මගේ පියාගේ යෝජනාව වූයේ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලය වුණත් මගේ තෝරා ගැනීම වුණේ කොළඹ විශ්වවිද්‍යාලයයි
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ
නවක වදයෙන් එදා අපි ලැබුවේ සුවිශේෂ වින්දනයක් හා ජීවිතයට පන්නරයක්
- මහාචාර්ය සරත් කොටගම
දේශපාලන අදහස් පරස්පර වුණත් අපේ මිත්‍රත්වය එදා වගේමයි
- ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ෙව්දී දයා ලංකාපුර
අඩ සියවසකට පෙර කොළඹ සරසවියෙන් බිහි වූ විද්‍යාර්ථීන් 100 දෙනකුගේ අත්දැකීම් එකතුවක් ලෙස ප්‍රකාශයට පත්වී ඇති මෙම කෘතිය එක් අතකින් ආදී විද්‍යාර්ථීන්ගේ අත්දැකීම් එකතුවක් වන තරමටම අනිත් අතින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මුල් කොට ගෙන නිර්මාණය වූ සමාජ පරිණාමයත් එම විශ්වවිද්‍යාල පරපුර මෙරට වෘත්තීය ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වයේ හැඩ රුවත්, ඒ අනුව යමින් ඔවුන් පෞද්ගලිකව ලැබූ ඛේදනීය සහ ප්‍රීතිමත් අවස්ථාත් පිළිඹිබු කොට දක්වන කැඩපතක් වැනිය.
‘සරසවි ආවර්ජනා’ කෘතිය තුළින් සිය අත්දැකීම් පවසන විද්‍යාර්ථීන් 100 දෙනා අතරින් කෙනකු වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ඔහු ලැබූ අවස්ථාව ඔහුගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ බවයි.
“1967 දී අ. පො. ස. උසස් පෙළ ප්‍රතිඵල මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා. ඒ අනුව මගේ උසස් අධ්‍යාපනය තවදුරටත් සිදු කරගෙන යන්නට ලංකා විශ්වවිද්‍යාලය ඇතුළේ මට අවස්ථාවක් ලැබෙනවා. ඒත් මගේ පියාගේ යෝජනාව වූයේ ඒ ඉදිරි කටයුතු වෙනුවෙන් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලය සුදුසු බවයි. කෙසේ වෙතත් මගේ තෝරා ගැනීම වුණේ කොළඹ විශ්වවිද්‍යාලයයි. 1965 වසරේදී කලා උපාධි අපේක්ෂකයන් 1,500කට අවශ්‍ය පහසුකම් ඇති කරනු වස් තුරඟ තරග පිටියත් රීඩ් මාවතේ කාර්මික වෙළෙඳ මධ්‍යස්ථානයට අයත් හිස් ගොඩනැඟිල්ලකුත් ප්‍රධාන වශයෙන්ම තෝරා ගෙන තිබුණා. ගෘහ නිර්මාණ ශිල්ප දෙපාර්තමේන්තුව (අද මොරටුව විශ්වවිද්‍යාලයේ ඇති ගෘහ නිර්මාණ ශිල්ප පීඨය එදා තිබුණේ කොළඹ සරසවියේ විද්‍යා පීඨය යටතේය.) ස්ථානගත වූයේ වෝර්ඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ප්‍රධාන ගොඩනැඟිල්ලේ.”
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඒ අතීතාවර්ජනයේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ සිය විශ්වවිද්‍යාල ප්‍රවේශය කොළඹ විශ්වවිද්‍යාලයේ ආදී කතාවත් සමඟ පට බැඳෙන බවයි. එදා විශ්වවිද්‍යාල සටන්වලට සහභාගි වූ සිය සිසු භූමිකාව පිළිබඳ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ කෘතිය තුළින් අදහස් දක්වා ඇත.
පළමු දෙවතාවේම සාමාන්‍ය පෙළ අහේතුක ලෙස අසමත් වූ මහාචාර්ය සරත් කොටගම සිය සරසවි සමය සිහි කළේ මෙලෙසිනි.
