lපරකන්දෙණියේ කේ.එල්.ඩී. රූපසිරි
දහවල් දොළහේ බසය “ඩක... ඩක...” යන කබල් හඬින් පාරේ දූවිලි අවුස්සමින් ඈතට ඇදී යනු ලයිසහාමි දුටුවේ කුස්සියේ එළිපත්තට පැමිණි විටය. අවුරුදු දෙකකට ආසන්න කාලයක සිට උදේ හත, දහවල් දොළහ, සවස හය හමාර බසයේ ශබ්ද ඇයට හොඳට හුරු පුරුදුය. ලයිසහාමිගේ බාල පුතු මනුවෙල් කිසිවෙකුටත් නොදන්වා නිවසින් පිටව ගොස් අවුරුදු දෙකකට ආසන්න වී ඇත. එදා සිට ලයිසහාමි බසයේ ශබ්දයට පාර දෙස දෑස් දල්වා බලා සිටියත් කිසිදාක මනුවෙල්ගේ රුව ඒ දෙසින් දුටුවේ නැත.
රයිගම “සුබනේරිස් අප්පු” “පැල්පොලින් ලයිසහාමි” කැන්දාගෙන ආවේ ඇගේ වයස අවුරුදු විස්ස ගතවූ අවධියේදීමය. දක්ෂ ලී ඉරන්නෙකු වූ සුබනේරිස් අප්පු හා කරට කර ලී ඉරීමට දක්ෂ කිසිවෙකු මුළු රයිගම් පළාතේම සිටියේ නැත. ඒ නිසාම ඔවුනට ඒ කාලයේ අතමිට මිල මුදල් ද හිඟ වූයේ නැත. ලයිසහාමි කැන්දාගෙන විත් අවුරුද්දක් පමණ ගෙවුණු පසු සුබනේරිස්ට අපූරු කොලු පැටියෙකුගේ මුහුණු බලන්නට වාසනාව ලැබුණි. ලයිසාගේ කැමැත්ත අනුව “යහෝනිස්” යන නම කොලුවාට දැම්මේ සුබනේරිස්මය. දෙවන වතාවේ දරුවෙක් බඩට ආ විට ලයිසා නිතරම කීවේ “මේ පාර කෙලි පොඩිත්තක් ලැබුණොත් නම් අපූරුයි...” කියාය.
“මෙදා පාර අපි කෙලි පොඩිත්තියකට ඕන කරන අඩුම කුඩුම හොයල තියමු...” මගේ හිත කියන්නෙම මෙදා පාර කෙල්ලෙකුගේ මූණ බලන්න ලැබෙයි කියලා...” ලයිසහාමි සුබනේරිස්ට කියන්නේ ඔහුත් කෙලි පොඩිත්තියකට ආස ඇති කියලා හිතින් හිතාගෙනය. සුබනේරිස් ඒ සෑම විටම කරන්නේ කහට බැඳුණු දත් පෙනෙන්නට සිනාසී බිම බැලීම පමණය.
“කව්රු උනාම මොකද ලයිසො... දෙයියො දෙන දේ අපි සන්තෝසෙන් භාර ගන්න එපායැ....” සුබනේරිස්ගේ ඒ වදන් ලයිසාට දැන් දැන් හොඳට හුරු පුරුදුය. ලයිසාට දෙවන දරුවා ලැබුණේ ද නිවසේදීමය. එවරත් ඇයට ලැබුණේ හුරු බුහුටි කොලු පොඩිත්තෙකි.
“ඈ බන් ලයිසො... ඕන් අපිට ලැබුණ කෙලි පොඩිත්ත.... උඹටත් දැන් සන්තෝෂ නැතෑ..” සුබනේරිස් ලයිසා දෙස බලා කියන්නේ සතුට මුසු අහිංසක සිනාවක් මුව පුරා රඳවාගෙනය.
“මොනා කරන්නද... දෙයියො දෙන දේනේ...” ලයිසා කියන්නීය.
“මොකක්ද අපි මේකාට තියන නම..." සුබනේරිස් ලයිසා දෙස බලා සිටිද්දී "අනේ මම දන්නේ නැහැ..” “මනුවෙල්" කියන නම කොල්ලට හොඳද මන්දා....” ලයිසා කියන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.
