දුර්වල බාධාවන් එක බැල්මකින් නිරායුධ වන අයුරු | සිළුමිණ

දුර්වල බාධාවන් එක බැල්මකින් නිරායුධ වන අයුරු

‘කාර්යබහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථේරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහ නාහිමි විසින් රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වන අතර, මේ එහි විසි තුන්වැනි කොටසයි.

ධාවන් සමග ගනුදෙනු කිරීම ගැන මේ වන විට ඔබට යම් අවබෝධයක් තිබෙනු ඇත.

බාමුළුමනින්ම නිසොල්මන් වූ මනසකින් හා කයකින් යුත් ඔබ ඉතා සන්සුන් ලෙස භාවනාවේ යෙදී සිටියි. ඇතුළුවන හා පිටවන හුස්මේ රිද්මයට අනුව ඔබද ඒ සමඟම සන්සුන්ව, ශාන්තව, සතිමත්ව සෙමෙන් පාවී යනු ඇත. සියලු දෙයක්ම පරිපූර්ණව ඇත. එවිටම, සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ කිසිවක් ඔබගේ මනස මත පතිත වෙයි. "අයිස්ක්‍රීම් එකක් මට ලැබෙනවා නම් කොපමණ අගේ ද?" මෙය පැහැදිලිවම බාධාවකි. ඔබ කළ යුත්තේ මෙය නොවේ. මෙය දකින ඔබ නැවතත් ඇතුළු වී පිටවී නොකඩවා ගලායන හුස්ම වෙත ඔබගේ අවධානය රැගෙන එයි. "ඇත්තටම මම ගෑස් බිල ගෙව්ව ද?" යනුවෙන් තවත් බාධාවක් සිතේ මතුවනු ඇත. එය ද දකින ඔබ නැවතත් හුස්ම කරා ආපසු පැමිණෙයි. හුස්ම ඇතුළු වීම, පිටවීම, ඇතුළුවීම, පිටවීම..." දැන් පෙන්වන අලුත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බලන්න අඟහරුවාදා රෑට යනවා. අඟහරුවාදා බැහැ. බදාදාට කරන්න දේවල් ගොඩක් තියෙනවා. බ්‍රහස්පතින්දා වඩාත් සුදුසුයි." එය තවත් බාධාවකි. එක බාධාවකින් ඔබගේ අවධානය ඉවත්කරගෙන හුස්ම වෙත ගෙන යන්නට වෙර දරන සෑම මොහොතකම අවසානයක් නැති අභ්‍යන්තරයෙන් නැඟෙන හඬ නොයෙක් මාදිලියේ දේ පවසමින් බාධාවන් වැලක් ජනිත කරයි.

කොපමණ හිරිහැරයක් ද? මෙහි ඇති මූලික සත්‍ය මෙම බාධාවන්මය. ප්‍රධානම කරුණ මෙම බාධාවන් සමඟ ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීමයි. ඒවාට හසු නොවී ඒවා දැකීමට ඉගෙනීමයි. අප මෙහිදී කරන්නේ එයයි. අප මෙහි සිටින්නේ එලෙස කිරීම සඳහාය. සහතිකවම මානසික අයාලේ යෑම අමිහිරි දෙයකි. නමුත් මෙය සිතක ඉතා සාමාන්‍ය හැසිරීමකි. එය සතුරෙකු ලෙස නොදකින්න. එය ඉතාම සරල වූ යථාර්ථයයි. ඔබට යම් දෙයක් වෙනස් කිරීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් කළ යුතු වන්නේ එහි නියම ස්වරූපය දැක ගැනීමයි.

ඔබ පළමුවන වතාවට, වාඩි වී, සිත එකඟ කර ගැනීමට සූදානම් වන විට සිතෙහි කාර්යබහුල බව ඔබට පුදුමයක් වනු ඇත. එය පනිමින් ප්‍රලාප දොඩවයි. ඒ පැත්තට මේ පැත්තට දුවයි. නොකඩවාම තමා පසුපසම ලුහුබඳියි. එය සිතයි. එය දොඩමලු වෙයි. දවල් සිහින දකියි. මේවා ගැන සිත කරදර කර නොගන්න. එය ස්වාභාවිකය. ඔබගේ මනස භාවනා අරමුණින් පිට යන විට එම බාධාව සිහියෙන් දකින්න.

