධිකාරිවරයකු නොමැත. කලකට පෙර සිටි ගණකාධිකාරිවරයා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත ලබා ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව තවමත් ඒ ආකාරයෙන්ම මෙහි පවතී. අනෙක් පසින් මෙම සෑම දෙපාර්තමේන්තුවකම අභ්‍යන්තර විගණන ඒකකයක් තිබේ. ඊට අමතරව රජයේ විගණන දෙපාර්තමේන්තුව මඟින් ද මෙම ආයතනය විගණනයට ලක් කළ යුතුය. වසර ගණනාවක් පුරා මෙම විගණන කටයුතු නිසි පරිදි සිදුව නොමැති වීම මෙම වංචාව හැකි පරිදි කරගෙන යෑමට අවශ්‍ය පසුබිම අදාළ නිලධාරිනියට නිර්මාණය කර දී තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මෙසේ පැවසීය. රාජ්‍ය සේවයේ සිටින කවුරුන් හෝ ජනතා මූල්‍ය වංචා, සොරකම් හෝ මුදල් අවභාවිත කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. නීතිමය පැත්තෙන් පොලිසිය සිදු කරන පරීක්ෂණවලට අමතරව දෙපාර්තමේන්තුවත් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙවැනි වංචා සිදු කරන සුළු පිරිසක් රාජ්‍ය අංශයේ ඉන්නවා. දේශපාලඥයන් කිහිප දෙනකු කරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සමස්ත දේශපාලනඥයන්ටම ඇඟිල්ල දික්වෙන්නා සේ මෙවැනි රාජ්‍ය නිලධාරීන් නිසා සමස්ත රාජ්‍ය සේවයටම කැලලක් ඇති වෙනවා. මාධ්‍ය මඟින් මෙන්ම කෝප් හා කෝපා කමිටුවල දී මෙවැනි වංචා සම්බන්ධව හෙළිදරව් වෙනවා. ඒ සම්බන්ධයෙන් අනිත් අයටත් ආදර්ශයක් වන ලෙස පරීක්ෂණ සිදුකර වැරදි කළ අයට දඬුවම් දීම අපේ වගකීමක්. සොරකම් කොයි මොහොතක හෝ අනාවරණය වෙනවා. ඒත් සමඟ තමන් ගේ පමණක් නොව පවුලේ දරුවන්ගේ පවා ආත්ම ගෞරවය විනාශ වන බව මේ අය කල්පනා කර බැලිය යුතුයි. වසර එකහාමාරක් තිස්සේ මේ ආකාර වංචාවක් සිදුවන තෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෝ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය පශු විද්‍යා පර්යේෂණ ආයතනය විගණනයට ලක් නොකිරීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් කරනවා.

මෙම ස්ථානය එක් පැත්තකින් ව්‍යාපාරික මධ්‍යස්ථානයකි. මෙහි සේවකයන් කිහිප දෙනකුම රක්ෂණ සමාගම්වල නියෝජිතයන් ලෙස සේවය කරන බව දැන ගන්නට ඇත. රාජ්‍ය සේවයේ තමන්ගේ තනතුරේ වටිනාකම උපයෝගි කරමින් රක්ෂණ වැඩකටයුතුවල නිරත වන්නේ කවුද යන්න සම්බන්ධව සොයා බැලීම ආයතන ප්‍රධානීන් ගේ වගකීමය. රාජ්‍ය සේවය තුළ විගණන,අධීක්ෂණ මෙන්ම සුපරීක්ෂණ ක්‍රියාවලියක් තිබේ. මේ කිසිවක් මෙම ආයතනය තුළ පසුගිය කාලය තුළ සිදු වූයේ ද යන්න සම්බන්ධව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. දෙපාර්තමේන්තුවේ වැඩිම ආදායමක් උපද්දන ආයතනයේ ගණකාධිකාරිවරයෙක් නොමැති වීම ද ප්‍රශ්න කළ යුතු කාරණයකි.

ඡායාරූප-නිහාල් ජයවර්ධන

Comments