“හා... හා... හරි අපූරු නම... ඒ නම කොලුවට හොඳයි” සුබනේරිස් අප්පුගේ පිළිගැනීම නිසාම ඔවුන්ගේ දෙවෙනි දරුවා ‘මනුවෙල්‘ වූයේ එදා සිටය.
මනුවෙල් ලැබී අවුරුද්දක් ගත වෙන්නටත් පෙර සුබනේරිස් හදිසියේම ලී පට්ටලයෙන් ඇද වැටී ඔත්පල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙසය.
ආප්ප, ඉඳිආප්ප ආදී කඩ කෑම සාදා කඩවලට දැමීමෙන් ලැබෙන මුදලින් දරු දෙදෙනාගේ වියදම්, සුබනේරිස්ගේ බෙහෙත් හේත් සඳහා වියදම් දරූ පසු ඔවුනට කිසිවක් ඉතිරි වූයේ නැත.
වැඩිමලා ‘යහෝනිස්‘ ඉගෙනීමට දක්ෂ නොවූවත් ‘මනුවෙල්‘ ඉගෙනීමට දක්ෂයෙක් විය. පවුලේ අඩුපාඩු මැද යහෝනිස්ට ඉගෙන ගැනීමට හැකි වූයේ පහේ පන්තියට පමණය. මනුවෙල් හතේ පන්තියේ සිටිද්දි එක් අවාසනාවන්ත දවසකදී ‘සුබනේරිස් අප්පු‘ ලයිසා සහ දරු දෙදෙනා තනිකර අවසන් ගමන් යන්නට ගියේය.
ලයිසා, යහෝනිස් සහ මනුවෙල් එදා තරම් හැඬූ දිනයක් තවත් නොවීය. තාත්තාගේ හත් දොහේ දානයෙන් පසු මනුවෙල්ට ඉස්කෝලේ යන්නට හිත දුන්නේ නැත. එදායින් පසු මනුවෙල්ගේ ඉස්කෝල ගමන ද නතර වූයේය.
“මල්ලියේ... දැන් අපි දෙන්නත් යං ලී පට්ටලේට තාත්තගේ රස්සාවනේ...” වෙනත් කිසිදු රැකියාවක් සොයාගත නොහැකි වූ යහෝනිස්, මනුවෙල් සමඟ ලී පට්ටල්වල අත්උදව් වැඩට ගියේ වෙන කිරීමට කිසිවක් නොමැති නිසාය.
කාලයක් යද්දී ගෙදර අගහිඟකම් මැකෙද්දි අයියා මලෝ දෙදෙනා දක්ෂ ලී ඉරුම්කරුවන් වී සිටියෝය. “තාත්තා වගේම හොඳ උස මහත කොල්ලෝ දෙන්නා... දෙයියන්ගේ පිහිටයි මගේ කොල්ලෝ දෙන්නට....” ලයිස හාමිගේ මුවින් දරුවන්ගේ ගුණ කියවෙන්නේ නිතැතිනි.
“යහෝනිස් පුතේ... උඹ දැන්වත් එකතැන් වෙන්න බලපන්.. කල වයසත් හරිනේ... දැන් මං හිතන්නේ විසිපහත් පැනල ඇති...” යහෝනිස් මවගේ කීමට කිසිවක් නොකියා සිනාසෙන්නේ ලැජ්ජාවෙන් මෙනි. කාලය ගත වී ගොස් අවුරුද්දකට පමණ පසු යහෝනිස් ‘මිල්ලනියේ‘ ‘එමලින්‘ කැන්දාගෙන ආවේ මහගෙදරට ආසන්නව සෑදු අලුත් නිවසටය.
“හොඳ කෙලි පොඩ්ඩ යහෝනිස්ට හම්බ උනේ...” ලයිසහාමි තම ලොකු ලේලි එමලින් ගැන හමුවන හැම කෙනෙකුටම කියන්නේ ආඩම්බරයෙනි.
දින, සති, මාස ගණන් ගෙවී අවුරුද්දක් නොව දෙකක් නොව 'තුනක්' ගතවීත් එමලින්ට දරු සම්පතක් ලැබෙන පාටක් නැති නිසා ලයිසහාමි කාලය ගත කළේ තරමක් අසතුටිනි.
