හෙට ගැන හිත හිතා අද සතුට නැතිකර ගන්නවාද? | සිළුමිණ

හෙට ගැන හිත හිතා අද සතුට නැතිකර ගන්නවාද?

- බොහෝ පුද්ගලයන්ට ගෙවෙන මොහොතේ සතුටත් තෘප්තියක් අහිමි වන්නේ සතුට යනු හැම විටම වෙන කොහේදෝ තිබෙන දෙයක් ලෙස කල්පනා කිරීමට හුරු වීම නිසාය
- නොසැලකිල්ලෙන් අසහනයෙන් ඉලක්ක හා ජයග්‍රහණ පසුපස එළවන්නට පටන් ගැනීමෙන් එදිනෙදා ජීවිතය මහා අවුල් ජාලාවක් වීම අරුමයක් නොවේ
- ඉලක්ක තිබීම නරකක් නොවේ. එහෙත් මන්තරේ ජප කරන්නාක් මෙන් ළමා මනසට එය කිඳා බැස්වීම හරහා සිදු වන්නේ හොඳට වඩා නපුරකි

“කවදා සතුටින් ඉන්න පුළුවන් වෙයිද මන්දා ?“ 

“ඉතින් දැන් පුළුවන් නෙ?"

“එහෙම කොහොමද , ඔන්න මගෙ උසස්වීම ආවා නම් පුළුවන්“

“ඔය කිවුවට එතකොටත් බැරි වුණොත් ?“

මේ වූ කලී අද සමාජයේ ඕනෑ පදම් දැකිය හැකි ප්‍රශ්නයකි. එනම් අනාගතයේ සතුටින් ඉන්නට හැකි බව පමණක් විශ්වාස කිරීමය. තවත් අතකින් “එහෙම වුණොත්“, “එහෙම කළොත්“ (if) යන කොන්දේසියේ බැස අනාගතය ගැන , හිතේ සතුට ගැන කල්පනා කිරීමය.

වර්තමානයේ අප කවුරුත් ගත කරන්නේ ඉතා අසීරු ජීවිතයක් බවට විවාදයක් නැත. එහෙත් අනාගත විසඳුමක් හෝ පිළියමක් ලැබෙන තෙක්ම අප කනස්සල්ලෙන් පසු විය යුතුද? නැත. එනම්, අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබා ගන්නා අතරේම ගෙවෙන මොහොත වෙනුවෙන් ද යම් තෘප්තියක්, සතුටක් වෙන් කර තබන්නට උත්සාහ දැරිය යුතුය. එහෙත් බොහෝ දෙනා කල්පනා කරන්නේ සතුට හෝ තෘප්තිය අනාගතයේදී ලැබෙන්නක් බවය.

අප මේ තත්ත්වය හඳුන් වන්නේ destination happiness syndrome යනුවෙනි. දැනට අප සතු දේ ප්‍රමාණවත් නැති බව, සතුටින් ඉන්නට නම් තව තවත් භෞතික සම්පත් අවශ්‍ය බවත් ඔවුන්ගේ අදහසය. එය කිසිදා නොනවතින අපේක්ෂා චක්‍රයකි. ඔවුන්ට වර්තමානයක් හෝ ගෙවෙන මොහොතේ සතුටක් තෘප්තියක් ඇත්තේම නැති තරම්ය.

ඊළඟ පියවරේ තෘප්තිය පිළිබඳවම කල්පනා කිරීම, සැබෑ තෘප්තිය හා සතුට ඇත්තේ එහි යැයි නිතර කල්පනා කිරීම එහි ලක්ෂණයකි. ඊළඟ පියවර, දියුණුව ගැන ඉලක්ක තබා ගැනීම වරදක් නොවේ. වරද ඇත්තේ අපට සතුටක් ලැබෙන්නේ අනාගත ඉලක්ක කරා ළඟා වීමේදී පමණක් බව කල්පනා කිරීමේය. මේ ඊළඟ පියවර, ඊළඟ, ඊළඟ, ඊළඟ ආදී වශයෙන් නොනවතින චක්‍රයක් ලෙසින් ක්‍රියාත්මක වෙද්දී සතුට ලැබීම ද ඒ හැම විටකම ඈතින් ඈතට යයි. එහෙත් තව දුරටත් ඒ මායාවේම ගැලී කනස්සලු වීම ද ඊට කිට්ටුම පාරිභාෂික පද කීපයකින් හැඳින්වේ . එනම් “destination addiction“ යනුවෙනි.