“සරසවිය තුළ මා ලැබූ අත්දැකීම් බහුතරයක් පාසල් පන්නරයෙන් ඔප ගන්වා ගත් ඒවා යැයි කීවොත් නිවැරැදියි. වර්තමාන නවක වදය නිසා සිසුන්ට ඇතිවන මානසික අසහනය හා ඒවායේදී සිදු කරන අමානුෂික ක්‍රියාවන් ඇසෙන විට අප ඉතාම වාසනාවන්ත යැයි සිතමි. මා නවකවදය අත්වින්ද කෙනෙකු වුවත් නමුත් එයින් සුවිශේෂ වින්දනයක් හා මගේ ජීවිතයට
සුවිශේෂි පන්නරයක් ලැබුණු බව මගේ අදහසයි.”
වර්තමානයේ ඇතැම් විශ්වවිද්‍යාලවලින් අසන්නට ලැබෙන්නේ නවකවදය පිළිබඳ ඛේදනීය පුවත්ය. සරසවි ආවර්ජනා නම් මේ කෘතියට සිය අත්දැකීම් සඳහන් කර ඇති ආදි විද්‍යාර්ථින් සිය දෙනාගෙන් බොහෝ දෙනකුට නවක වදය ගැන අත්දැකීම් ඇත. එහෙත් ඔවුන් බහුතරයකගේ අදහස වන්නේ ඔවුන් අත්දුටු නවකවදය කිසිවකුට ජීවිතය අහිමි කරන්නට තරම් දරුණු නොවූ, කාටත් විනෝදය සැපයූ සුළු සුළු සිදුවීම් පමණක් වූ බවය. අයිස්ක්‍රීම් කෝටුවකින් සරසවි භූමියේ විශාල ප්‍රදේශයක් මැනීම, ජ්‍යෙෂ්ඨ උත්තමයකුට හෝ උත්තමියකට ප්‍රේමය ප්‍රකාශ කිරීම, සපත්තුවක් කරේ එල්ලාගෙන යෑම වැනි සරල, සුන්දර දේවල්වලට එදා නවක වදය සීමා වූ හැටි ඔවුන් බොහෝ දෙනකු සිහි කරන්නේ ඒ අත්දැකීම්වලින් ලද මිහිර යළි යළිත් විඳිමිනි.
රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ නිලතල හෙබවූ දේශපාලන ලියුම්කරුවකු ද වන ආනන්ද ගුණතිලක ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී ගිය ෂන්මුගදාසන් සහෝදරයාගේ “චීන පිල” විශ්වවිද්‍යාලය තුළ මෙහෙය වූ චරිතයයි. “රුසියන් පිල” මෙහෙය වූයේ අබේවික්‍රම හෙවත් අබේ ය.
“පන්ති වර්ජන පුරා සාකච්ඡා, රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාලි තුළ ඇතැම් දිනක පැය විසි හතරම ගෙවා දැමූ මා පන්ති වර්ජන නිමවූ සාමකාමි වාතාවරණය තුළ චින්තා සමඟ සැන්දෑ සක්මනක යෙදීම, අබේ කී පරිදි..... යුද්ධය හා සාමයම වූයේය.... දශක පහකට පසුව ආපසු හැරී බලන කළ ඒ වදන් සරසවි යුගය පමණක් නොව මගේ ජීවිතයම සංකේතවත් කළේය.”
දේශපාලන වශයෙන් විවිධ පිල්වලට අයත් වුවද ඔවුනොවුන් අතර වූ සහෝදරත්වය සහ බැඳීම ගැන මේ ආදි විද්‍යාර්ථින් බොහෝ දෙනකු මෙකී කෘතියට සිය අදහස් දක්වා ඇත.
“ඒ කාලේ මම කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් විශ්වවිද්‍යාලය ඇතුළේ දේශපාලනය කළා. ආනන්ද ගුණතිලක සම සමාජ පක්ෂයේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක මහින්ද යාපා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළා. ඒ වුණාට අපි එකට පාඩම් කළා. අදටත් අපේ දේශපාලන අදහස් පරස්පර වුණත් අපේ මිත්‍රත්වය එදා වගේමයි”
එසේ කීවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ රජයේ රැකියාවකට යාමට ඕනෑ තරම් ඉඩකඩ තිබියදීත් ඒ මඟ නොගොස් වෙනස් මඟක ගිය අපූර්ව චරිතයක් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ෙව්දී දයා ලංකාපුර ය.
“ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පිටවූ මම පූර්ණකාලීනව ඇත්ත පුවත්පතේ වාර්තාකරුවකු ලෙස සේවය කළෙමි. විශ්වවිද්‍යාලයේ ගත කළ කාලයේ දී මා ශිෂ්‍යාධාර මුදල් ලබා ගත්තේ නැත. ගෙදරින් මුදල් ගෙන්වා ගත්තේ ද නැත. පුවත්පතට වාර්තා සැපයීමෙන් ලැබුණු මුදල මගේ කටයුතු සඳහා ප්‍රමාණවත් විය.”
එසේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු මේ වන විට දේශීය හා විදේශීය ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයන්හි සේවය කොට ලද අත්දැකීම් සම්භාරයකින් පොහොසත් කෘතහස්ත ජනමාධ්‍යවේදියෙකි.
වෘත්තිකයකු මෙන්ම සම්මානනීය ලේඛකයකු, චිත්‍රපට තිරනාටක රචකයකු, කෙටිකතාකරුවකු හා කාව්‍ය රචකයකු ද වන නිහාල් පී. ජයතුංග විශ්වවිද්‍යාලීය ජීවිතයෙන් මෙන්ම බන්ධනාගාරගත ජීවිතයෙන් ද එක සේ පෝෂණය වූ ප්‍රකට චරිතයකි.
“රිමාන්ඩ් සිර ගෙවල්වලදී, කඳවුරුවලදී නිර්මාණ ක්‍රියාදාමයට පහසුකම් තිබිණි. රාත්‍රී එළිමහන් විදුලි බුබුලක් යට හිඳ හෝ ලිවීම කළ හැකි විය. සිර දඬුවම් විඳින සිරකරුවන් සිටින සෙල් කාමරවල රාත්‍රී අටෙන් පසු විදුලිය විසන්ධි කෙරෙයි. අඟල් දෙකක ඝනකමක් ඇති තේක්ක දොරෙන් අඟල් එකහමාරක විෂ්කම්භය ඇති කුඩා කවුළුවකින් කාමරයට මඳ ආලෝකයක් වැටේ. එම ආලෝක ධාරාව වැටෙන ස්ථානයට පොත හෝ කඩදාසිය තබා ගෙන ලියමි.”
ගුරු වෘත්තිය ඔස්සේ පරිපාලන සේවයට පිවිසි පිය පතිරණ වීරසිංහ සිය විශ්වවිද්‍යාල ජීවිතය තුළ අත්විඳි ඊටම අනන්‍ය වූ අපූර්ව සමාජ පැතිකඩක් හෙළි කරන්නේ මෙසේය.
“මා ගත කළ සරසවිය දිවිය තුළ ආදරය අරඹයා ලියැවුණු ගී බොහෝය. සරසවි කුරුටු ගී නමින් මේවා පසුව ලේඛනගත විය. විභාගය අත ළඟ පැවැති මොහොතක එක්තරා සරසවි සොහොයුරකුගේ සිතට මෙවැනි සිතුවිල්ලක් පැන නැඟුණි.
විභාගය අත ළඟය
අත පොත ළඟය
සිත ඈ ළඟය
ඈ ඌ ළඟය
උපාධි අපේක්ෂක භික්ෂූන් වහන්සේලා ද සරසවියට ඇතුළු වෙති. තාරුණ්‍යයට ප්‍රවිශ්ට වෙත්ම උන් වහන්සේලාට ද රාග, ද්වේශ, මෝහාදී අකුසල් හා පොර බැඳීමට සිදු වීම සාමාන්‍ය දෙයකි. උන්වහන්සේලා මුහුණ දෙන අභියෝග පිළිබඳව සානුකම්පිතව බැලීමට තරම් අප නිහතමානී වීම වටී.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධූරයෙන් විශ්‍රාම ලබා සිටින ඒ. ඒ. විජේපාල බුලත් කොරටුවක් වවා පාසල් පොතපත ලබා ගත් ඒ අතීතය සිහි කරමින් විශ්වවිද්‍යාලයට පැමිණ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ගත් වෙහෙස සිහිපත් කරන්නේ එය තමන්ට අභියෝගයක් ද වූ බව පවසමිනි.
