උසස්පෙළ විභාගයට නාට්‍ය හා රංග කලාව හැදෑරූ අයට නම් අද ඉදිරිපත් කෙරෙන කෘතිය අමුත්තක් නොවනු ඇත. එහෙත් ඉන් බාහිර අයට මෙය වැදගත් විය හැකිය.
ඊඩිපස් නම් ප්‍රවාදගත ග්‍රීක රජු ගැන සොෆොක්ලීස් (ක්‍රි. පූ 525 - 426)නම් ග්‍රීක නාට්‍යකරුවා විසින් රචිත ‘ඊඩිපස් රජ’ නම් නාට්‍යය ගැන පෙර ලිපියේ සාකච්ඡා කැරිණි. මේ පුරාතන ප්‍රවාදය ඇසුරින් ඔහු විසින් ඊඩිපස් රෙක්ස්, ඇන්ටිගනි සහ ඊඩිපස් ඇට් කොලන්නස් නමින් යුත් නාට්‍ය තුනක් රචනා කළේය.
ඉන් පළමුවැන්නේ අවිඥානකව සිය පියා ඝාතනය කොට සිය මව සරණපාවා ගත් ඊඩිපස් රජු ගැන ය. ඒ ඊඩිපස් පසුකාලීන සමාජය කෙරේ කෙතරම් බලපෑමක් ඇති කළේද යත් මනෝ විශ්ලේෂණයේ පුරෝගාමියා ලෙස සැලකෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, ඊඩිපස් සංකීර්ණය නමින් න්‍යායයක් ඉදිරිපත් කළේ ය. මේ නිසා ඊඩිපස් නමින් අතීතයේ මෙලොව රජ කෙනෙකු සිටි බව විශ්වාස කරන්නෝ වෙති.
තිබ නම් දේශයේ රජු වූ ඊඩිපස්ට දාව ඔහුගේ මව ද වූ මෙහෙසිය දරුවන් සිවු දෙනකුට උපත දුන්නාය. දරුවන් කුඩා කලදීම ඊඩිපස්ගේ රහස අනාවරණය වූයෙන් ඔහුට පිටුවාහල් වන්නට සිදූ වූ අතර, ඔහු පසල් දනව්වකදී මරණයට පත් විය. මෙහෙසිය ස්වයං ඝාතනය වූවාය.
මේ වනවිට දරුවන් කුඩා වූයෙන් රාජ්‍යයේ පාලනය මෙහෙසියගේ සහෝදරයා වූ ක්‍රියොන්ට පැවරිණි. දරුවන් වැඩෙන විට ඔවුන් අතර රාජ්‍යය අත් කැර ගැනීම පිළිබඳ ආරවුලක් ඇති විය. වැඩිමහල් පුත්‍රයා වූ එටියෝක්ලේස් රජ කමට පත්වූ අතර බාලයා වූ පොලනිසස්, ආගෝස් නම් නුවරට පලා ගොස් එහි රජුගේ දියණිය ආවාහ කැරගෙන මාමණ්ඩියගේ සහායයෙන් සේනාවක් රැස් කැර ගෙන තිබසය ආක්‍රමණය කොට සිය සොහොයුරාට එරෙහිව සටන් කළේය. මේ සටනේදී දෙබෑයෝම මළහ. එවිට ක්‍රියොන් නැවත රාජ්‍යය බාර ගත්තේ සිය අණ පතුරුවන්නට වූයේය.
හිතුවක්කාර අධර්මිෂ්ට පාලකයකු වූ ක්‍රියොන්, රාජ්‍යය වෙනුවෙන් සටන් කළ එටියෝක්ලේස් වෙනුවෙන් වීරයකුට සුදුසු අවමඟුලක් පැවැත්විය යුතු බවත් පොලිනිසස් දේශ ද්‍රෝහියකු ලෙස ගර්හා කොට ඔහුගේ මිනිය සතුන්ට කන්නට එළිමහනක නිරාවරණය වැ තැබිය යුතු බවත් නියෝග කළේය.
නාට්‍යයේ කතාව ඇරැඹෙන්නේ එතැන් සිටය.
මේ නියෝගයට එකඟ නොවන ඊඩිපස් රජුගේ දෙටු දියණි ඇන්ටිගනි සිය සොයුරාගේ දේහයට ගෞරවනීය භූමදානයක් ලබා දෙන්නට තීරණය කරන්නීය. ඒ ගැන ඇය සිය නැඟණි එස්මෙන් සමඟ සාකච්ඡා කරන්නීය. එහෙත් නැඟණිය ඊට එකඟ කරවා ගත නොහැකි වෙයි. ඇය කියන්නේ රජ අණට පිටුපෑම නොකළ යුතු බවයි.