“....ඈ...ළමයො... තවත් කල් ඇද ඇද ඉන්නේ මොකටද?... දැන් අවුරුදු තුනකුත් පහු උනා නොවැ... මම මේ මුනුපුරෙකුගේ මූණ බලන්නේ කොයිවෙලාවේද කියලා බල බල ඉන්නේ....” දැන් දැන් ලයිසාගේ වදන් එමලින්හට ඇසෙන්නේ කන්දොස් කිරියාවක් ලෙසිනි.
ලයිසා දැන් දැන් එමලින් දෙස බලන්නේ නෝක්කාඩු වචන ද කියමිනි. “.... ඔහොම ඉඳලා හරියන්නෙ නැහැ.... මොරගහහේන පැත්තේ හොඳ දේවාලයක් තියෙනවලු ඕවට බාර වෙන. හෙට උදේ එහේ යන්ට ලෑස්ති වෙයල්ලා මම අගෝරිස්ට බර බාගෙත් අරගෙන හෙට උදේම එන්න කියලා පණිවිඩයක් අරින්නම්” ලයිසාගේ කතාවට යහෝනිස් හෝ එමලින් කිසිවක් කීවේ නැත.
පසුවදා උදේ ලයිසහාමි, එමලින් හා යහෝනිස් සමඟ මොරගහහේනේ දේවාලයට ගොස් බාරහාර වී පැමිණියේ සිත සතුටිනි, “....දැන් ඉතින් දෙයියෝ මූණ බලල දරු පැටියෙක් දෙයි කියලා හිතාගෙන වැඩ කරපල්ලා...” ලයිසහාමිගේ කීම අණක් මෙන් යැයි එමලින්ට සිතුණාය.
දේවාලයට ගොස් මාස ගණනක් ගත වූවත් අමුත්තක් නැත. දැන් ලයිසහාමිගේ මුවින් නිතරම පිටවෙන්නේ ආඩපාලිය. එමලින්ගේ දෝෂයක් නිසා දරුඵල නැතැයි කියා නිතරම බණින්නේ එමලින්ටය.
ලයිසාට මුලදී ‘හොඳ ලේලියක්‘ වූ යහෝනිස්ගේ බිරිය දැන් දැන් ඇහැට පේන්නට බැරි ගානය. හැම වෙලේම දකින්නේ ඇයගේ වැරදිය. මේ නිසාම දෙදෙනා අතර අඩ දබර ඇති වූ අවස්ථාද එමටය.
මනුවෙල් ද දැන් දවස ගෙවන්නෙ අම්මාගේත් අයියාගේ බිරියගේත් කන්කරච්චල මැද්දේය. ඒ නිසා ඔහුට විවාහයක් ගැනද එතරම් කැමැත්තක් නොමැත. “මනුවෙල් උඹටත් පුතේ හොඳ තැනකින් කටයුත්තක් කරගන්න බලපන් දැන්. මං මැරෙන්න ඉස්සරවත් මුනුපුරෙකුගේ මූණ බලන්න එපායැ...” ලයිසහාමි මනුවෙල්ට එසේ කියන්නේ හැඟීම්බරවය.
අම්මාගේ පෙරැත්තය නිසාම මනුවෙල් දෙවතාවක් මනාලියන් දෙදෙනෙකු බලන්නට ගියේය. ඒත් ඒ හැම මනාලියකගෙම කිසියම් දොසක් දකිමින් ලයිසා හැම එකකටම විරුද්ධ වූවාය. පළමුව බැලූ ගැහැනිය කළු වැඩියයි ලයිසා කිව්වත් මනුවෙල්ට නම් ඒ ගැහැනිය තළෙලු ලස්සන කාන්තාවක් විය. දෙවෙනියට බැලූ ගැහැනියගේ මුහුණේ ලපයක් නිසා එම කටයුත්ත ද නොකෙරෙන තැනට කරුණු සිදු වී ඇත. නමුත් මනුවෙල්ට නම් පෙනුනේ ඒ ලපය නිසා එම ගැහැනිය තව තවත් ලස්සන වී ඇතැයි යන්නයි. මවගේ කීමට පිටින් යාමට තරම් ශක්තියක් තමාට නැති නිසා තමා අසරණ වී ඇතැයි මනුවෙල්ට සිතේ.
“....අනේ අම්මේ.... කීයක් කියලා බලන්නද?... ඔන්න ඔහේ මොකක් හරි හොඳ එකක් කරමු.... මනුවෙල් කතා කරන්නේ තමා ගැනම ඇතිවූ අනුකම්පාවෙනි.
