
ගොඩෝ උන්නැහේ එනකං’ යනු සැමුඑල් බෙකට් (1906 - 1989) නමැති නොබල් ත්‍යාගලාභි අයිරිෂ් ලේඛකයා විසින් 1953 වසරේදී ලියන ලද Waiting for Godot නම් ද්විකාංක නාට්‍යයේ සිංහල පරිවර්තනයයි.
මෙම නාට්‍යය හැඳින්වෙනුයේ අභාවිත නොහොත් අසම්මත නොහොත් විකාරරූපි(absuredist) නාට්‍යයක් ලෙසිනි.
වාච්‍යාර්ථයෙන් ගත් කල Waiting for Godot කිසිවක් සිදු නොවන නාට්‍යයකි. එසේම මනුෂ්‍ය ජීවිතයේ කිසිවක් සිදු නොවෙයි විදහා දැක්වීම සැලසුම් කළ නාට්‍යයකි. එසේ වුවද සන්දේහය හා නාට්‍යමය ආතතිය උත්පාදනය කිරීමට එය සමත් වන්නේ කාව්‍යමය සංකල්ප රූප නිසාමය. නාට්‍යය පුරාම අප මුහුණ දෙන මේ සංකීර්ණ කාව්‍යමය සංකල්ප රූප පිළිබඳ පූර්ණ රටාවක් අපට ග්‍රහණය කැර ගත හැක්කේ එහි අවසාන දෙබස ද කියැවී කඩතිර වැසුණාට ද පසුවය.
නාට්‍යය ඇරඹෙන්නේ ඊස්ට්‍රජන් නොහොත් ගොගෝ සහ ව්ලැඩිමීර් නොහොත් ඩිඩී නම් ඉබාගාතේ යන මිනිසුන් දෙදෙනකු ගම්බද මාවතක් අද්දර සිටින දර්ශනයකිනි. ගෝගෝ මිටි ගොඩැල්ලක හිඳ සිය බූට් සපත්තු ගලවන්නට උත්සාහ දරමින් සිටියි. ඩිඩී පිවිසෙයි. එවිට සිය ප්‍රත්නය අත්හරිමින් ගොගෝ තමාටම කියා ගන්නේ ‘මේ ලෝකෙ දෙයක් නෑ කරන්නෙයි කියල’ යනුවෙනි. ඊට පිළිතුරු වශයෙන් ඩිඩී කියන්නේ තමාට ද එසේ ම සිතෙන බවයි.
ඉන්පසු ඔවුහු නොයෙකුත් විකාර කතා කරමින් එතැන රැඳී සිටිති. ඔවුන් දෙදෙනාම පෙර සිට අඳුනන අය බවත් ඔවුන් මෙහි දැන් සිටින්නේ ගොඩෝ නමැත්තකු හමු විමට බවත් ඉන්පසු ප්‍රෙක්‍ෂකයාට/පාඨකයාට වැටහේ. ‘එතකොට උඹ ආයත් ඇවිත් ?’ ඩිඩී අසයි. ඊට පිළිතුරු වශයෙන් ගොගෝ අසන්නේ ‘ඇවිත් ද?’ යන්නයි. ඊට පිළිතුරු වශයෙන් ඩිඩී මෙසේ කියයි. ‘උඹ ආපහු ආ එක ලොකු සතුටක්. මං හිතුවෙ උඹ ආපහු නොඑන්නම ගියයි කියල.’ ගොගෝ පිළිතුරු වශයෙන් කියන්නේ, ‘මාත් හිතුවේ එහෙමයි’ යනුවෙනි.
මේ දෙබස්වල අරුත වැටහෙන්නේ කිසිවක් නොඑසේ නම් කිසියම් වැදගත් යමක් සිදු නොවන මේ නාට්‍යය අවසන් වූවාට ද පසුවය. ඔවුන් දෙදෙනා ඊයේත් මෙතැන සිට ගොඩෝ එන තුරු බලා සිටින්නට ඇත. එහෙත් ගොඩෝ යනු කවුද? ඊස්ට්‍රජන් හා ව්ලැඩිමීර් පවා ගොඩෝ හඳුනන්නේවත් ඔහු ගැන තොරතුරු දන්නේවත් නැත. එහෙත් ප්‍රත්‍යක්‍ෂ වන්නේ ඔවුන් කෙතරම් බලා සිටියත් ගොඩෝ කවදාවත් ඔවුන් ඉදිරියට නොඑන බව පමණි.
ඔවුහු මෙසේ දෙදිනක් පුරා ගොඩෝ එනතුරු බලා සිටිති. ඒ දින දෙක නාට්‍යයේ පළමුවැනි අංකය සහ දෙවැනි අංකය වෙයි.