1960 දශකයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුන්ගෙන් බොහෝ දෙනකු මේ වන විට දේශපාලඥයන්, ලේඛකයන්, පුවත්පත් කලාවේදීන්, නාට්‍ය ශිල්පීන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් මෙන්ම රංගන ශිල්පීන් ද රැසකි. කොළඹ විශ්වවිද්‍යාලයේ පළමු වරට චිත්‍රපට සංගමයක් බිහිවී ඇත්තේ 1067 වසරේදී රංජිත් නිව්ටන්ගේ පුරෝගාමීත්වයෙනි. ඔහු එකල පොල්කිච්චා නමින් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත.
චිත්‍රා වරකාගොඩ නැමති රංගන ශිල්පිනිය මෙරට කීර්තිමත් වී ඇත්තේ වෘත්තීයවේදනියකට වඩා දක්ෂ කලා ශිල්පිනියක ලෙසිනි. මේ ඇයගේ අත්දැකීම්වලින් බිඳකි.
“මා කලා ලොවට අවතීර්ණ වූයේ 1963 වර්ෂයේ දී. රජයේ ලලිත කලායතනයේ ඉගෙන ගන්නා අවධියේ සිටම මිතුරෙකු වන ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා විසින් හෙන්රි ජයසේන මහතාගේ කුවේණි නාට්‍යයේ දිශාලාගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා. මෙය මා ලද මහත් භාග්‍යයක් ලෙස සලකනවා. මෙම සංසිද්ධියේ විශේෂත්වය වූයේ මගේ ස්වාමිපුරුෂයා වන විජයරත්න වරකාගොඩ නැමැති සුන්දර මිනිසාගේ මුණගැසීම ද එහිදී සිදු වීමයි. ඒ නාට්‍යයේ පොතේ ගුරු ඔහුයි. එම වර්ෂයේ දී ලංකා කලා මණ්ඩලය විසින් පවත්වන ලද නාට්‍ය උලෙළේදී ශෛලිගත අංශයෙන් ඉදිරිපත් කරන ලද විමල් නවගමුව මහතාගේ අජාසත්ත නාට්‍යයේ බිම්බිසාර රජු ලෙස රඟපා හොඳම නළුවාට හිමි සම්මානයත් ඔහු විසින් දිනා ගත්තා.”
කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලද භාග්‍යය තුළම ලැබූ අභාග්‍යයක් ගැන ද ඇය සිහි කළේ මෙලෙසිනි.
“පිළියන්දල සිට සරසවියට තිබූ බස් සේවාව සතුටුදායක වූ නිසා මට නවාතැන් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ නිසාම මගේ අනෙකුත් යහළු යෙහෙළියන්ට මෙන් රෑ බෝ වනතුරු සරසවියේ රැඳී සිටීමට නම් මට වාසනාවක් ලැබුණේ නැහැ”
කෘතියක් වශයෙන් ගත් කළ මෙය නිදහස් අධ්‍යාපනය ඔස්සේ සරසවි අධ්‍යාපනයට පිවිසුණ පොදුවේ ගත් කළ ගැමි මෙන්ම මැද පාන්තියට අයත් දරුවන්ගේ නව සමාජ හැඩ ගැසීම මෙන්ම ඒ ඔස්සේ ලංකා සමාජය තුළ සිදුවූ සමාජ දේශපාලනික පරිණාමය ගැන පවසන මූලාශ්‍රයක් වැන්න. අනිත් අතින් මේ කියන ආදී විද්‍යාර්ථීන් අතර සිටින නිහඬ මුවින් පසුවන්නන්ට ඉහත කී කරුණ හමුවේ අවංකවම වගඋත්තර බැඳීමට විවෘත කළ දොරටුවක් වැනි යැයි ද සිතේ.