“එහෙම පුළුවනෑ බං... කරන එකේ හොඳ එකක් කරන්න එපායැ... දැන් ඔය පේන්නේ නැද්ද අයියණ්ඩි කරගෙන තියෙන එක...” මවගේ කතාවට කුමන උත්තරයක් දිය යුතු දැයි මනුවෙල්ට නොතේරේ. තුන්වන වර වෙනිවැල්කොළ ගොස් බැලූ ගැහැනිය තමන්ට හැම අතින්ම ගැළපේයැයි මනුවෙල්ට සිතුනි. හොඳ උස මහත, තළෙලු පාට, ලස්සන පෙනුම ඔහුගේ සිත ගත්තේය. ඒත් ලයිසා ඇයගේ ද අඩුවක් දැක තිබුණි.
“...අපි උත්තරයක් එවන්නම් කො...” එම නිවසින් පිටවන විට ලයිසා කීවේ නොකියා බැරිකමට දෝයි මනුවෙල්ට සිතුණි.
“ඒ ගෑනු ළමයා නම් හොඳයි වගේ නේද අම්මේ... හරිම සීදේවි පාටයි...” ආපසු එන ගමන් මනුවෙල් කීවේ සිනාසෙමින් මව දෙස බලමිනි.
“අනේ පුතේ ඒ කටයුත්තත් හරියන්නේ නැහැ වගේ. ඇයි උඹ දැක්කේ නැද්ද කෙල්ලගේ ඉස්සරහ දත්දෙක අතර තියෙන හිඩැස. ඒක නරකයි පුතේ. මට බැහැ ඒව දැන දැන ඕවට කැමති වෙන්න..."
“ඉතිං අම්මේ හැමදේම ඔහොම හොය හොය ඉන්න ගියාම එකක්වත් කෙරෙන්නේ නැහැනේ. මට නම් බැහැ තවත් ගෑනු බලන්න යන්න.” මනුවෙල් කීවේ අමනාපයෙනි.
“අනේ නිකං ඉදිං මනුවෙල්... උඹ නං කියයි... ඕව හරියට හොයල බලල කරන්න ඕන දේවල්... රටේ තව ගෑනු නැතිවයැ...” මනුවෙල් ඉන් එහාට කතා කරන්නට ගියේ නැත. නිවසට පැමිණි මනුවෙල් ඉස්තෝප්පුවේ ලණු ඇඳේ දිග ඇදුනේ ඇඳුම් පිටින්මය. ඔහුට අද ගමන ගැන ඇති වූයේ දුකට වඩා මව ගැන කේන්තියකි.
“ඒ ගෑනු කෙනා කොච්චර හැඩද? හරිම අහිංසක පාටයි.. ඇයි අම්මට ඒවා පෙනුනේ නැත්තේ....” මනුවෙල් ඇඳට ඉහළින් පෙනෙන වහලය දෙස බලාගෙන දිග සුසුමක් හෙළීය.
“...ආයෙත් නං මම ගෑනු බලන්න යන්නේ නැහැ” මනුවෙල් ඇඳෙන් නැගිට ගෙතුළට ගියේ බිම බලාගෙනය. දින කිහිපයක් යනතෙක් මනුවෙල් ලයිසාගේ මුහුණ බලා කතා කරන්නට ආවේ නැත. උදේ ගෙදරින් පිටව ලී පට්ටලයට ගොස් රෑ වනතුරු වැඩ කළේ සියලුම වැඩ ඉවර කරන්නට මෙනි. රාත්‍රී නිවසට පැමිණ කෑම ගත්තේ ද ලයිසාගේ පෙරැත්ත නිසාය.
“...ඇයි බං මනුවෙල් උඹට මොනවා වෙලා ද දැන් ටික දවසක ඉඳලා... හරියට කන්නෙත් නෑ... මට නං තේරෙන්නෙ නැහැ...”
“...මම උඹේ හොඳටනේ පුතේ ඒ කටයුතු හොඳ නැතැයි කිව්වේ... උඹත් ටිකක් හිතල බලපන්කෝ මම කියන දේ ගැන...” මවගේ කතාවට මනුවෙල් උත්තර දෙන්නට ගියේ නැත.