එය අපට හඳුනා ගන්නට ලැබෙන්නේ තරමක් ප්‍රමාදවය. ඊට හේතුව වන්නේ අපටත් නොදැනීම එය අපේ හිතේ, මනසේ පැලපදියම් වී තිබීමය. එය අපේ හිතට වැටෙන්නේ බොහෝ ළාබාල අවධියේදීමය. මනෝ විද්‍ය­ාඥවරියක වන ආචාර්ය ලා - ටෝයා ගේනස් මෙසේ පවසන්නීය. “අපි කොපමණ වතාවක් පොඩි දරුවන්ගෙන් අහලා තියෙනවද? ලොකු වුණාම ඔයාට කවුරු වෙන්නද ඕනැ කියලා? එහෙම නැත්නම්, හොඳට ලකුණු අරගත්තොත් ඔයාට හොඳ ඉස්කෝලෙකට යන්න පුළුවන්, ඊට පස්සෙ ඔයාට පුළුවන් හොඳ රස්සාවක් කරලා සතුටින් ඉන්න.“

ඉලක්කයක් තිබීම නරකක් නොවේ. එහෙත් මන්තරේ ජප කරන්නාක් මෙන් ළමා මනසට එය කිඳා බැස්වීම හරහා සිදු වන්නේ හොඳට වඩා නපුරකි. එහිදී සිදු වන්නේ දීර්ඝ කාලීන වශයෙන් “අනාගත ඉලක්කවල“ වහලකු බවට පත්වීමය. ඒ වෙනුවට ඉගෙනීම සතුටින් හැකි උපරිම කැපවීමෙන් කරන්නට පෙලඹවිය හැකි නම් ඔහුට අතමිට සරු වාගේම මන සුව පිරි තෘප්තිමත් අනාගතයක් හිමි වනු ඇත. ඒ වාගේම ගෙවෙන මොහොත, ගෙවෙන දවස සතුටින් තෘප්තියෙන් ගෙවා දමන්නට ද හැකි වනු ඇත.

මෙහිදි අපට වටහා ගැනීමට තිබෙන සරල කාරණය නම් සතුට හා තෘප්තිය ඇත්තේ ගෙවෙන මොහොතේ නොව අනාගත සාධක මත බව හිතන්නට පටන් ගත් මොහොතේ සිටම අපේ එදිනෙදා දවසේ සතුට තෘප්තිය හීන වන්නට පටන් ගන්නා බවය.

ඇතමකු කල්පනා කරන්නේ යම් ඉලක්කයට ළඟා වූ පසු සියල්ල හොඳ අතට හැරෙන බවකි. එහෙත් සිදු වන්නේ ඒ ඉලක්කයට ළඟා වීමෙන් පසු, ඒ සිහිනය සැබෑ කර ගැනීමෙන් පසු, ඊළඟ සිහිනය වෙනුවෙන් වෙහෙසෙන්නට පටන් ගැනීමය. දැන් මන සුව හා තෘප්තිය තව බොහෝ දුරය.

ආචාර්ය රොබර්ට් හෝල්ඩන් මේ කාරණය ගැන සිදු කර තිබෙන විවරණය අපූරුය; ඉතා පැහැදිලිය. “මේ මානසික තත්ත්වයේ පසුවන පුද්ගලයන් හිතන්නට හුරුවී ඇත්තේ, ඇබ්බැහි වී ඇත්තේ සාර්ථකත්වය යනු හැමවිටම ඊළඟ පියවර බවය. යම් කඩඉමකට ළඟා වීමක් බවය. සාර්ථකත්වය , සතුට හා දිනුම යනු හැමවිටම අනාගතයේ යම් ළඟා වීමක් ලෙස කල්පනා කරන්නට ඔවුහු ඇබ්බැහි වී සිටිති. ඒ හැම කඩඉමක්ම නැවත නැවතත් ඉහළ පැනගන්නට ලැබුණු ටිකට්ටුවක් මෙනි. එබැවින් මේ කෙළවරක් නැති ඉලක්ක හඹා යෑමේ ගමනේදී කවර තැනක හෝ එබඳු පුද්ගලයන් හිර වී යන්නේ කිසි උත්තරයක්, සහනයක් නැතිව යන විලසිනි“

හෝල්ඩන් මේ කියන අන්දමට මෙබඳු පුද්ගලයනට වර්තමානයේ එනම්, ගෙවෙන මොහොතේ සතුටත් තෘප්තියක් අහිමි වන්නේ සතුට යනු හැම විටම වෙන කොහේදෝ තිබෙන දෙයක් ලෙස කල්පනා කිරීමට හුරු වීම නිසා ය. එනිසා අප කරන්නේ බොහෝ නොසැලකිල්ලෙන් අසහනයෙන් ඉලක්ක හා ජයග්‍රහණ පසුපස එළවන්නට පටන් ගැනීමය. එවිට එදිනෙදා ජීවිතය මහා අවුල් ජාලාවක් වීම අරුමයක් නොවේ.