විපස්සනා භාවනාවේදී බාධාව යනුවෙන් හඳුන්වන්නේ අවධානය හුස්මෙන් ඉවතට යොමුකරන සිතිවිලිය. එය ඔබගේ භාවනාව සඳහා ප්‍රධාන භූමිකාවක් මතු කරයි. එනම් භාවනා අරමුණින් ඔබගේ අවධානය අන් අතකට යොමු කරන කුමන හෝ මානසික තත්ත්වයක් පැමිණි විට අවධානය මඳකට එම බාධාව වෙත යොමුකරන්න. තාවකාලිකව එම බාධකය ඔබගේ භාවනා අරමුණ කරගන්න. "තාවකාලිකව" යන්න ඉතාමත් වැදගත් බව සලකන්න. ගමන අතරමගදී අශ්වයා මාරු කරන්න කියා අපි නොකියමු. සෑම තත්පර තුනකට වතාවක්ම අලුත් භාවනා අරමුණක් ඇති කරගන්න කියා අපි නොකියමු. සැමවිමට හුස්ම ඔබගේ මූලික කේන්ද්‍රය වී පවතියි. බාධාවක සුවිශේෂී ලක්ෂණයක් දැකීමට හැකි පමණ කාලයක් පමණක් එයට අවධානය ලබාදෙන්න. එය කුමක් ද? කොපමණ බලසම්පන්න ද? එය කොතරම් කාලයක් පවතියි ද?

වචනයෙන් තොරව මෙම ප්‍රශ්නවලට ඔබ පිළිතුරු සැපයූ වහාම ඔබගේ විමසීම හමාර කර හුස්ම වෙත අවධානය ආපසු ගෙන එන්න. මෙහිදී ද "වචනයෙන් තොර" යන්න වැදගත් බව සැලකිල්ලට ගන්න. මෙය තවත් මානසික අල්ලාප සල්ලාපයකට ආරාධනාවක් නොවෙයි. එය සිතීමට ඔබව යොමු කරයි. සිතීමෙන් ඔබව ඉවතට ගෙන සංකල්පවලින් හා වචනයෙන් තොර, ඍජු අත්දැකීමක් වන හුස්ම වෙතට යොමු කිරීමට අපට අවශ්‍යයි. මෙම ප්‍රශ්න නිර්මාණය කර තිබෙන්නේ තව තවත් ඔබව බාධාවල හිරකරන්නට නොව ඒවායින් ඔබව මුදාගෙන ඒවායේ නියම ස්වභාවය දැකීමට සැලැස්වීම සඳහා ය. බාධාව කෙරෙහි ඔබගේ සිත යොමුකර එක පියවරකින් ඔබට එය එළවා දැමීමට උපකාරී වීමටයි.

ගැටලුව මෙයයි. බාධාවක් හෝ වෙනත් මානසික තත්ත්වයක් මුලින්ම හටගන්නේ යටි සිතෙහිය. එය උඩුසිත කරා පැමිණීමට මොහොතක් ගතවෙයි. එය ඉතා කෙටි කාල අන්තරයක් වුව ද අල්ලා ගැනීමක් අත්වීමට එය ප්‍රමාණවත් බැවින් එය ඉතා වැදගත්ය. අල්ලා ගැනීම ක්ෂණයකින් සිදුවන අතර එය ද ප්‍රථමයෙන් හටගන්නේ යටි සිතෙහිය. එම නිසා, එය අපට තේරුම් ගත හැකි උඩුසිතට ළඟාවන විට ද අප එය තුළ සිරවී හමාරය. ඒ දෙස බලන අතර එය තුළ තව තවත් සිරවී එම ක්‍රියාවලිය දිගටම රැගෙන යාම ඉතා ස්වාභාවික සිද්ධියකි. මේ වන විට අප සිතිවිලි දෙස පූර්ණ අවධානයෙන් බලනවා වෙනුවට එය සිතන බව සහතිකය. මේ සියලුම දේ ක්ෂණයකින් සිදුවෙයි. එය අපහට ගැටලුවක් ඉදිරිපත් කරයි. බාධාව ගැන දැනගන්නා විටත් අප එයට හිරවී අවසානය.