“ඔන්න ඕව ඔහේ ගියදෙන්... හෙට අනිද්දා අපිට ගමනක් යන්ඩ තියෙනවා. කෝකටත් මගේ එක්ක කතා නොකළට කමක් නැහැ. දැන් බත් කාල නිදා ගනින්...” ලයිසහාමි ඉදිරි දොර බාගෙට අඩවල් කරමින් ගෙතුළට වූවාය.
වෙනදා මෙන් උදේ හතේ බසය හඬ දීගෙන නිවස ඉදිරිපිටින් ඈතට ඇදී යනු ලයිසාට ඇසුණි. වෙනදා එළියේ ලණු ඇඳේ අවදිව සිටින මනුවෙල් එදින ඇඳේ සිටියේ නැත.
දැන් එළි වෙලානේ... හතේ බස් එකත් ගියා. මනුවෙල් මේ උදේ කොහේ ගිහින්ද. ලයිසා එළියට බැස වටපිට බලා “පුතේ... මනුවෙල්... මනුවෙල්...“ යයි කීප වතාවක් කතා කළත් ඒ හඬ අසන්නට මනුවෙල් සිටියේ නැත.
මනුවෙල් පැදුරටත් නොකියා නිවසින් පිටව ගොස් ඇත. සෑහෙන කාලයක් ගත වුවත්, ඔහු ගැන කිසිදු තොරතුරක් ලයිසාට දැන ගැනීමට ලැබුණේ නැත. ලයිසා දුටුවේ නිවස ඉදිරිපිට සිටින මනුවෙල්ය. “මනුවෙල් මගේ පුතේ... ලයිසා දුවගොස් මනුවෙල් බදාගත්තාය. ‘අම්මේ‘ කියමින් මනුවෙල් ද මව වැලඳගත්තේය.
ලයිසා චීත්ත පොටින් සතුටු කඳුළු පිසදමද්දි දුටුවේ මනුවෙල්ට පිටුපසින් කිරිකැටි දරුවෙකු ද වඩාගෙන සිටින ගැහැනියකි.
“අම්මේ... මම... මම... මෙයාවත් එක්කගෙන ආව..” මනුවෙල් කතා කළේ ගැහැනිය දෙස බලාගෙනය.
“එහෙනම් පුතේ උඹ තනියෙමම කටයුත්තක් කරගත්ත... කමක් නැහැ මයේ පුතේ... උඹට හොඳ නම් මට කමක් නැහැ... යමන් දුවේ ගෙට” ලයිසා මනුවෙල්ගේ බිරිය අත උන් කිරිකැටි දරුවා අතට ගෙන සිඹ තුරුලු කරගත්තාය. ඇයට මතක්වූයේ මනුවෙල් ඉපදී ඉස්සෙල්ලම අතට ගත් දවසයි.
“...ඒ සුවඳමයි..” ලයිසාට කියවුනේ ඉබේටමය. ලයිසා අලුත් ලේලිය දෙස බලන විට ඇය මනුවෙල් පිටුපසින් ගේ දෙසට පියමනිනු දුටු ලයිසාට උඩට ගත් හුස්ම පිට කිරීමට අපහසුවූවා සේ දැනුනාය. මනුවෙල්ගේ බිරිය එක් පාදයක් කොරගසමින් ගෙට ගොඩ වූයේ සැහැල්ලුවෙනි.
ටික වේලාවක් එසේම සිටි ලයිසා දිග සුසුමක් හෙළුවේ සතුටකින් ද, දුකකින් ද යන්න ඇයට නොතේරුනු නමුත් ගෙට ගොඩවෙද්දි ඇය දුටුවේ පහළ ගෙදර සිටින යහෝනිගේ බිරිය එමලින් මිදුලට බැස පුදුමයෙන් මෙන් තමන් දෙස බලා සිටින බවයි.
ලයිසා කටපුරා සිනාසී නැවතත් කිරිකැටි දරුවා සිපගත්තේ ආඩම්බරයෙන් හා දරු සෙනෙහසින් උතුරා ගිය සතුටකින් බව ගෙට පියමැන්න මනුවෙල් හෝ ඔහුගේ බිරිය නොදුටු නමුත්, එමලින් මුහුණ ගස්සාගෙන ආපසු හැරී ගෙතුළට යනු ලයිසා දුටුවාය.