එසේ නම් එයින් මිදෙන්නට හැකි වන්නේ කොහොමදැයි දැන් යමෙකු අසන්නට පුළුවන. පළමුවැන්න නම් හොඳ හුස්මක් ගෙන තමා ගැනම ටිකක් කල්පනා කර බැලීමය. විශේෂයෙන් ම ඔබේ අවශ්‍යතා, ඉලක්ක, අරමුණු කෙටිකාලීන, දීර්ඝ කාලීන වේවා මේ සියල්ල ලැයිස්තුගත කර ගැනීමය. ඉන්පසු කළ යුත්තේ එතැනට, ඒ ඉලක්කයට ළඟා වූ පසු ඔබට ලැබෙන විශේෂ තෘප්තිය හා සතුට මොකක්දැයි පැහැදිලිව ප්‍රශ්න කිරීමය. දැන් ඒ සතුට ඔබ ළඟ මේ වන විටත් අඩු වැඩියෙන් තිබෙන්නට පුළුවන් බව බොරුවක් නොවේ. දැන් අවශ්‍ය ඒ සතුට පරිපූර්ණවත්, දිගු කාලීනවත් විඳීමය. ඊළඟ පියවර විය යුත්තේ යම් හෙයකින් ඔය කියන අනාගත සතුටට ඇති තර්ජන ලයිස්තුවක් සැකසීමය. මේ කියන්නේ කොරහේ කිඹුලන් දකින්නට නම් නොවේ. එය ප්‍රායෝගික විය යුතුය. එහිදි යමකුට වැටහෙන්නේ බාගවිට ඒ සතුට අපට හිතූ ලෙස භුක්ති විඳින්නට ඉඩක් නැති වන්නට පවා සිදු විය හැකි බවය. එබැවින් ගෙවෙන මොහොතේ ඇති සොච්චම් සතුටට තෘප්තියට ගරු කරමින් අනාගත ඉලක්ක ගැන කල්පනා කළ යුතු බවය. අන්න එතැන පටන් අපේ ගෙවෙන මොහොතේ තෘප්තිය , සතුට අංකුරලන්නට පටන් ගනී.

බිඳෙන් බිඳ එක් වී මහා ජලාශයක් වුව පිරෙන්නට පුළුවන. එසේම ඉතා කුඩා ජයග්‍රහණවලින් අපට සාර්ථක ජීවිතයක්, මනසක් තෘප්තියක් ලැබෙන්නට පුළුවන. ඉතා කුඩා අන්දමේ ජයග්‍රහණයක්වත් නැත්තේ කාටද? ඒ ඒ දවසේ පවා අපට විවිධ තරාතිරමේ, විවිධ ප්‍රමාණයේ ජයග්‍රහණ ලැබේ. බාගවිට කාර්යබහුල දවසක පිටු පහක් ලියා ගන්නට පුළුවන් වීම මට සතුටකි. ඒ මා සකසා ගත්, කල්පනා කළ ඉලක්කය අනුවය. එබැවින් එබඳු ජයග්‍රහණ නැත්තකු පළමුව කළ යුත්තේ තමාගේ වෘත්තිය හෝ දින චර්යාව අනුව ප්‍රායෝගික ඉලක්ක තබාගෙන වැඩ කිරීමය. එවිට දවස අවසානයේ තෘප්තිමත් හුස්මක් හෙළන්නට අපට පුළුවන. එය දිගින් දිගටම පුරුද්දක්ව ගිය විට බිඳුවෙන් බිඳුව දිවි බඳුන සතුටින් පිරී යනු ඇත.

එහි විද්‍යාත්මක පැත්තක් ද නැතුවා නොවේ. මේ කුඩා ජයග්‍රාහී හැඟීම් ඩොපැමින් ක්‍රියාකාරීත්වය කෙරෙහි තදබල දායකත්වයක් සපයයි. ඩොපැමින් රසායනයේ ක්‍රියාකාරීත්වය මානසික සෞඛ්‍යය කෙරේ බලපාන්නා වූ ආකාරය අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් එය විද්‍යාත්මකව ද සාර්ථක වෑයමකි.

ඒ සමඟම අප මතක තබාගත යුත්තේ අපේ ජීවිතවල අසාර්ථක දවස් ද තිබෙන බවය. අප අපේක්ෂා කරන කිසි දෙයක් ඒ පිළිවෙළට ඉටු නොවන්නට ඉඩ ඇත. එහෙත් එය කාටත් පොදු සාමාන්‍ය අත්දැකීමක් බව පැව­ැසිය යුතුමය. ඒවායින් හිත් රිදවා ගන්නවාට වඩා කළ යුත්තේ ඔබ ඔබටම කාරුණික වී සමාව දීමය. එසේ නොමැතිව කනස්සලු වී තමාටම වෛර කරගැනීම නිෂ්ප්‍රයෝජන ය.