එය කුමක් ද? එය කොපමණ බලවත් ද? හා එය කොපමණ කාලයක් පවතී ද? යන ප්‍රශ්න තුන මෙම රෝගය සඳහා ඥානාන්විත ප්‍රතිකාරයකි. මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා බාධාව කෙබඳු එකක්දැයි අවබෝධ කර ගත යුතුව ඇත. එසේ කිරීමට නම් අප එයින් මානසිකව දුරස් වී, ඉන් වෙන් වී ඒ දෙස බාහිරව බැලිය යුතුයි. විමර්ශනය කරන වස්තුවක් ලෙස එය දැකීමට නම්, සිතිවිල්ලක් සිතීම හා හැඟීමක් දැනීම නතර කළ යුතුයි. මෙම ක්‍රියාවලියම, නොපැටලුණු, උපේක්ෂා සහගත එළැඹි සිහියෙන් සිටීමේ අභ්‍යාසයකි. එවිට බාධාවේ බන්ධනයෙන් මිදෙන සිහිය, මූලික අරමුණ වෙත පහසුවෙන් සංක්‍රමණය වන අතර, අවධානය හුස්ම වෙත ආපසු යොමුවෙයි. පටන් ගැනීමේදී, ඔබට, සමහර විට වචන යොදා ගැනීමෙන් මෙය පුරුදු වන්නට සිදුවිය හැක. වචනයෙන් ප්‍රශ්න අසන ඔබ පිළිතුරු ද වාචිකව ම සපයයි. කෙසේ වුව ද කෙටි කාලයකදීම වචන අත්හැරීමට ඔබට හැකිවෙයි. පුරුදු පුහුණු වූ විට ඔබ බාධාව ද බාධාවේ ස්වභාවය ද දකිමින් හුස්ම වෙත ආපසු පැමිණෙයි.

මෙය ඉතා කඩිනම් වූ සංකල්පවලින් තොර ක්‍රියාවලියකි. මෙම බාධාව ශබ්දයක්, දැනීමක්, හැඟීමක්, මනඃකල්පිතයක් වැනි ඕනෑම දෙයක් වීමට පිළිවන. එය කුමක් වුව ද, යටපත් කිරීමට උත්සාහ නොකරන්න. ඔබගේ සිතෙන් එය පිටමං කිරීමට ද වෙර නොදරන්න. එවැනි දෙයක් කිරීමට අවශ්‍ය නැත. පූර්ණ අවධානයෙන් යුක්තව හුදෙක් ම එය නිරීක්ෂණය කරන්න. වචනයෙන් තොරව බාධාව නිරීක්ෂණය කරන විට එය විසින් ම ඉවත්ව යනු ඇත. එවිට ඔබගේ අවධානය හුස්ම වෙත ගලායන බව ඔබ දැන ගන්නවා ඇත. සිත වෙනතක යෑම පිළිබඳව ඔබට ම දොස් පවරා නොගන්න. බාධාවන් ඇතිවීම ස්වාභාවිකයි. ඒවා ඇති වී, නැති වී යනු ඇත. මුනිවරයින්ගේ උපදෙස් ද නොතකා ඔබ ඔබවම හෙළා දකිනු ඇත. එය ද ස්වාභාවික සිදුවීමකි. එම දොස් පැවරීම ද තවත් බාධාවක් සේ දැක ඔබගේ හුස්ම වෙත හැරී එන්න.