ඇන්ටිගනි එදින රැයේ රැක සිට රැකවලුන්ගේ පමාවක් බලා හිඳ සිය සොහොයුරාගේ මිනිය පස්වලින් වසයි. රැකවලා ඒ ගැන රජුට වාර්තා කරයි. එවිට රජු නියෝග කරන්නේ මිනිය වැසූ පස් ඉවත් කොට එතැනම තිබෙන්නට හැර රැයේ පරීක්‍ෂාවෙන් බලා සිට මිනිය වසන අය අල්ලා ගන්නා ලෙසයි. එසේ කරන්නට අසමත් වුවහොත් රැකවලාට කෲර වධ සහිත මරණය ඒකාන්ත බවත් ඒ සමඟම දන්වයි. මෙයින් බිය වන භටයා රජු කී ලෙස කරයි. එදින රැයේ ද ඇන්ටිගනි පැමිණ පෙර සේම මිනිය වසයි. රැකවලා ඇය හසු කැර ගෙන රජු ඉදිරියට පමුණුවයි. රජු ඇයට මරණීය දණ්ඩනය නියම කරයි.
රජුගේ පුත් හිමන් හා ඇය අතර ප්‍රේමයක් වෙයි. රජු ද එය දනී. ඇය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළත් ඵලක් නොවේ. මේ අතර අන්ධ පූජකයකු ද පැමිණ ඇය මරණයට පත් නොකරන ලෙස කියයි. එහෙත් රජු එය ප්‍රතික්‍ෂේප කරයි. ‘මැය නැතිවුනොත් ඔබට පවුලෙන් ම වන්දි ගෙවන්නට සිදුවෙයි’ කියන පේන කියන්නා පිටවැ යයි.
ඇන්ටිගනි ඝාතනය කොට සාප ලබන්නට නොකැමැති රජු ඇය ඈත ගුහාවක නිරාහාරව සිර කර තබන්නට නියම කරයි. ඒ නියෝගය ක්‍රියාත්මක වේ. ඇය සිටින තැනට යන හිමන් සිය දිවි නසා ගනියි. ඇන්ටිගනි ද ගෙල වැල ලා ගනියි. සිය පුතාගේ මරණය ගැන අසන ක්‍රියොන්ගේ බිසව ද සිය පණ නසා ගනියි.
සොෆොක්ලීස් සිංහලෙන් ශෝකාන්ත ලෙස දන්නා ට්‍රැජඩි නාට්‍ය 125ක් පමණ රචනා කර ඇති බව පැවසේ. මේ අතරින් ඊඩිපස් වඩාම සාර්ථක ට්‍රැජඩිය ලෙස පිළි ගැනේ. එහෙත් ඇතැම් විචාරකයකුට අනුව ඇන්ටිගනි ඊටත් වඩා ශෝකය දනවයි.
ක්‍රියොන් නම් තාවකාලික රජු අන් අයගේ මත නොසලකන දුර්දාන්ත පාලකයකු බව මෙහි කියැවෙයි. ඔහු ඊඩිපස්ට වඩා වෙනස් ය. ඒ නිසා ඔහු බොහෝ දේ අහිමි කැර ගනියි.
මේ කෘතියේ පසුවදනේ මෙසේ සඳහන්ය.
“ඇන්ටිගනි නාට්‍යයේ ප්‍රධාන චරිත ද ලෙයින් මසින් සැදි සජීව ඒවායි. ඉස්මන්, හිමන්, ටෙරේසියස් පූජකයා එහි අප්‍රධාන චරිතයි. ටෙරේසියස් ඇවිස්සුණු විට රජු ඉදිරියේ වුව කෝපයෙන් පුපුරා හැලේ. මුර සෙබළාගේ චරිතය ද ඉතා ප්‍රාණවත් වූවකි. ඔහු ප්‍රකට කරනුයේ ඒකාධිපති පාලකයකු යටතේ රාජකාරි කරන නිලධාරියකුගේ චරිත ලක්‍ෂණයි. අනුකම්පාවට හා මානව දයාවට එවැනි පාලකයකු යටතේ ඉඩක් නැත. නිලධාරියාට අවශ්‍ය වනුයේ කවරකු කැප කර හෝ සිය පණ ගලවා ගැනීමයි. සියල්ලට පළමු අවශ්‍ය වනුයේ සිය පැවැත්මයි. ඇන්ටිගනි කළ ක්‍රියාවට ගෞරවයක් ද ඇය කෙරේ අනුකම්පාවක් ද ඔහු තුළ වෙයි. එහෙත් ඒවා තමන්ගේ පණ ගලවා ගැනීම ඉදිරියේ දෙවැනි වෙයි. ඇන්ටිගනි අල්වා ගැනීමෙන් සිය පණ බේරුණු හැටි සිතා ඔහු උද්දාම වෙයි. එදත් අදත් දුර්දාන්ත ඒකාධිපති පාලනයක රාජ්‍ය තන්ත්‍රය මේ ය” යැයි සොෆොක්ලීස් පානා ඉඟියක් ද මේ?’
‘සොෆොක්ලීස්ගේ ඇන්ටිගනි’ ආරියවංශ රණවීරයන්ගේ කෘතියකි.