GSP තීරුබදු සහනය දීර්ඝ වීම අපේ අපනයන ආර්ථිකයට විශාල යහපතක් | සිළුමිණ

GSP තීරුබදු සහනය දීර්ඝ වීම අපේ අපනයන ආර්ථිකයට විශාල යහපතක්

- GSP+ තීරුබදු යෝජනා ක්‍රමයට සුදුසුකම්ලත් සංවර්ධනය වෙමින් පවතින රටවලින් තෝරාගත් නිෂ්පාදන සඳහා යුරෝපා සංගම් වෙළෙඳපොළට මනා ප්‍රවේශයක් ලබා දෙයි.
- යුරෝපා සංගමය සහ වෙනත් රටවලින් පැමිණෙන භාණ්ඩ සඳහා මෙය කිසිදු ආකාරයකින් බලපෑමක් නොවෙයි
- බදු සහනය සාර්ථක කර ගැනීමට නම් අපනයනකරුවන් ගුණාත්මකභාවයෙන් සහ තරගකාරීත්වයෙන් යුතු අපනයන සැලසුම් කිරීම වැදගත් වෙයි

මේ වන විට ගෝලීය ආර්ථිකය සහ දේශීය ආර්ථිකය තුළ විශාල අර්බුදයක් පවතී. එවැනි තත්ත්වයක් මත මෙරටට GSP+ තීරුබදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31දින දක්වා දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත. යුරෝපා සංගමය ලංකාවට ලබා දුන් මේ බදු සහනය ඉතාමත් තීරණාත්මකයි. යුරෝපා වෙළෙඳපොළට බදු සහන මඟින් අනාගත ප්‍රවේශයක් ලබාදීම වඩා වැදගත් වන්නේ, එය ජාත්‍යන්තර සම්මුතින් 27කට අනුකූල වීම නිසා තිරසාර සංවර්ධනයන් ළඟා කර ගැනීම සහතික කිරීමට මෙන්ම මෙරට වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට එමඟින් සහයක් හිමි වීම නිසයි. ඒ නිසා පවතින ගෝලීය සහ දේශීය ආර්ථිකය තත්ත්වයක් තුළ මෙ GSP+ තීරුබදු සහනය තවදුරටත් හිමි වීම නිසායි ඉතාමත් වැදගත් වෙයි. මෙය බදු සහනය වලංගු කාලය 2023 වසරේ අවසන් වනතුරු පමණක් විය. යුරෝපා කොමිසම විසින් GSP+ තීරුබදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ කර ඇති නිසා එය රටේ ආර්ථික ස්ථාවරත්වයට වඩා වැදගත් වෙයි. ශ්‍රී ලංකාව GSP+ තීරුබදු සහනය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබන රටවල් 8කින් එකක් වෙයි. 

මේ තීරු බදු සහනය ආර්ථික සංවර්ධනය උත්තේජනය කිරීමට වර්ධනය දිරිමත් කිරීමට අවස්ථාවක් ලබා දෙයි. ඒ අනුව එහි නිෂ්පාදනවලින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් යුරෝපා සංගමය විසින් අඩු කළ තීරු බදු සහිතව අපනයනය කිරීමට ඉඩ සලස්වා ඇත. මෙම ආර්ථික අර්බුදයට මේ සහන සැලසීම මේ අවස්ථාවේ වාසියක් වුව ද සියලු ආර්ථීක අභියෝග හුදෙකලාව විසඳිය නොහැකි වෙයි. උද්ධමනය කළමනාකරණය කිරීම, මුල්‍ය විනය පවත්වා ගැනීම සහ අඛණ්ඩ ආර්ථික වර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙයි. මෙම තීරු බදු සහනය ශක්තිමත් දේශීය අපනයන ප්‍රතිපත්ති මඟින් වඩා ශක්තිමත් කිරීමක් සිදු වෙයි. එසේම තීරු බදු සහනය වැදගත් පූර්ණ ආර්ථික ප්‍රබුද්ධියක් සඳහා වගකීමක් දේශීය ආර්ථික ප්‍රතිපත්ති සහ පාලනය මත සිදු වෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීමට GSP+ තීරුබදු සහනය දීර්ඝ කිරීමට අපේ ආර්ථිකය යථාවත් කිරීමත් සිදු වෙයි. වර්තමානයේ එක්සත් ජනපදය යුරෝපා සංගමය වැනි ප්‍රධාන අපනයන වෙළෙඳපොළ මඟින් පාරිභෝගික ඉල්ලුම පහත වැටීමත් සමඟ ආනයනික නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීමත් සමඟ ආර්ථීක වර්ධන මන්දගාමීත්වයක් වාර්තා කරනු ලබයි. මෑත ඉතිහාසයට සාපේක්ෂව ඉහළ උද්ධමන අනුපාතවලට ද මුහුණ දීමට සිදු වෙයි. මේ GSP+ තීරුබදු යෝජනා ක්‍රමය මෙරට වත්මන් ආර්ථික වාතාවරණය තුළ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත්තේ ඒ මඟිනි. යුරෝපා සංගමය සමඟ ඇති වෙළෙඳ සබඳතාවල වැඩි දියුණු කළ ස්ථාවරත්වයන් සහ පුරෝකථනයන් GSP+ තීරුබදු සහනය වැනි යෝජනා මඟින් අපි ලබා දී ඇත.