පළමුවැනි දවසේ පෙස්සෝ නම් කෙනෙක් ලකී නම් සිය වහලා ද කැටුව ඒ පාරෙන් යයි. ඔහු ගොගෝ සහ ඩිඩී දැක නවති. ලකීගේ කරේ රැහැනක් ගැට ගසා ඇති අතර එහි අනෙක් කෙළවර පෙස්සෝ අල්වා ගෙන සිටියි. බාස්කට් එකක් ඇතුළු පෙස්සෝගේ අඩුම කුඩුම මහ ගොඩක් දෑතින් ගෙන යන ලකී සියල්ල කරන්නේ පෙස්සෝගේ විධානයට අනුවය. පෙස්සෝ එතැන හිඳ කුකුළු මස් කමින් කටු බිම දමයි. ගොගෝ ඒවා ගන්න දැ’යි පෙස්සෝගෙන් අසයි. ඒවා අයිති ලකීට බව කියන පෙස්සෝ ලකීගේ විරුද්ධත්වයක් නැත්නම් ඒවා ගැනීමේ වරදක් නැති බව කියයි. මෙලෙස ඉල්ලීමට ඩිඩී මුල සිටම විරුද්ධය. එහෙත් එය නොතකන ගොගෝ ඒවා රැගෙන සිය සාක්කුවේ දමාගෙන ටිකෙන් ටික සුප්පු කරයි. ලකී බෑග් බිම නොතබන්නේ මන්දැයි දැන ගන්නට ගොගෝට සහ ඩිඩීට වුවමනා වුවත් පෙස්සෝ ඊට හේතු නොකියයි. මේ සිවු දෙනාම බෝලර්ස් හැට් නම් තොප්පි හිස පැලඳ සිටීම විශේෂයකි. මෙහි දී සැලකිය යුතු කාරණයක් නම් පෙස්සෝ දකින ගොගෝ සහ ඩිඩී ඔහු ගොඩෝ ද කියා විමසීමයි. එයට පිළිතුරු වශයෙන් පෙස්සො කියන්නේ එසේ නොවන බවත් තමා ගොඩෝ නොහඳුනන බවත්ය.
ලකී කතා නොකරයි. ඔහුට කියා කතා කරවන්න ය‘යි දෙමිතුරෝ පෙස්සෝට කියති. පෙස්සෝගේ ඇණවුමෙන් ලකී කතා කරයි. ඔහු ප්‍රේක්‍ෂාගාරය දෙසට හැරී දීර්ඝ කථාවක් පවත්වයි. ලකීගේ අප්‍රසන්න දීර්ඝ කථාව නවත්වන්නට සියලු දෙනා උත්සාහ කරන නමුත් ඔහු එය නොනවත්වයි.
අවසානයේ පෙස්සෝ සහ ලකී නික්ම යති. දවස ගෙවේ. ගොඩෝ නොපැමිණෙයි. හෙට දවසේ ඔහු එනු ඇති බව පයිණ්ඩකාර ළමයෙක් පැමිණ දන්වයි. තිරය වැසේ.
දෙවැනි දවස උදාවේ. පෙරදා මෙන්ම ගොගෝ සහ ඩිඩී ගොඩෝ එන තුරු බලා හිඳිති. එදා පෙස්සො සහ ලකී වේදිකාවේ අනෙක් පසින් පැමිණෙති. මෙවර පෙස්සෝ අන්ධ ව සිටින අතර ලකී ගොළුය. පෙස්සෝ බෙහෙවින් අබලව සිටියි. පෙර දින තිබු වංසක්කාර හැසිරීම දැන් ඔහු කෙරේ විද්‍යමාන නොවේ. සිය වහලා වන ලකී රැහැනින් අල්ලා ගෙන යන නමුත් දැන් පෙස්සෝට පවා හරි හැටි ඇවිද ගන්නට නොහැකි ය. අවසානයේ පෙස්සෝ සහ ලකී ඉවත්ව යති. ගෝගො සහ ඩිඩී ඉතිරි වෙති.
දවස ගෙවී යයි. එදා හැන්දෑවේ ද ගොඩෝගේ දුතයා පැමිණ ඔවුන් වෙත දන්වන්නේ එදින ද ගොඩෝ නොඑනු ඇති බවත් හෙට නොවරදවාම එනු ඇති බවත්ය.
නාට්‍යය එතෙකින් නිමවෙයි.
සම්ප්‍රදායික නාට්‍යයක් මෙන් මෙය කතාවක් කියන්නේ හෝ කිසියම් ගැටලුවක් නිරාකරණය කරන්නේ නැත. ඒ වෙනුවට එය කාව්‍යමය සංකල්ප රූප පිළිබඳ සංකීර්ණ රටා නිර්මාණය කරයි. නාට්‍යය නොබලා පෙළ කියවා වුව ද එය ග්‍රහණය කැර ගත හැකි වීම මෙහි විශේෂයකි. එහෙත් මෙහි එන ගොඩෝ යනු God ලෙස ගතහොත් කිසියම් අර්ථයක් ලබා ගත හැකිය.
‘ගොඩෝ උන්නැහේ එනකං’ සුගතපාල ද සිල්වානන්ගේ කෘතියකි.