පහත දැක්වෙන සිදුවීම් ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. හුස්ම ගැනීම; බාධාකාරී සිතිවිලි පැන නැඟීම; බාධාකාරී සිතිවිලි තුළින් ඉච්ඡාභංගත්වය හට ගැනීම; බාධාවන් ඇතිවීම පිළිබඳව ඔබ ඔබටම දොස් පවරා ගැනීම; එම දොස් පැවරීම ඔබ විසින් සනිටුහන් කර ගැනීම; ඔබ හුස්ම වෙත නැවත හැරී ඒම සහ හුස්ම ගැනීම; හුස්ම ගැනීම නිවැරදි අයුරින් සිදුකරන විට මෙය ඉතා ස්වාභාවික වූ ද පහසුවෙන් ගලා යන්නා වූ ද චක්‍රයකි. ඉවසීම ඔබගේ උපායයි. ඉහත සඳහන් කළ බාධාවන් නිරීක්ෂණය කිරීමට ඔබ ඉගෙන ගත් විට මේ සෑම දෙයක්ම පහසු කාර්යයක් වෙයි. ඔබ බාධාවන් අතුරින් ලිස්සා යන අතර ඔබගේ අවධානය හුස්ම වෙත පහසුවෙන් යොමුවෙයි. එසේම, එම බාධාවම මොහොතකින් යළිත් පැන නැගීමට ඉඩකඩ තිබෙන බව සැබෑවකි. එසේ සිදුවූ විට සිහියෙන් එදෙස බලන්න. ඔබ කාලයක් තිස්සේ පවතින සිතිවිලි රටාවක් මෙසේ නිරීක්ෂණය කරයි නම් බාධා පැමිණීම හා ජය ගැනීමට වසර ගණනක් වුවද ගතවිය හැකිය. කලබල නොවන්න. මෙය ද ස්වාභාවික සිද්ධියකි. හුදෙක් ම බාධාව දැකගෙන හුස්ම වෙත හැරී එන්න. මෙම බාධාකාරී සිතිවිලි සමඟ සටන් නොකරන්න. එය නිශ්ඵල කාර්යයකි. එයට විරෝධය දැක්වීම සඳහා ඔබ යොදවන සෑම ශක්තියක්ම උපයෝගී කරගෙන එම සිතිවිලි ධාරාව වඩාත් ශක්තිමත් වෙයි. එබැවින් ඒවා සිතින් ඉවතට තල්ලු කරන්නට උත්සාහ නොදරන්න. එය කිසි දිනෙක ජයග්‍රහණය කළ නොහැකි සටනකි. සිහියෙන් එය දකින විට, එය විසින්ම ඉවත්ව යනු ඇත. මෙය පුදුමයක් වුව ද ගැඹුරු අවධානය යොදන තරමටම ඒවා දුර්වල වෙයි. දිගුකාලයක් නිතරම ඒවා දෙස බලා සිටින විට ඒවා සදහටම ඉවත්ව යනු ඇත. ඒවා සමඟ යුද වදින විට ඒවාට වඩාත් ශක්තියක් ලැබෙයි. ගැටීමෙන් තොරව ඒවා දකින විට ඒවා මැකී යනු ඇත.

පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙකු බෝම්බයක් නිශ්ක්‍රීය කරන ආකාරයෙන් ම සිහිය ද බාධාවන් නිරායුධ කරයි. දුර්වල බාධාවන් එක බැල්මකින් ම නිරායුධ වෙයි. එළැඹි සිහියේ ආලෝකය වැටෙන විට ඒවා නැවත නොඑන්නට ම වාෂ්ප වී යයි.

බන්ධනවලින් මිදීමට නම් ඉතා ගැඹුරින් මුල් බැස තිබෙන සිතිවිලි රටාවන් සඳහා දීර්ඝ කාලයක් නිරන්තරයෙන් සිහිය පවත්වා ගැනීමට අවශ්‍යයි. බාධාවක් සත්‍ය වශයෙන්ම කඩදාසියෙන් තැනූ දිවියෙක් වැනියි. තමාගේම බලයක් ඔවුන් සතුව නැත. නිතරම ආහාර නොදුන් විට ඒවා මියයයි. ඔබගේ බිය, තරහ හා තණ්හාව ආහාර ලෙස ලබා නොදුන් විට ඒවා වියැකී යයි.

 

(අකුල් හෙළීම් සමඟ ගනුදෙනු කරන අයුරු මීළඟ කලාපයෙන් විමසා බලමු)

Comments