මෙහිදී වඩා සැලකිලිමත් විය යුතු කරුණක් නම් GSP+ තීරුබදු සහනය 2017 වසරේ ප්‍රතිස්ඨාපනය කළ පසු එහි ප්‍රතිලාභ මේ වන තෙක් ලැබී ඇත. උදාහරණයක් ලෙස යුරෝපා සංගමයට අනුව 2017දී 20%කින් සහ 2018 වසරේදී අතිරේකව 5%කින් ද යුරෝපා සංගමයේ මේ බදු සහන මත මෙරටේ නිෂ්පාදනය කෙරෙන අපනයනවල කැපී පෙනෙන වර්ධනයක් තිබිණි. ඒ අනුව මේ GSP+ තීරුබදු සහනය යටතේ අපනයනය කරන නිෂ්පාදිතයන් යුරෝපා සංගම් වෙළෙදපොළ තුළ මෙරට භාණ්ඩවල තරගකාරීත්වය ඉහළ නංවමින් මෙරටේ අපනයන ආර්ථිකයට යහපත් බලපෑමක් ඇති කරයි. මේ යෝජනා ක්‍රමය අනුව යුරෝපා ආනයනකරුවන් සඳහා පිරිවැය අඩු කරන ශූන්‍ය බද්දකට අවසර හිමි වී ඇත. එමඟින් මේ පිරිවැය අඩු කිරීම යුරෝපා සංගමය තුළ මෙරට භාණ්ඩ සඳහා වැඩි ඉල්ලුමක් ඇති කිරීමට හේතු වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඉහළ ඉල්ලුම නිසා මෙරට අපනයන අංශ තවදුරටත් ඉහළ නංවන්න හැකි වන අතර වත්මන් අර්බුදයෙන් පසුකාලීන ආර්ථිකයේ ප්‍රගතිය සඳහා සැලකිය යුතු දායකත්වයක් සැපයීමට හැකි විය හැකියි.

ශ්‍රී ලංකාවෙන් යම් භාණ්ඩයක් යුරෝපා සංගමයේ රටකට අපනයනය කරන විට සාපේක්ෂව අඩු මිලක් යටතේ එම භාණ්ඩය වෙළෙඳපොළට රැගෙන යාමට දේශීය අපනයනකරුවන්ට මෙමඟින් යම් සහනයක් හිමි වෙයි. ඒ සහනය ඉතාමත් අවශ්‍යයි. මේ කාලවානුව තුළ අපනයනවල අඩුවක් දක්නට ලැබෙන අතර මෙවැනි බදු සහනයක් ඉදිරියටත් හිමි වීමෙන් අපනයනකරුවන්ට යම් අභිප්‍රේරණයක් ඇති වෙයි. 2027 වසර දක්වා දීර්ඝ කිරීම අපනයනකරුවන්ට හොඳ ප්‍රවණතාවක් යැයි කිව හැකියි.