සැබැවින්ම සතුට යනු ප්‍රගුණ පුහුණු කළ හැකි දෙයක්දැයි ඇතැම් විට යමකුට සිතෙන්නට පුළුවන. බොහෝ මනෝ උපදේශකයන්ගේ අදහස වන්නේ එය පුළුවන් බවයි. මිනිස් මොළය වැඩිපුර ඇලෙන්නේ ගැලැන්නේ දුක මිශ්‍රිත අත්දැකීම්වලය. එහෙත් අපට සතුටු හැඟීම් නිතර උපදවා ගන්නට හැකිනම් එබඳු අසීරු චිත්තවේග හා හැඟීම් යටපත් කරගන්නට අපට හැකි වෙයි. දිනකට තත්පර කීපයක් ඔබට සතුට දැනුණු අවස්ථාවක් දෙකක් සිහියට නගා ගන්නට උත්සාහ කිරීම සතුට ප්‍රගුණ පුහුණු කිරීමේ එක් මූලික උපක්‍රමයකි. එය තත්පර තිහක උත්සාහයක් වුවද බෙහෙවින් ප්‍රමාණවත් ය.

කෘතඥතා දිනපොතක් පවත්වාගෙන යෑමද මේ සම්බන්ධයෙන් අපූරු උත්සාහයකි. ඒ ඒ දිනයේ ඔබ කෘතඥ විය යුතු පුද්ගලයන් හා සිදුවීම් එහි සටහන් කළ හැකිය.

සතුට හා සිත සැනසුම රැඳී ඇත්තේ අනාගතයේ යැයි කල්පනා කරන්නට අප පොලඹවන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ සංසන්දනයයි. විශේෂයෙන්ම සමාජ ජාල භාවිතයේදී මේ අවාසනාවන්ත තරගයට පොට පෑදෙයි. අනෙකුගේ තත්ත්වයට පත් වීමේ ආශාවක් ඇතිවෙයි. සතුට පිළිබඳ නිර්ණායකය වෙනත් පුද්ගලයකුගේ තත්ත්වය, නිලය, වත්කම් ආදිය අනුව සැකසෙන්නට පටන් ගනී. එහෙත් සැබැවින්ම එය එක්තරා ආකාරයක විඳවිල්ලක් බව තේරුම් යන්නේ බොහෝ ප්‍රමාදවය.

කෙටිකාලීන අරමුණු කීපයක් ද කලින් කලට යාවත්කාලීන කරගත හැකි නම් එය ගෙවෙන මොහොතේ ආත්ම තෘප්තියටත්, සතුටටත් හේතු විය හැකිය. ඒ වාගේම ගෙවුණු කාලය තුළ ඔබේ දක්ෂතා, ඔබට ලැබුණු පිළිගැනීම්, හිතවත්කම් ආදියේ ලයිස්තුවක් සැකසීම ද වර්තමානයේ සතුට සොයන්නන්ට කදිම උපකාරයකි.

RHRN ලයිස්තුව (Right Here Right Now) ද මේ කාරණයේදී අපට ප්‍රයෝජනවත් වන්නකි. යම් සතුටක් ඔබ සිත උපන් විගස ඊට දායක වූ තැනැත්තන් හෝ සිදුවීම එවෙලේම සටහනක් තබා ගන්නට හුරු වීම මෙනමින් හැඳින්වේ. උදාහරණයක් වශයෙන් ඔබ කැමතිම ක්‍රීඩාවක යෙදු‍ණේ නම් එවෙලේම පාහේ ඔබට එය සටහන් කර ගන්නට පුළුවන. එයින් සිදු වන්නේ සතුට වෙනුවෙන් අනාගතය වෙත දෑස් දල්වාගෙන ඉන්නවා වෙනුවට ගෙවෙන මොහො­‍ෙතත් සතුටක් ඇතැයි අප සිතට ඒත්තු යෑමය.

මේ කාරණා එසේ පැවතුණද හොඳ අනාගතයක් ගැන බලාපොරොත්තු තබා ගැනීම, ඒ වෙනුවෙන් වෙහෙසීම සටන් කිරීම වරදක් නොවේ. එය කළ යුතුම දෙයකි. එහෙත් ඒ වෙනුවෙන් නිස්කාරණේ මුළු වර්තමානයම, ගෙවෙන මොහොතම කැප කිරීම බිලි දීම අපරාධයකි. ඒ වෙනුවට ගෙවෙන මොහොතක පිළිබඳ අවබෝධයෙන් හා තෘප්‍තියෙන් යුතුව කටයුතු කරන්නට අපට හැකි නම් අපේ අද දවසත් හෙට දවසත් දෙකම සතුටිනි.

Comments