මේ GSP+ තීරුබදු යෝජනා ක්‍රමය සුදුසුකම්ලත් සංවර්ධනය වෙමින් පවතින රටවලින් තෝරාගත් නිෂ්පාදන සඳහා යුරෝපා සංගම් වෙළෙඳපොළට මනා ප්‍රවේශයක් ලබා දෙයි. එනම් ඉන් අදහස් කරන්නේ යුරෝපා සංගමය විසින් මේ නිෂ්පාදන සඳහා බදු අඩු කිරීම, ඉවත් කිරීම, ඒවා වඩා තරගකාරීව යුරෝපා සංගමයේ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ලබා දීමයි. යුරෝපා සංගමය සහ වෙනත් රටවලින් පැමිණෙන භාණ්ඩ සඳහා මෙය කිසිදු ආකාරයකින් බලපෑමක් නොවෙයි.

දැනට GSP+ තීරුබදු සහනය භාවිතය තුළ එයට අදාළව පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුය. කතා කිරිමේදී මේ GSP+ තීරුබදු සහනය භාවිතයේ පවතින දුර්වලතා මඟ හරවා ගැනීමට නම් එහි විභවය උපරිම කර ගැනීමට ශ්‍රී ලංකාව සලකා බැලිය යුතු පියවර කිහිපයක් ඇත. තීරු බදු සහන ප්‍රතිලාභ අත් කරගත හැක්කේ කලාපීය තරගකරුවන්ගේ දැඩි පීඩනය පත් වූ මෑත වසරවල සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන් ධීවර කර්මාන්ත වැනි අංශවලටයි. ඇගලුම් වැනි කර්මාන්තවල මූලාරම්භයේ නිර්ණායකවලට අනුකූලව මනා උත්තේජනයක් ඇති කිරීමට කටයුතු කළ යුතුයි. එසේම පවතින තත්ත්වයෙන් ඔබ්බට ගිය උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකි ප්‍රතිපත්ති ඇති කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අපනයනවල ගුණාත්මක අපනයන ඉහළ දැමීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ ම තවද අපනයන වර්ධනය සඳහා ඉහළ විභවයක් ඇති ක්ෂේත්‍ර සඳහා වඩා විශාල ලෙස ආයෝජනය කළ හැකියි. රටේ නැඟී එන ක්ෂේත්‍රවලට මේ සඳහා ඉලක්ක කළ යුතුයි. ඒ අනුව යුරෝපීය වෙළෙදපොළට විනිවිද භාවයකින් යුතුව ළඟාවීමට සැලකිය යුතු සහනයක් ලබා ගැනීමට හැකි වෙයි. තීරුබදු සහනයේ ප්‍රතිලාභ උපරිම කර ගැනීමට සැපැයුම් දාම සහ යටිතල පහසුකම වැඩි දියුණු කරගැනීම අත්‍යවශ්‍ය පියවරකි. එසේ ම GSP+ තීරුබදු සහනවල කොන්දේසි සහ ප්‍රතිලාභ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව සහ ආයෝජකයන් පිළිබඳ ඵලදායි සන්නිවේදනයක නිරත විය යුතුයි. ශ්‍රී ලංකවේ ආර්ථීකය ප්‍රබෝධමත් කිරීමට මේ සුවිශේෂී සහනය වඩාත් ඵලදායි ලෙස භාවිත කිරීමට තුඩු දෙන මේ යෝජනා ක්‍රමය පිළිබඳව වැඩි අවබෝධයක් ඇති කළ යුතුයි.

ඇත්ත වශයෙන් රේගු සහන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේදී ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සංවර්ධනයට රැකියා උත්පාදනය ඇති අංශ කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එසේ ම ඇඟලුම් ධීවර, රබර් කර්මාන්තය වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරන ආකාරයටම මේ වන විට කුළු බඩු නිෂ්පාදනය වැනි අංශ කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. මෙරටට වාසියක් අත්වන අංශ කෙරෙහිද වඩා අවධානය යොමු කළ යුතු කළ යුතුයි.

වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල් උද්ධමනයට මුහුණ දෙමින් පවතී. යුක්රේන රුසියානු යුද්ධය ද ඒ සඳහා බලපායි. මෙවැනි තත්ත්වයක් මත GSP+ තීරුබදු සහනය ලැබීම යම් අස්වැසීමක් වෙයි. ලෝකයේ පවතින මේ උද්ධමනය සහ භූ දේශපාලනික ආතතීන් ඇති වත්මන් ගෝලීය ආර්ථික වතාවරණයක් තුළ මේ GSP+ තීරුබදු සහනය මේ ප්‍රතිලාභය හිමිවීම වඩා වැදගත් වෙයි. යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කිරීමට මේ රටවලට අවස්ථාවක් ලබා දෙන අතර ඒ මඟින් ඔවුන්ගේ අපනයන ආදායම ස්ථාවර කිරීමට සහ ආර්ථීක ප්‍රවර්ධනයට හේතු වෙයි.

මේ GSP+ තීරුබදු සහනය ලාංකේය අපනයනකරුවන්ට යුරෝපීය වෙළෙඳපොළට ඇතුළුවීමට අවස්ථාවක් ලබාදෙන්නාසේම එමඟින් ඔවුන්ට වඩා තරගකාරී වෙළෙදපොළකට ඇතුළු වීමටද අවස්ථාව හිමිවනු ඇත. ඇඟලුම්, සැකසූ ආහාර නිෂ්පාදන, මුහුදු ආහාර, සෙල්ලම් බඩු, පෝසිලේන් වැනි අංශ මේ GSP+ තීරුබදු සහනය යටතේ ප්‍රතිලාභ ලැබූ අංශ වෙයි. එහිදී මේ අංශයන් විසින් ලබා ගන්නා ලද අතිරේක තීරු බදු සහනය වෙනස් වෙයි. බොහෝ ඇඟලුම් කාණ්ඩ පැවැති තීරුබදු 9. 6% සිට 0 සිට මුහුදු ආහාර 18. 5සිට 0 දක්වා නැවුම් සැකසූ පලතුරු, එළවළු 12.5 දක්වා 0 දක්වා පෝසිලේන් පිඟන් භාණ්ඩ 7. 4 සිට සෙල්ලම් බඩු නිෂ්පාදන අංශය 1. 2 සිට 0 දක්වා අඩු කර ඇත. මේ අනුව GSP+ තීරුබදු සහනය ලැබීමෙන් අඩු මිල ගණන් යටතේ යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකා අපනයනකරුවන්ට අවස්ථාව හිමි වෙයි. ආනයන බදු ඉවත් කිරීමෙන් යුරෝපීය වෙළෙඳපොළේ ශ්‍රී ලාංකීය නිෂ්පාදනවල මිල අඩු වනවිට ඉල්ලුම වැඩිවීමට හේතු විය හැකියි.

මේ බදු සහනය රටක් ලෙස ලබාගත් විශාල ජයග්‍රහණයකි. එසේ නමුත් වෙළෙඳපොළ සාර්ථකත්වය තීරණය කරන එකම සාධකය මිල නොවන බවත් සැලකිල්ලට ගත යුතුයි. ගුණාත්මකභාවය අනුකූලතාව සහ සැපැයුම් දාමයේ විශ්වසනීයත්වය වැනි අනෙකුත් සාධක වෙළෙඳපොළ සාර්ථකත්වයට බලපාන විශාල තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. ඒ අනුව තීරුබදු සහනවලින් ප්‍රතිලාභ ලැබීමට අමතරව ශ්‍රී ලංකාව අනෙකුත් තීරණාත්මක වෙළෙඳපොළ ඉල්ලුම් සපුරාලීම සහතික කළ යුතුයි. මේ GSP+ තීරුබදු සහනය සදහටම නොපවතින නිසා අපනයනකරුවන්ට ගුණාත්මකභාවය තරගකාරීත්වය මත පදනම්ව තම අපනයන සැලසුම් කිරීම වැදගත් වෙයි.

Comments